Saturday, 05 October 2019 10:46

නිමන්තගෙන් අලූත් වැඩක්

* මාව ක්‍ෂේත‍්‍රයට ගෙනාවේ කමල් අද්දරආරච්චි

* රාවන්ස් බිස්නස් එකක් නොවෙයි




ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ්හි වූ එකම සංගීත කලා විශ්ව විද්‍යාලය වන ඉන්ධිරා කලා සංගීත් විශ්ව විද්‍යාලයෙන් තම ශාස්ත‍්‍රවේදී උපාධිය ලබා ගන්නා ඔහු, ඔහුගේ ශාස්ත‍්‍රපති උපාධිය ලක්නව් හි භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් ලබා ගනී. මේ වන විට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. අති දක්ෂ සංගීතඥයකු , ගායකයකු ද වන ඔහු කලින් කලට කලා ලොවට නව අත්දැකීම් එක් කරන්නෙක්... ඔහු නිමන්ත හේෂාන් ගමගේ.

තවත් අලූත් බෑන්ඞ් එකක්ද හේෂාන්?

ඔව්... ඒකත් හරි. නමුත් හරියටම කියනවා නම් අලූත් වෙනස් බෑන්ඞ් එකක් කියන ඒක තමයි හරිම කියමන.

මොකද්ද මේ එකපාරට බෑන්ඞ් එකක් කරන්න හිතට ආව ආසාව?

ඉස්සර තමයි මගේ හිතේ බෑන්ඞ් ගැන ආසාවක් තිබුණෙ ඇත්තටම. එතකොට ඒ කාලේ ඉන්දියාවේ ඉන්නකොට තමයි බෑන්ඞ් එකක් හදන්නේ මම ඉස්සෙල්ලම; ලක්නව් වලදී.

ඒ වෙලාවේ ලාංකිකයකුට හිටියේ හේෂාන් විතරද?

නැහැ... ලංකාවෙන් අපි දෙන්නෙක් හිටියා. පේෂල මනෝජ් සහ මම. අනිත් අය ඔක්කොම ඉන්දියානුවන්. පේෂල ඩ‍්‍රම්ස් වාදනය කළා. මම කී බෝඞ් වාදනය කළා. මට මේ අදහස ආවට පස්සේ මම පේෂල සහ තවත් අපේ අයියා කෙනෙක් හිටියා දීපක් කියලා, එයාලට මේ ගැන කියලා අපි බෑන්ඞ් එකේ කටයුතු ආරම්භ කළා.

කොහොමද ඉන්දියාවේ ඒ ප‍්‍රසංගයට ලැබුණ ප‍්‍රතිචාර?

ඉතාමත් ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. සෙනග පිරිලා හිටියා පුදුම තරම්. මිනිස්සු ෂෝ එක නතර කරන්න දුන්නෙත් නෑ. අන්තිමට පොලිසියෙනුත් ඇවිල්ලා දීපක් අයියව පොලිසියටත් එක්කගෙන ගියා. මොකද ලක්නව්වල ඉතිහාසයේම මේ වගේ විවෘත ප‍්‍රසංගයක් පවත්වෙලා තිබුණේ නෑ ඊට කලින්.

එතකොට ඔය කාලේදී ද ඉන්දීය පුවත්පත් වල, සඟරා වල ඔබ සහ ඔබේ බෑන්ඞ් එක පිළිබඳ, ඔබේ ප‍්‍රසංගයක් පිළිබඳ තොරතුරු පළ වුණේ?

ඔව්. ඒ කාලේ සහ ඒ ප‍්‍රසංගය පිළිබඳ හුඟක් ලස්සන අත්දැකීම් තියෙනවා අපි හැමෝටම. ඒ වැඬේට හුඟක් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඔය කියන විදිහට ඉන්දීය පුවත්පත්වල සහ සඟරාවල අපේ බෑන්ඞ් එක සහ ප‍්‍රසංගය ගැන තොරතුරු පළවුණේ ඒ කාලෙදී. එතකොට මට බෑන්ඞ් ඉතිහාසයක් තියෙන්නේ ඇත්තටම ඉන්දියාවේ තමයි.

ප‍්‍රසංගයට පස්සේ දවසේ පුවත්පත් වල මුල් පිටු සැරසිලා තිබුණේ අපේ නෝටි බෝයිස් සංගීත කණ්ඩායමේ විවෘත සංගීත ප‍්‍රසංගය ගැන.

ලංකාවට ආව නේද ඊට පස්සේ?

ඒ වෙද්දීත් මුම්බයි වලට යන්න සහ තවත් ප‍්‍රසංග සඳහා අපිට හුඟක් ආරාධනා සහ අවස්ථා ලැබුණා. නමුත් ගියේ ඉගෙන ගන්නනේ. ඒ කාරණාවෙන් පස්සේ අපි ලංකාවට ආවා. ඒ ආවට පස්සේ ලොකු උනන්දුවක් එවක තිබුණේ නෑ බෑන්ඞ් ගැන.

දැන් ඒ ගැන පසුතැවිල්ලක් තියෙනවද හිතේ?

ම්... ඔව්. පුංචි ලතැවුලක් තියෙනවා හිතේ ඒ වෙලාවේ ඒක නොකළ ඒක ගැන. මොකද ඒ ලැබුණු ආරාධනා සහ අවස්ථා එක්ක බෑන්ඞ් එක ෆෝම් කරන් ගියා නං ඒක හොඳ දෙයක්. ඒත් ඉතිං ලංකාවට ආවා. ඒක මගහැරුණා. නමුත් පස්සේ පස්සේ මට හිතුනා උතුරු ඉන්දියානු සංගීතය මුසුවූ බෑන්ඞ් එකක් ලංකාවේ හදන්න ඕන කියලා. ඇත්තටම කියනවා නං ස්ටයිල් දෙක තුනක් එකතුවෙලා, සංස්කෘතීන් එකතුවෙලා, රට රටවල සංගීතය එකතුවෙලා හැදෙන සම්ප‍්‍රදායක් තියෙන බෑන්ඞ් එකක් කරන්න ඕන කියලා තමයි මට හිතුනේ; ලංකාවේ අනන්‍යතාව තියාගෙන.

දැන් හැමදේම හරිද?

ඇත්තටම ඔව්. මං ඔය කාරණාව හිත හිත ඉන්න කොට මට හොඳ සාමාජිකයින් ටික දෙනෙක් හම්බවුණා එකට වැඩ කරන්න පුළුවන්. ඒ හැමෝටම හොඳට ගායනා කරන්න පුළුවන්. ඒ වගේම වාද්‍ය භාණ්ඩ දෙක තුනක් වාදනය කරන්න පුළුවන්. ඉතිං දැන් අපේ කණ්ඩායමේ ඉන්නවා අපි හත් දෙනෙක්. ඒ හැමෝම ලොකු කැපකිරීමක් කරනවා තමන්ගේ වැඩ එක්ක,

තමන්ගේ ගමන යන ගමන් බෑන්ඞ් එකේ කටයුතුත් සාර්ථක කරගන්න.

ඒ ප‍්‍රසංගයෙන් වසර 17ක් 18ක් විතර ඔබ නිහඬව ඉඳලා?

ඔව්. මොකද මට බෑන්ඞ් සම්බන්ධව කියලා ලොකු ආසාවක් තිබුණෙ නැහැ. අද වෙනකං මං විවෘත ප‍්‍රසංගවල ගායනා කරලත් නැහැ. නමුත් කෝක් ස්ටුඩියෝ වගේ වැඩසටහන් දකිනකොට මට හිතුනා ඒ වගේ දක්ෂයින් අපි අතරත් ඉන්නවා කියලා. අනික අපේ රටෙත් ඒ වගේ වැඩසටහන් කෙරුනා. ඒවා හරිම ලස්සනයි ඇත්තටම. ඉතිං මේ බෑන්ඞ් ඒකෙන් මට ඕන කරන්නේ අපේ ගීත සහ සංගීතය වෙනස්ම විදිහකින් රස විඳින්නට අවස්ථාව ලැබෙන විදිහට ඉදිරිපත් කරන්න.

අලූත් බෑන්ඞ් එක?

රාවන්ස්.

හේෂාන් ගමගේ මුලින්ම හොයා ගන්නේ කව්ද?

මාව මුලින්ම හොයා ගන්නේ කමල් අද්දරආරච්චි මහත්මයා. කමල් අයියගෙන් පස්සේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ වැඩසටහනකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ විසේකාලංකාරය වැඩසටහන. මේකට මට ජැක්සන් අයියගෙන් ආරාධනාවක් ලැබෙනවා. ඒකෙන් පස්සේ සිරස සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලය සඳහා මට ආරාධනා ලැබුණා. ඊට පස්සේ ඩබ්ලිව්. ඒ රොහාන් මගේ අතිජාත මිත‍්‍රයා තමයි මේ බෑන්ඞ් එක මුලින්ම පටන් ගන්න කිය කිය මාව උනන්දු කළේ සහ මුල්ම අදියරේ උදව් කරන්නේ. ඉතිං ඊට පස්සේ ඔවුන් වගේම ආදරෙන් මතක් කරන්න ඕන සහ ස්තුති කරන්න ඕන උපේන්ද්‍ර ලක්ෂ්මන් ජයවර්ධන සහ නිර්මලා ප‍්‍රනාන්දු මගේ යාලූවෝ දෙන්නටත්. මොකද මේ බෑන්ඞ් එක සාර්ථක කරගන්න මේ වෙලාවේ මට ශක්තියක් වුණේ මේ යාලූවෝ දෙන්නා; අපේ මූලික ප‍්‍රශ්න විසඳමින්.

ඔබ ගීත ගායනා කරද්දී ළමයින් අඬනවා?

ම්... ඔව්. ඔය කියන වීඩියෝ යූ ටියුබ් එකේ තියෙනවා. ඒ සිරස සුපර් ස්ටාර් වැඩමුළුවකදී. මම ගීත ගායනා කරද්දී ඒ ළමයින්ගේ ඇස්වලට කඳුළු ආවා.

ඇයි ඔබ ඔබට ලැබුණ ආරාධනා නොපිළිගත්තේ?

මට අරාධනා ලැබුණා තමයි විදෙස් ප‍්‍රසංග වලට සහ විවෘත ප‍්‍රසංග වලට. නමුත් ජනප‍්‍රිය හෝ ප‍්‍රසිද්ධ වීමේ උවමනාවක් මගේ හිතේ තිබුණේ නෑ. අද වෙනකං මම මගේ කියලා ගීත එකතුවක් හෝ ගීත කරලත් නෑ.

නමුත් ඔබ නිසා ක්‍ෂේත‍්‍රයට පැමිණි ජනප‍්‍රිය චරිත හුඟක් ක්‍ෂේත‍්‍රයේ ඉන්නවා?

ඔව්... ඒක ඇත්ත. ඒත් මං අදටත් කරන්නේ දරුවන්ට උගන්වන එක. මං ඒකෙන් ලොකු සතුටක් ලබනවා.

ඇයි ඔබ වගේ දක්ෂයෙක් තරුවක් නොවුණේ?

මං ගීත ගයනා කරලා ජනප‍්‍රිය වුණ කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ මගේ ඇත්ත කලාකාරයා මගේ තාත්තා. එයා කවදාවත් ජනප‍්‍රිය වෙන්නවත්, ප‍්‍රසිද්ධ වෙන්නවත්, සල්ලි හොයන්නවත්, වෙන වෙන පරමාර්ථ සඳහාවත් කලාව කළේ නැහැ. ඉතිං මම කලාව දකින කෝණයත් වෙනස් කෝණයක්. ඉතාමත් නිහතමානී කෝණයක්. ඉහත කිසි දෙයක් සඳහා මං කලාව කරන්න හිතන්නේ නැහැ. ඒ හරහා ලැබෙන දේවලින් මං තෘප්තිමත් වෙනවා හැර කලාව මං ආයුධයකට පාවිච්චි කරන්නේ නැහැ.

පෙට්ටගමේ තියෙන ගීත කවදද අහන්න ලැබෙන්නේ?

ඔව්. ආසාවට කරපු ගීත ගොඩක් මගේ ළඟ තියෙනවා. හරියටම හරි මගේ ගෙදර.

පෙට්ටගමේ. හැබැයි ඉතිං මේ බෑන්ඞ් ඒකත් එක්ක ඒ ගීතත් අහන්න පුළුවන්. මොකද ඒ ඔක්කොම දැන් එළියට දාන්න වෙලාව ඇවිල්ලා කියලා මට හිතෙනවා.

රාවන්ස් බෑන්ඞ් එකත් බිස්නස් එකක්ද?

කොහෙත්ම නැහැ. කෙනෙක් මට හිනා වේවි. නමුත් ඇත්ත නං මේ බෑන්ඞ් එක බිස්නස් එකක් නෙමෙයි. මනුෂ්‍යත්වය මුසු වූවක්. අපට ඕන මේ බෑන්ඞ් ඒක හරහා සමාජයට යමක් දෙන්න. යම් කිසි පණිවිඩයක් දෙන්න.


(Meevitha)

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website