Thursday, 14 February 2019 12:09

KFC ආපදාවෙන් ගොඩ එයි

ලොව ජනප්‍රියත ම සන්නාමයක් වන KFC සමාගමට මෑතකදී දැවැන්ත අභියෝගයකට මුහුණදීමට සිදුවිය. එනම් ඔවුන්ගේ කුකුළු මස් සම්පාදනයේ සිදුවූ අතපසුවීමක් හේතුවෙන් කුකුළු මස් හිඟයක් ඇතිවී එක්සත් රාජධානියේ 600කට අධික KFC ආපනශාලා ප්‍රමාණයක් වසා දැමීමට සිදුවීමය.

තත්ත්වය ආපදා තත්ත්වයක් බවට වර්ධනය වූයේ මේ හේතුවෙන් උරණ වූ පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳ නොසතුට පළ කරමින් ශීඝ්‍රයෙන් ප්‍රතිචාර දැක්වීමට ආරම්භ වීමත් සමගය. පොලිස් ස්ථාන රැසකට ද මේ පිළිබඳ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ගලා එන්නට පටන් ගත්තෙන් තත්ත්වය තවත් දරුණු අතට හැරිණි.

KFC කණ්ඩායම මෙම ආපදා කළමනාකරණ ව්‍යාපෘතිය බාරගත් මහජන සබඳතා ආයතනය මේ සඳහා අපූරු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. ඔවුන් KFC යන අකුරු තුන, ආපදා තත්ත්වයකදී අගවන හැඟීමක ස්වරූපයක් ගැනීම සඳහා FCK ලෙස වෙනස් කළේය. අනතුරුව සම්පූර්ණ පිටුවක දැන්වීම බැගින් ඔවුන් පළ කළ අතර දැන්වීම ආරම්භ කළේ "අපට සමා වන්න" යන මාතෘකාවෙනි. එහි මෙසේද සඳහන් විය.

"කුකුළු මස් නැති ආපනශාලාවක් යනු ගැලපෙන දෙයක් නොවේ. අපගේ පාරිභෝගික ජනතාවට අපගේ අවංක කනගාටුව පළ කර සිටින අතර දුරු කතර ගෙවා අපගේ වසා දැමූ ආපනශාලා වෙත පැමිණි පාරිභෝගිකයන්ගෙන් අපි විශේෂයෙන් සමාව අයදිමු. මෙම තත්ත්වය කඩිනමින් සමනය කිරීම සඳහා දිවා-රෑ වෙහෙසී කැපවන අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ට ද, සම්පාදකයන්ට ද අපගේ හෘදයංගම ස්තූතිය පිරිනමමු. පසුගිය සතිය අපට අතිශය අසීරු සතියක් වුවත් දිනෙන් දින නැවුම් කුකුළු මස් අපගේ ආපනශාලා වෙත ළඟා වෙමින් පවතී. ඔබගේ ඉවසීමට අපගේ ස්තූතිය!"

KFC සන්නාමයේ ඇතිවී ඇති හාස්‍යජනක වෙනස මෙන්ම වෙළඳ දැන්වීමේ ඇති ළෙන්ගතු බව ද ලොව පුරා පාරිභෝගිකයන්ගේ මෙන්ම මහජන සබඳතා විශේෂඥයන්ගේ ද නොමඳ පැසසුමට ලක්විය. සැපයුම්කරුවන්ට හෝ මේ සඳහා දැඩි ප්‍රචාරයක් ලබාදුන් මාධ්‍ය වල‍ට හෝ දොස් පැවරීමෙන් තොරව, හාස්‍යය සහ නිහතමානී බව තුළින් සාර්ථකව ආපදා තත්ත්වයක් සමනය කළ ඓතිහාසික සන්නිවේදන ව්‍යාපෘතියක් ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

(දිනමිණ)

Business News

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website