සදුදා, 06 අප්‍රේල් 2020 10:26

බෝංචි කිලෝව රු. 15ටත් දීගන්න බෑ. ජනතාවට එළවලු නෑ - ගොවීන්ට යන එන මං නෑ !

ඊයේ (05) දිනයේදී බණ්ඩාරවෙල තොග පොලට සහ කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවලු අස්වනු විකුණාගත නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින ආකාරය දැක ගැනීමට ලැබිණි.

මෙම එළවලු රටපුරා ප්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා වෙළඳුන් අඩුවෙන් පැමිණීම හේතුවෙන් ගොවීන්ට මෙසේ යන එන මං නැති තත්වයක් උදා වී තිබේ.

මාස ගණනක් ගොවිතැන් කිරීමෙන් ඔවුන් ලබාගත් මේ අස්වැන්න යනු ඊළඟ මාස කිහිපයේදී ඔවුන්ගේ යැපීම සරිකර ගැනීමටත් ඊළඟ කන්නයේ වගාව සඳහා අවශ්‍ය දෑ මිලදී ගැනීමටත් ලැබෙන එකම ආදායමයි. සාමාන්‍යයෙන් අවුරුදු සමය වනවිට එළවලු මිල ඉහළ යන නිසා ගොවීන් ද එම කාලයට වැඩියෙන් අස්වනු නෙළාගැනීමට විශාල පරිමාණයෙන් වගාකරති. එම අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම යනු අතිශයින් බරපතළ ඛේදවාචකයකි. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ද මේ වනවිට වසා දමා තිබෙන්නේ එළවලු විකුණාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නය මතුවූ නිසාය.

අනෙක් අතට මේ නිසා දිවයින පුරා සිටින ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට එළවලු නොලැබෙන හෙයින් එළවලු හිඟයක් මතුවේ. ඒ විසින් එළවලු මිල අතිශයින් ඉහළ නංවනු ඇති. බණ්ඩාරවෙලදී රුපියල් 15ටත් නොවිකිණෙන බෝංචි කිලෝව කොළඹ ජනතාවට මිලදී ගැනීමට සිදුවනු ඇති ඇත්තේ රුපියල් 250ක පමණ මිලකටය.

එහෙයින් රජය වහාම මැදිහත් වී ඇඳිරි නීති බලපත්‍ර සහ ලොරි රථ සපයා මේ එළවලු දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කළ යුතුව තිබේ. එසේ වුවහොත් පමණක් ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම රැකෙනු ඇති.

(LNW)

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website