Wednesday, 18 September 2019 07:14

ලොවට ගැලපෙන මෘදුකාංග හදන අපේ ව්‍යවසායකයා

අප මහත් හරසරින් සම්භාවනාවට ලක්කරන බහුජාතික ව්‍යවසායකයින් අතර බිල්ගේට්ස් ප්‍රමුඛ වන්නේ 1975 වන විට ඔහු ලොව විශාලතම මෘදුකාංග සමාගම ගොඩනැගීම නිසාවෙනි. බිල්ගේට්ස් තම පළමු පරිගණක වැඩසටහන නිර්මාණය කළේ 8 ශ්‍රේණියේ සිසුවකුව සිටියදී පාසල් පරිගණක ව්‍යාපෘතියකට අනුවයි. නිර්මාණශීලී මෙන්ම නිතර තනිව කල්පනික ලෝකයක හුදකලාව ගතකරන ළමා ‘බිල් ගේට්ස්’ට අවැසි තාක්ෂණික මඟ පෙන්වීම උත්තේජනය පාසලෙන් ලැබී තිබුණි.

මේ කතාව එවන් පසුබිමක් හෝ එවන් පහසුකම් හෝ මගපෙන්වීම් නොමැතිව වුව පරිගණක මෘදුකාංග මෙරට නිෂ්පාදනය කරමින් දෙස් විදෙස් වෙළෙඳපොළ ජයගැනීමට ප්‍රයත්න දරන අප්‍රතිහත ධෛර්යයකින් යුතු අපේ ව්‍යවසායකයෙකු පිළිබඳවයි. SOMRO BPO SERVICES (PVT) LTD හි සභාපතිවරයා වන ඔහු සනත් ද සිල්වායි.

• ඔබ පරිගණක මෘදුකාංග නිෂ්පාදනයට පෙලඹුනේ කෙලෙස ද?

මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. නමුත් මට පළමු රැකියාව ලැබුණේ B.R THE SILVA @ company විගණන ආයතනයේයි. ඊට හේතුව 1978 දී පමණ වනවිට මෙරට රැකියා වෙළෙඳපොළෙහි පැවති තත්ත්වයයි. ඊට පසු මා 1984 වර්ෂයේදී BAM GROUP OF COMPANIES හී සේවයට එක් වුණා. මුලින්ම පරිගණකයකින් වැඩ කිරීම ඇරඹුවේ එහිදී යි. එහිදී පරිගණකය ඇසුරින් ලද අත්දැකීම් පරිගණක වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ මා තුළ පෙලඹවීමක් ඇති කිරීමට සමත්වුණා. මේ ආගන්තුක විෂය මා තුළ පැවති ගණිතමය දැනුමත් සමඟ නිතර සම්බන්ධවීම නිසා මට සිතුනා. ලෝකයේ කොතැනක හෝ කවුරුන් හෝ පරිගණක වැඩසටහන් නිපදවනවානම් අපිටත් එය කළහැකියි කියා. ඒ අනුව මේ පිළිබඳ දැනුම සොයා ගියා. ඒ අනුව 1984 දී වගේම 1991දී ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ මේ පිළිබඳව පුහුණුවීම් ලබා ගැනීමට සමත් වුණා. මගේ අධිෂ්ඨානය වුණේ පරිගණක වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව උපාධි ලබමින් විශ්වවිද්‍යාලයෙන් පිටවන මෙරට පරිගණක ඉන්ජිනේරුවන් ලවා ලෝකයටම ගැළපෙන අන්දමේ පරිගණක මෘදුකාංග මෙරට නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා දැනුම පමණක් නොවෙයි විශාල ප්‍රාග්ධනයකුත් අවශ්‍ය වුණා. නමුත් මගේ දැඩි කැපවීම මෙන්ම නොපසුබට උත්සාහය, මෙය මම කරනවා, මට කළ හැකියි යන අධිෂ්ඨානය නිසාම 1991දී මෘදුකාංග සඳහා නිෂ්පාදන සමාගමට මුල් පියවර තැබුවා.

• ඔබ මුලින්ම නිෂ්පාදනය කළේ කුමන ආකාරයේ මෘදුකාංග ද?

මුල් කාලයේ සිටම මගේ උත්සාහය වුණේ ආයතන කළමනාකරණයට අවශ්‍ය මෘදුකාංග නිෂ්පාදනය කිරීමයි. මුලින්ම නිෂ්පාදනය කළේ ගිණුම් තැබීම, විගණනය, කාල කළමනාකරණය සරල කරන මෘදුකාංග වසර 35ක් පුරා වෙනස්වන තාක්ෂණික තත්ත්වයන්ට මුහුණ දෙමින් මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. ඒ නිසාම ශ්‍රී ලාංකික පරිගණක නිෂ්පාදන එළිදක්වන අතරේ අපගේ ඉන්ජිනේරුවන්ට වැඩ කිරීමේ අවස්ථාවන් මම ලබාදී තිබෙනවා. අපේ පරිගණක ඉංජිනේරුවරු බොහෝ දෙනෙක් ලංකාවේ රැ‍ඳෙන්නේ නෑ. බොහෝ දෙනෙක් උත්සාහ ගන්නේ ඔවුනගේ වෘත්තීයට වටිනාකමක් ලැබෙන අන්දමේ රටකට ප්‍රවේශ වීමටයි. අපේ රටේදී බොහෝවිට පරිගණක ඉංජිනේරුවන්ට හිමි වන්නේ වෙනත් රටක සකස්කරන ලද පරිගණක මෘදුකාංග නඩත්තු කිරීම හෝ වැඩි දියුණු කිරීම පිළිබඳ කටයුතුයි. වසර 35ක් පුරා මට තිබෙන අත්දැකීම වෙන්නේ රැකියා අවස්ථාත් ලබාදුන්නත්, බොහෝ දෙනෙක් පුහුණුවීමෙන් අනතුරුව සහතිකයක් ලබාගෙන විදෙස් ගතවීමටයි. උත්සුක වෙන්නේ. ඊට හේතුව ඔවුන්ගේ වෘත්තිය භාවය පිළිබඳ පවතින අවිනිෂ්චිත බවයි. මෙරට නිෂ්පාදනය කරන මෘදුකාංග පිටරටින් පැමිණෙන මෘදුකාංගවලට සමාන උසස් තාක්ෂණයෙන් යුතු වුවත් බොහෝ දෙනකුගේ පුරුද්ද බවට පත්වී තිබෙන්නේ පිටරට දේ මිලට ගැනීමයි.

මෘදුකාංග නිෂ්පාදනයට අමතරව එම මෘදුකාංග හා COLD තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවලට හා ලංකාවේ ආයතක ගණනාවකට පරිපාලන හා ගිණුම් කටයුතු මගේ ආයතනය මඟින් කර දෙනවා. එය හඳුන්වන්නේ BUSINESS PROCESS MANAGEMENT(BPM) නම්න්. හොංකොං , එංගලන්තය,තුර්කිය, වැනි ර‍ටවල පිහිට් ප්‍රමුඛ පෙළේ ආයතන වලට අප ආයතනය මෙම සේවාව දැනටමත් ලබාදෙනවා.

• තොරතුරු තාක්ෂණික ව්‍යවසායකත්ව සම්බන්ධයෙන් රජයේ සහාය පිළිබඳව සෑහීමකට පත්වෙනවා ද?

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් වැඩිදියුණු කිරීම සඳහා රජයේ විශේෂ වැඩපිළිවෙළක් තිබෙනවා. එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජය ඉසුර ණය යෝජනා ක්‍රමය අපි වගේ ව්‍යවසායකයින්ට විශාල අවස්ථාවක් ලබාදෙනවා. මමත් දැඩි පරිශ්‍රමයක් ‍යොදලා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 25ක ණයක් ලබාගත්තා. ඒ ණය ගත්තේ වසර 35ක් පුරාම මම අපේක්ෂා කළ ආකාරයේ පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීම සඳහායි.

මෙවැනි ණයක් ලබාදෙමින් ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ සැබවින්ම විශිෂ්ටයි. මහා පරිමාණයෙන් මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාර කරන අය සිටිනවා. නමුත් මෙවැනි ව්‍යාපෘති තුළින් අපි වගේ අය 100ක් 200ක් හදන්න පුළුවන්.

මේ වනවිට මට වයස අවුරුදු 65ක්. මේ වයසේදී මගේ ව්‍යාපාර ස්ථානය වගේම නිවස ඇපයට තබා මම මෙලෙස ණයවීම ඇත්තෙන්ම අභියෝගයක්. 6.75% පොලියට ලබාදෙන මෙම ණය මුදල අරගෙන මම මේ වනවිට ලංකාවේ සමාගම්වලට ගැළපෙන අන්දමේ නිෂ්පාදන 4ක් එළිදක්වා තිබෙනවා. ඒවා නම්, Finance Management System, Fixed Asset Register With Asset Maintenance Management,and (3) Human Resource Management and Payroll System, (4) Process Management System. මෙවැනි වැඩසටහන් විදෙස් සමාගම්වලින් ගන්න පුරුදුවෙලා ඉන්න අපේ සමාගම්වලින් මම ඉල්ලීම් කරනවා අපේ දේ අරගෙන මේ කර්මාන්තය රටතුළ දියුණුවීමට සහාය වෙන්න කියලා.

පිටරටින් ගෙන්වන පරිගණක මෘදුකාංග වලට රුපියල් ලක්ෂ සියගණනක් වැයවෙවා.නමුත් අපගේ SOMRO ආයතනයේ ඉතාමත් අඩු මුදලකට ශ්‍රී ලංකාවේ පරිගණක ඉන්ජිනේරුවන් යොදාගෙන නිර්මාණ කරණලද පරිගණක මෘදුකාංග මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.මේවා තත්වයෙන් ඉතාමත් ඉහළයි.ඒ වගේම මාස 24න් පහසු ගෙවීමේ ක්‍රමයකුත් අප විසින් හඳුන්වාදී ‍තිබෙනවා.වැදගත්ම කරුණ වන්නේ අලෙවියෙන් පසු ඉතා කඩිනම්න් අවශ්‍ය සේවාව හා යාවත් කාලීන කිරීම් සිදුකිරීමයි. මෙම මෘදුකාංග මිලදී ගැනීමේදී කුඩා පරිමාණ ව්‍යාපාරයක් සඳහා අයකරනු ලබන්නේ රුපියල් ලක්ෂ හතරක මුදලක්, මධ්‍යම පරිමාණයේනම් ලක්ෂ 8ක් වෙනවා. විශාල පරිමාණයේ ව්‍යාපාර සඳහා මෙහි මිල රුපියල් මිලයන දෙකක් වෙනවා.

• තරගකාරී සමාගම් වැඩි මිලකට මෙම නිෂ්පාදන ලබා දෙනවිට ඔබට මෙය අඩු මුදලකට ලබාදිය හැකිද?

මට වුවමනා පොඩි ලාභය ලබමින් වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් අලෙවි කිරීමටයි. ඒ ‍වගේම මම ලබාගත් ණය මුදල පියවීමට තරම් ආදායමක් පමණයි මම අපේක්ෂා කරන්නේ. මගේ ව්‍යාපාරයේ අනුප්‍රාප්තිකයා වන්නේ මගේ දියණිය නිශාක්‍යා ද සිල්වා, ඇය මේ ක්ෂේත්‍රයේ දැනුම අත්දැකීම් ලබාගෙන තිබෙනවා. මට වුවමනා ණයක් නැති ව්‍යාපාරයක් ලෙස ඇයට මෙය අනාගතයේ භාරදීමටයි. රාජ්‍ය අංශයෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන් මම ඉල්ලන්නේ විදේශීය නිෂ්පාදන ගෙන්වීමට පෙර අපගේ නිෂ්පාදනවල පවතින තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. ලොව භාවිත වන උසස්ම තාක්ෂණය, කාර්යක්ෂම බව මෙන්ම නිවැරදි බව අප මැනවින් තහවුරු කර තිබෙන බව මම පවසන්නේ විශ්වාසයෙන් යුතුවයි.

එසේම මෙම ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීමට යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් කැමැති නම් මා එය අනගි අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරනවා.

(dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website