සදුදා, 15 මැයි 2023 20:11

මහින්ද රාජපක්ෂ යලි අගමැති කරන කතාව ඇත්තක්ද? Featured

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කරනු ඇතැයි පැතිරයන රාවය සම්පූර්ණ අසත්‍යක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

ඔහු අවධාරණය කළේ “කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත් නොකරන බවත් ඔහු එම තනතුරට පත්කරනුයේ ජනතාවගේ ආශිර්වාදය මධ්‍යයේ බවත්ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ‌ඊයේ (මැයි 15 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කොළඹ ආරක්ෂාව හදිසියේ තර කළේ ඇයි?

sagarzs

සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසුවේ, “මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අගමැති කරන්නට උත්සහයක් දරනවා, ඒ අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත කතාවක් සමාජයේ පතුරවමින් හරිනවා. මම හිතන්නේ මේ වගේ කතාවක් සමාජයට පතුරවන්නේ මේ අවස්ථාව වන කොට දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච පුද්ගලයින්. මේ වගේ කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත හා ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය තමයි අපිට පේන්නේ.”

“නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ නිදසහසින් පසු බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු 04 ට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක් නිමා කරලා වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේ භාෂාවෙන් කියනවා නම් එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් බය නෑ. ඒ වගේම ජනතාව වෙනුවෙන් බලය අතහරින්නත් හැකියාව තියෙන නායකයෙක්.”

සාගර කාරියවසම් සඳහන් කළේ,” ඒ වගේ නායකයෙක් අපි කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදාව ගෙනල්ලා දාගෙන මේ රටේ තනතුරකට පත් කරන්නේ නෑ. එතුමාව තනතුරට පත්කරනවානම් අපි අනිවාර්යෙන් අපි එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදය මැද්දේ මිසක් මේ රටේ ජනතාවට හොර රහසේ හමුදාවන් දාගෙන එවැනි තනතුරකට ගේන්න කටයුතු කරන්නේ නෑ.”

ඔහු අවධාරණය කළේ “මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත්කරනවා කියන කාරණය සම්පූර්ණ අසත්‍ය කාරණයක් බව පළමුවෙන්ම කියන්න ඕන. මේ තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න මාතෘකා නැති දේශපාලඥයන් විසින් සමාජගත කරන බොරුවක් මිසක්, සත්‍යතාවක් තියෙන කාරණයක් නොවේ.”

ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට..


ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කළේය.

“ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පලකරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට. එතුමාට ජනාධිපතිධුරය ලබාදීමේදී අපි එතුමාට මේ රට කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න එකඟ වුණාට අපි කිසියම් කෙනෙකු ඉවත් කරන්න හෝ පත් කරන්න ඕන කියලා විවිධ කොන්දේසි දැම්මේ නෑ. ඒ ආණ්ඩුකාරවරු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ අයිතිය එතුමා සතුයි. බලය කිසිදු ආකාරයකට අභියෝගයකට ලක්කරන්නත් අපි උත්සුක වෙන්නේ නෑ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මේ පැතිරෙන කතාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ පක්ෂයේ සම්බන්ධයක් නැති බව අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.”යනුවෙන් සඳහන් කළේ ය.

 

බීබීසී

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website