Wednesday, 13 February 2019 04:41

අභියෝග ජයගන්න හොඳම මඟ ඇඟලුම් ක්ෂේත්‍රයයි

සමාජ, ආර්ථික අභියෝග ජයගනිමින් දිරියෙන් ඉදිරියට යෑමට කැමැති තරුණ තරුණියන්ට හොඳම තෝතැන්නක් ලෙස ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය හැඳින්විය හැකි යැයි ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපතිනිය සහ රම්‍යා හෝල්ඩින්ස් අධිපතිනි රම්‍යා වීර‍කෝන් මහත්මිය ප්‍රකාශ කළා ය.

ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් වසරින් වසර ශ්‍රී ලංකාවට විදේශීය මුදල් ගොන්නක් කැන්දාගෙන එමින් ලොව දිනූ ශ්‍රී ලාංකේයීය ආඩම්බරය ලෙස හැඳින්විය හැකි රම්‍යා වීරකෝන් දිරිමත් කාන්තා ව්‍යවසායිකාවක කීවද එහි කිසි වරදක් නැතැයි පවසමින් අප සමඟ දොඩමළු වූ ඇයගේ හඬට ඔබ මේ මොහොතේ සාවධානව දෙසවන් යොමු කරන්න.

ශ්‍රී ලංකා අපනයන වෙළෙඳ ක්ෂේත්‍රයට ඔබ පිවිසි අයුරු සිහිපත් කළ හැකිද?

මම, කාන්තා ව්‍යවසායිකාවක ලෙස මේ අංශයට යොමු වුණේ අහම්බෙන්. මම 1976 තරම් ඈත අතීතයේදී අපනයන අංශයට යොමු වුණේ. ඒ දවස්වල මම මුලින් ම කළේ අපේ රටේ අත්කම් භාණ්ඩ ඒකරාශී කරලා පිටරට වෙළෙඳ ප්‍රදර්ශනවලට රැගෙන ගොස් ඒවා අලෙවි කිරීම, අලුත් ඇණවුම්භාර ගැනීම වාගේ කටයුත්තක්. අපේ රටේ පාරම්පරික, දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ලබන අත්කම් භාණ්ඩ, ලී කැටයම්, වෙස්මුහුණු, වේවැල් භාණ්ඩ තමයි මම මුලින්ම ජාත්‍යන්තරයට ගෙන ගියේ. ඒ කටයුත්තේදි විවිධ උපකාර, උදව් එදා රජයන් සිදු කළා. ප්‍රශ්න තිබුණේ ඉතාම අ‍ඩුවෙන්. නමුත්! ප්‍රශ්න නැත්තේත් නැති තරම්.

garment1මේ අන්දමට ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඔබ පිවිසි සමයේ අපේ රට, රටේ ආර්ථිකය පවා විවෘත කොට තිබුණේ නැහැ.

අපේ රට තමයි දකුණු ආසියාවේ පළමු වරට විවෘත වෙළෙඳපොළ ක්‍රමය හඳුන්වා දුන් රට. එදා 1977 දී මේ රටේ පාලන බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි මේ වෙළෙඳ ක්‍රමය රටට හඳුන්වා දුන්නේ. එදා 1978 ඉඳලා මේ වනතුරුම අපත් විවෘත වෙළෙඳපොළ ක්‍රමය තුළ ජාත්‍යන්තර වෙළෙඳාමේ නිරත වී සිටිනවා.

එදා ආරම්භක අවධිය ඔබට යම් පමණකින් හෝ සිහිපත් කළ හැකිද?

මට හොඳට මතකයි එදා අපේ රටේ නිෂ්පාදන පිටරටට යොමු කරන්නට කර්මාන්ත ශාලා බිහි කරන්න රජය විශාල වැඩකොටසක් කළා. ඒ අනුව රටේ ‍තෝරා ගත් පළාත්වල අපනයන සැකසුම් කලාප ආරම්භ කළා. එහිදී ඇඟලුම් අංශය තමයි අපේ රටේ ප්‍රමුඛව පටන් ගත්තේ.

ඇඟලුම් අංශය මුලින්ම ප්‍රමුඛව ඇරඹීමට කවරාකාර හේතුන් බලපාන්නට ඇතිද?

ඒ වනවිට අපේ රටේ පහසුවෙන් ඇරඹීමට වැඩි ප්‍රවණතාවයක් තිබුණේ ඇඟලුම් අංශයයි. මේ අංශයේ සේවා කිරීමට ඉහළ මානව සම්පතක් රටේ පැවැතීම හා ‍ලෝක වෙළෙඳපොළේ ඉල්ලුම වැඩි වශයෙන් ඇඟලුම් අංශයට පැවැතීම තමයි අපි මේ දේට යොමු වෙන්න හේතුව.

මේ වනවිට ඔබ ලෝකය දිනූ අපනයනකාරිනියක්. එවන් ජයග්‍රාහී ගමනක් ඒමට ඔබට හැකි වූයේ කෙසේද?

ඒක තමයි, මම කියන්න උත්සාහ කරන්නේත්, මම ජීවිතය ආර්ථික යුද්ධය බොහෝම අමාරුවෙන් පටන්ගෙන ජයගත් කෙනෙක්. මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තිබෙන විශේෂත්වයත් එයමයි. මම රෙදි මහන මැෂින් දෙක, තුනකින් පටන්ගෙන මේ වනවිට කර්මාන්ත ශාලා හයක හිමිකාරිනියක් වුණේ ධෛර්යවත්ව නොපසුබස්නා උත්සාහයෙන්, කැපවීමෙන් කටයුතු කළ නිසා යි.

අභියෝග ජයගන්නට ඇඟලුම් ක්ෂේත්‍රය හොඳම ක්ෂේත්‍රයක් බවට ඔබ කීවත්, අද වනවිට ඒ පිළිබඳව සමාජයේ පවතින මතය, ආකල්පය එතරම් සුබවාදී නැහැ නේද?

එය තමයි අපට තිබෙන කනගාටුදායක තත්ත්වය. අප අපේ රටට විදේශ විනිමය වැඩි වශයෙන් රැගෙන එන ක්ෂේත්‍රයක නිරත වෙලා ඉන්න අපේම දූ දරුවෝ, සහෝදර සහෝදරියෝ වාගේ පිරිසක් දෙස අවමානයෙන් බලනවා. එය කොතරම් අශිෂ්ඨ ක්‍රියාවක්ද?

ඔබ ම සිතන්න, යම් ගෙදරක, සමාජයක දියුණුවට දිරියෙන් කටයුතු කරන තරුණ දූ දරුවන්ට ඔවුන් කරන රැකියාව පිළිබඳව සමාජය අයහපත් ලෙස බලන විට ඔවුන්ට ඇති වන හැඟීම් මොනවා වෙයිද? කියලා ඒ දුක්බර හැඟීම් ඔවුන් තලා පෙළා දමනවා. ඒ නිසා අපි කොයිම මොහොතකවත් දිරිමත් අය අධෛර්යට පත්වන ආකාරයේ ආකල්ප සමාජගත කරන්න හොඳ නැහැ. ඒ නිසා එවැනි වැරදි ආකල්ප සමාජගතවීමේ භයානකකම පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමේ ප්‍රබලම වාහකයා, ජනමාධ්‍යයයි. ජනමාධ්‍යවේදින් ‍රටේ ආර්ථික, සමාජ දියුණුව ප්‍රාර්ථනා කරනවා නම්, ඇඟලුම් අංශයේ හැකියාවන්, කුසලතා හා එහි පවතින ජීව ගුණය වඩාත් ඉස්මතුකොට රටට, සමාජයට ඉදිරිපත් කළ යුතුයි. එවිටයි මේ වාගේ රටට විදේශවිනිමය ගෙන එන ක්ෂේත්‍රවල පිබිදීමක් ඇති වන්නේ.

අද වනවිට ලෝක වෙළෙඳාම ඉතාම තරඟකාරී තැනකට තල්ලුකොට තිබෙනවා. මෙහිදී ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රධානයි. ඒ අභියෝග ජයගන්නට ඔබ සූදානම් ද?

අපි ආඩම්බරයෙන් කියනවා. ඒ දේ ජයගන්නට අපි සූදානම් කියා. නමුත්! එසේ කීවාට ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ක්‍රියාවෙන් එය ඉටු කළ යුතුයි. මෙහිදී අපේ රටේ තරුණ තරුණියෝ තමන්ගේ ජීවිත ජයගන්නට කාලය නිකරුණේ නාස්ති නොකොට ඇඟලුම් ක්ෂේත්‍රයට පිවිසීම ඉතාම වටිනවා. මේ ක්ෂේත්‍රයේ දියුණුවට මානව සම්පත ඉතාම වටිනවා.

ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත තරුණ තරුණියන්ට වැටුප් දීමනාවලට අමතරව ඔවුන් එහි රඳවා ගන්නට විවිධ සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි නේද?

ඒ සඳහා තමයි අපි පියවරගෙන තිබෙන්නේ. උදේ තේ, දිවා ආහාරය , නවාතැන් පහසුකම්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වාගේම ඉහළ වැටුප් ලබා දී තිබෙනවා. ඒ නිසා මේ පහසුකම් භුක්ති විඳින්නට තරුණ තරුණියෝ පෙළඹවීම කළ යුතුයි. රැකියාවක් නොකර නිකරුණේ කාලය අපතේ යැවීම නොකළ යුතුයි.

සේවක ප්‍රශ්නය නිසා ඇඟලුම් කර්මාන්ත ශාලා වැසී යනවා යැයි හඬක් තිබෙනවා.

එය එක්තරා සත්‍යයක් තිබෙන දෙයක්. නමුත්! අපි අපේ විදේශීය ඇණවුම් කලටවේලාවට නියමිත ප්‍රමිතියට ලබාදීමට පියවර ගන්නවා නම්, අපිට කර්මාන්තශාලා වසා දැමීමට සිදුවන්නේ නැහැ. අපි රට වෙනුවෙන් විදේශීය ඇඟළුම් ඇණවුම් හොර, බොරු නොකර ඉහළ ප්‍රමිතියෙන් ලබාදීමට අනිවාර්යයෙන්ම පියවර ගත යුතුයි.

රම්‍යා හෝල්ඩින්ස් හි මානව සම්පත් කළමනාකරු ඉන්දික කාරියකරවන මහතා

ඉහළ සමාජ සුබසාධනයක් සහිතව කර්මාන්තශාලා පවත්වාගෙන යාමට අප පියවරගෙන ඇතැයි කීය. අපේ කර්මාන්තශාලාවල නිෂ්පාදන ‍ලෝකයේ ඉහළම වෙළෙඳපොළ වෙතයි යොමු කරන්නේ. ඉදිරියේදී අපේ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක පිරිසගේ පුංචි දරු පැටව් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භකොට සේවා ලබාදීමට සභාපතිනිය තීරණයකොට තිබෙනවා.

කුරුණෑගල, වැල්ලවාය සිට පැමිණි නුපුහුණු සේවිකාවක ලෙස සේවය ආරම්භකොට මේ වනවිට සුපරීක්ෂණ නිලය දක්වා ඉදිරියට ආ අනෝමා අයිරාංගනී මහත්මිය සිය රැකියාවෙන් උපරිම තෘප්තියක් හා හොඳ ආදායමක් ලබා ගන්නා බව කීවා ය. ඇය මේ වනවිට තමන්ට කියා ඉඩමක් මිලදීගෙන නිවසක් තනා සාර්ථක යුග දිවියක් ගත කරන බව කීවාය.

මේ අන්දමට දිරියෙන් ඉදිරියට ආ තරුණ තරුණියන්ට අනාගතයේදී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ විධායක කළමනාකරණ මට්ටමට පවා යා හැකි වටාපිටාවක්, පරිසරයක් නිර්මාණය වී තිබේ. එය කොතරම් භාග්‍යයක්ද! ඒ නිසා මේ අංශයට දිරිමත් තරුණ පිරිස් යොමු කිරීම වටිනා වැඩකි.

(දිනමිණ)

Business News

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website