Tuesday, 29 May 2018 10:13

දිගම චිත්‍රපට තේමා ගීතය හැදූ ෂෙල්ටන් ප්‍රේමරත්න

වයස අවුරුදු 18ක් පමණ වූ තරුණයකු සිංහල චිත්‍රපටයක සංගීත අධ්‍යක්‍ෂණය සඳහා තෝරා ගත් බව කීවොත් ඇතැම් විට ඔබ පුදුම වෙනවා ඇති. එපමණක් නොව ඔහු සිනමාවේත්, කරළියේත් පෙරළි කළේ දෙවරක් තුන්වරක් නොවේ. ඔහු ඒ තරම්ම සංගීත ලෝකයේ සුවිශේෂ චරිතයකි. අද ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සංගීතඥයාද ඔහුය. එහෙත් ඔහු අද ජීවත් වන්නේ ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් නගරයේය.

ෂෙල්ටන් ප්‍රේමරත්න කී පමණින් සංගීත ලෝකය ඔහු හොඳින් හඳුනයි. මීට වසර 70කට ඉහත ඔහුගේ වයස අවුරුදු 17දී ඒ.පී.එම්. නූර් නම් ව්‍යපාරිකයා “ජීවිතයේ ප්‍රීතිය” නම් චිත්‍රපටය නිෂ්පාදනය කරද්දී සංගීත අධ්‍යක්‍ෂණය තමාට භාර දුන්නේ මන්දැයි ඔහුටද ප්‍රහේලිකාවක් විය. එහි එන “කදිරනේ ධීර වීරා” නම් ගීතය පමණක් නිර්මාණය කළත් මේ චිත්‍රපටය අතරමග නතර විය. එහෙත් මේ ගැටවර සංගීතවේදියා අධෛර්ය නොවීය. ෂෙල්ටන් ප්‍රේමරත්න නම් මේ අප්‍රමාණ සංගීතඥයා මට හඳුන්වා දෙන්නේ එවකට ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ සිටි ධර්මසිරි ගමගේ නම් පත්‍ර කලාවේදියා විසිනි. කඩවසම්, විනෝදශීලී, ගතිපැවතුම් ඇති ඔහු තරම් දෙපිට කැපෙන වචන භාවිතා කරන මුඛරියකු මට තවම හමුවී නැත. අප කතා කරන හැම වචනයකටම ඔහු පිළිතුරු දෙන්නේ එම වචනය නොපිට පෙරළමිනි. ඒ වචන මෙවැනි ලිපියක ලිවිය නොහැකිය. මේ පද පෙරළිය ඔහු ඉගෙන ගත්තේ මෙරට සිටි මහා සංගීතඥයකු වූ තම පියා ගෙනි.

“ෂෙල්ටන් අයියා” යන ආදර නාමයෙන් අප ඇමතූ ඔහු වචනයේ පරිසමාප්තාරථයෙන් විශ්වකර්මයෙකි. ජෝ අබේවික්‍රම, රවින්ද්‍ර රන්දෙණිය, ධර්මසිරි ගමගේ, ඇන්ටන් අල්විස්, තිස්ස අබේසේකර, හෙන්රි ජයසේන, එඩී ජූනියර් සමග ෂෙල්ටන් එක්වූ විට ඔහු කියන රසකතා අප අසා සිටින්නේ බඩ අල්ලාගනෙ සිනාසෙමිනි. ඔහු තරම් “යාන්ස්” රසකර කීමේ සමතකු ද මට හමුවී නැත.

ජෝතිරත්නගේ ෂෙල්ටන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වැනිදා කොළඹ කොටහේනේදී උපත ලැබීය. ඔහු මුලින්ම ඉගෙනීමට ගියේ කොටහේනේ සෙක්කු විදියේ කිතුණු ළදරු පාසලටය. ඉන්පසු හිල් වීදියේ මධ්‍ය මහා විද්‍යාලයට (අද හැඳින් වෙන්නේ කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලයටය).

ඔහුගේ ප්‍රධාන විනෝදාංශය වූයේ හින්දි චිත්‍රපට බැලීමය. ඒ චිත්‍රපටවල රඟපෑ දිලිප් කුමාර්, නිම්මි, නර්ගිස්, රාජ්කපූර් වැනි නළු නිළියන්ට වඩා ඔහු ඇලුම් කළේ නෞෂාඞ්, බර්මන්, බිස්වාස්, රාමචන්ද්‍ර, මදන් මෝහන්, සලීන් චෞද්රි, සජාද් හුසේන්, වසත් දේසායි, හේමන්ත් කුමාර් ආදීන්ගේ සංගීත නිර්මාණවලටය. ගීතවලටය. ෂෙල්ටන් කුඩා කල වඩාත් ප්‍රිය කළේ ටවර් රඟහලේ රඟදැක්වූ වෙස්සන්තර, පද්මාවතී, මියුලන් ආදී  නාට්‍යය නැරඹීමටය. 

ෂෙල්ටන්ගේ තාත්තා වූ සාදිරිස් මාස්ටර් ටවර් යුගයේ දක්‍ෂ ගායකයකු, සංගීතඥයකු මෙන්ම නළුවකු ලෙස ප්‍රකටව සිටියේය. 1910 වසරේ මෙරට සංගීත ක්‍ෂෙත්‍රයේ සංගීත සාජ්ජවල ප්‍රමුඛ සංගිත මාස්ටර්ලා අතර ප්‍රකටව සිටි රූපසිංහ මාස්ටර්, එඩී මාස්ටර්, ගවුස් මාස්ටර්, යු.ඩී. පෙරේරා මාස්ටර් අතර සාදිරිස් මාස්ටර්ද ප්‍රමුඛ චරිතයකි.

 “මගේ තාත්තාගේ නම ජෝතිරත්නගේ සාදිරිස් සිල්වා. ඔහු උපන්නේ මාතර අකුරැස්සේ. සංස්කෘත පාලි මෙන්ම හින්දි උර්දු භාෂාව ගැන මනා දැනුමක් ලැබූ තාත්තාට ඕනෑ වුණේ වෙදමහත්තයකු වූ සීයා මෙන්  වෙදකමට යොමු කිරීමටය. 

එහෙත් මගේ සිත සංගීතය පැත්තට ඇදී ගියේ මද්දුම බාප්ප නිසාය. බාප්පා තෑගි දුන් වයලීනය මගේ අනාගත මංපෙත පහදා දුන්නා. තාත්තා ක්‍රමානුකූලව සංගීතය ඉගෙන ගෙන ඇත්තේ සංගීතඥ ඇම්.ජී. පෙරේරා සූරීන්ගෙන්. තාත්තා එකල ඉන්දියාවේ සිට පැමිණි සංගීත ශිල්පීන්ට අභියෝග කොට තම දස්කම් ප්‍රදර්ශනය කළ එක් වතාවක් “ආනන්ද බායි” කියන දක්‍ෂ ඉන්දියානු ගායිකාව තරගයකට එන්න කියලා තාත්තාට අභියෝග කළාලු. ඒ කාලේ ලංකාවේ හිටිය ජාති හිතෛෂීන් තාත්තාගේ පැත්ත අරන් සංගීත තරගයක් සංවිධාන කර තිබෙනවා. එදා රෑ ශාලාවේ අතුරු-සිදුරු නැතිව සෙනගලු.

“මෙරේ චවුලා බුලා..”

ආනන්ද බායි විස්මිත ලෙස හඬ අවදි කරල තියෙනවා. තාත්තා ඊළඟට ‘පරමේෂ්වර’ කියන රාගධාරී ගීතය උච්ච ස්වරයෙන් ගැයුවලු. තරගයෙන් ජයගත් තාත්තා සෙනඟ පිරිවරා ඇවිත් ඔසවා ගෙන තියෙනවා. තෑගි බෝග, පදක්කම්, කුසලාන පිරිනමලා තියෙනවා. තාත්තාගේ හඬට ආනන්ද බායි වශීවෙලා විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා”

තාත්තා වේදිකාවේ වෙස්සන්තර ලෙස රඟපාද්දී මන්ත්‍රී දෙවිය ලෙස ලක්‍ෂමී බායි රඟපෑ ආකාරය අටහැවිරිදි වියේ සිටි ෂෙල්ටන්ට මතකය. එය තමාගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් බව ඔහු වරක් මට විස්තර කළේ මෙසේය.
 “වෙස්සන්තර නාට්‍යයේ පෙළ වේදිකාවේ තිරයට මුවාවී මතක් කරන්නේ මම. නාට්‍ය එක දර්ශනයක තිබුණා වෙස්සන්තර  රජු තම දරුවන් දන්දෙන අවස්ථාවක්. පුංචි ජාලිය හා ක්‍රිෂ්ණජිනා අඬන්න පටන් ගත්තා. මම මේ දර්ශනයේදී කොතරම් සංවේග වුණාද කිවහොත් පෙළ මතක් කරන එක අමතකවී හයියෙන් අඬන්න පටන් ගත්තා.
 “කවුද ඒ අඬන ළමයා” නාට්‍යයේ සංගීත මාස්ටර් වූ බී. එඩී සිල්වා (එඩී මාස්ටර්) කිසිවකුගෙන් ඇසුවා.

 “සාදිරිස් මාස්ටර්ගේ පුතා” තවත් කවුදෝ කීවා. ඒ සමගම රජ ඇඳුමෙන් තාත්තා ආවලු.

 “සාදිරිස් පුතාව මේ වැඬේට හරියන්නේ නෑ. අපි එයාව සංගීතය පැත්තට යොමු කරමු.” එඩී මාස්ටර් තාත්තාට යෝජනා කළාලු. 

සාදිරිස් මාස්ටර් 1862 වසරේ උපත ලබා ඇත. ඔහු බෞද්ධයෙකි. ඔහුගේ බිරිඳ එමලින් නෝනාගේ ගම මීගමුව, ආගම රෝමානු කතෝලිකය. ඔවුනගේ වැඩිමහල් පුතා ජේ. අමරනාත්ද සංගීතඥයෙකි. දෙවැනි පුතා වූ ජේ. කුලසේන සිල්වා සංගිත ගුරුවරයෙකි. ප්‍රථම බිරිඳගේ අකල් වියෝවෙන් පසු සාදිරිස් මාස්ටර් එමලින් නෝනා සමග විවාහ විය. එම විවාහයේ ප්‍රථම දරුවා ෂෙල්ටන් ප්‍රේමරත්නය. දෙවැන්නා විමල් ජේ. සාගර ගායකයෙකි. චිත්‍රපට පසුබිම් ගායකයකු වූ ඔහු ගැයූ “මා මිනි මා දෙයියා” නම් තිරයට නොපැමිණි තිසාහාමි චිත්‍රපටයේ ගීතය ගැයූ ගායකයාය. සාගර ටේලර්ස් අධිපතිවරයා වූ ඔහු ගිය වසරේ මියගියේය. තුන්වන සහෝදරයා විමල් ජේ. ශ්‍රියාරත්න  දක්‍ෂ තබ්ලා වාදකයෙකි.

 ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයේ සූරයකු වූ ෂෙල්ටන් කලක් හෝමාගම මධ්‍ය විද්‍යාලයේ ගුරු වෘත්තියේ යෙදී ඇත. 1952 වසරේ ‘හීන කුලය’ නාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසි ඔහු සසර දුක, සුරා සූදු අන්තුවා, සමදරා, මන්ත්‍රී හාමුදරුවෝ, ගුත්තිල මූසිල, සාරභූමි තිත්ත බත, පරෙවිය ආදී නාට්‍යවලද පසුකාලීනව තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, හොටබරි යුද්දෙ, හුනුවටයේ කතාව, ඩුංඩුං බෙරේ,  කෝන්තරේ, තහංචි, ගමන,  සෛලාසනය, චුලෝදර මහෝදර, නරියා සහ කේජු, ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ නාට්‍යවල සංගීතය  මෙහෙයවීය. 

ෂෙල්ටන් විසින් නිර්මිති මියුරු ගුවන් විදුලි ගීත රැසක් ජනප්‍රිය වී ඇත. විජේරත්න වරකාගොඩ ගැයූ “හිරුපායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ”, මාලනී බුලත්සිංහල ගැයූ “සඳමඩලේ සිට”, අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” මේ ගීත අතර දිය දෝතකි. ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ මුදුන්මල්කඩ හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාවය. එහි එන මේ ගීතයන් ප්‍රේක්‍ෂක මනසින් කිසිදා බැහැර නොවනු ඇති. 

“යුද්දෙට මම ගියා
ගෑනි ගෙදර තියා
මගේ යාළුවෝ මං එනතුරු
උන්දැ බලා ගනී නිරතුරු”
“සමුද්‍රදේවි” නාට්‍යයේ “ගෝවේ ගෑනු පරදායි” ගීතයද ෂෙල්ටන්ගේ නිර්මාණයකි.

ෂෙල්ටන් ප්‍රේමරත්න චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ සිරිසේන විමලවීරයන් 1957 වසරේ අධ්‍යක්‍ෂණය කළ “එකමත් එක රටක” චිත්‍රපටයෙනි. ඉන්පසු  “මා ආලය කළ තරුණිය”, ගැහැනු ගැට, දස්කොන්, සිහින හතක්, තිසාහාමි (තිරගතවී නැත), හැංගි හොරා, බඩුත් එක්ක හොරු, කලණ මිතුරෝ, රොමියෝ ජුලියට් කතාවත්, හිතක පිපුණ මල්, මාහේනේ රීරි යකා, යලි ඉපිදේ, වීදුරු ගෙවල්, තිලක හා තිලකා, සිරිපාල හා රන්මැණිකා, එක් දවසක් රෑ, නිවෙන ගින්න, ආදර ගීතයක්, උණ්ඩය චිත්‍රපටවල සංගීතය අධ්‍යක්‍ෂණය කළ අතර ඒ චිත්‍රපට ආ ජනප්‍රිය ගීත අතර “ආලේ මිහිර පෙන්නා”, “රන්වළා තොටිල්ලේ”, නයනහාරි පෙම් කුමාරි”, “සෞම්‍ය පායා දිලෙන්නා”, “සුපුන් සඳක් නැගීලා”, “පුෂ්පමකරන්දය මාගේ”, “හංස රානි ආදරේ”, “අහසේ තරු ගණින්න වෙයිද දන්නේ නෑ”, ජීවිතේ යෞවන යාමේ”, “කලණ මිතුරු දහමයි”, “ දිනක යන මෙතැනින්”, “උපන් කාට වුණත්”, “මා හද වාවනු බෑ” වඩාත් කැපී පෙනෙයි.

 ශ්‍රී ලාංකේය චිත්‍රපට ගීතාවලියේ වාර්තා තැබූ සංගීතඥයකු ලෙස ඔහු ප්‍රකටය. සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතය නිර්මාණය කළේ ඔහුය. ඒ ගීත පටිගත කිරීම බැලීමට 1969 වසරේ මට අවස්ථාව ලැබිණි. විනාඩි 10ක කාලයක් තිරයේ දුටු ඒ තේමා ගීතය මහාචාර්ය තිස්ස කාරියවසම් රචනා කළ අතර එය ගැයුවේ නිහාල් ජයවර්ධන (චිත්‍රපට නළු ඩොමී ජයවර්ධනගේ පුතා) විසිනි. “හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්” නම් ඒ ගීතය එන්නේ ජී.ඩී.එල්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ “රෝමියෝ ජුලියට් කතාවක්” චිත්‍රපටයේය.

 “සිංහල චිත්‍රපටයකට ඉංග්‍රීසි ගීතයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණේ මට. ඒ “රෝමියෝ ජුලියට්” චිත්‍රපයට සඳහා. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජී.ඩී.එල්. පෙරේරා මට කිව්වේ මෙහෙම. 

“ෂෙල්ටන් මේ චිත්‍රපටය ශේක්ස්පියර්ගේ කතාවක් අනුව නිර්මාණය වෙන්නේ. මට ඕනෑ ඉංග්‍රීසි ගීතයක්. ගීතය ගයන්න ලංකාවේ ගායකයෙක් නැති නම් පිටරටකින් හරි කෙනෙක් හොයමු. මට ඕනෑ ජිම් රිව්ස්   වගේ කටහඬක්.”
“මොකටද පිටරට ගායකයෙක්. මම හිතන්නේ සුනිල් සාන්ත මේකට ගැලපෙයි.”

“උඹ බණ කතා කරනවද? සුනිල් සාන්ත හිතුවක්කාරයෙක්. ආඩම්බරකාරයෙක්. එයා නං මේකට ගැලපෙනවා.” කැමති වෙන එකක් නෑ. ජී.ඩී.ඇල්. අදිමදි කරමින් කිව්වා.

 “ජී.ඩී.එල්. උඹ මාව සුනිල් සාන්ත ගාවට එක්ක පලයන් කෝ. ඉතුරු හරිය මම බලාගන්නම්. අපි මේ ඉංග්‍රීසි ගීතය ෆාදර් මර්සලින් ජයකොඩි ලවා  මුලින්ම ලියව ගමුකෝ.”

ජයකොඩි පියතුමා ගීතය ලියලා ඒක ගන්න ගියාම මට මෙහෙම කිව්වා. 
“ෂෙල්ටන් මම ගීතය ලිව්වා. ඒකට අපූරු තනුවකුත් මැවුණා.”

“අනේ ෆාදර් මම ඔබතුමාට වඳින්නම්. මේකට තනුව දාන්න. මට ඉඩ දෙන්න. මේක මගේ සංගීත ජීවිතයේ අමරණීය අවස්ථාවක්.

 “ෂෙල්ටන් දක්ෂ තනු නිර්මාපකයෙක්නේ. ඒ අදහසට මම එකඟයි. මම  නිකමට කිව්වේ.”
 ඊළඟට මම සුනිල් සාන්ත සොයා ජා-ඇළ දෙහියාගාතට ගියේ ජී.ඩී.එල්. එක්ක. අපි කාරණය සුනිල්ට කිව්වා. 
“ගීතය නම් ලියලා තියෙනවා ඉතා හොඳයි. එහෙත්.... මම කාගෙවත් තනුවකට ගීත ගයන්නේ නෑ. ෂෙල්ටන් දන්නවනේ ඒ මගේ හැටි. ඔබ දක්‍ෂයෙක් බව මම දන්නවා. ඒවා මම අගය කරනවා.”

“සුනිල් මට අවස්ථාවක් දෙන්න. හොඳ නැත්නම් අල්ලලා දාමු”
“කෝ බලමු, ෂෙල්ටන්ගේ තනුව...” සුනිල් එසේ කියන කොටම මම කාර් එකේ තියෙන හාමෝනියම් එක ගේන්න ගියා. 

“Don't bring that Harmonium''.Z“

සුනිල්ට හාමෝනයිම් එක පේන්න බෑ. මම ආපසු ඒක කාර එකේ තියලා මෙලඩි එක “හම්” කරලා ගායනා කළා.

 "My Dreams are Roses for My Love
I drop them down for her feet
Walk on them softly My Love
your feet will make them more sweet''

සුනිල්ට රහ දැනුණා. ඔහු මගේ තනුව මියුරුව ගායනා කළා. 

“ෂෙල්ටන් මේ තනුවට මම කැමතියි අපි කියමු.”
ෂෙල්ටන් ඒ අපුරු සිද්ධිය විස්තර කළේය.
 ෂෙල්ටන් ප්‍රේමරත්න නම් මේ විශිෂ්ට චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරයා ශ්‍රී ලංකාවේ දිගම චිත්‍රපට තේමා ගීතයක් ප්‍රථමවරට ප්‍රථම ඉංග්‍රීසි චිත්‍රපට ගීතයක් නිර්මාණය කළා පමණක් නොව තවත් පෙරළි කර ඇත. 

දළුගම සරසවි චිත්‍රගාරයේ දින 1 1/2 පටිගත වූ ඔහුගේ එකම තනුවකට ගැයූ සිංහල හා ද්‍රවිඩ ගීත දෙකක් ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු විසින් පටිගත කොට ඇත. එය ගැයුවේ සුජාතා අත්තනායක විසිනි. එය එක වාර්තාවකි. මේ චිත්‍රපටය හිතක පිපුණු මල්ය. ඒ චිත්‍රපටයේම ඔහුගේ තනුවකට ඩැල්රින් ආන්ලඞ් හා නන්දා මාලිනිය භදර ෑ්ිඑ-භදර උැිඑ ඉංග්‍රීසි හා සිංහල ගීතය මුල්වරට ඇතුළත් වීම තවත් වාර්තාවකි. ගීතයේ රචකයා මර්සලින් ජයකොඩි පියතුමාය.
එපමණක්ද නොව 1959 වසරේ තිරගත වූ ‘දස්කොන්’ චිත්‍රපටයට ඔහු විසින්  නිර්මාණය කළ සිංහල චිත්‍රපටියක් සඳහා ගායනා කළ ප්‍රථම ශාස්ත්‍රීය ගායනය ඇතුළත් වී ඇත. විනාඩි 6 1/2ක් දීර්ඝවූ මේ ගීතය “මාල්කෞන්ස්” රාගය ඇසුරෙන් නිර්මාණය වූ අතර එය ගායනා කළේ ෂෙල්ටන් හා සිසිර සේනාරත්නය. හැටේ දශකයේ මැද භාගයේ අතිශයින්ම ජනප්‍රිය ගීත ඇතුළත්  හින්දි චිත්‍රපටයක් වූ “දෝස්ති” ඇසුරෙන් 1970 නිපදවූ “කලණ මිතුරෝ” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූ ඔහු ඒ සඳහා ස්වතන්ත්‍ර ජනප්‍රිය ගීත කිහිපයක් නිර්මාණය කළේ හින්දි ගීතවලට අභියෝගයක් හැටියටය. වික්ටර් රත්නායක ගැයූ “කලණ මිතුරු දහමයි”, “දිනෙක යන මෙතැන් සිට නික්මී”, “මහමෙර සාගර”, “උපන් කාට වුණත්”, “භවෙන් භවය” මේ ගීතයි.

 එදා කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේදී මර්වින් රුද්‍රිගු ශබ්ද පරිපාලනය කළ ෂෙල්ටන් “සිහින හතක්” චිත්‍රපටයට නිර්මාණය කළ මිල්ටන් පෙරේරා හා සුජාතා අත්තනායක ගැයූ “සුපුන් සඳක් නැගීලා” ගීතයේ පටිගත කිරීම් බැලීමට පැමිණි භාරතීය සංගීත අධ්‍යක්‍ෂ ටී.ආර්. පාසා (සුරතලී, සුන්දර බිරිඳ, සුනීතා, සුරංගනී චිත්‍රපටවල සංගීත අධ්‍යක්‍ෂ) මවිතයට පත්වී ඇත්තේ සීමිත වාද්‍ය භාණ්ඩ ගණනකින් අපුරු තනුවක් නිර්මාණය කිරීම ප්‍රාතිහාරයක් ලෙස අගය කර ඇත. ෂෙල්ටන් තරම් සංගීත ලෝකයේ පර්යේෂණ කළ සංගීතඥයන් සිටියේ නම් දෙතුන් දෙනෙකි. “හුනුවටයේ කතාවේ” හි වැල්පාලමේ අවදානම අපට දනවමින් එය ඉදිරියට විකාශනය  වී නියම ශ්‍රැතියට පැමිණ අවසන් වේ. “සමුද්‍ර දේවි” නාට්‍යයේ “ගෝවේ ගැහැනු පරාදයි” ගීතයේ අශ්වයාගේ හේෂාරාවය හා බුරුවාගේ හඬ ඔහු මතු කර ගත්තේ වයලීනයෙනි. හුනුවටයේ කතාවේ අකුණු හඬ ෂෙල්ටන් මතු කළේ පැරණි X - RAY තහඩුවක් දෙකට නමා කිසියම් රිද්මයකට පහළට ඉහළට වේගයෙන් හැසිරවීමෙනි. ඔහු වරක් එකදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව මිනිස් හඬ පමණක් භාවිතා කොට ඔහු Dred Voices ප්‍රසංගය 1976 ඉදිරිපත් කළේ සිය දෙනකුගේ හඬ වෘන්ද ගායනයක් ලෙසින් ඉදිරිපත් කරමිනි. 

ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ තොරතුරු අනාවරණය වී ඇති එකම ග්‍රන්ථය වන්නේ ලයනල් ගුණතිලක, රංජිත් යාපාද අල්විස් හා ස්ටැන්ලි ලියනගේ විසින් ලියූ “හෙළයේ ගාන්ධර්වයාණෝ සහ දරුවෝය”ය.

 ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ පළමු විවාහයෙන් පුතෙක් (ප්‍රදීප්) හා දුවක් (ශ්‍යාමා) සිටින අතර දෙවැනි විවාහයේ වැඩිමහල් පුතු අග්‍රා ඕස්ටේ්‍රලියාවේ  ශබ්දාගාරයක් පවත්වා ගෙනයමින් සංගීතය උගන්වමින් සිය පියාගේ සංගීත කටයුතුවලදී සෙවනැල්ලක් මෙන් සිටින්නේය. දියණිය ඩිංගිරිධිණි නිරූපිකාවකි. 

2009 වසරේ මැයි 07 වැනිදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි උපාධි ප්‍රදානෝත්සවයේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ට සාහිත්‍ය ශූරි (D.Lit) උපාධිය හා ආචාර්ය (Ph.D) උපාධිය පිරිනමන ලද්දේ ඔහු සංගීත ක්‍ෂේත්‍රයට කළ මහා මෙහෙය වෙනුවෙනි.

 ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත ක්‍ෂේත්‍රයේ නව අත්හදාබැලීම් කැටි කළ හෘදයාංගම ස්වර සංරචකයෙකි.

Entertainment News

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website