Thursday, 11 July 2019 03:46

අත්පිටපත ජනේලෙන් එළියට වීසි කළා

හාපර් ලී

හාපර් ලී ඇමෙරිකානු ලේඛිකාවකි. 1960 දී පළ වූ '‍ටු කිල් අ මොකින්බර්ඩ්' ලෝකයේම සාහිත්‍ය ඇස ඈ වෙත යොමු කරවා ගැනීමට සමත් වූ කෘතියකි. 1961 වසරේ පුලිට්සර් සම්මාන දිනා ගැනීමට ද මේ කෘතියට හැකි විය. පසුකාලීනව මේ නවකතාවෙන් සම්මානිත සිනමාපටයක් ද නිෂ්පාදනය විය. ඇගේ දෙවැනි නවකතාව 'ගෝ සෙට් අ වොච්මන්' නිකුත් වූයේ 2015 දී ය. ඉන් වසරකට පසුව ඕ ජීවිතයෙන් සමුගත්තා.

වරප්‍රසාද වෙනුවෙන් ලියන අය දන්නෙ නෑ තමන් මොකක්ද කරන්න යන්නෙ කියලවත්. ඒ අය අයිති වෙන්නෙ 'ලියන අය' කියන ප්‍රවර්ගයට මිසක්, ලේඛකයෝ කියන ප්‍රවර්ගයට නෙමෙයි. ලිවීම කියන්නෙ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මේ ගුණාංගය ඔවුන් ඇතුළේ නිරුත්සාහිකවම වැඩෙන්න ඕනා. ලිවීමේ ප්‍රතිලාභය, නිතිපතා ලියන්න පුළුවන් වීමමයි. ලිවීම යම් ප්‍රමාණයකින් ආත්මාර්ථකාමීයි. එකිනෙකට පටහැණි කොන්දේසි, ලිවීම ඇතුළේම තියෙනවා. මූලිකවම මම විශ්වාස කරන්නෙ, අපි ලියන්නෙ ‍තෝරාගත් එක පාඨකයෙක් වෙනුවෙන්. ඔහු හෝ ඇය සතු‍ටු කිරීම අනිවාර්යයි. 'මම ලියන්නෙ මං වෙනුවෙන් නෙමෙයි, පොදු මහජනතාව වෙනුවෙන්' කියන කතන්දරේ මම විශ්වාස කරන්නෙ නෑ. ඒක මහා විකාර කතාවක්. ඕනෑම රචකයෙක් අවිඥානිකව හෝ තමන් සතු‍ටු කර ගන්නයි ලියන්නේ. වෙනත් අය එක්ක සන්නිවේදනය කරන්න; සතු‍ටු සාමීචියේ යෙදෙන්න, ලේඛකයාට වුවමනාවක් නෑ. ලේඛකයාට වුවමනා වෙන්නේ, වඩාත් විශ්වසනීය විදිහට තමන් එක්කම මේ සංවාදය පවත්වා ගන්නයි. ලිවීම කියන්නේ නොනිමෙන ආත්ම ගවේෂණාත්මක සැත්කමක්. ලේඛකයා තුළ නොසිටින යක්ෂයන් දමනයට කරන, යාතුකර්මයක් වගෙයි. ඔහුගේම ලෝකයේ දිව්‍යමය අසන්තෝෂය හොයාගෙන යන ගමනකයි ඔහු ඉන්නේ.

සමහර දේ ලියැවෙන්න ඕනා මෘදු කොළවල මිසක්, සීතල ලෝහ ඇතුළේ නෙමෙයි. දැන් කාලෙ අපේ මනස හිස් කාමර වගෙයි. ලිවීමේදී, තමන් බලාපොරොත්තු වෙන උත්කෘෂ්ට පරමාර්ථයට ළඟා වෙන්න. ඊට වඩා, අබ මල් රේණුවක්වත් හොයන්න එපා. එතකොට කළකිරෙන්න සිද්ධ වෙන්නෙ නෑ. ඔබේ ලිවීමේ සීමා සහ උපරිම තත්ත්වය ගැන තමන් එක්කම ගිවිසුමකට බැදෙන්න. ඒත්, කිසිම වෙලාවක කිසිවක් බලාපොරොත්තුවෙන් ලියන්න එපා. වරප්‍රසාද සහ විශේෂ බලාපොරොත්තු හිතේ තියාගෙන ලිවීම නරකක්. ඉන් ඔබට ලැබෙන්නෙ පසුතැවීමක් සහ කළකිරීමක් විතරයි. අනෙක් අය සතු‍ටු කිරීම ගැන සහමුලින්ම අමතක කරලා ලියන්න.

ප්‍රබන්ධය වඩාත් උත්කර්ෂවත් කරන්නෙ, ඇත්ත ජීවිත අත්දැකීම් එකතු වීමෙනුයි. '‍ටු කිල් අ මොකින්බර්ඩ්' නවකතාවෙ ප්‍රධාන චරිතය ඇටිකස්ව මම හදාගත්තෙ මගේ තාත්තගේ චරිත ලක්ෂණ එකතු කරලයි. මගේ තාත්තා නීතිඥයෙක්. වතාවක් ඔහු සුදු ජාතික සාප්පු හිමියෙක් මැරීමේ චෝදනාව එල්ල වුණ, කළු ජාතිකයෙක් වෙනුවෙන් පෙනී හිටියා. මේ වගේ සිද්ධි ගොඩක් මගේ මතකයේ තිබුණා.

ඒ වගේම, ලිව්වට පස්සේ ඒ ගැන නැවත නැවත කතා කිරීමෙන් වලකින්න. පොදු පාඨකයාට ඒ ගැන කතා කරන්න, විවේචන කරන්න ඉඩ දෙන්න. නවකතාව ගැන සංවාදය ඔවුන්ට ඉදිරියට අරගෙන යන්න ඉඩ දෙන්න. ලේඛනයේදී කතා කිරීම තරමක් බාල වැඩක්. ශ්‍රේෂ්ඨ ලේඛකයකුගේ රාජකාරිය වෙන්න ඕනෙ, තමන්ගේ ලිවීම ගැන අවධානය යොමු කිරීම මිසක්, ලියපු දේ ගැන සම්මුඛ සාකච්ඡා දීම නෙමෙයි.

ලිවීමට තමන්ටම වෙන්වුණ ක්ෂේම භූමියක් හදා ගන්න. වරු ගණන්, දින ගණන් ලිවීමේ අතරමං වෙන්න පුළුවන් විදිහේ වටපිටාවක් හදා ගන්න පුළුවන් වුණොත්, ලිවීම සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න බොහොමයක් විසදෙනවා. මේ අතරේ හුදෙකලාව බොහොම සුඛෝපභෝගී තත්ත්වයක් බවත් මතක තියා ගන්න.

මිතුරන් ‍තෝරාගැනීම සහ ඔවුන් එක්ක තියෙන සම්බන්ධතාවේ ධාරිතාව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔබේ සිහින සැබෑ කර ගන්න ඉණිමං හදලා දෙන්න පුළුවන් මිතුරන් අත් නොහරින්න. 1956 දී මිතුරන් දෙන්නෙක් එක්ක නත්තල ගත කරන්න මම නිව්යෝර්ක් නගරෙට ගියා. ඒ දෙන්නා මට කිසි දවසක අමතක නොවෙන නත්තල් තෑග්ගක් දුන්නා. ඒ කාලෙ මගේ ‍රැකියාවෙන් ලැබෙන අවුරුද්දක පඩිය දීලා, ඒ මුළු කාලෙම නවකතාවක් ලියන්න වැය කරන්න කියලා ඒ දෙන්නා කිව්වා. මුලින් ඒ ගැන තිගැස්මක් තිබුණත්, පස්සේ ඒක නැති වුණා. මගේ පළමු වැනි නවකතාව ලිව්වේ, මගේ යාළුවෝ දෙන්නගේ පරිත්‍යාගය නිසයි. ඔවුන්ට ඕනෑ වුණේ, මගේ දෛනික ‍රැකියාවෙන් අත්වුණ පීඩාව, සහමුලින්ම නැති කරලා ලියන්න සුදුසු මානසික වටපිටාවක් හදලා දෙන්න. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණා.

හැම ලේඛකයකුටම ඉතා ම හොඳ සංස්කාරකවරයෙක් සිටීම අත්‍යවශ්‍යයි. ඒ වගේම, තමන්ගේ සංස්කාරකවරයාට ඇහුම්කන් දීමත් අනිවාර්යයි. මගේ පළමු වැනි නවකතාවෙ අත්පිටපත සංස්කරණය කළේ, ටේ හෝහොෆ්. ඔහුත්-මමත් එකතු වෙලා, පළමු වැනි අත්පිටපත සංශෝධනය කළා. අපට මේ වැඩේට අවුරුදු දෙකක් ගියා. ඔහු කියපු හැම වෙනස්කමකටම මම ඇහුම්කන් දුන්නා. සංස්කරණයට එකඟ වුණා. හැබැයි සංස්කරණය කරගෙන යන අතරේ, වතාවක් දෙකක් මම අත්පිටපත ජනේලෙන් එළියට වීසි කළා. ඒ තරමටම සංස්කරණය මා පිස්සු වැට්ටුවා. බලාපොරොත්තු භංග කරලා දැම්මා. ඒත්, අන්තිමේදී ලැබුණු ප්‍රතිඵලය නම් හරි ම ඉහළයි.

සමහර වෙලාවට ජීවිත කාලෙටම එක හොඳ පොතක් ලිව්වහම ඇති. '‍ටු කිල් අ මොකින්බර්ඩ්' ලිව්වට පස්සේ, පාඨකයෝ මා නොනැවතීම ලුහුබැන්දා. මගෙන් තවත් නවකතාවක් ඉල්ලා හිටියා. මේ පීඩනය හරි ම ප්‍රබලයි. මට මේ ඉල්ලීම්වලට දෙන්න තිබ්බෙ එක උත්තරයයි. මම ඒ උත්තරය වුණේ මට ලියන්න තිබුණ දේ මම ලියලා ඉවරයි. සමහරවිට ආයෙමත් මම එක අකුරක්වත් ලියන එකක් නෑ. සමහර විට ලියාවි. ඒක ස්ථීරයෙන්ම කියන්න බැහැ. මම ඒ තීරණයේ අවුරුදු 55ක් හිටියා. ඊට පස්සේ හදිසියේම මගේ දෙවැනි නවකතාව එළියට දැම්මා. 'ගෝ සෙට් අ වොච්මන්' පිටවුණේ 2015 අවුරුද්දේ.

ලියන්න කලින් ඔබ ලියන්නෙ මොනවද කියන එක ගැන හරි තීරණේකට ඒම හරි ම වැදගත්. ඒ වගේමයි, ලිවීම ගැන ඉගෙන ගැනීම. ලිවීම කියන්නේ ස්වයං විනයක් සහිතව කරන්න ඕනා ක්‍රියාදාමයක්. ලිවීමේ නිරත වෙච්ච ලේඛකයෝ ඕනෑ තරම් ඉන්නවා. ඒත්, ලිවීම නියතයක් සහ අනිවාර්යයක් වුණ ලේඛකයෝ ඉන්නෙ අල්පයයි. අන්න ඒ අල්පය ඇතුළට ඒමයි කළ යුත්තේ. ලිවීමේ නිරත වුණ ලේඛකයන්ගේ කිසි ම විශේෂත්වයක් මට පේන්නෙ නෑ. හැබැයි, අනිවාර්යයෙන්ම ලියන්න නියමිත වුණ ලේඛකයෝ අති විශේෂයි.

මම '‍ටු කිල් අ මොකින්බර්ඩ්' ලියන්න ගත්තේ කෙටිකතා මාලාවක් විදිහටයි. ඒත්, අන්තිමට ඒක නවකතාවක් වුණා. එතකොට මම හිටියේ සීතල මහල් නිවාසෙක. මගේ පළමු වැනි පොත මේ තරම් සාර්ථක වෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ. මම බලාපොරොත්තු වුණේ, කුඩා ආලෝකයක් විතරයි. ඒත්, ප්‍රසිද්ධිය සහ ආලෝකය මා හොයාගෙන ආවේ, ඔළුවට හෙණයක් වදින්නා වගෙයි. ඒ පිළිගැනීම සහ ආලෝකය මටම දරා ගන්න බැරි තරම් වුණා.

බහුතරයකට භාෂාව වෙනුවෙන් පරිපූර්ණ ආදරයක් ඇත්තෙ නෑ. හොඳ අදහසක් ලැබුණට පස්සේ, එක තැනක සාවධානව වාඩිවෙලා, ඒ අදහස් මාත්‍රය මැණිකක් වගේ ඔප මට්ටම් කරන්න සංයමක් බොහෝ දෙනකුට නැහැ. මේ තත්ත්වයට ළඟා වෙන්න ලොකු කාලයක් සහ ඉවසීමක් වැය කරන්න ඕනා. මේ ඉවසීම ඇති සුළුතරය, ලිවීම සම්බන්ධයෙන් යා හැකි ඉහළ ම කඳු මුදුන තරණය කරනවා. සෙසු අය නොයෙක් තැන්වලින් හැරිලා එනවා.

තමන්ගේ ලිවීම සම්බන්ධයෙන් ඉතා ම පහසුවෙන් සෑහීමකට පත් වීම හරි ම අභාග්‍යයක්. ඒකෙන් වෙන්නේ, හොඳ තත්ත්වයේ නැති යමක් පවා හොඳයි කියලා තමන්ටම ඒත්තු ගන්වා ගන්න ලේඛකයාට පුළුවන් වීමයි. වර්තමානෙ ගොඩක් ලේඛකයෝ ඉන්නෙ මෙන්න මේ ලේසියෙන් සෑහීමකට පත්වීමේ ඉරණමට වැහිලා. හැබැයි මට ඕන වුණේ, දකුණු ඇලබාමාවේ ජේන් ඔස්ටින් වෙන්න. ඒ නිසා ම, ලියන බොහෝ දේ ගැන පහසුවෙන් සෑහීමකට පත් වෙන්න මට බැරි වුණා.

ලියන්න පටන් ගත්තෙ කොයි කාලෙද කියලා හරියටම මතක් කර ගන්න බෑ. අකුරු කියවන්න, ලියන්න පුළුවන් වුණේ කොයි කාලෙද? ඒ කාලෙ ඉඳන්ම මම ලිව්ව බව තමයි මතක. '‍ටු කිල් අ මොකින්බර්ඩ්' ලියනකන්ම, මුද්‍රණය කරන්න ඕනා කියන අදහසින් මම කිසිම දෙයක් ලියලා නෑ. කුඩා කාලෙ ඉඳන් ම, ලිවීම ගැන අවිඥානික වුවමනාවක් මගේ හිතේ තිබ්බා. තමන් ලේඛකයෙක් කියලා හඳුන්වා ගන්න කලින්, ලිවීම ගැන නිසි අවබෝධයකට එළැඹීම අනිවාර්යයි කියලා මම නිතරම විශ්වාස කළා. '‍ටු කිල් අ මොකින්බර්ඩ්' විටින් විට අවුරුදු දෙකක් තිස්සේ මම ලිව්වා. පවුලේ අයගේ නොයෙක් කරදර, පෞද්ගලික ගැටලු එක්ක හැලහැප්පෙමිනුයි මම මේ වැඩේ කළේ. ඒත්, පොත ලියන්න මුලින්ම අදහස හිතේ පැළ වුණේ කොහොමද කියලා මතක් කර ගන්න අමාරුයි. මම හිතන්නෙ මේ කතාව, මගේ ඇතුළාන්තයේ කාලයක් මුළුල්ලේ මගේම කොටසක් වගේ වැඩුණ එකක් කියලයි. හොඳට හෝ නරකට මම ලියන මුල්ම කතාව '‍ටු කිල් අ මොකින්බර්ඩ්' කියලා මම දැනගෙන හිටියා. හැබැයි ඒ හැඟීම විස්තර කරන්න අමාරුයි.

සාමාන්‍යයෙන් ලේඛකයෝ ලියන්න කැමැති නෑ. නොලියා ඉන්න ඔවුන් දහසක්, හේතු හදා ගන්නවා. එක් තැනක වාඩිවී ලිවීමේ ක්‍රියාදාමයට මේ අය අනියමින් වෛර කරනවා. හැබැයි මම සම්බන්ධයෙන් ඒක වෙනස්. මම ලියන්න හරි ම කැමැතියි. මම ලියන්න කැමැති වැඩියිද කියලත් එක වෙලාවකට හිතෙනවා. බොහෝ වෙලාවට මට ලිවීමෙන් ගැලවිලා යන්න ඕනෑකමක් නෑ. දවස් ගණන් ගෙදරින් එළියට බහින්නෙ නැතිව මම ලියලා තියෙනවා. අවට මොනවා සිද්ධ වෙනවද කියලා දැනගන්න වුවමනාවක් ඇති වෙන්නෙත් නෑ. ලියන කොළ ඉවර වුණාම, ඒවා අරගෙන එන්න කාමරෙන් එළියට එන එකයි, කෑම මොනවා හරි ගන්න එළියට ඒමයි ඇරෙන්න, වෙන කිසි ම දෙයක් ඒ කාලෙට මට වැදගත් නැහැ. ලිවීමට වෛර කරන ලේඛකයෝ ගොඩක් අතරේ, මම කරන්නෙ ලිවීමට දැඩිව ආදරය කරන එකයි.

(දිනමිණ)

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website