Entertainment News

ලක් ජන හදවත් ගීතයෙන් මුසපත් කළ අමරණීය හඬක හිමිකාරිණිය වූ මහාචාර්ය අමරා රණතුංගයන් ඊයේ (15) අභාවප‍්‍රාප්ත වූවාය.

ශ‍්‍රී ලංකාවේ පළමු සංගීත මහාචාර්යවරිය වූ අමරා රණතුංග මහත්මිය මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය.

දෝන අමරා කස්තුරිආරච්චි නමින් 1939 වසරේ අගෝස්තු මස 22 වන දින හංවැල්ලේ දී උපත ලැබූ ඇගේ පියා දොන් වියෝලිස් කස්තුරිආරච්චි මහතාය. ඔහු හංවැල්ල ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා යි.

දෝන ඇල්පිනෝනා මීගහපොල මහත්මිය ඇයගේ මවයි. ඔවුන්ගේ පවුල සංගීතලෝලී පවුලක් වූ අතර එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා වූයේ අමරා කස්තුරිආරච්චි දියණියයි.

ඇයට රජයේ සංගීත විද්‍යාලයේ ආරම්භක සිසුවියක් ලෙසින් විශේෂයෙන්, අවුරුදු 12 තරම් කුඩා වයසකදී එහි බාහිර සිසුවියක ලෙස ඊට සහභාගි වීමට ඇයට අවස්ථාව උදාවී ඇත්තේ ද එවක පටන් ඇය සතුවූ සුවිශේෂී සංගීත කුසලතාව හේතුවෙනි.

ඉන් පසුව ඇය ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට ඇතුළත් වී  වැඩිදුර සංගීතය හදාරා ඇත.

කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරියක්, මහාචාර්යවරියක් ලෙස කටයුතු කළ ඈ ගුරුවරියක ද වූවාය.

අමරා රණතුංග මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථිර ආචාර්යවරියක් ලෙස එක් වූයේ 1964දීය. කලක් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රීය සංගීතය පිළිබඳ ආචාර්යවරියක ලෙස ද කටයුතු කළ ඇය එහි සිටිමින් ලංකාවේ ජන ගී, ශාන්තිකර්ම පිළිබඳව බටහිර ජාතිකයින් දැනුවත් කළාය.

ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ඇය යළිත් කැලණි විශ්ව විද්‍යාලයේ අංශ ප‍්‍රධානි තනතුරක්ද ලබමින් ලංකාවේ මුල්ම මහාචාර්යවරිය ලෙස පත්වීමක් ලැබුවාය. ඒ 1995දීය. කාන්තාවකට මහාචාර්ය තනතුරක් ලැබීමට හැකියාවක් නැති බවට සරසවි ක්ෂේත්‍රයේ ගොඩනැගී තිබූ ආකල්ප තමා කඩා බිඳ දැමූ බව එවක ඇය ප‍්‍රකාශ කළාය.

ඇය සමඟ සරසවියේ ස්ථිර පත්වීම් ලද අය අතර පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන් හා ශාන්ති ගීතදේවද වූහ. කැලණිය විශ්වවිද්‍යාලයට ගායන අංශයක් ආරම්භ වූයේද මහාචාර්ය අමරා රණතුංගයන්ගේ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. 

දයාරත්න - අමරා යුවළ සංගීත ක්ෂේත‍්‍රයට පිවිසියේ ගුවන්විදුලියේ ළමා පිටියෙනි. එවක අමරා කස්තුරිආරච්චි වූ ඈ ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග සමඟ මීට පස් වසකට ඉහතදී විවාහ වූ  ඉන් අනතුරුව අමරා රණතුංග වූවාය. ඇය තිදරු මවකි.

අමරා - දයාරත්න යුවළ එක්ව ගැයූ ගීත මෙන්ම ඔවුන් කේවල වශයෙන් ගායනා කළ ගීත කිහිපයක්ම ජනප‍්‍රියත්වයට පත්ව තිබේ.

‘සපුමල් සුවඳක් සේ’ , ‘සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ’, ‘එක කිරුළක්’, ‘මහ රෑ යාමේ’, ‘රාධා ක‍්‍රිෂ්ණා’, ‘ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ’, සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන’, ‘පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා’, ‘පේ‍්‍රම කතාවක චරිත දෙකක් අපි’ ආදී ගීත ඒ අතර වේ. 

දයාරත්න අමරා යුවළගේ පුතුන් දෙදෙනා පුලස්ත ඉන්දික, නන්දිත සාරද සහ දියණිය කුමුද්මතී  දීපශිකාද, ලේලිය සධානා රණතුංගද සංගීතයට නැඹුරුවූවෝය.

ඒ සියල්ලෝ සංගීත විශාරදවරු වෙති. ඔවුන්ගේ මුණුබුරන් දෙදෙනා වනඔසද චමිත් සහ සහිෂ අරුන් ද ගී ගයති.මහාචාර්ය අමරා රණතුංග ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කර ඇති මෙහෙවර අනුපමේය වේ.

‘මහ රෑ යාමේ

මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන 
ආවෙමි අඳුරෙම ඔබව සොයා....’ කියන්නට ඇය යළිත් නොපැමිණෙනු ඇත.

‘දිවි ගංගාවේ 

ඔරුවයි හබලයි 
වාගේ නැළවෙමු සුවය පතා’ කියන්නට දයාරත්න රණතුංගයන්ට සිටි ආදරවන්තිය  අද ඔහු තනිකර යන්නට ගොසිනි.

 ‘ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා....

කියන්නට තවත් භවයකදී ඔහුට ඇය හමුවනු ඇත. ඒ භවයේදීත් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් මෙන්ම ලෝක සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් විසල් මෙහෙවරක් කරන්නට ඔවුන්ට හැකිවේවා යන්න අපේ පැතුමයි. 

අභාවප‍්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා (18) සිදු කිරීමට නියමිතය.

මහාචාර්ය අමරා රණතුංගයනි,

ඔබට සුබ ගමන් !

(ලංකාදීප)

වෛද්‍යවරියක්ව සිටි ඔබට ලෝක රැජනක් වීමේ වරම හිමිවුණා නේද?

ඔව්. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති රටවල් 97ක රූප රැජනන් අභිභවා මගේ රට වෙනුවෙන් Miss British Empire 2018 කිරුළ දිනා ගැනීමට මට හැකි වුණා.

ජයග්‍රහණයේ කිරුළ පැලඳගෙන විහාරයකට ගියා කියලා මේ දවස්වල ඔබ කතා බහට ලක්වෙන චරිතයක් වෙලා නේද?

මීගමුව, කටාන ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා වැඩ සිටින ආරාමයක් තියෙනවා. එහි දහම් පාසලක් සහ පිපෙන කුසුම් කියලා පෙර පාසලකුත් තියෙනවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම ගොඩක් උදවු කරනවා. ඒ දරුවන්ගේ මවුපියෝ මම ලබාගත්ත ජයග්‍රහණය වෙනුවෙන් මාව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒගොල්ලෝ කිව්වා කිරුළත් සමඟ මාව බලන්න ආසයි කියලා.

ඒ නිසා මම ඔවුන් සතුටු කරන්න කිරුළත් පැලඳගෙන ඔවුන් වෙත ගියා. ඒ ස්ථානය මට නුහුරු තැනක් නෙවෙයි.

කිරුළත් පැලඳගෙන පූජා භූමියකට යෑම නුසුදුසුයි කියලා හිතුණේ නැද්ද?

මම කිරුල ගලවලා තමයි යන්න හැදුවේ. නමුත් ප්‍රධාන මෙහෙණින් වහන්සේ කිව්වා මේක හිස්වැස්මක් හෝ ඔටුන්නක් නෙවෙයි, ආභරණයක් පමණයි. ඒ නිසා එය ගැලවීම අවශ්‍ය නැහැ කියලා. ඇතැම් අය කිරුළ පැලඳගෙන යෑම පිළිබඳ විවේචනය කළා.

ඒ විවේචන සාධාරණද?

මෙය රජ ඔටුන්නක් හෝ හිස්වැස්මක් නෙවෙයි. ලංකාව වෙනුවෙන් මට පලඳපු ආභරණයක් පමණයි. එය විවේචනය කරනවා නම් අපිට කොණ්ඩ කට්ටක්වත් ගහගෙන පන්සලකට යන්න බැහැනෙ. අනෙක් කාරණය මම යලට මහට පන්සල් යන කෙනෙක් නෙවෙයි. මව සහ පියාගෙන් ලැබුණු මඟ පෙන්වීම යටතේ අපි පොඩි කාලේ ඉඳන්ම ආගමික කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා.

මම උසස් පෙළ හදාරන කාලෙත් දහම් පාසල් ගියා. දහම් පාසලේ අවසාන විභාගයට ඩී සාමාර්ථ හතරක් ලබා ගත්තා. මම බෞද්ධ දර්ශනය පිළිබඳ හොඳ හැදෑරීමක් කළ තියුණු නුවණක් සහිතව ගමනක් යන වෛද්‍යවරියක්.

විවේචන එල්ලවීම නිසා ජයග්‍රහණයේ සතුට අඩු වුණාද?

අනේ නැහැ. ජයග්‍රහණයේ සතුට වැඩි වුණා. ඒකට හදපු ජ්ඕ ර්ථීධඵබ එක ගොඩක් අය ඉඩචපඥ කරලාත් තිබුණා. නමුත් එහෙම කරලා තිබුණු ගොඩක් අය දර්ශනයක් නැති පිට ඔපයට පමණක් ජීවත් වන අය. ආධ්‍යාත්මික වශයෙන් දියුණු අය එයින් තෘප්තියක් අරගෙන තිබුණේ නැහැ.

දන්න නොදන්න ගොඩක් අය මට කතා කරලා මට මැසේජ් කරලා මෙහෙම දෙයක් ඉඩචපඥ වෙනවා කියලා කිව්වා.

විවේචන එල්ල වෙද්දී මොකද හිතෙන්නේ?

විවේචන කියන එක අමුතු දෙයක් නෙවෙයි. රහසින්වත් පව් නොකරපු බුද්ධ චරිතයට පවා විවේචන එල්ල කළ දේවදත්ත චින්චිමානවිකාව වගේ අය හිටියා. කොච්චර හොඳට ජීවත් වුණත් විවේචන එල්ල වෙනවා. කතා හදනවා. අපිට යම් උසස් ස්ථානයකට ළඟාවීමේ අරමුණක් තියෙනවා නම් මාර සේනාවකුත් ඒත් එක්කම බලාපොරොත්තු වෙන්න ඕනෙ. සෑම දෙයක්ම මධ්‍යස්ථව විඳදරා ගෙන අපි ජයග්‍රහණය කරා ගමන් කරන්න ඕනෙ.

රූප රැජනියන් වීමේ භාග්‍ය හිමිකරගත් බොහෝ අය නිවේදන සහ රංගන ක්‍ෂේත්‍රවලට සම්බන්ධ වෙනවා. ඔබට එහෙම අදහසක් නැද්ද?

නිවේදන කටයුතුවලට නම් යන්නේ නැහැ. නමුත් තෝරාගත් චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය බොහෝදුරට හොලිවුඩ් හෝ බොලිවුඩ් වෙන්නත් පුළුවන්. ඒක රහසක්.

ඒ වෙනුවෙන් දැන් ආරාධනා ලැබිලද තියෙන්නේ?

ඔව්. ආරාධනා ලැබිලයි තියෙන්නේ.

ළඟදීම පයිලට් කෙනෙක් වෙයි නේද?

ඔව්. මේ දවස්වල පුහුණුවීම් කටයුතුත් කරගෙන යනවා. පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන අවසාන විභාගය සඳහා ළඟදීම විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ රටේදී මට රංගනයට අවස්ථාව ලැබුණොත් මම කමර්ෂල් පයිලට් ලයිෂන් එකත් ගන්නවා.

මේ වැඩකටයුතුවලට අමතරව ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවාද?

ඉදිරියේදී සෞඛ්‍ය සම්පන්නව රුව රැකගන්නේ කොහොමද, සෞඛ්‍ය සම්පන්නව රූපලාවණ්‍ය කටයුතු කරන්නේ කොහොමද කියලා මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් වෙන ආකාරයේ සම්මන්ත්‍රණ මාලා කිහිපයක් දේශීය මෙන්ම විදේශීය වශයෙන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගොඩක් අය තමන්ට නොගැළපෙන රූපලාවණ්‍ය සත්කාර කිරීම නිසා සෞඛ්‍ය ගැටලු මතුකර ගන්නවා. ඒ නිසා ඔවුන් දැනුවත් කිරීම අවශ්‍යයි.

දැන්ම විවාහය ගැන හිතන්නේ නැද්ද?

ළඟදී විවාහ වෙන්නේ නැහැ. මේ ලැබුණු ජයග්‍රහණයත් සමඟ මිනිසුන්ට යම්කිසි සේවයක් කරන්න ඕනේ. මම දැනට සමාජ සේවා කටයුතු රැසක් කරනවා. ඒ නිසා තව අවුරුද්දක්, එකහමාරක්වත් ඒ කටයුතු කරගෙන මෙහෙම ඉන්නවා.

(මව්බිම)

ජනප්‍රිය රංගන හා ගායන ශිල්පී රොනී ලීච් පසුගියදා අභාවප්‍රාප්ත වූයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගිවීම සඳහා ගොස් සිටියදීය. ඔහු සමග එම ප්‍රසංගයට ලංකාවෙන් සහභාගි වු එකම කලාකාරිනිය වූයේ මරියසෙල් ගුණතිලක පමණි. බොහෝ කලක සිට දැන හඳුනන මේ කලාකරුවන් දෙදෙනා පෞද්ගලික ජීවිතයේදීත් ඔවු නොවුන් පවුලේ හිතවතුන් සේ සමීපව ඇසුරු කරයි.

රොනීගේ හදිසි වියෝව දරාගෙන ඔහු නොමැතිව පසුගිය දෙවැනිදා මරියසෙල් මෙරටට පැමිණියේ හඬා වැලපෙමිනි. තවමත් ඇය කුමක් සිදුවූයේ දැයි සිතාගත නොහැකිව පුදුමව සිටියි. එහෙත් රොනීගේ අභාවය පිළිබඳව ඇත්ත තතු දන්නේ ඇය පමණි. රොනීගේ අභාවය ගැන නොයෙක් මාධ්‍යයන්හි විවිධ කතා පළ කළත් සැබෑ තතු දන්නේ ඇය පමණි. රොනී සමඟ එකට ඕස්ට්‍රේලියාවට ගිය මරියසෙල්ට යළි මවුබිමට එන්නට සිදුවූයේ තනිවමය. රසඳුන අපි මරියසෙල් ගෙන් මෙහි සත්‍ය තොරතුරු විමසුවෙමු.

"මමත් රොනීත් ඕස්ට්‍රේලියාවේ පර්ත්හි ප්‍රසංගයට සහභාගි වන්නට ගියේ පහුගිය විසි හය වැනිදා රාත්‍රියේයි. පසුදා උදෑසන ඕස්ට්‍රේලියාවට ගොඩ බැස අපිට නවතින්න නියමිතව තිබූ ස්ථානයට ගියා. ප්‍රසංගය පැවැත්වුණේ විසි නව වැනිදා රාත්‍රියේ. වෙනදා වගේම තට්ටයා ගීතයත්, තවත් ගීත ගණනාවකුත් ගායනාකළ රොනීගේ කිසිම වෙනසක් මා දුටුවේ නෑ. වෙනදාට වේදිකාවේ හැසිරෙන ආකාරයටම නර්ථන ඉදිරිපත් කරමින් රසිකයන් සතුටු කරමින් විනෝද වුණා. අසනීප ගතියක් පෙනෙන්න තිබුණේ නෑ.

ප්‍රසංගය අවසන්කර පසු දා මම මගේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන මිතුරන් කිහිපදෙනකු හමුවන්න ගියා. රොනී එයාගේ ඕස්ට්‍රේලියාවේ සිටින ඥාතීන් බලන්න ගියා. අපි දෙදෙනා නැවතත් නවාතැන්ගෙන සිටි ස්ථානයට පැමිණියේ එදින රාත්‍රියේ . එදා රාත්‍රියේ අපි දෙන්නාම එකට ආහාර ගෙන මම නින්දට ගියා.

ඒත් පහුවදා අප ආපසු එන්න නියමිතව තිබුණු නිසා රොනී ඔහුගේ ඇඳුම් බෑගය සකසන බව පැවැසූවා. පසුදා උදෑසන අවදි වුණු මා තේ සෑදීමට කුස්සියට යන විට රොනී බිම වැටිලා හිටියා. දුටු දර්ශනයෙන් මට කිසිදෙයක් හිතාගන්න බැරිවුණා.

මම කළේ දුරකතනයෙන් ප්‍රසංගය සංවිධානය කළ අයට මේ ආරංචිය කියපු එකයි. විනාඩි ගණනකින් ඒ අය අපි හිටපු තැනට ගිලන් රථයක් එව්වා. ඇම්බුයුලන්ස් එකෙන් වෛද්‍යවරු කිහිපදෙනෙක් ආවා. ඔවුන් රොනීව පරීක්ෂාකර මියගොස් ඇති බව පැවැසුවා. ඉන් පසු මම ඒ බව ප්‍රසංගයේ සංවිධායකයනට දැන්වූවා. ඔවුන් රොනීගේ දේහය බාරගෙන මරණ පරීක්ෂණය සඳහා ගෙන ගියා.

ඇත්තටම මට බොහොම කනගාටුයි අපේ කලාවේ හොඳ මිතුරෙක් හදිසියේම වියෝ වීම ගැන . අපි දෙදෙනාගේ මිතුරුකම ඇරැඹෙන්නේ 1973 සිටයි. මම කලාවට ඇවිත් අවුරුදු පහළොවකට හෝ විස්සකට විතර පසුවයි රොනී කලාවට පිවිසෙන්නේ. ඊට පෙරත් ඔහු කලාවේ සිටියත් තට්ටයා ගීතයෙන් පසුව තමයි රොනී කලාවේ ජනප්‍රිය වුණේ. රොනීගේ පළමු ඕස්ට්‍රේලියානු සංචාරය කළෙත් මා සමග. ඒ වගේම අවසාන ඕස්ට්‍රේලියානු සංචාරයත් මා සමග වීම මට දරාගත නොහැකි දුකක්. අපි විවිධ රටවල ප්‍රසංග සඳහා සංචාරය කර තිබෙනවා වගේම අපේ පවුල් අතරත් හොඳ බැඳීමක් තිබෙනවා.

මට මතකයි පසුගිය වසරේ රොනීගේ කේෂියා දුවගේ විවාහ මංගල්‍යය පැවැත්වුණා. රොනී එදා මගෙන් ඉල්ලුවේ දුව වෙනුවෙන් ගීතිකාවක් ගායනා කරන්න කියලයි. මම එය සතුටෙන් ගායනා කළා. එදා හෝටලයේදි රොනී මාව බදාගෙන 'උඹ මගේ කුමාරිකාව වෙනුවෙන් කී මේ ගීතය මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නෑ' කියමින් සතුටු කඳුළු හෙළුවා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නේ රොනී යනු බොහොම විනෝදයට බර සැහැල්ලු මිනිසකු කියායි. ඔහු වේදිකාවේදි නිවේදකයකු, විකට නළුවකු, හොඳ නර්ථන ශිල්පියකු වගේම ගායකයකු යන සියලු භූමිකා රඟ දැක්වූවත් ‍දරුවන්ට ආදරණීය පියකු වගේම බිරියට හොඳ සැමියකු ලෙස සියලු යුතුකම් ඉටු කළා. ඔහුගේ වියෝව කලාවට ලොකු පාඩුවක් වගේම කලාකරුවනට හොඳ මිතුරකු අහිමි වීමක්. ඔහුගේ වියෝව දරාගත නොහැකියි. එහෙත් එය අපට සදාතනික උරුමයි. එනිසාවෙන් ආදරණීය මිතුරා‍ට මොක්සුව පතනවා.' 

(රසඳුන)

'පාරාදීසයේ යක්ෂයෝ' (Demons in Paradise) වාර්තා චිත්‍රපටය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලෙන් ඉවත් කිරීමට බලපෑම් කළ 'භූතයා' කවුරුන්දැයි එහි අධ්‍යක්ෂ ජූඩ් රත්නම් ප්‍රශ්න කරයි.

දෙමළ ජනයා අතර එල්ටීටීඊ සංවිධානය පිළිබඳ විවෘත සංවාදයක් ඇතිවීම වැලැක්වීමට උතුරේ දෙමළ ප්‍රභූ පන්තිය පමණක් නොව දකුණේ සාමය වෙනුවෙන් හඬ නගන ලිබරල් යයි හඳුන්වා ගන්නා පිරිස් වෙතින් ද බාධා එල්ලවන ආකාරයක් ඉහත කී සිදුවීම හරහා පෙනී යන බව ජූඩ් රත්නම් කියා සිටියේ බීබීසී සිංහල වෙත අදහස් දක්වමිනි.

දකුණේ එම සමාජය උතුරේ දෙමළ ප්‍රභූ පන්තියේ අවශ්‍යතාව ඉටුකරමින් සිටිනවා දැයි තමන්ට සැකයක් ඇති වන බව කී ඔහු, "මේ ප්‍රභූ සමාජ දෙකේම සම්බන්ධයක් තිබෙනවා කියන එකයි මගේ අදහස," යනුවෙන් ද සඳහන් කළේය.

සිව්වන වරට පැවැත්වෙන යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල තුළ 'පාරාදීසයේ යක්ෂයෝ' ප්‍රදර්ශනය නොකිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් එම උළෙලේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා නිවේදනයක් නිකුත් කර ඇතත් ඒ සඳහා බලපෑම් එල්ල වූයේ කවුරුන්ගෙන් දැයි සඳහන් කර නොමැත.

'පාරාදීසයේ යක්‍ෂයෝ' චිත්‍රපටය නිර්මාණය කිරීම මගින් ජූඩ් රත්නම්, දෙමළ කොටි සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනය කරන පළමු චිත්‍රපට නිර්මාණකරුවා බවට පත්වේ.

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල තුළ 'පාරාදීසයේ යක්ෂයෝ' ප්‍රදර්ශනය නොකිරීමට ගත් තීන්දුව මගින් සිය ප්‍රකාශනයේ නිදහසට බාධාවක් එල්ල වී ඇති බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන මානව හිමිකම් නිතීඥ මතුරි තමිල්මරන් (Mathuri Thamilmaran) මින් පෙර අවස්ථාවකදී බීබීසී සේවයට පවසා තිබුණේ තමන් 'පාරාදීසයේ යක්‍ෂයෝ' නැරඹුවේ කොළඹදී බවත් චිත්‍රපටය දෙමළ ජනතාව වෙසෙන රටේ අනෙකුත් ප්‍රදේශවල තිරගත කිරීමට රැගෙනයාමෙන් වැලකී සිටින්නේ මන්දැයි ඇය රත්නම්ගෙන් ප්‍රශ්න කරන බවත්ය.

"දෙමළ ජනතාව පිළිබඳව මේ චිත්‍රපටය දෙමළ ජනතාවට නොපෙන්වීම හාස්‍යජනකයි. මට ඒ ගැන සැකයි," ඇය එහිදී පවසා තිබුණාය.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එම උළෙලේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා කියා සිටියේ සිනමා උළෙල අඛණ්ඩව පවත්වා ගෙන යාමට නොහැකි ආකාරයට ආරම්භයේ සිටම විවිධ කොටස්වලින් විවිධ බලපෑම් එල්ල වන බවය.

කෙසේ නමුත් අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් කාලය තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳ විවෘත සංවාදයක් සිදු කිරීම සඳහා අවකාශය ලබා දුන් බව ඇය කියා සිටී.

"ඒ චිත්‍රපටිය ඒ මොහොතේ ප්‍රදර්ශනය කරන්න බැරි වුනත්, කොහොමද ඒකට ප්‍රදර්ශන අවකාශයක් හදන්නේ කියන තැනට තමයි යන්න උත්සාහ කළේ."

"ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා වගේම මේ වගේ අවකාශයක තර්ජනවලට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ අප තේරුම් ගත යුතුයි. එවැනි තර්ජනයක් තුළ අප උළෙල අත්හිටුවනවද?, එහෙම නැතිනම් උළෙල පවත්වා මේ ගැන සාකච්ඡාවක් ගෙන යන්න අවස්ථාවක් ලබා ගන්නවද කියන දේ තමයි අපට තිබුණු අභියෝගය," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

යම් කිසි තර්ජනයක් හේතුවෙන් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත නිර්මාණයක් ඉන් ඉවත් කරන්නේ නම් සිනමා උළෙල පවත්වන්නේ කවුරුන් වෙනුවෙන් දැයි මේ අතර ජූඩ් රත්නම් ප්‍රශ්න කරයි.

"ෆෙස්ටිවල් එක, ෆෙස්ටිවල් එකක් කිරීම වෙනුවෙන් පමණක්ද තිබෙන්නේ? එවිට අපි මේ කතා කරන මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මානව අයිතිවාසිකම්වලට මොකද වෙන්නේ?"

කෙසේ නමුත් යුද්ධය පිළිබඳ කතා කිරීමේදී දකුණේ ජනයා හැසිරෙන්නේ කොයි ආකාරයට ද ඒ හා සමාන අයුරින් උතුරේ ජනයා ද හැසිරෙන බව අනෝමා රාජකරුණා පවසයි.

"අපි තේරුම් ගත යුතු දේ තමයි අපි මේ පැල කරන්න හදන බීජය පැලවෙන්න මේ පොලොව තවමත් ශක්තිමත් මදි කියන දේ. මේක එක චිත්‍රපටයක් පිළිබඳ ගැටළුවක් නොවෙයි. මේක උතුරේත් දකුණේත් සෑම තැනකම ප්‍රදර්ශන සහ සාකච්ඡා අවකාශය වහන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක්."

නමුත් උතුරේ හෝ දකුණේ යම් කිසි සංවාදයක් හටගැනීමට නම් සිය නිර්මාණ ජනතාව අතරට යා යුතු බව ජූඩ් රත්නම්ගේ අදහසය.

"මේක කතා කරන්න එපා. මේක තාම අපේ සමාජයට උචිත දෙයක් නොවෙයි කියලා කට්ටියකට කියන්න බැහැ. ඒ තීරණය ගන්නේ කවුද?, කුමන පදනමකින්ද?, කියන දේ තමයි මගේ ප්‍රශ්නය. මෙවැනි මතයකට එන්න කවුරුන්ද ඔවුන්ට බලය දුන්නේ?"

'පාරාදීසයේ යක්ෂයෝ' යාපනය සිනමා උළෙලේ ප්‍රදර්ශනය නොකිරීමට ගත් තීන්දුව විවේචනයට ලක් කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරන දකුණේ පිරිස් අතර ද කොට්ඨාස දෙකක් දැකිය හැක.

ඉන් එක් කොට්ඨාසයක් ප්‍රකාශනයේ නිදහසට බාධා එල්ලවීමක් වශයෙන් සලකා ඊට එරෙහිව අදහස් පළ කරන අතර අනෙක් කොට්ඨාසය එල්ටීටීඊ සංවිධානය විවේචනය කරමින් නිර්මාණය වූ සිනමා පටයක් උතුරේ ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත් කිරීම යන කරුණ පිළිබඳ පමණක් අවධානය යොමු කරමින් අදහස් දක්වයි.

මේ අතර දෙමළ ජනයා සහ ඔවුන්ගේ ඉල්ලීම් දෙස විවේචනාත්මකව බලන දකුණේ ජාතිකවාදී කණ්ඩායම්වලට සිය නිර්මාණය "මස් කට්ටක්" වී ඇති බව ජූඩ් රත්නම් සඳහන් කරයි.

"මම මේ ප්‍රශ්නය දෙමළ සමාජය තුළ කතා කළා කියලා, මස් කට්ටක් වෙන එක මට වලක්වන්න බැහැ. සමස්ත ප්‍රශ්නය දෙස ස්වයං විවේචනාත්මකව බලන්න ඒ සමාජයටත් හැකියාවක් තිබිය යුතුයි, මට කරන්න පුළුවන් වෙන්නේ මගේ සමාජයත් සමග මේ දේ ගනුදෙනු කිරීම."

"මේ ප්‍රශ්නය දෙස විවෘතව බලන්න. තමන්ගේ අඩුපාඩුවක් ඇති බව පිළිගන්න තුරු මේ තත්ත්වය සුව කරන්න බැහැ. ලෙඩක් තිබෙන බව පිළිගන්න, ඒ ගැන සංවාද කරන්න ඉඩ දෙන්න."

2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) මුලින්ම තිරගත වීමත් සමග 'පාරාදීසයේ යක්‍ෂයෝ' චිත්‍රපටයට විශාල විචාරක පිළිගැනීමක් ලැබිණි.

ශ්‍රී ලංකාවේ සිංහල ආධිපත්‍යය සහිත මාධ්‍ය ද චිත්‍රපටය වර්ණනා කළේය. පුළුල් දෙමළ ජන සමාජය තුළින් චිත්‍රපටය කෙරෙහි එල්ලවූයේ කෝපයකි.

 (bbc news)

අශාන්ති අලුත් ගීත කිහිපයක් එක්ක නැවත කරළියට ඇවිත් නේද?

අලුත් සින්දු දෙකක් කළා. පළමුවැනි සින්දුව "හැන්දෑවේ". ඒක මීට සති දෙකකට කලින් නිකුත් කළා. ගීත පද රචනය මනුරංග විජේසේකරගේ. සංගීිතවත් කළේ කෙන් ලැපන්. වීඩියෝ එක කළේ චමිල් පතිරණ. (තාල රූප) උමාලි සහ කනිෂ්ක මියුසික් වීඩියෝ එකට ලොකු සපෝර්ට් එකක් දුන්නා. අනෙක් ගීතය "හිත දන්නේ මිතුරන්නේ". මේ ගීතයේ ගී පද රචනය සම්පත් ප්‍රනාන්දුපුල්ලේ විසින් සිදුකළා. සංගීතවත් කළේ කෙන් ලැපන්. එහි වීඩියෝ නිර්මාණයත් චමිල් පතිරණ සිදුකළේ. මේ ගීතය 10 වැනිදා යූටියුබ් වෙත නිකුත් කළා.

හිත දන්නේ මිතුරන්නේ ගීතයෙන් යම් පණිවුඩයක් සමාජගත කරන්න උත්සාහ කළාද?

මේ ගීතය මම කළේ සියදිවි නසා ගැනීම් වැළැක්වීමට. මේ වෙනකොට තරුණ ප්‍රජාව සියදිවි හානි කරගැනීම සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. විභාග පීඩනය, සම්බන්ධතා බිඳවැටීම වගේ දේවල්වලදී පීඩනයක් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම කොහොමද ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කියලා මේ ගීතයෙන් කතා කරනවා. කෙනෙක්ට ආතතියක් ඇතිවුණාම, ගැටලුවක් ඇති වුණාම ඒ කෙනා එක්ක කතා කරලා එයාට උදවු කරන්න ඕනේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයකට මුහුණ දුන් අයට කොහොමද උදවු වෙන්න ඕනේ කියලා මේ ගීතයෙන් පණිවුඩයක් දෙනවා.

මෙවැනි ගීත කරන්න පටන් ගත්තේ ඇයි?

මේ ගීතය කරන්න ප්‍රධාන හේතුවක් වුණේ මම ඉන්ටර්නෙට් එකේ නිව්ස් එකක් දැක්කා. ඒකේ තිබුණා ආසියාවේ සියදිවි නසා ගැනීම් වැඩිම රට ශ්‍රී ලංකාව කියලා. එහි කාන්තා ප්‍රතිශතය වැඩියි. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ ඔස්සේ යම් පණිවුඩයක් දීලා මේ තත්ත්වය නිවැරැදි කළ යුතුයි කියලා මම හිතුවා. හිත දන්නේ මිතුරන්නේ ගීතයෙන් ඒ වෙනුවෙන් පණිවුඩයක් ලබා දෙනවා.

පසුගිය කාලේ නිහඬව සිටියා. දැන් ඒ නිහඬ බව බිඳින්නද හදන්නේ?

ඔව්, අනිවාර්යයෙන්ම පසුගිය කාලේ නිහඬව හිටියා. එනවා නම් වෙනසක් එක්ක එන්න ඕනේ කියලා මට හිතුණා. දැන් ඒ වෙනස ගෙනාවා. ඒක දිගටම ඉදිරියට අරගෙන යනවා.

කාලයක් නිහඬ වෙලා ඉඳලා නැවත රසිකයෝ අතරට එනකොට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩීද?

එහෙමත් එකක් තියෙනවා. හැම තිස්සෙම එක විදියට දැකලා එක විදියේ සින්දු අහනවාට වඩා රසිකයන් කැමැති ඇති වෙනසක් එක්ක එනකොට.

ගොඩක් අය දැන් ගීත ජනප්‍රිය කරන්නේ යූටියුබ් එකෙන්. ඔබත් ඒ ට්‍රෙන්ඩ් එකේද?

ඒක මගේ ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි. දැන් සමාජයේ තිබෙන දෙයක්. තරුණ පරපුර යූටියුබ් සහ සමාජජාල සමඟ තිබෙන සම්බන්ධතාව වැඩියි. ක්ෂේත්‍රයට අලුතින් එන සහ අඳුනන්නේ නැති අයට පවා අලුත් නිර්මාණ ඉක්මනින් මේ තුළින් සමාජගත කරන්න පුළුවන්. යූටියුබ් විතරක් නෙවෙයි ගුවන් විදුලි සහ රූපවාහිනි මාධ්‍ය එක්කත් සම්බන්ධ වීම අවශ්‍යයි.

නාළිකාවලින් ගීත ජනප්‍රිය කරගන්න මුදල් දෙන්න සිද්ධ වෙනවලු. ඔබටත් එහෙම වෙලාද?

මම නම් කවදාවත් රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකාවලට මුදල් දීලා ගීත ප්‍රචාරය කරලා නැහැ. මට මීඩියා එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ගැටලුවක් මතු වෙලා නැහැ.

අශාන්ති භාතිය සන්තුෂ්ලාගෙන් වෙන්වුණේ තනිව ගමනක් යන්නද?

භාතිය සන්තුෂ්ගෙන් වෙන් වෙලා නෙවෙයි. පවුලක් වගේ අපි සහයෝගයෙන් ඉන්නවා. මේ කාලය වෙනකොට මගේ ගීත සහ මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් එළියට එන්න ඕනේ කියලා හිතුණා. ඕ } ඉලා එක්ක වැඩක් කරන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මම පිළිගන්නවා.

කණ්ඩායමෙන් කැඩුණට පස්සේ කණ්ඩායම එක්ක ඉන්නකොට අශාන්තිට තිබුණු වටිනාකම ඒ විදියටම තවමත් තියෙනවද?

අනිවාර්යයෙන්ම, ඒ වටිනාකම තියෙන්න ඕනේ. මම සෝලෝ ආර්ටිස් කෙනෙක් වුණේ මෑතකදී නෙවෙයි. භාතිය සන්තුෂ්ලා එක්ක හිටියත් මම එහෙම ගමනක් ගියා. අපිට ඉන්නේ එකම ෆෑන්ස්ලා සෙට් එකක්. ඒ ගොල්ලෝ අපි හැමෝටම එක වගේ ආදරෙයි.

අශාන්ති ෆුල් ටයිම් මියුසික් වෙනුවෙන්ම කැපවුණු කෙනෙක්ද?

ඔව්, ෆුල් ටයිම් මියුසික් කිව්වම මගේ අශාන්ති ස්කූල් ඔෆ් මියුසික් සෙන්ටර් එකත් තියෙනවා එතැන. අවුරුදු තුනේ සිට අවුරුදු 25 සහ ඊටත් එහා අයට සංගීතය ඉගැන්වීම් කරනවා.

ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද?

මගේ තුන්වැනි ගීතයත් දැන් ප්ලෑන් කරලා තියෙන්නේ. මේ අවුරුද්දට ගීත දෙකක් තුනක් එන්න තියෙනවා. මියුසික් කරන එක නතර කරන්නෙ නැහැ. පුළුවන් උපරිම කරනවා.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි.

2017 වසරේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගය කරමින් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහි දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. 

මීට අමතරව ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නාර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ,සාහිත්‍ය රත්න, ගෞරව සම්මානය පිළිගැන්විම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් එම්. පොන්නම්බලම් මහතා ද ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය ගනනාත් ඔබේසේකර මහතා ද එම සම්මානයෙන් පිදුම් ලැබුහ.

ගනනාත් ඔබේසේකර මහතා වෙනුවෙන් ඒ මහතාගේ දියණිය මහාචාර්ය නලනිකා ඔබේසේකර මහත්මිය සම්මානය ලබාගත්තා ය. 

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 61 වන වරට ය. 

රාජ්‍ය සාහිත්‍ය උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබු සාහිත්‍ය කෘතින් ද මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

LIN

විශිෂ්ට ගී පද රචකයෙකු වන නිලාර් එන්. කාසිම් මහතාගේ 25 වසරක නිර්මාණ දිවිය ඇගයෙන "සරස වසන්තය" ප්‍රසංගය සහ ගීත සියයක් රැගත් ෆෑල්ෂ් ඩ්‍රයිව් ගීතාවලිය එළි දැක්වීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

එම උලෙළේ ප්‍රධාන දේශනය මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් සිදුකළ අතර සමන් අතාවුදහෙට්ටි සහ නදීක ගුරුගේ යන මහත්වරුන් ද කෙටි දෙසුම් පැවැත්වූහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණී මෛත්‍රීපාල සිරිසේන  මහතා සභාව අමතමින් පැවැසවේ වත්මනේ රට තුළ ප්‍රධාන ගැටලූවක් බවට පත්ව තිඛෙන ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයේ වැදගත් චරිතයක් ලෙස නිලාර් එන්. කාසිම් මහතා වැනි කලාකරුවන් හදුන්වාදිය හැකි බවය.

"සරස වසන්තය" කෘතිය සහ ගීත සියයක් රැගත් ෆෑල්ෂ් ඩ්‍රයිව් ගීතාවලිය මෙහිදී නිලාර් එන්. කාසිම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද ඒ මහතාට සමරු සිහිවටනයක් ප්‍රධානය කළේය.

මීට අමතරව නිලාර් එන්. කාසිම් මහතා විසින් රචනා කළ ගීත ඇතුළත් සීඩී පට තුනක් ද මෙහිදී එළිදැක්වුණු අතර ඒ මහතා විසින් රචනා කළ ගීත සජීවීව ගායනා කළ ප්‍රසංගයකින් ද මෙම උලෙළ වර්ණවත් විය.

LIN

යෞවනයේ සිහින කුමරා විදියට හඳුන්වන්නේ ශිහාන් මිහිරංග. අද ඔහු ලස්සන කැදැල්ලක හිමිකරුවෙක්. දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. ඔහුගේ ගායනය ඔහුගේ හැඩරුව නිසා ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඔහු ගැන හරියටම දන්නේ කීයෙන් කී දෙනාද. ඔහුව ගොඩක්ම දන්න කෙනෙක් තමයි ගෙෂ්නි ක්ලෙමෙන්ටා. ඒ ශිහාන්ගේ බිරිය ඇය නිසා. ඔහු ගැන බිරිය කිව්ව කතාව තමයි මේ...

පෙම්වතා කාලේ ශිහාන්ගේ හැටි

ඒ කාලේ නම් එයාට ගොඩාක් තරහා යනවා. ඉවසීමත් ටිකක් විතර අඩුයි. හැබැයි කෙළින් කතා කරනවා. එහෙම තමයි මම එයාව දැනගෙන හිටියේ.

ශිහාන්ගේ ජනප්‍රියත්වය ප්‍රේම සම්බන්ධතාවට බලපෑමක් කරපු අවස්ථා නැද්ද?

නෑ. මොකද මම ඒ කාලේ ශිහාන්ට එයාගේ වැඩ කරගන්න සම්පූර්ණ නිදහස දීලා තිබුණා. ශිහාන් කියනවා ඒක නිසා තමයි මාව විවාහ කරගත්තේ කියලා.

විවාහයෙන් පස්සේ ඒ ගතිගුණවලට මොකද වුණේ?

විවාහ වුණාට පස්සේ කේන්ති ගන්න එක සෑහෙන්න අඩු වුණා. ඉවසන්නත් පුරුදු වුණා. හැබැයි කෙළින් වැඩ කරන එක, කතා කරන එක තාමත් තියෙනවා.

ජනප්‍රිය වුණාට පස්සේ ශිහාන් වෙනස් වුණාද?

චරිතයේ වෙනසක් වුණේ නෑ. ඒ කෙනාම තමයි. හැබැයි ගොඩාක් කාර්යබහුල වුණු නිසා වෙනදා වගේ කතාබහ කරන්න වෙලාව අඩුවුණා.

තාත්තා කෙනෙක් විදියට

තාත්තා කෙනෙක් වුණාට පස්සේ ගොඩාක් වගකීමෙන් වැඩ කරන්න පුරුදු වුණා. දෙයක් ගැන වැඩිපුර හිතනවා. හරිම හොඳ තාත්තා කෙනෙක් එයා.

ගෙදර ඉන්න කොට

ගෙදර ඉන්න වෙලාවට නිතරම තනියෙන් ඉන්න බලනවා. නිතරම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් එයා. ටී.වී. එකේ දකින කෙනාම තමයි එයා ගෙදරදීත්. ලොකු වෙනසක් නෑ.

විවාහ වුණාට පස්සේ ශිහාන්ට ගෑනු ළමයින්ගේ ආකර්ෂණය වැඩි වුණාද? අඩු වුණාද?

ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය අඩු වුණේ නෑ. තිබ්බ ආකර්ෂණය එහෙමම තියෙනවා. පිරිමි ළමයින්ගේ ආකර්ෂණය නම් වැඩි වුණා කියලා හිතනවා.

ගැහැනු ළමයින්ගේ ආකර්ෂණයට ශිහාන් ප්‍රතිචාර දක්වන්නේ කොයි විදියටද?

තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙද්දී ඔළුව පාවිච්චි කරලා වැඩ කරනවා. ඒ වගේම ගොඩක් ඉවසීමෙන්, හිතලා බලලා වැඩ කරනවා.

ශිහාන් දීපු අමතක නොවන තෑග්ග?

එහෙම අමතක නොවන තෑග්ගක් කියලා එකක් නෑ. ඉස්සර නම් නිතරම තෑගි දෙනවා. ඉස්සර තරම්ම නැති වුණත් දැනුත් තෑගි දෙනවා. බර්ත්ඩේවලට වැලන්ටයින් එකට කියලා විතරක්ම නෑ. මට මුලින්ම දුන්නේ මුද්දක්. ඉස්සර දුන්න තෑගි තාම මං ගාව තියෙනවා. රට ගියාම එහෙම නම් මට තෑගි ගොඩක් ගේනවා.

ශිහාන් ගැන පළවෙච්ච ගොසිප්වලින් ඔහු වැඩිපුරම අපහසුතාවට පත් වෙච්ච ගොසිප් එක

ශිහාන් ගොසිප් කියන ඒවා ගණන් ගන්නෙම නෑ. ඒවා ගැන ඔළුවට ගන්නෙත් නෑ. එයා මැරුණ කියලා ගොසිප් එකක් ගියා. ශිහාන් හොස්පිට්ල් ඉද්දිමයි මං එයාට ඒක කිව්වේ. ඒත් ශිහාන් ඒක ගණන් ගත්තේ නෑ.

ශිහාන් වෙන අයගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ

ශිහාන් කැමැති කෙළින් කතා කරන අයට. එක තැනක එකක් කියලා තව තැනක තව එකක් කියනවාට එයා කැමැති නෑ.

කේන්ති ගියාම

කේන්ති ගියාම කාත් එක්කවත් කතා කරන්නේ නෑ. නිදහසේ ඉන්න ඕනේ. එයාගේ තරහා නිවෙන්න කාලය ඕනේ. හැබැයි ඉක්මනට කේන්ති නිවෙනවා.

ශිහාන් සතුටකින් ඉද්දී

සතුටක් දැනුණාම මට කතා කරලා කියනවා. එයා සතුටින් ඉද්දී හිතාගන්න පුළුවන්.

දුකක් දැනුණම

දුකක් දැනුණම නම් එයා ඒක පෙන්නන්නේ නෑ. ඒ වෙනුවට තරහ තමයි පිටවෙන්නේ.

ශිහාන් වැඩිපුරම සතුටෙන් හිටිය දවස?

ශිහාන් වැඩිපුරම සතුටු වුණේ පුතාලා දෙන්නා ඉපදුණු වෙලාවේ.

ශිහාන් වැඩියෙන්ම දුක් වුණු දවස?

ශිහාන්ගේ තාත්තා මියගිය දවසේ තමයි එයා වැඩිපුරම දුක් වෙනවා මම දැක්කේ.

ශිහාන්ගේ තියෙන අකැමැති පුරුදු?

ශිහාන් නිතරම කේන්ති ගන්නවා. ඒ කේන්තිය නිසා සමහර දේවල් නැති වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අනවශ්‍ය දේවල්වලට තරහා ගන්නවා.

අපි නොදන්න ශිහාන්ගේ රහස්?

ශිහාන් හරියට වෙලාවට වැඩ කරනවා. කෙනෙක්ට දෙයක් කරන්න කියලා ඒ කෙනා ඊට අදාළ නැති දෙයක් කළොත් එයාට හොඳටම තරහා යනවා.

(මව්බිම)

හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා අභිනන්දන හරසර ප්‍රණාම උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

අසමසම නිසග ප්‍රතිභාව හා නිර්මාණ අභ්‍යාස නියුක්තිය ප්‍රවර්ධනය කර තාරකා එළියෙන් දිදුලන සිනමා නිම්නය සිය නිරූපණ කෞශල්‍යයෙන් ප්‍රභාවත් කළ සහ තමන්ට අනන්‍ය වූ සුවිශිෂ්ට රංගන කලාවක නිරතවෙමින් සිංහල සිනමාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ මහා සිනමා නිළි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ අඩ සිය වසක උත්කෘෂ්ට කලා මෙහෙවර අගයනු වස් ආචාර්ය මාලනී ෆොන්සේකා පදනම මගින් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි.

LIN

"තාත්තා" ටෙලිනාට්‍යයේ තේමා ගීතය වගේම ටෙලිනාට්‍යයත් ගොඩක් ජනප්‍රිය වෙලා. ඒ ගැන සතුටුද..?

ඔව්, "අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ" කියන ගීතයත්, ටෙලිනාට්‍යත් ජනප්‍රිය වෙලා තිබෙනවා. යන යන තැන මේ ගැන තමයි මගෙන් අහන්නේ. මිනිස්සු තාත්තා ටෙලිනාට්‍යයේ සංකල්පයට සහ එහි රිද්මයට බොහෝ සෙයින් ඇලුම් කරන තත්ත්වයට පත්වෙලා. ගොඩක් සතුටින් ඉන්නේ.

"හීන් හඬට දිය පෑරෙන" යන තේමා ගීතය ජනප්‍රිය වීමට බලපෑ හේතුවක් තිබෙනවාද..?

මම හිතන්නේ කුමාර ලියනගේගේ පද මාලාව සහ ඒ වෙනුවෙන් ලලිත් රත්නායක යොදාගෙන තිබෙන රූප රචනාව බොහෝ සෙයින් බලපෑවා. කුමාර ලියනගේ ලියපු සින්දුවකට දෙවැනි වතාවටයි මම සංගීතය නිර්මාණය කළේ. මීට කලින් කුමාර ලියපු කරුණාරත්න දිවුල්ගනේ ගයපු "අන්දර යායේ" සින්දුවටත් මම සංගීතය නිර්මාණය කළා. එයත් පිය ගුණ ගීතයක්. ඒ ගීතය බොහෝ ජනප්‍රිය වුණා. මගේ සංගීත දිවියේද හැරවුම් ලක්ෂ්‍යයක් එය. ඒ නිසා එය විශේෂ කාරණයක්.

අලුත් ටෙලිනාට්‍ය තේමාගීත ජනප්‍රිය වෙන්නේ බොහෝම අඩුවෙන්. නමුත් තාත්තා ටෙලි නාට්‍යයේ තේමා ගීතය ඒ කියමන් බොරු කළා නේද..?

අද අලුත් ටෙලිනාට්‍ය විශාල වශයෙන් බිහිවෙනවා. මෙගා නාට්‍යත් බිහිවෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ අවධානය තේමා ගීතය කෙරෙහි යොමුවෙනවා අඩුයි. මම හිතන්නේ මෙය මිනිසුන්ගේ හදවතේ තාත්තා පිළිබඳව සැඟවුණු හෘද සාක්ෂියක් එළියට ආපු අවස්ථාවක්. මේ ගීතයේ පද මාලාවට මම කම්පනය වුණා. ඒ නිසයි මේ නිර්මාණය බිහිවුණේ.

ගීතයේ පද මාලාවත් ඒ ජනප්‍රියත්වයට ලොකු බරක් එක්කළා කිව්වොත්...?

ඔව්, කුමාර ගීතය මට ගෙනැල්ලා අතට දෙන විටම මම කිව්වා කුමාර මේ සින්දුව "අන්දර යායේ" ගීතය වගේම ජනප්‍රිය වෙනවා කියලා. ලලිත් තමයි කුමාරට කියලා ගීතයක් ටෙලි නාට්‍යය වෙනුවෙන් නිර්මාණය කරගත්තේ. ලලිත්ගේ අරුංගල් ටෙලිනාට්‍යයේ තේමා ගීතයත් ලියා තිබෙන්නේ කුමාර ලියනගේ.

ටෙලිනාට්‍ය සඳහා තේමා ගීත කොපමණ ප්‍රමාණයක් ඔබ නිර්මාණය කර තිබෙනවාද..?

මගේ කාර්යබහුලතාව නිසා තේමා ගීත කරපු විශාල නාට්‍ය ප්‍රමාණයක් නැහැ. ටෙලි නාට්‍ය 10කට ආසන්න ප්‍රමාණයකට මම නිර්මාණයන් කර තිබෙනවා. තාත්තා ටෙලියේ තේමා ගීතය හරවත් නිර්මාණයක් නිසා එයට විශාල සාධාරණත්වයක් කරන්න මට පුළුවන් වුණා. එහි පසුබිම් සංගීතයට පවා මට දැනෙන දෙයක් කරන්න පුළුවන් වුණේ මේ නිර්මාණයේ ගුණාත්මක බව නිසා.

මේ ගීතයට අද වන විට ලැබෙන ප්‍රතිචාර බහුලයි නේද..?

ඒ පිළිබඳ හරිම සතුටක් දැනෙන්නේ. ඒ මේ ගීතය මගේ සංගීත නිර්මාණයක් වුණු නිසා නෙවෙයි. ගුණාත්මක නිර්මාණයකට මිනිසුන්ගේ කොච්චර රුචිකත්වයක් තිබෙනවාද කියන හැඟීම මට තිබෙනවා. මොකද මිනිසුන්ගේ රුචිකත්වය අද වනවිට වහලා තියෙන්නේ. ටෙලි නාට්‍යය පටන් අරගෙන සතියක් ඇතුළත 7000කට අධික ප්‍රමාණයක් අන්තර්ජාලයේ මේ ගීතය ෂෙයාර් කරලා තිබුණා. එය මට පුදුමයක්.

ඔබ හොඳ ගායකයෙක්, අලුත් නිර්මාණ කරන්න අදහසක් නැද්ද..?

මම ගායනා කරපු ගීත කිහිපයක්ම තිබෙනවා. මම මාරිම්බා සංගීත කණ්ඩායමෙත් වාදකයෙක් සහ ගායකයෙක් ලෙස කටයුතු කළා. මගේ "වරංගනා" සින්දුව අදටත් ජනප්‍රියයි. දැන් රසිකයෝ කියනවා ඛ්ච් එකක් කරන්න කියලා. ඒ ගැනත් මේ වෙනකොට අදහසක් තිබෙනවා. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. හොඳ නිර්මාණ කිහිපයක් රසිකයන්ට ඉදිරිපත් කරන්න. ඉදිරියේදී මා අතින් හොඳ සින්දු ටිකක් ගැයේවි.

සංගීත ක්ෂේත්‍රයට ඔබේ පැමිණීම අහඹුවක්ද..?

අහඹු සිදුවීමක් කියන්න අමාරුයි. අපේ පවුල් පරිසරය සංගීතයත් සමඟ බැඳිලයි තිබුණේ. මගේ පියා වයලීන් වාදකයෙක්, කවියෙක්. අම්මත් හොඳ කිවිඳියක්. මම සංගීතයට ඇදිලා ගියා ඒ නිසා. මම ප්‍රථමයෙන් වාදනය කළේ බටනළාව. ඊට පස්සේ වයලීනය මම අතට ගත්තා. මගේ පළමුවැනි සංගීත ගුරුතුමා ඒ.කේ. සෝමපාල සර්. ආරියදාස හපුආරච්චිත් මගේ ගුරුවරයෙක්. "ස" ප්‍රසංගය බලලා මම සංගීතයට ආදරය කරන්න පටන් ගත්තා. මම ගීත 300කට පමණ මේ වනවිට සංගීතය නිර්මාණය කරලා තිබෙනවා. ඒ ගැන සතුටුයි.

ඒ නිර්මාණ අතරින් බොහෝ ගීත ජනප්‍රිය වුණා..?

බොහෝ නිර්මාණ ජනප්‍රියයි. මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කළ "අන්දර යායේ" ගීතය. එය නිර්මාණය වුණේ 1998දී පමණ. "සුළඟක් වී මං යනවා, නටුවෙන් ගිලිහුණු පින්න මලක්, දරුවනි මමයි නුවර මාලිගාවෙ ඇතා, හන්තානේ කඳුමුදුන වගේ නුඹ, මගේ ආල හැඟුම්, හදන්නට වැහි බින්දුවක්, සේකර මා ආදර කිවිඳේ්, නෙලුම් මල් කළු වුණා අව්වට" වැනි විවිධ ශිල්පීන් ගායනා කළ ගීත ඉතා ජනප්‍රිය වුණා. නෙලුම් මල් කළු වුණා අව්වට ගීතය රාජ්‍ය සංගීත සම්මාන සඳහා නිර්දේශත් වුණා.

මෙරට ජනප්‍රිය තලයේ වැජඹුණු සංගීත කණ්ඩායමක් වුණු "මාරිම්බා" සංගීත කණ්ඩායමට ඔබ සම්බන්ධ වුණු අතීතය මතක් කරමුද..?

මම බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ බන්දු එස්. කන්නංගරගේ ඉල්ලීමක් නිසා. බන්දු මගේ හොඳම මිත්‍රයෙක්.

මියුසික් බෑන්ඩ් එකකට සම්බන්ධ වෙන්න මගේ අදහසක් තිබුණේ නැහැ. නමුත් මාරිම්බා බෑන්ඩ් එක නිසා මාව ජනතාව දැනගත්තා. ඒ වයලීනය නිසා. මාරිම්බා බෑන්ඩ් එක වයලීනය, වේදිකාවේ දැවැන්ත විදියට පාවිච්චි කළා. මම බෑන්ඩ් එකේ රිදම් ගිටාරය සහ වයලීනය වාදනය කළා. සින්දුත් කිව්වා. 1999දිත් හිටපු ජනාධිපතිනියට ටවුන් හෝල්වලදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේදීත් ඒ වේදිකාවේ මාරිම්බා බෑන්ඩ් එක හිටියා. බෝම්බ ප්‍රහාර දෙකක සජීව අත්දැකීම් අපිට තිබෙනවා. නූලක් හරි මිස්වුණා නම් අපිත් අද මෙතැන නැහැ. සංගීතයේදීත් මිහිරි වගේම අමිහිරි අත්දැකීම් මට තිබෙනවා. ජීවිතයේදීත් එය එසේමයි.

ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන කෙනෙක්. ඒ ගැනත් කියමු..?

මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජේ‍යෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. මම ප්‍රථමයෙන් වාදකයෙක් විදිහටයි ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වුණේ. සරල ගී, සේවක සංග්‍රහය, විශ්වයේ වින්දනීය ප්‍රතිරාව, ශ්‍රද්ධාංජලී වගේ ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වන වැඩසටහන් සඳහා මම මගේ දායකත්වය ලබාදෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ මගේ ආදරණීය මිත්‍රයන්වත් මම මතක් කළ යුතුයි. මට දැන් ලැබෙන ජනතා සම්මානවලට ගුවන් විදුලියේ මිතුරනුත් පිටිවහලක් වුණා.

ගීත නිර්මාණ ඇතුළත් කර ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද..?

අවුරුදු දහයකට විතර කලින් ප්‍රසංගයක් කළා. මම සංගීතය නිර්මාණය කළ ගීත සංයුක්ත තැටියක් සහ මගේ වයලීන් වාදන ඇතුළත් වයලීන මැවූ හීන කියන සංයුක්ත තැටි දෙක මම එළිදැක්වූවා. ඒ සංයුක්ත තැටි දෙකම ජනප්‍රිය වුණා. වයලීන මැවූ හීන ඛ්ච් එක වැඩියෙන්ම අලෙවි වුණේ ඕස්ට්‍රේලියාවේ. මොකද ඒ රටේ තිබුණු ප්‍රසංගයකදී මගේ වයලීන වාදනයක් රසවිඳපු ප්‍රේක්ෂකයෝ ආපසු ඕස්ට්‍රේලියාවට එන්න එපා කිව්වා මගේ වයලීන වාදන සහිත ඛ්ච් එකක් නැතුව. මේ ඛ්ච් තැටිය ප්‍රථමයෙන් එළිදැක්වූයේත් ඕස්ට්‍රේලියාවේදී.

සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ඔබට වත්මන් සංගීත පරපුර ගැන මොකද හිතෙන්නේ..?

වර්තමානයේ හොඳ දක්ෂ නවකයෝ අපිට ඉන්නවා. මාධ්‍යවලින් ඔවුන්ට අනුග්‍රහය තවත් ලැබිය යුතුයි. ඒ හොඳ දේවල් කරන්න මිසක් අවර ගණයේ නිර්මාණ කරන්න නෙවෙයි.
රට හරි තැනකට ගන්න නම් මේ රටේ උසස් ප්‍රමිතියෙන් යුතු ජනමාධ්‍ය කලාවක් තිබිය යුතුයි. ජනමාධ්‍ය උසස් නිර්මාණ බිහිකිරීම වෙනුවෙන් නවකයන් යොදාගත යුතුයි. මිනිසුන්ගේ ඇත්ත කැමැත්ත අත්හැරලා මාධ්‍ය වැඩ කළ යුතු නැහැ. එයයි මගේ මතය.

ඇයි දැන් හැදෙන ගීත රසිකයන්ට ඉක්මනින් අමතක වෙලා යන්නේ..?

දැන් ගීත හදන්නේ ජනප්‍රිය වෙන්න විතරයි. ඒ කාලේ එහෙම නැහැ. පද රචකයායි, සංගීතවේදියායි, ගායකයායි තුන්දෙනාම සාකච්ඡා කරලා අත්දැකීමක් කරගෙන නිර්මාණයක් බිහිකරනවා. ඔවුන් එය කළේ විවේක බුද්ධියකින්. ජනප්‍රියත්වය සහ මුදල්ම බලාගෙන නිර්මාණ කරනවා නම් ඒ නිර්මාණවල පැවැත්ම තියෙන්න පුළුවන් පොඩි කාලයක් වෙන්න පුළුවන්.

ඔබට දිගු ගමනක් එන්න අතහිත දුන්නු පිරිසකුත් ඇති නේද..?

අපොයි ඔව්. ආනන්ද ගමගේ සහ නිමල් ගුණසේකර කියන ජ්‍යෙෂ්ඨ සංගීතවේදීන් දෙදෙනා මම මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ, ගාමිණී ගුණසේකර. ගාමිණී තමයි මාව කපුගේ මහත්මයාගේ "කම්පන" ප්‍රසංගයට සම්බන්ධ කළේ. රවීන්ද්‍ර මුණසිංහ, උපාලි ආරියසිරි වැනි අයත් මට මතක් වෙනවා. නම් නොකී බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ටත් බොහොම ස්තුතියි වගේම ගුරුවරියක් වන මගේ බිරිය පුෂ්පාවත් මම මේ වෙලාවේ මතක් කරනවා. මෙවැනි පිරිසක් නැතිනම් මගේ සංගීත දිවියේ වීරයෙක් වුණු වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයක සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

(මව්බිම)

Page 1 of 52

Entertainment News

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website