Wednesday, 15 May 2019 11:42

වෙනස් වන්නේ මිනි­සුන්ගේ චින්ත­න­යයි

ප්‍රේමය වෙනුවෙන් කඳුළක් නොහෙළු කෙනකු සොයා ගැන්ම අසීරුය. ප්‍රේමයේ සොඳුරු බව මෙන්ම ප්‍රේමයේ රුදුරු බව හඳුනන්නේ ප්‍රේමයෙන් බැඳුණවුන්ය.

දෙදෙනකු අතර ප්‍රේමයක් ඇති වන්නේ කොහොම ද? අප දස දෙනකුගෙන් ඇසුවොත් අපට ලැබෙන උත්තර දස විධියකි.

“මට එයාව මුලින්ම හමුවුණේ විශ්වවිද්‍යාලයේදි. ඒ රැග් සීසන් එකේදි. මොන හේතුවකට ද දන්නේ නැහැ එයා මාව හැමදාම රැග් එකෙන් බේර ගත්තා. අපි කතා කරන්න ගත්තේ කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙදි විතර. අපි දෙන්නම කොළඹින් ඈත පිටිසර ගම්වල අය. එයාට මම ආදරය කරන්න ගත්තේ මටත් නොදැනීම. එයාට මම කැමැති වුණේ ඇයි කියන්න මට හේතු ගොඩාක් තිබුණා. එක; එයා කඩවසම්, දෙක; එයා බුද්ධිමත්, තුන; එයා උගත්, හතර; එයා අවංකයි. ඒ වුණත් එයාගේ ඇත්ත ස්වරූපය මම දැන ගත්තේ අන්තිම අවුරුද්දෙදි.

කැම්පස් එකේ මල් පාරෙදි අපි හවසට හැමදාම හමු වුණා. මම ආසයි ඔයාගේ දිග කොණ්ඩයට, ලොකු ඇස්වලට. එයා හැමදාම කිව්වා. කොයි තරම් ළඟින් හිටියත්, ආදරෙන් බැඳුණත් අන්තිමට අපි ඈත් වුණා. අවුරුදු හතර අවසානයේ එයා ධනවත් පවුලකින් කසාද බැන්දා. කිසිම වෙනසක් නැතිව අපි එදත් මල්පාරෙදි හමු වුණා.

“මම යාළු වෙලා බැන්දා නම් බඳින්නේ ඔයාව. ඒත් අම්මලාගේ හිත රිද්දන්න බෑ. මම එයාලගෙ කීමට කැමැති වුණා. මේ ඔයාගේ ආරාධනාව. නොවැරදීම එන්න ඕන.

“කිසිම දෙයක් හිතා ගන්න බැරි මොහොතක එයා මගෙ අතට මංගල ආරාධනාවක් දිලා යන්න ගියා. මම හිටියේ ගල් වෙලා. මගේ ඇස්වලට කඳුළු පිරුණත් ඒවා බිමට වැටුණේ නැහැ. අපි යාළුවෙලා නෙමෙයිද හිටියේ මෙච්චර කල් මගෙ හිත මගෙන්ම ඇහුවා. හිතන්න මම කොයිතරම් නම් විඳවන්න ඇති ද කියලා.

මම දුප්පත් පවුලක කෙනෙක්. අපිට තිබුණේ පුංචි ඉඩමක්. තාත්තා රෝහලක සුළු සේවකයෙක්. අපිට කිසිම වත්කමක් තිබුණේ නැහැ. එයා මේ හැමදේම දැන ගෙන මට ආදරය කරලා ...අන්තිමට අම්මලා හොයලා දුන්න සල්ලිකාර තරුණිය විවාහ කර ගත්තා.‘‘ හේමමාලි මේ කතාව කියලා ඉවර වෙලා යාන්තමට හිනා වෙලා මා දිහා බැලුවා. ඇගේ ඇස්වල තියෙන්නේ දුක ද කලකිරීමද කියලා මට හිතා ගන්න බැහැ.

“මම ඇඬුවා, වැලපුණා. අන්තිමට මම හිත හදා ගත්තා. තේරුමක් නැති කෙනෙක් වෙනුවෙන් කාලය නාස්ති කරන්න ඕන නැහැ කියලා. ඊට කාලෙකට පස්සේ මමත් විවාහ වුණා. එයාට මහ ගොඩක් සල්ලි නැහැ. නමුත් එයා හොඳ හිතක් තියෙන හොඳ ගතිගුණවලින් පොහොසත් කෙනෙක්.“

හේමමාලිගේ කතාව අවුරුදු විස්සකට වඩා පැරැණිය. අද ද ඉඳහිට මට ඇය හමුවෙයි. නමුදු ඇය මිය ගිය අතීතය කිසිම විටෙක සිහිපත් නොකරයි. පළමු පෙම මියගියද ඇය ඒ වෙනුවෙන් හිත රවට්ටා ගැනීමක් නැතැයි හේමමාලිගේ කතාව සිහිපත් වන හැම විටම මට සිතෙයි. යට ගියාව සිහිපත් වූයේ ඊටම ගැළපෙන ගීතයක් අසන්නට ලැබුණ විටය.

‘පාට හත ගෙන සොහොන ළඟ

දේදුන්න මොකටද පායලා

ඇතෙක් බර වස්තුවට පෑගී

දිළිඳු ප්‍රේමය මියැදිලා....‘

ගී පද රචක රජී වසන්ත හැම විටෙකම පවතින තත්වය වෙනස්ම අයුරකින් දකින වැඩි විච්චුර්ණ නැති පද ලියන ගේය පද රචකයෙකි. නමුදු සරල වුව ද මහා ලොකු කතාවක් කියන්නට තරම් ඔහුගේ පද රචනා ප්‍රබලය.

අත දිගු මානෙන් ළං කර ගන්නට බැරි ප්‍රේමයත් හරියට සඳක් වගේය. ඒ සඳට ළං වෙන්නට අපට බැරිය. ළං වෙන්ට බැරි සඳක් වෙනුවෙන් එය ලබා ගැනීමට කාලය කැප කිරීම අපරාධයකි. කොයිතරම් දේ තිබුණ ද වස්තුව මිල මුදලට යට වන ප්‍රේමයෙන් පලක් නැත. රජී අද දකින්නේ , පද ගළපන්නෙත් එදා හේමමාලි අත්දුටු ප්‍රේමයේ කඳුළුය.

“ආදරයේ අහිමි වීම ගැන මේ ලියලා තියෙන්නේ. අද සමාජයේ ආදරය ගැන තියෙන්නේ අති පරිශුද්ධ හැඟීමක් නෙමෙයි. මේ කාලේ ගැහැනු ළමයි පිරිමි ළමයි ආදරෙන් බැඳෙන්න කලින් වත් පොහොසත්කම් රැකියාව ආදි සියල්ල පිළිබඳ විමසිලිමත් වෙනවා. කොයිතරම් ආදරයෙන් හිටියත් අද සමාජයේ විවාහය තීරණය කරන්නේ මිල මුදල් එක්ක. හදවතින් ප්‍රේමයෙන් බැඳිලා අවසානයේ අග හිඟකම් නිසා දෙදෙනකු දෙපසට වෙනවා නම් ඒ අත්දැකීමේ තියෙන වේදනාකාරී බව දන්නේ ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙක් පමණයි. විශ්වවිද්‍යාල කාලයේ එවැන්නකුගේ අත්දැකීමක් තමයි මම ලිව්වේ. ගායන ශිල්පි ඉන්දික මෙය හොඳින් ගැයුවා. ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණය මීට හොඳින් ගැළපුණා.“ රජී පවසයි.

රජි මේ පවසන්නේ වසර දෙකකට පමණ උඩදි ලියූ ගීතයක අත්දැකීම පිළිබඳය. ඊට ගැළපේ යැයි කියා මා ලියූ හේමමාලිගේ කතාව වසර විස්සක් පමණ පැරැණිය. වෙනස නම් ප්‍රේමය කවදත් එකය. වෙනස් වන්නේ මිනිසුන්ගේ චින්තනයය.

පාට හත ගෙන සොහොන ළඟ
දේදුන්න මොක­ටද පායලා
ඇතෙක් බර වස්තු­වට පෑගී
දිළිඳු ප්‍රේමය මියැ­දිලා....

මල් මතක නෙළ නෙළා කුම­ටද
මල් වඩම් මත පල­ඳලා
යශෝ ගින්නෙන් දවා හළු කළ
කඳුළු ගඟ­කට විසි කළා...

හඬන මළ බෙර ඉකිය විත­රක්
හිතේ මුල්ලක ගු ළි­වෙලා
අඳුර අපි යමු නිදන කුටි­යට
සඳට මොක­ටද රැව­ටිලා....

ගාය­නය - ඉන්දික ලිය­නගේ
පද රච­නය- රජී වසන්ත වෙල්ගම
සංගී­තය - රෝහණ වීර­සිංහ

(දිනමිණ)

Entertainment News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website