Saturday, 12 May 2018 14:27

'කොස්තාමය නිමේෂ'

මාකොස්තා ලුහුබැඳීම ආරම්භ කළේ මේ කොස්තා යැයි මා නොදන්නා අවදියක ය. සැබැවින්ම නම් ඒ අවිඥානික ලුහුබැඳිල්ලකි. එකක් නෑර ෆිල්ම් බැලූ පිච්චර් පිස්සන් දෙදෙනකු වූ තාත්තාත් අම්මාත් නිසා චිත්‍රපටි සොය සොයා බලන යුගයට එළැඹීමට බොහෝ කලකට පෙර බොහෝ චරිතවලට මනසේ අවකාශයක් පැවතිණ. කොස්තා ලුහුබැඳීම වූ කලී එසේ යටිබිම්ගත සංසිද්ධියකි.

ඔහුගේ නිර්මාණ රංගන ඇසුර මෙන්ම ඉන් පරිබාහිර භෞතික ඇසුර යන කාරණා දෙකම පදනම් කරගනිමින්, විමල් කුමාර ද කොස්තාගේ ඔහුටම අනන්‍ය 'රංගවේදය' මා නම් කරනුයේ  ඔහුගේම අවිඥානයට එරෙහිව එල්ල කරන ගන්නා ලද සවිඥානික රංග ප්‍රහාර ලෙසිනි. වඩා සංයුක්තකර මාදිලියකින් පවසන්නේ නම් ඒවා 'කොස්තාමය නිමේෂ' ලෙස නම් කරන්නට මා කැමති ය. කැමරාව අභියසත් වේදිකාවේ සජීවී ප්‍රෙක්ෂකයා අභියස මෙන්ම මඳු බඳුනක් අබියසත් නිදහස් අවකාශයක ඔහු කළ කී සියල්ල ම මෙකී  'කොස්තාමය නිමේෂ'යන් වන්නේ ය. සමස්ථයෙන් වියුක්ත කිසිවක් ඔහුගේ 'නිර්මාණ රංගනයෙන්' පමණක් උකහා ගත නොහැකිය යන්න මගේ ප්‍රවාදය යි. නිදසුනක් ලෙස 'අහස් ගව්වේ' අවන්හලේ ගැයෙන 'මොරොට්ටු ගම්වල' ගීයේ කොස්තාමය නිමේෂ කැමරාවෙන් බැහැර එවන් සමාන්තර මොහොතකදී එයාකාර ම බව ඔහු ඇසුර විඳ ඇත්තෝ දනිති.

මට කොස්තාමය නිමේෂ පිළිබඳ ඇත්තේ කළුසුදු මතකයකි. එහි වෛවර්ණ තවරාගෙන කිලිටි කර ගන්නට මම අකමැත්තෙමි.

විමල් කුමාර ද කොස්තා නික්ම ගිය දිනවල කාංසාමය හැන්දෑවක මිත්‍රයකු සමඟ අඩියක් මරමින් සිටි මොහොතක ඔහු යූ ට්‍යුබයට පිවිස 'ඇර සොයිසා' ට ඉඩ දුන්නේ ය. මිත්‍රයා උත්ප්‍රාස උපහාස ලෝලියෙකි. හර්බට් රංජිත් පීරිස් නම් රසවතා 'ඇර සොයිසා' නාමවලියම නිර්මාණාත්මක ප්‍රවේශයක තබයි. නමුත් ඉන් එහා යාමට මට පෙළඹුමක් සොයාගන්නට හැකි වන්නේ කොස්තා නිසාවෙනි. විහිළුවක සජීවීකම මෙන්ම එහි සීරියස්කම රැක ගැනීම කොස්තාමය රංගවේදයේ බරසාරකමයි.

කොස්තාගේ ඉරණම කොස්තාට පෙර අත්පත් කරගත්තේ ඔහුගේ සමකාලිනයකු වන කැළණියේ ගුරුකුලයේ ම පතිරාජ එල්. එස්.දයානන්ද ය. ඔහු කොස්තා අනුදත් රංගශිල්පයේ කොස්තාගේ පූර්වගාමියා විය. ‍ඔහු විශාල දැනුමක් අතැතිව වේදිකාවට ප්‍රවිශ්ඨ වූ අතර තමන් රංගනයෙන් නිදහස් වූයේ ඒ අවකාශය තමන්ට වඩා තියණුව ප්‍රතිනිර්මාණය කිරීමට තමන්ගේ මිත්‍ර කොස්තාට හැකියාව තිබුණු බැවිනි. ඔහු 'කවුරුවත් එන්නෙ නෑ' සඳහා කොස්තා ආයෝජනය කරන්නෙ එබැවිනි.

සුගතපාල ද සිල්වා නම් සොඳුරුතර අඥාදායකයා සමඟ සංලාපගත වෙන්නට ලැබුණු අතීත දිනයක මම 'දුන්න‍‍' ගැන ඔහුගෙන් ඇසූයෙමි.  පාලනය කරගත නොහෙන තරම් වේගයකින් 'දුන්න' ඇදීගියේ කොස්තා වෙත ය. කොස්තාගෙන් වියුක්තව ඒ ගැන කතා  කළ නොහැකි වූවා වැන්න. හෙමින් හෙමින් දුනුගමුවට විත් කොස්තා මුණගැහෙන්නට සිතූ මට 'සුගත් අයියා' විසින්ම පාර තැනුණි.

'කොස්තාගෙ දකින සුවිශේෂම ගුණය මොකද්ද?' මම සුගත් අයියාගෙන් ඇසුවෙමි.

'විමල් කියන්නෙ බ්ලොටිං පේපර් එකක්,' ඔහු කීයේ සුපුරුදු උත්ප්‍රාසයේ මඳහසිනි. කොස්තා සමඟ 'දියර පානයන්' අත්විඳ ඇති මම පි‍ළිතුර සමඟ හිනාවුණෙමි.

'මං එහෙම කිව්වෙ මේකයි. මිනිහාට දෙයක් කියන්න ඕනි එක පාරයි. ආයෙ මුළු ආත්මෙන්ම ඒක ප්‍රතිනිර්මානය කරන්න විමල් දන්නවා. ඒක හරිම දුර්ලභ දෙයක්.'

'මං සිනමාකාරයෙක් වුණා නම් විමල්ව තියන්න ඕනි තැන මං දන්නවා,'  සුගත් අයියාගේ වචනවලින් උත්ප්‍රාසය විහිදිණ. සුගත් බඳු මිනිසකුගේ කටහඬෙහි වන සදය උත්ප්‍රාසය සමඟ වේදනාව ද සම්මිශ්‍රණය වූ කල්හි, එය ඇසෙන්නේ වෙනම නාටකීය අනුනාදයක් ඇතුව ය.

ඔහුගෙ හ‍ඬේ වූයේ වේදනාවක් බව මෙනෙහි වන මේ මොහොතේ කොස්තා නැත.

සුගත්ට 'කොස්තා' පයින්ඩය රැඟෙන විත් තිබුණේ, ඩබ්ලියු ජයසිරි ය. ඒ.ජේ. සෙල්ලදොරේ විසින් 'වෙයිටිං ෆෝ ගොඩෝ' වේදිකාවට රැගෙන ඒමට රිහසල්ස් කරමින් සිටියදී ජයසිරි මේ අපූරු හාදයාව දැක තිබිණ. පතිරාජට ඔහු හමුවන්නේ සුගත්ගේ දුන්නේ වැඩකරමින් සිටියදී ය. පතීගේ 'සතුරෝ' කෙටි චිත්‍රපටියෙන් නොනැවතී පතීගේ විශිෂ්ඨතම නිර්මාණවලියේ කොස්තාට අවකාශ හැදෙන්නේ එහෙම ය. බඹරු ඇවිත් බඳු දේශපාලනමය සිනමා ප්‍රකාශනයක නිර්මාණකරුවාගේ මතවාදය හා සමපාත වන්නේ කොස්තාගෙ රඟ පෞරුෂයයි. සමස්ථ සමාජය 'ජේයාරුකරණය' වන එළිපත්තේ කොස්තා නොහොත් වීරසේන මෙසේ කියයි.

'උඹලට කවදාවත් මේවා තේරුම් ගන්න බෑ. උඹලගෙ ඔලුගෙඩි හරියට හිස් බෙලෙක්ක වගේ!'

කොස්තාගේ ජීවිතය මෙන්ම මරණය 'සිනමාව' තුළ තබා කියැවීමට නම් කිසිවකු හෝ විසින් කොස්තාගේ ජීවිතය, ඔහු හා හෝඩියේ පන්තියේ සිට එකට සිටි ලංකාවේ 'නිලි රැජින' බවට පත් වූ මාලිනී ෆොන්සේකාගේ ජීවිතය හා සමාන්තර කියැවීමකට ලක් කරනු ලැබීමට‍ තරම් නිර්භීත විය යුතු ය.

කැළණිය ගුරුකුලයේ මාලනී සෙනෙහෙලතා විසල් කැරිස්මාව ඇය  'නිලි රැජිණ' ලෙස බෞතීස්ම කරද්දී, මහා රංග පෞරුෂයක් හිමිව තිබූ හෝඩියේ සිට හොදි කමින් ආ ඇයගේ එකම පංතියේ සිටි පංති සගයා 'කැරිස්මා ෆ්‍රී' වීමෙන් 'වළට' ම වැටිණ. අපට ඔහු හමවන වරම් හිමි වූයේද වළ තුළට ඇද වැටුණු ඒ වරම තුළ ය. නාරහෙන්පිට වළේ කොස්තා සමඟ අඩියක් ගැසුවකු නොවේ නම් කොස්තා තමන් තුළ ගැසූ කැරැල්ලට සාක්ෂි වන්නට ඔබට නොහැකි ය.

'අහස් ගව්වේ' සිටම අවම වශයෙන් සිනමාවේදී හෝ කොස්තාට මාලනී හමු නොවේ, එබැවින් ඈ හිමි නොවේ.  ආරම්භයේදීම මාලිනී කොස්තාට කැමරාව අභියස අභිමුඛ වුවද ඒ තමන්ගේ  ෆැන්ටසිමය ලෝකයෙන් පියවරින් පියවර ඈතට ඇදෙන ලෙසිනි. පතීගෙ සිනමාව පමණක්ම ගත්ත ද, ඔහු විසින් පවා මාලිනී සහ විමල් කුමාර් ස්ථානගත කෙරුණේ දෙදෙනා අතර පරතරය වැඩි කෙරෙන පරිද්දෙනි. 

'අහස් ගව්වේ' ගුණේ මාලනී සිටින නිදහස් අවකාශයක පිස්සු කෙලියාට අතින්වත් අල්ලන්නට ලැබෙන්නේ නැත. බඹරු ඇවිත් හි කොස්තා බඹරකු වුව මාලිනි හිමිවන ඇන්ටනී නම් බඹරා වන්නේ විජය යි.  පතී වුව සිනමා පෞරුෂයන් පිහිටුවන්නේ එ ලෙස ය. 'එයා දැන් ලොකු ළමයෙක්' හි කොස්තා සයිකල්කාර දුෂ්ඨයා මිස පෙම්වන්තයා නොවේ. මේ සියලු චරිත කොස්තා විසින් ඩොක්ටර් පතිරාජ ඉල්ලූ මාත්‍රාවෙන්ම ලබා දුන්න ද, ඒ චරිත කොස්තාගේ ෆැන්ටසිය ඉරිතලන්නට භෞතිකව දායක වූ චරිත බව නිර්මාණකරුවන් විග්‍රහ කර ගත්තේ නැත. මොකටද? එසේ සිතුවා වන්නටද පුළුවන.

මා පවසනා මේකී කොස්තාමය නිමේෂයන් ලුහුබැඳ යන්නට වෙහෙසුණු මගේ පරම්පරාවේ නිර්මාණකරුවකු වේ නම් ඒ ධනංජය කරණාරත්න බව කොස්තාගේ නික්මයාමෙන් පසු ඔහු විසින් ලියැවුණු 'සංවේදී' සටහනකින් සාක්ෂි සැපයෙයි.

ධනංජය 'ස්කයීපීය' තාක්ෂණය ඔස්සේ කොස්තා ලුහුබැඳීම අරඹන්නේ  කොස්තා ලවාම ඔහුගේ ම 'ස්වයං චරිතාපදාන' රංගනයක් ගොඩනංවන 'සිහිනයක්' පදනමේ තබාගෙනයි. නමුත් ඔහු මෙම 'කොස්තාමය රංගන ව්‍යාපෘතිය' අතරමඟදී අතැ'ර දමයි.  හේතුව ඔහු කොස්තා ගැන 'ප්‍රත්‍යක්ෂව' දත් දෙයක් නොවේ. ඒ, වෙනත් තොරතුරු මත පදනම් වූ නිගමනයකි. එබැවින් ඔහුගෙ 'සංවේදී' සටහන විසින් මතුකෙරෙන ඇතැම් කරුණු අතිශයින් විවාදාපන්න බව මගේ කියවීම යි.

"ඇත්ත වශයෙන්ම මට හමුවන විට යන්තම් කොස්තා නම් මිනිසා ජීවත් වුවද විමල් කුමාර ද කොස්තා නම් නළුවා බොහෝ කලකට පෙර මිය ගොස් තිබුණි."

ධනංජය කරුණාරත්න මිත්‍රයාගේ ඉහත ප්‍රකාශය මට අනුව නම් සාහසික ය. ඔහු තම මතය තහවුරු කිරීමට සාක්ෂි වීමට පෙරබිමට කැඳවන්නේ චාන්දනී සෙනවිරත්න නම් දක්ෂ රංගන ශිල්පිනිය යි.

ධනංජය මෙසේ ලියයි.

".....එවකට කොස්තාගේ ව්‍යාපෘතිය භාරව සිටි චාන්දනී (සෙනවිරත්න) තීරණයක් ගැනීමට මේ ගැන වෙනම සොයා බැලූ අතර ඒ අනූව තහවුරු වූයේ එම කාලයේ කොස්තා වැඩ කල නිර්මාණ කීපයකදී ඔහුගෙන් උවමනා පරිදි වැඩේ කරගන්න බැරිවී ඇති බවයි. මට මෙය තහවුරු කරන්න ඇයට ඡායාරූප පවා එවන්න සිදුවිය. මෙසේ මම කලක සිට මහත් ආශාවෙන් රංගගත කිරීමට සූදානම්ව සිටි කොස්තා ලවා ඔහුගේම ජීවිතය රංගගත කිරීමේ සිහිනය අත්හැර දැමීමට සිදු විය."

නමුත් චාන්දනී කැඳවීමෙන්ම ඔහු තම අදහසේ පදනම බිඳ ගනී. ඔහු ඉහත නිගමනය ගෙන ඇත්තේ ඔහු සමඟ වැඩකිරීමෙන් නොවේ.  අනෙක් පසින් අධ්‍යක්ෂණය යන බරපතල විෂය 'සංසාර පුරුද්දට' හෝ 'අධ්‍යයනය තුළින්' හෝ බරසාරව සිදුකළ හැකි නිර්මාණකරුවන් අතලොස්ස ගැන මට වඩා හොඳට ධනංජයට අවබෝධයක් තිබේ.  මේ ක්‍රමවේද දෙකෙන්ම පරිපාකයට පත්වෙමින් සිටින ධනංජය, භාවිත වේදිකා ජීවිතයේදී 'රඟපෑම් විෂයේ' සුවිශාල බුහුටිකම් නොදැක්වූවන් බරපතල නළු නිළියන් කිරීමට සමතෙක්වූ මම දනිමි. එවන් ධනංජය කොස්තාගෙ 'ස්වයං චරිතාපදාන' රංගනය අත්හැරීම ගැන පවසනා දෑ බරපතල ලෙස ගණන් ගන්නේ කෙසේද?  කොස්තා හා ධනංජය යනු විශාල 'කැපෑසිටි' දෙකකි. එබැවින් කොස්තා සමඟ වේදිකාව නම් 'වළට' නොබැස, අන් අධ්‍යක්ෂවරු දෙන සහතික මත කොස්තා ගැන නිගමන ගැනීම සාධාරණ නොවන බව මගේ මතයයි.

මා තුළ පැන ගැන ප්‍රශ්න මේවා ය. චාන්දනී කියන 'කොස්තා ෆේල් වූ' මේ නිර්මාණ මොනවාද? ඒවායේ අධ්‍යක්ෂවරු වූයේ කවුද? ඔවුන්ට කොස්තාගෙන් වැඩගන්නට බැරිව තිබුණේ ඇයි?  ඡායාරූප කිහිපයකින් කොස්තාගෙන් වැඩ ගන්නට බැරි වූ බව තහවුරු කරන ක්‍රමවේදය කුමක්ද? ධනංජය මේවාට පිළිතුරු දෙනු ඇතැයි සිතමි.

එතෙක් යළි කොස්තා ලුහුබැඳ යා හැකි ය.

නාරාහෙන්පිට 'වළේ' දිගු කාලයක් දකින්නට නැති වූයෙන් 2008 එක්තරා දිනෙක කොස්තා ලුහුබැඳ යන්නට මමත් අතුල විතානගේ මිත්‍රයාත් තීන්දු කළෙමු. නාරාහෙන්පිට වළෙන් ම ගමන පටන් ගත් අපි, පෑලියගොඩ තොරණ හන්දියටත්, එතැනින් මීගමුවටත්, එතැනින් ලද ඔත්තුවක් මත වරකාපොල කිට්ටුව තැනකටත් ගියෙමු. ඉන් ඉක්බිති යළි මීගමුවේ කරක් ගැසීමු. අවසන නතර වූයේ මීගමු කුරණ ය. අපි ධාරණ වීදි නාට්‍ය කණ්ඩායමේ නිර්මාතෘ ඇන්ටන් මිහිඳුකුල දුටුවේ යන්නට හැරී එන විට ය. ඔහු කොස්තාගේ මිත්‍රවරයකු විය. නමුත් කොස්තා හොයා ගන්නට බැරි විය. නමුත් කොස්තාමය නිමේෂයන් මෙනෙහි කරමින් ඇල්කොහොල් ගුදමක කිමිඳෙන්නට අපට සිදුවිය. මෙම ලුහුබැඳීම වූ කලී යම් දිනක ඔහු පොරොන්දු කරවා ගත් දීර්ඝ අවිධිමත් සංලාපය ඔහුගෙන් පැහැර ගැනීම අරමුණු කරගත්තකි. පොරොන්දුව නිරුපද්‍රිතව තිබුණද ඔහු නිරුපද්‍රිතව සිටිනා ඉසව්වක් තිබුණේ නැත.

රට තුළ නොසිටන පසුබිමක වුව විටින් විට කොස්තා ලුහුබැඳ යන්නට අපට ඇවැසි විය. ඇතැම් සංස්කාරක මණ්ඩල සාකච්ඡාවල අපි ඔහු ගැන කතා කළෙමු. මේ ඇතැම් විට ඔහු ඉන්නා ඉසව්වක් හොයා ගන්නට හැකිවුණු තොරතුරු ලැබුණු අතර බොහෝ විට ලැබුණේ ඔහු සොයා ගන්නට බැරි වූ තොරතුරු ය.

අවසානයේ කෝස්තා ලුහුබඳින්නට තීන්දු කළ මොහොතේ ඔහු ගැන ලත් ආරංචිය මා මවිත කළේ ය. ඔහු 'නිවාස අමාත්‍යංශයේ' නිල රැස්වීමවල 'අභිරූපනයේ' යෙදෙනවා යන්න ය. පණිවිඩය රැගෙන ආ මිතුරාගේ හඬෙහි පවා වූයේ කළකිරීමකි. ඒ තොරතුර ලුහුබැඳ ගිය මට හමුවූයේ 'දිනමිණ' පත්තරයක මුල් පිටුවේ පින්තූරයකි.  'නිවාස ඇමතිවරයා' විසින් කිසිඳු භෞතික සම්පතක් ලුහුබැඳ ගිය නැති කොස්තාට 'තවත්' නිවාසයක් ලබා දී තිබුණි.  මෙවන් සිද්ධි ගැන අපට සති ගණන් මාස ගණන් විවාද කළ හැකි ය. නමුත් ඇත්ත වශයෙන් ම නම් කොස්තාට තිබුණේ අහස් ගව්වේ ගුණේ මෙන් 'අවංක' නාගරික ජීවිතයකි.  මේ නාගරික  අවංකකම වනාහී කොල්ල කෑ හැකි ගුණයක් බව මම අද්දැකීමෙක් දනිමි.  කොස්තාට වසර දෙක තුන ඉදිරිය ගැන බැලූ ජීවිත ප්ලෑන් තිබුණේ නැත. ඔහුට තිබුණේ දෛනික ජීවිතයකි. එක් නිශ්චිත දවසක කෙළවර වූයේ ඒ දෛනික ජීවිතයයි. 'අහස් ගව්වේ'දි ගුණේ ගිලන් රථයක හැපී මිය යන්නාක් බඳුවම කොස්තා ද එක්වරම නික්ම ගියේ ය.

සැබෑ ජීවිතයේදී ද එසේම ය. ඔහුගේ මිය යාම ගිලන් රථයකට යට වී මිය යාමට සමාන්තර ය. පතී එදා ගිලන් රථයෙන් සංකේත ගත කළ 'සමාජය' නම් රෝගියා පටවාගත් 'ප්‍රජාතන්ත්‍රවාදී?' ගිලන් රථයට ඔහු සිය කැමත්තෙන් බිලිවිය.

සමාජ අගතීන්ට එරෙහිව මිනිස්සු කැරලි ගසති. සංවිධානගත කැරලි දෑසට පෙනේ. තමන් තුළම කැරලි ගසා මියයන්නන්ගේ මරණය සමාජය හමුවේ පෙනෙන්නේ ස්වභාවික මරණයන් මෙනි.

කොස්තාගේ මරණය ස්වභාවික මරණයක් ලෙස මට කිසිදාක හිතෙන්නේ නැත. එබැවින් කොස්තා ලුහුබැඳීම යනු මට නම්, අතරමඟදි අත්හළ යුතු ක්‍රියාවක් නොවේ.

මංජුල වෙඩිවර්ධන - JDS

Entertainment News

“සේකර“

09 February 2018

Stats

There are 28591 listings, 821 categories and 101 owners in our website
Vote for Us

vote4us