Monday, 05 August 2019 14:59

නිර්මා­ණය හොඳ නම් මුදල් ගැන හිතන්නේ නෑ

‘28’ සිනමා නිර්මාණයේ සුද්දිගේ චරිතය ප්‍රතිනිරූපණය උදෙසා, මෙවර ජනාධිපති සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සේමිනී ඉද්දමල්ගොඩ ය. ඇය, සිනමාවේ හොඳ ම නිළිය ලෙස සම්මාන ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

සුද්දිගේ චරිතය සම්මානයට පාත්‍ර වන මේ මොහොතේ, නැවතත් සුද්දි දෙස හැරී බැලූවොත්?

28 චිත්‍රපටයේ සුද්දි කියන්නෙ හරි ම වෙනස් සහ මට ලැබුණු චරිතවලින් කරන්න අමාරුම චරිතයක්. පිටතින් බලාගෙන ඉන්න කෙනකුට වගේ ම, රංගනය ගැන නොදන්නා කෙනකුට සමහර විට හිතෙන්න පුළුවන්, මළමිණියකට රඟපාන එක ලෙහෙසි දෙයක් කියලා. පහුගිය කාලයේ සමාජ මාධ්‍යවල එක්තරා විචාරකයෙක් ඒ වගේ අදහසක් පළ කරලා තිබුණා. ඒත්, සුද්දිගේ චරිතයේදි ප්‍රසන්න ජයකොඩි වගේ අධ්‍යක්ෂවරයෙක් මා අධ්‍යක්ෂණය නොකළා නම්, මට ඒ චරිතය හරියාකාරව කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. ඒ තරම් ම ඒ චරිතය අමාරුයි. ඒත්, ප්‍රමාද වී හෝ ඒ චරිතයට වටිනාකමක් ලැබීම ගැන මට සතුටුයි. ඔවුන් හරි ම ප්‍රමාදයි. දැන් මගේ හිත කලකිරිලා ඉවරයි .

සුද්දිගේ චරිතය සමඟම සම්මානනීය බලාපොරොත්තුවකුත් ඔබට තිබුණද?

නැහැ. බොහෝ කාලයක පටන් මම සම්මානයක් ගැන හිතාගෙන වැඩ කරලා නැහැ. හැබැයි මම පහුගිය කාලය පුරාම, කරන දේ උපරිම කැපවීමෙන් වගේ ම, චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කළා. ඒකට හේතුව, අවුරුදු විස්සක් ම ඔය සම්මානය මගේ අතට නොලැබීම වෙන්න පුළුවන්. මම හැමදාම හිතුවේ, මේ සම්මානය ගන්න නම්, මම මීට වඩා හොඳින් වැඩ කරන්න ඕනැ කියලයි. ඒ නිසා ම, පහුගිය කාලයේ මුදල් ගැනවත් නොසිතා, හොඳ අධ්‍යක්ෂවරයකු සමඟ වැඩ කරන්න, පොත පත කියවන්න, හොඳ චිත්‍රපට නරඹන්න, හැම මොහොතකම අලූතින් යමක් ඉගෙන ගන්න පුදුමාකාර උණකින් පෙළුණා.

මේ සම්මාන උළෙලට ඔබ සහභාගි නොවූණේ කුමන හේතුවක් නිසා ද?

ඒකට බලපෑ හේතු කිහිපයක්ම තියෙනවා. එකින් එක පහදනවා නම්, කලක පටන් සම්මාන උළෙල ගැන මා තුළ විශ්වසනීය බව නැතිවෙලා ගිහින්. ඒකට හේතුව මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් ගත වුණත්, මට හොඳ ම හා ජනප්‍රිය ම නිළියගේ සම්මානය නොලැබුණ නිසා නම් නෙමෙයි. ඔය සම්මාන උළෙලවල පුද්ගලික අවශ්‍යතාවලට වැරැදි තීරණ දෙනවා මම දැකලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, එවන් අවස්ථාවල ඔය සම්මාන උළෙලවලට සහභාගි වී සිටින, සම්මාන ලැබිය යුතු අය අපහසුතාවට පත් වෙනවා මම දැකලා තියෙනවා. අනෙක් කාරණය, අපේ රටේ දේශපාලනය ගැන මගේ හිතේ පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. ඒ නිසා ඔය දේශපාලඥයන් සහභාගි වෙන තැන්වලට යන්න මම කැමැති නැහැ. මේ හේතු නිසා, අවුරුද්දක විතර කාලයක ඉඳන් මම කිසි ම සම්මාන උළෙලකට සහභාගි වුණේ නැහැ.

ඔබගේ රංගන දිවියේ, හොඳ ම නිළියගේ සම්මානය ලබන පළමු අවස්ථාව මෙයද?

මට හොඳ ම වේදිකා නිළිය සම්මානය හිමි වුණා. ඒත්, මම වැඩියෙන්ම දායකත්වය දී ඇති සිනමාව හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හොඳ ම නිළිය සම්මානය හිමිවෙන පළමු අවස්ථාව මෙයයි. මම අවුරුදු විස්සක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා තියෙනවා. මේ හැම අවුරුද්දකම සම්මාන උළෙලවල හොඳ ම නිළියගේ සම්මානය සඳහා නිර්දේශ වුණත් මට කවදාවත් ඒ සම්මානය ලැබිලා නැහැ. හැබැයි මට හැමදාම ජනතා සම්මානය ලැබෙනවා.

ඔබ 28 චිත්‍රපටයේ සම නිෂ්පාදිකාවක වෙන්නෙ, සුද්දිගේ චරිතයත් සමඟමද?

මම ගියේ ඒ චිත්‍රපටයේ රඟපාන්නයි. මේ චිත්‍රපටයේ හැමෝම වැඩ කරගෙන ගියේ වැඩ කිරීම වෙනුවෙන් ලැබෙන කොටසටයි. මෙහි දී එක නිෂ්පාදකවරයකුගේ ප්‍රශ්නයක් ඇතිවුණා . එතැනදි මෙය වටිනාකමක් තියෙන නිර්මාණයක් නිසා, මම එයට නිෂ්පාදිකාවක් විදිහට සහයෝගය දුන්නා විතරයි. එයින් මම ලාභයක් හෝ වෙනත් දෙයක් ලැබුවේ නැහැ.

රංගන ශිලපීන් නිෂ්පාදනයට දායක වෙන අවස්ථාවලදි, ඒ නිර්මාණවල ප්‍රධාන චරිත ඔවුන්ටම ලැබෙන අවස්ථා බහුලයි නේද?

වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒත් කවදාවත් මම ඒක කරන්නෙ නැහැ. මම ටෙලි නාට්‍ය දෙකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ එකකවත් මම රඟපෑවේ නැහැ.

ඔබ සම්මාන උළෙලට සහභාගි නොවුණත්, සම්මානය බාර ගන්නවද?

ඔව්. මම පසුගිය සඳුදා ඒ සම්මානය බාර ගත්තා.

සම්මාන උළෙල වර්ජනය කරමින් සම්මාන බාර ගැනීම අතර ගැටලූවක් පවතිනවා නේද?

මම සම්මාන උළෙල වර්ජනය කළේ නැහැ. මගේ පුද්ගලික අත්දැකීම් නිසා මට සම්මාන උළෙල ගැන කලකිරීමක් තිබුණෙ. ඒ නිසා, වියදම් කරලා ඇඳුම් පැලඳුම් සකස් කරලා, මගේ කාලය වැය කරලා, ඒකට සහභාගි වෙන එක පලක් නැහැ කියා හිතුණා . සාමාන්‍යයෙන් මම කරන්නෙ, මගේ හිත කැමැති වෙනදේ. එතැනට යන්න මගේ හිතේ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා මම ගියේ නැහැ .

දැන් ඒ කලකිරීම සිතින් බැහැර වෙලාද?

නැහැ . තවමත් එහෙමම තමයි . මට මේ සම්මානය ගන්න ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් ගතවුණා. බන්දු සමරසිංහ අයියට සිනමාවේ හොඳ ම විකට නළුවා විදිහට සම්මානයක් ලබන්න, අවුරුදු පනහක් ගතවෙලා තියෙනවා. ඒක මම ඊයේ පෙරේදා දැන ගත්තෙ. ඒ වගේ කෙනකුට එහෙම වුණානම්, මට මෙහෙම වුණ එක ලොකු දෙයක් නෙමෙයි.

මේ සම්මානය ගැන ඔබට සතුටක් නැද්ද?

පමාවෙලා හරි සුද්දිගේ චරිතයට වටිනාකමක් ලැබීම ගැන, මගේ හිතේ සතුටක් හා දුකක් තියෙනවා. මේ අවස්ථාවට සහභාගි නොවීම ගැන මට තියෙන එක ම දුක, මට මේ සම්මානය ලැබෙන්න නියමිත වෙලා තිබුණෙ මා මෙතැනට ගෙනාව ශ්‍රියාණි අමරසේන මහත්මිය අතිනුයි. මට මේ අවස්ථාවට සහභාගි නොවුණු එක ගැන තියෙන එක ම දුක, මේ සම්මානය ඇගේ අතින් ගන්න නොලැබීම පමණයි. කොහොම වුණත්, මේ ක්ෂේත්‍රයේ සමහර දේ මම ආසාවෙන් බලාපොරොත්තු වුණ කාලෙ, ඒ දේ ලැබිය යුතු අවස්ථාවල, මට ඒවා ලැබුණෙ නැහැ. මාස ගණනක් තිස්සෙ ඉඳන් ඇඳුම් පැලඳුම් සූදානම් කරගෙන, හරි ම කැමැත්තෙනේ ඔය සම්මාන උළෙලවලට ගිය කාලයක් තිබුණා.

සම්මාන පිළබඳ ඔබගේ අත්දැකීම එයාකාර වුණත්, අලුත් පරම්පරාව බොහොම කඩිනමින් සම්මාන කරා ළං වෙනවා නේද?

එහෙම තත්ත්වයක් දකින්න තියෙනවා. ඒ අය මොකක් හරි නාට්‍යයක රඟපාපු ගමන්ම හොඳ ම නළුවා හෝ නිළිය හරි, ජනප්‍රිය ම නළුවා හෝ නිළිය හරි කරනවා. ඊට පස්සෙ එයාලා හිතන්නෙ තමන් සාර්ථක රංගන ශිල්පීන් කියලයි. ඒ සිතුවිල්ල සමඟ ඔවුන් විනාශවෙලා යනවා.

නිතර රඟපෑවේ නැතත්, පිට පිට සම්මාන නොලැබුවත්, ඔබ මිනිසුන්ගෙ හදවත්වල ජීවත් වන නිළියක් කිව්වොත්, ඊට එකඟද?

ඒකට හේතුව මම බොහොම සුළු චරිතයක් කළත්, ඒ චරිතයට අවශ්‍ය කැප කිරීම් කරමින්, චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. මම මිනිස්සුන්ගෙ හදවත්වල ඉන්නෙ ඒ නිසයි.

අද වනවිට ඔබගේ රංගන දිවියට හා හොඳ චරිත කෙරෙහි ඇති කැමැත්තට, සම්මාන බලපාලද?

සම්මානයක් කියන්නෙ, නිර්මාණයක් සඳහා කාලය විසින් ලබාදෙන ඇගැයීමක් විතරයි. මට සම්මාන නොලැබුණා කියලා මගේ රංගන කටයුතු කොතැනකදිවත් නතර කරලා නැහැ. ක්ෂේත්‍රයට ආපු දා පටන්ම මට ලැබුණ නිර්මාණ අතරින් මගේ හිත කැමැති වුණ නිර්මාණවලට මම දිගටම සම්බන්ධ වුණා.

ටෙලි නාට්‍ය නිළියක් විදිහට අප හඳුනාගත් ඔබ, අද එයින් දුරස්ව ඇති හැඩයි?

ටෙලි නාට්‍යවල රඟපාන්නෙම නැහැ. පහුගිය කාලයේ පොහොය නාට්‍ය, අවුරුදු ඒකාංගික නාට්‍ය එකක දෙකක රඟපෑවා. ඒකට හේතුව, කරනවා නම් කරන දේ හොඳ වැඩක් විය යුතු නිසයි. එහි සම්පුර්ණ පිටපත ලැබෙන්නත් ඕනැ එම නිර්මාණය වෙනුවෙන් මම කරන කැප කිරීමට සාධාරණ මිලක් ලැබෙන්නත් ඕනැ. ඉතා ම හොඳ නිර්මාණයක් නම්, ඉතා ම හොඳ අධ්‍යක්ෂවරයෙක් නම්, මම මුදල් ගැන හිතන්නෙ නැහැ. හැබැයි, හොඳ නිර්මාණයක් නෙමෙයි නම්, මම මුදල් ගැන හිතනවා.

ඔබ අද වනවිට මෙම ප්‍රවීණ අධ්‍යක්ෂවරු සමඟ වැඩ කරන උසස් කලා නිර්මාණ පමණක් බාර ගන්නා ශිල්පිනියක්ද?

මම මෙතැනදි හොඳ අධ්‍යක්ෂවරයෙක් කියන්නෙ, අපි දැන් හොඳ අධයක්ෂවරු කියලා කියන පිරිස පමණක් නෙමෙයි. ක්ෂේත්‍රයට තරුණ පරම්පරාවක් එනවනෙ. ඒ අය එක්කත් වැඩ කරන්න කැමැත්තක් තියෙනවා. මම හොඳ නිර්මාණවල කියන්නෙ බොළඳ දේ වෙන්නත් පුළුවන්. හැබැයි බාල දේ නෙමෙයි. එහෙම නැතිව කෘතහස්ත නිර්මාණවලම රඟපාන්න ඕනැ කියලා දෙයක් නැහැ. කලාත්මක වගේ ම වාණිජ සිනමාවේ සරල, සුන්දර නිර්මාණවලත් වැඩ කරන්න කැමැතියි. මම නිර්මාණයකට සම්බන්ධ වීමේ දී, එහි කලාත්මක වාසිය ගන්නවා. එහෙම නැතිනම් මුදල්මය වාසිය ගන්නවා.

(දිනමිණ)

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website