Thursday, 13 June 2019 09:15

සීනි නැති බීමවලට ජනතා කැමත්තක් නැහැ. එලිෆන්ට් හවුස් සීනි රහිත සිසිල්බීම කාණ්ඩයෙන් ඉවත්වෙයි

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ එලිෆන්ට් හවුස් සන්නාමය යටතේ එළිදකින සීනි රහිත සිසිල් බීම නිෂ්පාදිත සඳහා පාරිභෝගික උනන්දුව ඉතා පහළ මට්ටමක පවතින හෙයින් එකී නිෂ්පාදන කාණ්ඩයෙන් ඉවත්වීමට සමාගම තීරණය කර තිබේ.

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා 2018/19 සමාගමේ වාර්ෂික වාර්තාව තුළින් සිය කොටස්කරුවන් අමතමින් මේ බව අනාවරණය කර සිටී.

එලිෆන්ට් හවුස් විසින් සිය ජනප්‍රියතම සිසිල් බීම වර්ග රැසක් “Go Sugar Free” තේමාව යටතේ සීනි රහිතව වෙළෙඳපොළට හඳුන්වා දීමට පසුගිය 2018 වසරේ දී පියවර ගනු ලැබීය. ඒ අනුව එලිෆන්ට් හවුස් හි ක්‍රීම් සෝඩා, EGB, නෙක්ටෝ හා ඔරෙන්ජ් ක්‍රෂ් යන සිසිල් බීම වර්ග සීනි රහිත පානයන් ලෙසින් හඳුන්වා දෙන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සභාපතිවරයා පවසන්නේ මෙම සිසිල් බීම කාණ්ඩය සඳහා පැවති පාරිභෝගික ඉල්ලුම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

මේ අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ ‘පාන කාණ්ඩය‘ 2018 වසරේ දී 25% ක පහළ යාමක් වාර්තා කර ඇති අතර සිසිල් බීම සඳහා හඳුන්වා දෙන ලද සීනි බද්ද හේතුවෙන් මිල ඉහළ යාම මීට ප්‍රධානතම හේතුව ලෙසින් සමාගම පෙන්වා දේ. 2019 අයවැය යෝජනාවලට අනුව සීනි බදු සංශෝධනය සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති පියවර කර්මාන්තය විසින් පිළිගනු ලබන අතර ඒ හරහා සිසිල් බීම මිල පහළට ගෙන එමින් ව්‍යාපාරය ඉදිරියට යාමට අවස්ථාව ලැබී ඇති බවද ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

(අද දෙරණ)

Business News

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website