Business News

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත.

විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ.මෙයින් විදුලි බස්රථ 250 කොළඔ හා නගරාශ්‍රිත ප්‍රදේශවලත් අනෙක් බස්රථ කොළඔ සහ පිටපළාත් අතර ධාවනයෙහි යෙදවිමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා රජයේ නිල පුවත් අඩවියට පැවැසීය.

අලුතින් ගෙන්වු ලබන මෙම බස්රථවල නඩත්තු කටයුතු හංගේරියානු සමාගම විසින් සිදුකෙරෙන අතර මෙම බස් සේවාවන් ලැබෙන ලාභයෙන් කොටසක් ලංගමයට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කිරිමට යන බවද සභාපතිවරයා කීය.

දැනට ලංගමය සතුව බස්රථ 6000ක් ඇණියක් තිබේ. වසර 3කින් ලංගමයට අලුතින් බස්රථ මිලයට ගෙන නොමැත. එසේම හදිසි අනතුරුවලට භාජනය විම,බසයේ ආයු කාලය අවසන් වීම ආදී හේතූන් මත වසරකට බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කෙරේ. මේ තත්ත්වය යටතේ ලංගමයට බස්රථ 1500ක පමණ හිඟයක් පවතී. මේ නිසා අලුත් බස්රථ 1000 ගෙන්විම මඟින් පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් සිදු නොවනු ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා කිය.

LIN

ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට තිබේ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ගරු ජනාධිපතිතුමා වෙත ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ‍්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්. ඒ. ජයතිස්ස යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඒ අනුව ශ‍්‍රී ලංකා - සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප‍්‍රතිපත්තියේ ප‍්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ ප‍්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය මගපෙන්වීම සදහා වූ නිර්දේශ ලබා ගැනීමටත් එමගින් අපේක්ෂිතය.

එසේම මෙම ගිවිසුම තුළින් ශ‍්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ‍්‍රී ලංකාවේ සාමාජිය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පථයට අයත් වේ.

LIN

ඉන්දියානු  සාම්ප්‍රදායික කාන්තා  ඇදුම්, සපත්තු,අත්බෑග, ස්වර්ණාභරණ හා ආයිත්තම්  අලෙවි කරන නව   විලාසිතාගාරයක් වන AURA Haute  Couture නමින්  අගෝස්තු 11 වන සෙනසුරාදා පෙරවරු 11 ට කොළඹ රෝස්මිඩ් පෙදෙසේ අංක 95 යන ස්ථානයේදී විවෘත වේ.

ඉන්දීය සාම්ප්‍රදායික ඈදුම් පැළදුම් හා විලාසිතා සංස්කෘතියේ සුභවාදී ප්‍රවනතා අපේ රට තුළ ප්‍රවර්ධනය කරමින් මෙම විලාසිතාගාරය ක්‍රියාත්මක වන අතර පාරිභෝගිකයින්ට ඉතා පුද්ගලික අවධානය ලබා දෙමින් විලාසිතා හා  ඈදුම් පැළදුම් පිළිබඳව උපදේශනය ලබා දීමටත්, ඉතා උසස් ගණයේ නියම ඉන්දියානු  ඇදුම් පැළදුම් හා විලාසිතා දැරිය හැකි සාධාරණ මිලකට ලබා ගැනීමටත් අවස්ථාවක් මෙරට පාරිභෝගියන්ට උදාවනු ඇත.

LIN

සමස්ත ශ‍්‍රී ලංකාවේම එනම්, පදික වේදිකාවේ සිට පිටකොටුවේ තොග වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු කරන  වෙළෙන්දන් අද මුහුණදීමට සිදුවී ඇත්තේ තම ව්‍යාපාර වසා දමනවාද නැතහොත් සියළු  බාධක මධ්‍යයේ ඉදිරියට යාම සඳහා සංවිධනාය වනවාද යන්නය.

ඉතිහාසයේ සිට අප රට තුළ සුළු වෙලෙන්දාටත් මධ්‍යම පංතියේ වෙලෙන්දාටත් සමාජයේ ඉහල පිළිගැනීමක් තිබුණ අතර ඔවුන් ප‍්‍රාදේශීයව සියළුම සමාජීය කටයුතු සඳහා ආධාර උපකාර කළ අයයි. සිංහල වෙළෙන්දා පන්සලටත්, ද්‍රවිඩ වෙළෙන්දා කෝවිලටත්, මුස්ලිම් වෙළෙන්දා පල්ලියටත් සිය මුල්‍යම ආධාර සැපයූ අතර නගරයක් තුළ ඒකරාශී වී සිටි මේ සියළු දෙනාම එක්වී සමාජිය කටයුතු වලට දායක විය. පන්සලේ කඨින පිංකමට දායක වන වෙළෙන්දන්, කෝවීලේ තේරු උත්සවයටත්, පල්ලියේ මංගලයටත් අනුග‍්‍රහය දායක විය.

එහෙත් පසුගිය වසර දහයක පමණ කාලයක සිට නගරයෙන් ආරම්භ වී මේ වන විට ගම් සිසරා ආක‍්‍රමණය වන සුපිරි වෙළෙඳ සැල් සහ  මහා පරිමානයේ ඒක පුද්ගල වෙළෙද ජාලයන් ගමන් ගමට, නගරයෙන් නගරයට ව්‍යාප්ත වීම නිසා මේ වන විටත් සාමාන්‍ය වෙළෙඳ සැල් 35,000ක් පමණ වැසී ගොස් ඇත. මුල් අවධියේදී එක නගරයට එක් සුපිරි වෙළඳසැලක් තිබුණත් දැන් දැන් එකම සමාගමට අයත් සුපිරි වෙළෙඳ සැල් කිහිපයක් එකම නගරයේ ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් රජයේ කිසිª පාලනයක් හෝ පළාත් පාලන ආයතන වල මැදිහත් වීමක් නොවන අතර විශාල පරිමාණයේ සුපිරි වෙළෙඳ සැල් ආරම්භ වෙමින් පවතී.

සුපිරි වෙළෙඳසැල් ආරම්භ කිරීමට නුසුදුසු අධික වාහන ප‍්‍රමාණයක් දිනපතා ගමන් ගන්නා මාර්ග අබියසම සුපුරි වෙළෙඳසැල් ආරම්භ කිරීම නිසා මහාමාර්ගවල දිනපතා වාහන තදබදයක් ඇතිවීම මගින් සිදුවන අපහුසුව හා වියදම ගණනය කල නොහැක.

විදේශ රටවල මෙම සුපිරිවෙළෙඳ සැල් ප‍්‍රධාන මාර්ගයෙන් පිටත ආරම්භ කලයුතු අතර, පාරිභෝගිකයන් හට වාහන ගාල් කිරීමේ ප‍්‍රමාණවත් පහසුකම් තිබිය යුතුය. දියුණු රටවල වුවද මහා පරිමාණයේ සුපිරි වෙළෙඳ සැල් ආරම්භ කිරීමට අවසර දෙන්නේ අවම වශයෙන් කිලෝ මීටර් 10ක පමණ පරාසයකිනි.  එමගින් එම ප‍්‍රදේශයේ සිටින කුඩා ප‍්‍රමාණයේ වෙළෙන්දන්ටද යම් කිසි සාධාරණ වෙළෙඳ පිරිවැටුමක් පවත්වා ගෙන යාමට හැකිවනවා ඇත.

මෙහි පවතින සමාජීය පවතින රජය හඳුනාගෙන නොමැත. ඉතා අමාරුවෙන් ප‍්‍රාග්ධනය සොයා ගෙන පවුලේ ස්වයං රැකියක් ලෙස පවත්වා ගෙන යන් වෙළෙඳ සැල වැසුණු විට පවුලට ජීවත් වීමටත් තම දරුවන්ගේ අධ්‍යාපනය පවත්වා ගෙන යාමටත් ආදායම් මාර්ගයක් නොලැබීම තුළ ඔවුන් අසරණභාවයට පත්වේ.

රජයේ තරඟකාරී මැදිහත්වීම අවශ්‍යවූවත් රාජ්‍ය සහ සමුපාකාර වෙළෙඳසැල් වලට බදු සහන, වැට් බදු සහන, පොළී රහිතව මුදල් ලබාදීම තුළ සුළු වෙළෙන්දා නිරායාසයෙන්ම තරඟයෙන් ඉවත්වේ.

මෙම තත්ත්වයෙන් ගැලවීමට  නම් ප‍්‍රාදේශීය වශයෙන් එක්සත් වෙළෙඳ සංගම් යටතේ සංවිධාන විය යුතුය. දෙවනුව එම සියලූම එක්සත් වෙළෙඳ සංගම් ජාතික වෙළඳ සංගමය යටතේ ඒකරාශී වී හඬක් නැගිය යුතුය.

නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය මට්ටමින් සහ නාගරිකව වෙළඳ ක්‍ෂෙත‍්‍රයට අවතීරණ වූ සිංහල/ ද්‍රවිඩ/ මුස්ලිම් යන වෙළඳ ප‍්‍රජාව අද වනවිට දැඩි පීඩාවට ලක්වී ඇත.

දෙකෝටියක් වන ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, රෙදිපිළි, ගොඩනැගිලි ද්‍රව්‍ය, එළවළු, පළතුරු, මස්මාළු, දේශීය නිෂ්පාදනයන් ආදී සියලූම දේ තොග වශයෙන් සහ සිල්ලර වශයෙන් රැස්කර වෙළඳාම් කරන වෙළඳ පවුල් 150,000ක් පමණ ප‍්‍රමාණයකට වර්තමානයේ, මහා පරිමානයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින වෙළඳ ඒකාධිකාරියන් නිසා තම වෙළඳසැල් පවත්වාගෙන යාමට නොහැකිව වැසියමින් පවතින නිසා සිය ජීවන පෙවෙත පවා කරගෙන යාමට නොහැකි යන තත්ත්වයකට පත්වෙමින් සිටී.

විශේෂයෙන් නාගරික සහ අර්ධ නාගරිකව ඇති සිල්ලර වෙළඳසල්, සුළු වෙළඳසැල් 120,000ක් පමණ රට තුළ ක‍්‍රියාත්මක අතර අද වන විට මෙම වෙළඳසැල් බොහොමයක් වැසීයාමේ අවධානයට ලක්ව ඇත.

රජයේ සමහර ඇමතිවරුන් සහ සමහර මාධ්‍යයන් කළු කඩය වශයෙන් හඳුන්වන තම සේවාවට නිසි අගයක් ලබා නොදෙන තත්ත්වයක් යටතේ ශ‍්‍රී ලංකාවේ පවුල් දෙලක්‍ෂයක් පමණ ප‍්‍රමාණයකට අනාගතය පිලිබඳව පවතින්නේ ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකි.

කිසිඳු ප‍්‍රතිපත්තියක් නොමැතිව කරනු ලබන බදු ඉහල දැමීම්, මිල ඉහල දැමීම්, සෙස් බදු පැනවීම නිසා ඇතිවන මිල ඉහළ යාම නිසා අවසානයේ ජනතාවගේ වෛරයට ලක්වන්නේ මෙම වෙළඳ ප‍්‍රජාවය.

තොග සහ සිල්ලර වෙළඳාමේ යෙදී සිටින වෙළඳ ප‍්‍රජාව, මෙරට සමාගම් නිෂ්පාදනය කරන දේශීය භාණ්ඩ, බහුජාතික සමාගම් ආනයනය කරන භාණ්ඩ පාරිභෝගිකයාගේ අතට පත්කරන ප‍්‍රධාන බලවේගයද වේ.

අද වන විට මෙම වෙළඳ ප‍්‍රජාව ක‍්‍රමානුකූළව, කෘතීමව විනාශයට ලක්ව සිටින අතර ඔවුන් අතර එකමුතුවක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. තම භාණ්ඩ මහජනතාවට අලෙවි කරන සිල්ලර වෙලෙන්දන් හට භාණ්ඩ නිෂ්පාදකයන් හා ආනායන කර භාණ්ඩ බේදා හරින ව්‍යාපාරිකයන්ද සලකන්නේ කුඩම්මාගේ හැන්දනි.

සුපිරි වෙලෙදසැල් වලට තම භාණ්ඩ සඳහා 27% - 30% වට්ටම් ලබාදෙන භාන්ඩ බෙදා හරින සමාගම් සිල්ලර වෙළෙන්දන් හට ලබා දෙන්නේ 12ත්, 15%ත් අතර වට්ටමකි. මීට අමතරව සුපිරි වෙලෙඳසැල් වල විදුලිය බිලෙන් කොටසකටත්, ශිතකරන වල තබා අලෙවි කරන කරන භාන්ඩ වලට වැය වෙන විදුලි මිලෙන් කොටසක්ද,  භාන්ඩ ප‍්‍රදර්ශණය සඳහා තබා ඇති රාක්ක සඳහාද, සුපිරි වෙළෙඳසැල් සඳහා භාන්ඩ බෙදාහරින සමාගම් විසින්  මුදල් ගෙවිය යුතුය.

නොයෙකුත් ප‍්‍රවර්ධන හා භාන්ඩ ප‍්‍රද්ර්ශනයන් කරන අවස්ථාවලදීද කාලීනව කරනු ලබන best by වැඩ සටහන් යටතේද අතිරේක වට්ටම් ලබාදෙන අතර ඔවුන්ට සිය බිල්පත් ගෙවීම සඳහා ලබාදෙන ණය කාල සීමාවද දීර්ඝය.

එසේ නමුත් සාමාන්‍ය වෙළඳාමේදී  general trade සිල්ලර වෙළෙඳ සැලක සේවකයකුට මෙම බහුජාතික සමාගම් ටී ෂර්ට් එකක් හෝ කැප් තොප්පියක් හෝ ලබාදීමට මැලිකමක් දක්වයි. තමන්ගේ නිෂ්පාදන තමන් ආනයනය කරන භාන්ඩ ප‍්‍රාදේශීයව බෙදාහරින තමන්ගේ නියෝජිතයා සිල්ලර වෙලෙන්දා බව ඔවුන් අමතරක කරයි.

සිල්ලර හා තොගවෙළෙඳ අංශයද කාලීනව නවීකරණය විය යුතුය. නවීන තාක්‍ෂණය හා දැනුමට අනුගත නොවීම නිසා සිල්ලර වෙළෙඳ සැල් පවත්වා ගෙන යන්නේද පාරිභෝගිකයාට හිතකර ආකාරයට නොවේ.

පාරිභෝගිකයා පිළිබඳ දක්වන ආකල්පයද හොඳ තත්ත්වයක නොපවති. වෙළෙන්දා හා පාරිභෝගිකයා සහ වොළෙන්දා අතර සම්බන්ධතාවයද ගිලිහී ගොස් ඇත. ඔවුන් හට මූල් කාලයේ තිබු ඒකාධිකාරී වෙලෙඳ බලය අදවන විට අවසන් වී ඇති බව සිල්ලර වෙළෙන්දන් තේරුම් ගත යුතුය. තම වෙළෙඳසැල පිරිසිඳුව විදුලි ආලෝකයෙන් එළිය කර භාන්ඩ ක‍්‍රමාණූකූළව අසුරා තැබිය යුතුය. වායු සමීකරණය නොකළත් පාරිභෝගියාට පහසුවෙන් තම භාන්ඩ මිලදී ගැනීමට අවශ්‍ය පසහසුකම් සැලසිය යුතුය.

භාන්ඩ ක‍්‍රමානුකුලව පැකට් කර තම වෙලෙඳසැලේ නාමයෙන් පාරිභෝගියාට ලබාදිය හැකි අතර එසේ නොමැති නම් ප‍්‍රාදේශීය ඇසුරුම් මධ්‍යස්ථානයකදී භාන්ඩ ක‍්‍රමානුකූළව ඇසුරුම් කර පාරිභෝගියා අතට පත්කල හැකිය.

බොහෝ  සිල්ලර හා තොග වෙළෙන්දන් ක‍්‍රමාණුකූලව තම ගණදෙනු සටහන් පවත්වාගෙන නොයන නිසා, බැංකු වැනි ආයතන වලින් ණය පහසුකම් සහ අයිරා පහසුකම් ලබාගැනීමට නොමැතිය බංකොලොත් වන අවස්ථා ඇත.

ජාතික වෙලෙඳ සංගමයේ පරමාර්තය වන්නේ තොග සහ සිල්ලර වෙළෙඳ ජාලය රැකගැනීම ග‍්‍රාමීය සහ නාගරිකව පවත්වාගෙන යන ආගමික ස්ථාන සමග සම්බන්ධීකරණය කිරිමය. ගම සහ වෙළෙඳ ප‍්‍රජාව සමග සම්බන්ධතාවය නැවත ඇති කල යුතුය. නගරයේ වෙළෙන්දන්ට රැස්වීමට සාකච්ඡා කිරීමට තම ආගමික ස්ථානය ලබාදීමත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් සැපයීම ආගමික නායකයින් මාර්ගයෙන් විය යුතුය. මෙමගින් වෙළෙඳ ප‍්‍රජාව ගම සහ ආගමික සිද්ධස්ථාන අතර සහසම්බන්ධතාවය වර්ධනය වනවා ඇත.

ආණ්ඩුවක් වශයෙන් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, සිල්ලර සහ තොග අංශයේ ව්‍යාපාරිකයන් පුහුණූ කිරීම, ඔවුන්ට අවශ්‍ය නවීන දැනුම ලබාදීම, නවීන තාක්‍ෂණය ලබාදීම (credit card - ණයපත් භාවිතය) සිල්ලර හා තොග වෙළෙඳාමේ සේවය කරන සේවක සේවිකාවන්ගේ වෘත්තිය හැකියාව හා දැනුම වර්ධනය කිරීමට සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වේ.

රාජ්‍ය බැංකු සමග සකච්ඡා කර අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් සපුරාලීම, රක්‍ෂණය කිරීම, අඩුම පිරිවැය යටතේ ඔවුන්ට භාණ්ඩ මිලදී ගැනීමට හැකි ස්ථාන හඳුන්වා දීම, ප‍්‍රදේශීය භාන්ඩ මීලදී ගැනීමට කටයුතු සැලසීම, පිටකොටුවේ තොග වෙළෙන්දන් සහ සමස්ත ශ‍්‍රී ලංකාවේ සිල්ලර වෙළෙන්දන්ගේ අනාගතය ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් වන්නේය.

LIN

ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථවලට මාරු වන පිරිසට තවත් සහන..

සංචාරක හිතවාදී ටුක් ටුක් හඳුන්වා දෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.

සංචාරක හිතැති ත්‍රිරෝද රථ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මීට අමතරව  දැනට පවතින ඉන්ධන රථයෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ වෙත මාරු වන රියදුරු මහතුන් වෙනුවෙන් ද විශේෂ සහන ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සංචාරක මිතුරු ත්‍රිරෝද රථ සන්නාමය දියත් කිරීමේ සමාරම්භක උළෙලට එක් වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය අද (30) ගාලු මුවදොර දී පැවැත්විණි.  මෙම වැඩපිළිවෙළ යටතේ ත්‍රිරෝද රථ රියැදුරන්ට විශේෂ නේවාසික පුහුණුවක් ලබා දෙනු ලබන අතර එසේ පුහුණුව ලත් රියදුරන් සහ අදාළ ප්‍රමිතීන්ට අනුව සකස් කළ ත්‍රීරෝද රථ සඳහා හඳුනා ගැනීමේ පුවරු ලබා දීම ද සිදු කෙරේ.

පසුගිය වසරේ දී රටකජු මෙට්‍රික් ටොන් 3094ක් විදේශයෙන් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 689ක් වැය කර ඇති අතර මේ අතරින් වැඩිම රටකජු ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත්තේ විශාල ප්‍රමාණයේ  ජම්බෝ රටකජු විශේෂයන්ය. මෙම රට කජුවලට විකල්පයක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් "ශ්‍රී ලංකා ජම්බෝ" නමින් නව රටකජු ප්‍රභේදයක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට මෙම නව රටකජු ප්‍රභේදය හඳුන්වා දීම අගුනකොළපැළැස්ස මාංශ හා තෙල් භෝග පර්යේෂණ ගොවිපොළේ දී පසුගිය සතියේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ජම්බෝ නව රටකජු ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ එම වර්ගය සැපීමට ඉතා පහසුවන අතර මිහිරි රසයකින් යුක්ත වීමයි. එමෙන්ම වගා කර දින 110-115ක් අතර කාලයේ දී අස්වනු නෙලාගත හැකිවේ. එසේම විශාල බීජ සහිතවීමත්, හෙක්ටෙයාර් එකකට කිලෝ ග්‍රෑම් 4400 ඉක්මවු අස්වැන්නක් නෙලා ගැනීමටත් හැකිවේ. මෙම වර්ගය රටතුළ ව්‍යාප්ත කිරීම මගින් දැනට රටකජු ජාතික අවශ්‍යතාවය වන මෙ. ටොන් 27,294ක ප්‍රමාණය පහසුවෙන් අප රටේම වගා කිරීමට හැකි වේ. එමනිසා වාර්ෂිකව විදේශයට ඇදී යන රු.මි. 700කට ආසන්න මුදලක් අප රටේම ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ. 

අපනයනය සදහා මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක් උතුරු පළාතේ පිහිටුවීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉන්දීය ආයෝජකයින් පිරිසක් සමඟ විශේෂ සාකච්ජාවක් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේදී පසුගිය දා පැවැත්විණ. 

මෙහිදී එම ආයෝජකයින් පැවසුවේ, ඇමරිකාව ඇතුළු රටවලට අපනයනය සඳහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ඉස්සන්, කකුළුවන් ඇතුළු මත්ස්‍යයින් වගා කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 7. 5 ක ආයෝජනයක් කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවය.

එම මත්ස්‍ය වගා සහ නිෂ්පාදන කර්මාන්ත පුරය අක්කර 500 ක භුමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වනු ඇත. එමගින් නව රැකියා 800 ක් සහ වක්‍ර රැකියා 2000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සති දෙකකට වරක් සිදුකරනු ලබන ලොතරැයි ජයග‍්‍රාහකයින්ට හිමි චෙක්පත් ප‍්‍රදානය පසුගිය දා (2018.07.23) සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදුවිය. මෙම චෙක්පත් ප‍්‍රදානය සමගින් එක්වූ සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති එස් ඒ පී සූරියප්පෙරුම මහතා  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ලොතරුයි දිනුම් ඇදෙන්නේ නැත යන්න සමාජය තුළ පවතින දුර්මතයක් බවයි.

පසුගිය මාස 06 කිහිපය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්  කෝටිපතියන්  විශාල ප‍්‍රමාණයක් බිහි කළ බවත් එම මාස 06 ඇතුළත බිලියන 3.9 ක දැවැන්ත මුදලක් ජයග‍්‍රාහකයින් අතර බෙදා දී ඇති බවත් ඔහු පැහැදිලි කළේය. විශේෂයෙන්ම අදකෝටිපති ලොතරැයිය කෙටි කාලයක් තුළදී කෝටිපතියන් හත් දෙනෙක් බිහිකර ඇති බවද ඔහු සදහන් කළේය.

ලොතරැයිපත් අලෙවි හරහා ලැබෙන මුදලින් 50% ක් නැවතත් ජනතාව අතරටම ත්‍යාග වශයෙන් ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ව්‍යවස්ථාපිත කොන්දේසියක් බව ප‍්‍රකාශ කළ ඒ මහතා සංවර්ධන ලොතරුයි මණ්ඩලය සිදුකරනු ලබන සමාජ මෙහෙවර පිළිබදවද පැහැදිලි කළේය.

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබන ලාභයෙන් 50% ක්  මෙරට රෝගී ජන ජීවිතවලට ශක්තියක් වන ජනාධිපති අරමුදල වෙත ලබා දෙන බවත්, ඒ හරහා මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය උදෙසා කි‍්‍රයාත්මක වන මහපොළ භාරකාර අරමුදලට මුදල් ලබාදෙන එකම රාජ්‍ය ආයතනය සංවර්ධන ලොතරුයි මණ්ඩලය බවත් සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව  ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර දියත් කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර (Sri Lanka Trade Information Portal/SLTIP) මඟින් ශ්‍රී  ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන - අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු එකම ස්ථානයකින් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

රටෙහි හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම, දේශීය හා විදේශික ආයෝජකයින්ට වෙළඳ නීති සහ රෙගුලාසි පිළිබඳ විස්තර ලබා ගැනීමට හැකි වීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන අපනයන කටයුතු පහසු කරගැනීමට අදාළ තුරතුරු ලබා ගත හැකි වීම, ජාත්‍යන්තර සංවිධාන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ශක්තිමත් දායකත්වය මෙම වෙළඳ තොරතුරු බිහිදොර හරහා ලැබෙනු ඇත. තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බැවින් මෙමඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ද එම ක්ෂේත්‍රයන් හි කටයුතු කරන සියලුම පාර්ශවකරුවන්ගේ ද කාලය ඉතිරි වනු ඇත.

දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේක්ෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්ත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහළ ගොස් ඇති බැවින්  සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) විසින් එහි  හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන16, රු. මි. 2,560) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත.

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD),අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED)හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID)යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන්  ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහකන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3,000කනව වාරි ප්‍රාදේශයක් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

සෞදි රියාල් මිලියන 60ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2018 ජූලි මස 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ  සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි (SFD)නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ  යූසුෆ් ඉබ්රහීම් අල් අබිදුල්රහමාන් අල් බසාම්  මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

Page 1 of 47

Business News

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website