බ්‍රහස්පතින්දා, 27 අප්‍රේල් 2023 20:19

වසන්ත කරන්නාගොඩට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් Featured

හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය හොබවනු ලබන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට ඇමෙරිකාව සිය රටට ඇතුල්වීම තහනම් කර ඇත.

ඒ ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වීම හේතුවෙනි.

ඇමෙරිකාව විසින් හිටපු නාවික හමුදාපතිවරයාට සහ ඔහුගේ බිරිඳට මෙලෙස ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුවේ එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

" 2023 රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ (7031(c) ) වගන්තියට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමකට සම්බන්ධ බවට නම් කරනු ලබයි. එම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුසුය."

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බරපතල මානව හිමිකම් කඩකිරීමක් කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ සහ විශ්වසනීය බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.

'වගවීම ප්‍රවර්ධනයට කැපවනවා'

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ එලෙස නම් කිරීම මගින් එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයගේ දුක් වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කැපවීම යලි තහවුරු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතාව පදනම් වී ඇත්තේ වසර 75ක හවුල් ඉතිහාසය, සාරධර්ම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වූ කැපවීම මත බවය.

ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව ගොඩනඟා ගන්නා අතරම, මානව හිමිකම් ප්‍රමුඛස්ථානයේ තබා ගන්නා ආරක්ෂක ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු යුක්තිය, වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම සඳහා මෙන්ම නැගී එන ආරක්ෂක ගැටළු විසඳීම උදෙසා ශ්‍රී ලංකාවට නිසි ලෙස සම්පත් හා පුහුණුව ඇති බව සහතික කරමින් ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ කනගාටුව ...

2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට තහනමක් පනවමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ කරයි.

මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් 2023 අප්‍රේල් 27 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ජුලී චන්ග් වෙත පළ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

අමාත්‍යංශය පවසන්නේ, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඇමෙරිකා එක්සත් ජනපදය, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සාකල්‍ය ප්‍රවේශයට අවාසිදායක බලපෑමක් එල්ල කරන බවය.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහ ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය මධ්‍යයේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම ද අවාසනාවන්ත තත්ත්වයක් බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය පැවසූවේ, මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධාන කටයුතු සිදු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරනු ඇති බවය

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website