Thursday, 11 July 2019 03:47

පාඨකයට වැදගත් කතාවෙ අන්තර්ගතය

ස්ටෙෆන් කෙල්මන්

නවක නවකතාකරුවන් බොහෝ දෙනකුගේ පුර්වාදර්ශය බවට පත්වී සිටින්නකු මෙන්ම අතිශය ජනප්‍රිය Pigeon English නවකතාවේ කර්තෘ බ්‍රිතාන්‍ය ජාතික ස්ටෙෆන් කෙල්මන් සමඟ, writers and artists වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

ඔබගේ ලිවීමේ ආරම්භය පිළිබඳ කතා කළොත්?

මම මුලින්ම ලියන්න පටන් ගත්තේ විනෝදාංශයක් විධිහටයි. ඒ, මට වයස අවුරුදු 8 හෝ 9 පමණ කාලයේ ඉඳනුයි. අනතුරුව මට වයස අවුරුදු 16දී මගේ පළමු කෙටිකතාව ප්‍රකාශයට පත් කළා. මම එය පුවත්පතක පළ කිරීමට රැගෙන ගියා. ඒත්, එම පුවත්පත් ප්‍රකාශකයාට මගේ කෙටිකතාව දිග මදි වුණා. ඒඅනුව මම ඒ වචන ප්‍රමාණය ඇතුළත් වන ආකාරයට, නැවතත් තවත් කෙටිකතාවක් ලිව්වා. ඉන් පසුවයි ඔවුන් මගේ කෙටිකතාව ඔවුන්ගේ පුවත්පතෙහි පළ කරන්න තෝරා ගත්තේ.

ඔබේ පළමු නවකතාව පිළිබඳ කතා කළොත්?

මම නවකතාවක් ලියන්න ප්‍රථම වරට උත්සාහ ගත්තේ 2006 වසරේ. මම එහි ලිවීමේ කටයුතු අවසන් කරලා, එය ප්‍රකාශයට පත් කිරීම සඳහා නියෝජිතයන් විශාල පිරිසකට යැව්වා. ඒත්, සිදුවුණේ ඒ හැමෝම ප්‍රතික්ෂේප කරපු එකයි. ඒ වෙලාවේ, මේ දේ අතාරින්න ඕනැද කියලා මට හිතුණා. කෙසේ හෝ මම ඒ කාලයේම වාගේ Pigeon English සඳහා මුල්ම අදහස ආවා. කෙසේ නමුත් ඒ කාලයේ මගේ තිබුණු හැඟීම් සමඟම ඒ අදහස නැතිවී ගියා. ඒත්, අවුරුදු 8 කට පසුව මට යළිත් ඒ ගැන අදහසක් ආවා. ඒ වෙද්දීත් ඒ වගේ කතාවක්, වෙන කාගෙවත් අතින් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. ඒ වතාවේදී නම් මම උත්සාහය අත්හැරියේ නෑ. මගේ නිර්මාණය ප්‍රකාශයට පත් කරන තුරු ම මම වැඩ කළා.

ඔබ , ප්‍රකාශකයන් සොයා ගන්නේ කොහොමද?

මගේ මුල් කාලවල නිතරම පාහේ Writers’ and Artists නම් සඟරාව මිලදී ගන්නවා. ඉන් පසුව මම එහි සිටින ප්‍රකාශකයන් ගැන කියවනවා. ඔවුන් අතරින් මට ගැළපෙන ප්‍රකාශකයන් තෝරා ගන්නවා. ඉන් පසුව මම ලිපියක් සාදා ගෙන ඒ සමඟ මගේ නිර්මාණයේ දළ පිටපතක් කෙළින් ම ඔවුන්ට යවනවා. මුල් කාලයේ නම් මට කිසි ම පිළිතුරක් ලැබුණේ නෑ. ඒත්, දැන් ඔහුන් මා වෙත පැමිණෙනවා.

ඔබ, ඔබගේ ලිවීමේ ආකෘතිය වැඩිදියුණු කර ගන්නේ කොහොමද?

මම හැම වෙලේම හිතන්නේ, ලිවීම කියන්නේ මගේ රැකියාව කියලා. පොතක් ලියනකොට, මම නිතරම ඒ චරිතවලට මා විසින්ම පණ පොවනවා . ඒ කියන්නේ මම ඒ චරිතවලට ඇතුළු වෙලා, ඒ ඇස්වලින් ලෝකය දකින්න උත්සාහ කරනවා සහ අදාළ සිදුවීමට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා මම හැම වෙලේම මතකයේ තබා ගන්නවා. මේ වගේ දේත් එක්ක, මගේ කාර්ය මට පහසු වෙනවා. ඒ වගේම, නවකතා රචකයකු වශයෙන් මම ලිවීමේ කාර්යයට අදාළ උපක්‍රම, කරුණු නිතරම අනුගමනය කරනවා. හදාරනවා.

ඔබගේ නවකතාවලට අදාළ තේමාව ඔබ තීරණය කරනවද?

නැහැ. මම තේමා නොමැතිව තමයි නවකතාවක් ලියන්න ආරම්භ කරන්නේ. මම පළමුව කතාවේ සාරාංශය ලියනවා. අනතුරුව ආරම්භය, මැද සහ අවසානය ලියනවා. මට ස්වාභාවිකවම එහි තේමාව එයින් එළියට එනවා. මම හිතන්නේ පාඨකයන්ට තේමාවෙන් එතරම් වැඩක් නෑ. අන්තර්ගතයයි වැදගත් වෙන්නේ.

ඔබ සහ පාඨකයන් අතර බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

සමාජ ජාලා මාධ්‍ය හරහා මම මගේ පාඨකයන් සමඟ නිරන්තරයෙන් ගැවසෙනවා. ඔවුන් ඒවා හරහා ලබා දෙන යහපත් මෙන් ම අයහපත් ප්‍රතිචාර, විවේචන, ඔවුන්ගේ අදහස් මා ලබා ගන්නවා. ඒවා මගේ ලේඛන කටයුතුවලට ශක්තියක්. ඒ වගේම මට හොඳ මිතුරන් පිරිසකුත් සිටිනවා. ඔවුන් හොඳ විචාරකයන්. මට මගේ ලේඛන කටයුතුවල අඩුපාඩු, දුර්වල තැන් ඔවුන්ට දැනෙන ආකාරයට, මට කෙළින්ම පවසනවා.

ඔබ මේ ලේඛන කලාවේ නිරත වන අයෙක් වශයෙන්, ඔබ වැරැදි කියා සිතුණු අවස්ථා තිබෙනවද?

ඒක මෙහෙමයි , ඕනෑම කතුවරයෙක් හිතන්නේ, තමා ලියන දේ හරියටම හරි කියලයි. වැරැදි දෙයක් ලියන්නේ නැහැ කියලා විශ්වාස කරනවා. මමත් එහෙමයි. මගේ පළමු නවකතාව මේ ග්‍රන්ථයයි. මම හැම වෙලේම මගේ අදහස් නිවැරැදි කියලා හිතුවා. ඒත්, මගේ ඒ අදහස්, තීරණ වැරැදි කියලා මම පසුව තේරුම් ගත්තා. ඒකට හේතුව, සංස්කරණ කටයුතුවලදී මගේ ඇතැම් අදහස් නැවත නැවතත් ලියන්න සිදු වුණා.

අලුතෙන් ම ලියන්න බලාපොරොත්තු වෙන රචකයන්ට දෙන්න තිබෙන අවවාදය මොකක්ද?

පළමු වැනි ම දේ තමයි, ඔබට සම්පුර්ණ කරන්න පුළුවන් කතාවක් ලියන්න තෝරා ගන්න. එය ඔබට ලෙහෙසියෙන් හමු වෙන්නේ නෑ. ඒත්, ඔබට ඒක දැනේවි. ඒක ඔබට දැනුණ මොහොතේ සිට ඔබ නොනවත්වාම ලියන්න පටන් ගනීවි.

ඔබගේ ‘Man on Fire’ කෘතිය පිළිබඳ කතා නොකළොත්, අඩුවක් වේවි නේද?

ඔව්. ඒ කෘතියත් මට සුවිශේෂ යි. එයින් කියැවෙන්නේ ඉන්දියානු ජනමාධ්‍යවේදියකු වන Bibhuti Bhushan Nayak පිළිබඳ යි. ඔහු විශේෂ හැකියාවලින් යුක්ත කෙනෙක්. ලෝක වාර්තා හතක් ඔහු සතු යි. ඒවගේම, විවිධ ගෞරව නාම රැසක් ඔහුට හිමියි. ඔහු බහුවිධ කාර්ය කරන අයෙක්. මේ කෘතිය 2015දී තමා ප්‍රකාශයට පත් වුණේ. ඒක රටවල් 28ක් පුරා ජනප්‍රිය වුණා. බොහෝ පාඨකයන්ගෙන් ප්‍රතිචාර ලැබුණා. මේ චරිතයෙන් අපගේ ජීවිතවලට ලබා ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි.

ඔබට ලැබුණු සම්මාන පිළිබඳත් කතා කළොත්?

මට සම්මාන කිහිපයක්ම හිමිවෙලා තිබෙනවා. ඒවා අතරින් වැදගත්ම එක, 2011 වසරේ මෑන් බුකර් සම්මානය හිමි වීම. ඊට අමතරව The Guardian First Book, The Desmond Elliott නම් වූ සම්මානයන්ටත් පාත්‍ර වී තිබෙනවා.

ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන යමක් පාඨකයන්ට පවසන්න පුළුවන්ද?

මම මගේ පෞද්ගලික ජීවිතය තරමක් කම්මැළි විධිහට තමයි ගත කරන්නේ. ඒත්, වැඩ කරන වෙලාවට මම කඩිසරව වැඩ කරනවා. මේ ජීවිතය මට හරි ම සුන්දරයි. තව දෙයක් මම නිර්මංශිකයි.

(දිනමිණ)

Entertainment News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website