Thursday, 14 February 2019 12:08

නවෝත්පාදනය සඳහා තරුණ සහභාගිත්වය වඩා වැදගත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

නවෝත්පාදනය කෙරෙහි සමාජයේ අවධානය වැඩි වී ඇති බවත් ඒ අතරින් සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇති තරුණ ප්‍රජාවගේ සහභාගිත්වය අගය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (13) කොළඹ ගාලු ‍මුවදොර හෝටලයේ දී සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය නිල වශයෙන් එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන එක්ව පිහිටුවා ගත් සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය මෙහිදී නිල වශයෙන් එළි දක්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පළමු නවෝත්පාදන පර්යේෂණාගාරය වන සිට්‍රා මගින් ආයතන සවිබල ගැන්වීම, රාජ්‍ය අංශයේ හැකියාවන් වර්ධනය කිරීම, සැලසුම් චින්තනයන්, භාවිතා කරන්නන් ගේ ප්‍රයානයන් සිතියම් ගත කිරීමේ අභ්‍යාසයන් මෙන්ම මානව කේන්ද්‍රීය සැලසුම් ප්‍රවේශයන් සහ වෙනත් සුවිශේෂි දූරදර්ශී සහ නවෝත්පාදන මෙයලම් මගින් රාජ්‍ය අංශයේ සේවා සැපයුම නැවත සකස් කිරීම සිදු කරනු ඇත. නවෝත්පාදන විද්‍යාගාරය ජාතික සංවර්ධන ප්‍රමුඛතාවයන් හා සමගාමිව ක්‍රියාත්මක වන අතර සංවර්ධන විසඳුම් සම්පාදනය කිරීමේ දී වැඩි පුරවැසි සහභාගිත්වයක් සහ බැඳීමක් ඇති කිරීමට කටයුතු කරනු ඇත.

නවෝත්පාදන පර්යේෂණාගාරයෙන් රාජ්‍ය අංශයට ලැබෙන අමතර වටිනාකම් පිළිබඳව සඳහන් කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මම මුළින්ම ඔබ සමඟ 2016 දී එක් වුණා. අද මම සහභාගි වන්නේ ප්‍රතිඵල දැක ගැනීමටයි. වසරක් තුළ ලද ඔබ කටයුතු කළ යුතු ආකාරය සහ ප්‍රගතිය දැක ගැනීමයි. විශේෂයෙන් සමාජ නවෝත්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ඔබ අමාත්‍යාංශ සමඟ අත්වැල් බැඳ ගෙන සිටිනවා. මේ වන විට නවෝත්පාදනය කෙරෙහි සමාජයේ අවධානය වැඩි වී තිබෙනවා. ඒ අතරින් සමාජයට වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇති තරුණ ප්‍රජාවගේ සහභාගිත්වය විශේෂයි. අවසානයේ අප ලබා ගත් ජයග්‍රහණයයි ඒ.

මේ පරිච්ඡේදය තුළ රජය සිදු කරන කටයුතු සඳහා අප රාමුවක් සකස් කළ යුතුයි. පසුගිය වසර පහ තුළ අපේ රටේ රජයේ ආකෘතිය නැවත ස්ථාපිත කිරීම සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ස්ථාපිත කළා. මූළික වශයෙන් ණය නැවත ගෙවීම පිළිබඳවත් ප්‍රධාන යටිතල පහසුකම් ස්ථාපනය පිළිබඳවත් අවධානය යොමු කරනු ලැබුවා.

මේ අතර අපේ අවධානය යොමු විය යුත්තේ අප කෙසේද ඉදිරියට යන්නේ සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න පිළිබඳවයි. එහිදී අප ආරම්භ කරන්නේ කෙසේද හා ශක්‍යතාව පිළිබඳව ද පහසුකම් පිළිබඳවද අවධානය යොමු කළා. අධ්‍යාපනය සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීම මේ ක්‍රියාදාමය තුළ සිදු කරනු ලැබුවා. මේ සඳහා 300,000 කට අධික මූලික පරිගණක පුහුණුව සහිත පුද්ගලයින් අවශ්‍ය වෙනවා . අප විශාවාස කරනවා මේ තුළ නවෝත්පාදන විශාල ලෙස ඇති බව. මෙම සියලු නවෝත්පාදන සමඟ විවිධ ක්ෂේත්‍රයන් හි නව අදහස් අපට අවශ්‍යයයි.

මූලික වශයෙන් දිස්ත්‍රික් මට්ටමේ දී මධ්‍යම ආණ්ඩු පරිපාලනය ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කෙරෙනවා. අප කෙසේද ක්‍රියා කරන්නේ? සමහර අවස්ථාවට අප සතු ප්‍රමාණයට වඩා සිදු කිරීමට තිබෙනවා. ගම්පෙරළිය, ග්‍රාම ශක්ති ආදි බිම් මට්ටමේ වැඩසටහන් දෙස නිකමට බැලුවොත් පාලනය කළ හැකි විශාල ගැටලු තිබෙනවා. මේ එක් ගැටලුවක් පමණයි. මීළඟ කරුණ තමයි අන්තර් ක්‍රියාකාරිත්වය. මෙහිදී පුරවැසියන්ට මූලික මට්ටමේදී රජය හා සම්බන්ධ වීමට අවස්ථාව තිබේද කියන කාරණය.

දිගු කාලයකට පෙර මුලික පරිපාලනය තමයි ගැටලුව වුණේ. හැට ගණන් වලදී එය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක උනේ. අසූවේ මුල් භාගයේ දී එය ප්‍රාදේශීය වුණා. එවකට ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශිකය වඩාත් කාර්මික කලාපය වුණා. අද අප තව තවත් සංකීර්ණ වී තිබෙනවා. අද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තවත් උප සිරැසි යටතට යොමු වෙනවා. මේ තමයි අද තත්ත්වය. මේ ක්‍රමය යල් පැන ගිය ක්‍රමයක් ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ප්‍රාදේශීය ආකෘතියේ දී අප මුහුණ පාන දේ තිබෙනවා. ඒ අනුව අප එය ගැලපෙන පරිදි සකසා ගන්නේ කෙසේද? මේ තමයි අපට ඇති අභියෝග. අප බලන්නේ 2020 හෝ 2030 දෙසයි. මෙය ප්‍රමාණවත් ද? අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන කටයුතු වලදී මෙන් නොවෙයි

ප්‍රදේශීය මට්ටමින් කටයුතු සිදු කෙරෙද්දී තත්ත්වය වෙනස් වෙනවා‍‍. සමහර විට ඔවුන්ට දරන්නට බැරි තරම් වැඩ කොටසක් කිරීමට සිදු වී තිබෙනවා. ඇත්තටම මෙහිදී තරුණ ප්‍රජාවගේ මැදිහත් වීම දක්නට ලැබෙනවා. අපගේ "ගමට කෝටියක්"වැඩසටහනේ ඔවුන් ගේ සහභාගිත්වය දකින්න පුලුවන්‍. ඇත්තටම එය විශිෂඨ වැඩසටහනක් බව කිව හැකියි.

එසේ නම් අපි බලමු මෙම රාමුව නැවත සකස් කළ යුත්තේ කෙසේද කියලා. මෙම ප්‍රදේශීය මට්ටමේ ගැටළු විසඳීමේ මාර්ගය එය බව විශ්වාස කරනවා. එය ප්‍රධාන වගකීමක් ලෙස මම විශ්වාස කරනවා."

මෙහිදී අදහස් දැක් වූ විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා,

" රජයේ සිට්‍රා නවෝත්පාදන විද්‍යාගාරය අප අමාත්‍යාංශය තුළ පිහිටුවීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මෙම පර්යේෂණාගාරය මගින් සිදු කරනු ලබන කටයුතු අප රටට ඒකාන්ත වටිනාකමක් ලබා දෙනු ඇත. අපේ රටේ අවශ්‍යතාවන්ට ඵලදායී විසඳුම් ලබා දීම සහතික කිරීම සඳහා සිට්‍රා විද්‍යාගාරයට අපගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට අමාත්‍යාංශය වෙනුවෙන් අපි සැදී පැහැදී සිටින බව මම මෙහිදී ප්‍රකාශ කරනවා "යැයි පැවැසීය.

එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෝන් සොරෙන්සන් මහතා අදහස් දක්වමින්,

"සිට්‍රා ගමන් මගෙහි එක් කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ පළමු සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය ඇරඹීම සඳහා 2016 දී සරල අදහසක් ලෙස ආරම්භ කළ මෙම වැඩසටහන එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනෙහි අපට සැබෑ ජයග්‍රාහී අත්දැකීමක්. මේ අවස්ථාවේ දී අපගේ සියලුම හවුල්කරුවන්ට විශේෂයෙන්, ශ්‍රී ලංකා රජයට මෙම ගමනේ දී අප සමග එක්ව සිටීම පිළිබඳව මගේ ස්තූතිය පුද කළ යුතුයි. තිරසර හෙට දවසක් පිළිබඳ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා එකතු වී අපට බොහෝ දේ සිදු කිරීමට හැකි වන පරිදි මේ සඳහා අපගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට අප සහතික වෙනවා" යැයි කීය.

මෙම අවස්ථාවට රජයේ අමාත්‍යවරු, රාජ්‍ය නිලධාරීන්, රාජතාන්ත්‍රික නිලධාරීන්, එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපයේ නවෝත්පාදන ප්‍රධානීන් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියහ.

සිය පලමු වසරේ දී සිදු කළ කටයුතු සහ ගොඩ නගා ගත් හවුල් ව්‍යාපෘතීන් පිළිබඳ තොරතුරු ඇතුළත් සිට්‍රා විද්‍යාගාරයේ පළමු වාර්ෂික වාර්තාව" අපගේ පළමු වසර ගැන සමාලෝචනයක්" නමින් මෙහිදී එළි දැක්වනු ලැබීය.

(දිනමිණ)

Business News

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website