Friday, 06 October 2017 08:11

ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද?

ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්තර්ජාතික වෙළෙඳාම සහ සේවා ආර්ථිකයට රටක් වැඩි නැඹුරුවක් දක්වන යුගයක් එළඹෙන විට කෘෂිකර්මය පැරණි අර්ථයෙන්ම පැවැතිය නොහැකිය. ලංකාවේ කෘෂිකර්මාන්තය එවැනි විපරිවර්තනයකට ලක් වූ අතර දැන් තිබෙන ලංකාව මුළුමනින් කෘෂිකාර්මික රටක් යැයි කිව නොහැකිය. මෙරට කෘෂිකර්මාන්තය අර්ධ වශයෙන් කැරෙයි. සෑම වර්ගයේ ගොවියකුම කියන්නේ කෘෂිකර්මයෙන් තවදුරටත් ජීවත් විය නොහැකි බවය; පාඩු ලබන බවය. එසේ නම් කෘෂිකර්මාන්තයෙහි නියැළෙන්නේ මන්ද යන ප්‍රශ්නය විමසූ විට කොහොම වුවත් රෝල ගහන්නේ මේකෙන් යැයි ඔවුහු කියති. මැරෙනතුරු රෝල ගසන්නට නම් කෘෂිකර්මාන්තය වුවමනා නැත.

ලෝකයේ කෘෂිකර්මය විෂයෙහි දියුණු තාක්ෂණයක් භාවිත වෙයි. එම ගොවීහු හොඳින් උපයති. සරු දිවියක් ගෙවති ඒ, කෘෂිකර්මාන්තය නව තාක්ෂණයත් සමඟ බද්ධ කර ඉදිරියට ගෙනයෑමෙනි. ලංකාවේ කුඹුරුවලට මී ගවයන් වෙනුවට අත්ට්‍රැක්ටරය පැමිණීම, සරල යන්ත්‍රයකින් වී හුළං කිරීම වෙනුවට කොළ මඩින යන්ත්‍රය හෝ භූතයා යැයි හඳුන්වන යන්ත්‍රයක් වැනි දෙයක් ආවා හැරෙන්නට බීජ, ජලය සහ නවීන විද්‍යාවෙන් සොයා ගත් නව කෘෂිකාර්මික ක්‍රම පැමිණියේ නැත. එසේම ගොවීන් අමුඩය වෙනුවට කොට කලිසම ඇන්දා හැර කෘෂිකර්මාන්තයේ මෙන්ම ගොවි දිවි පෙවෙතේ ඉදිරිගාමී වෙනසක් ඉකුත් දසක කිහිපය තුළ සිදු වූයේ නැත.

ආහාර නිෂ්පාදනය

මෙතැන් සිට ජනපතිගේ ප්‍රධාන මෙහෙයුම ලෙස පෙනී යන්නේ ඔහු විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනයි. කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීම රජයේ අරමුණ නම් මෙම ක්‍රියාවලියට අතගැසිය යුතුය. එහෙත් කටින් බතල හිටවන ආකාරයට ඒ වැඬේ කළ නොහැකි අතර මේ සඳහා රට සූදානම් කිරීම වර්තමානයේ දී අසීරුම කාර්යය බව පෙනේ. 70 - 77 කාලය ගතහොත් වගා සංග්‍රාමයක් දියත් කරන්නට සිරිමාවෝ රජයෙන් ජනයාට උපදෙස් ලැබිණි. ඒ සඳහා යම් පියවරයන්ද ගත්තේය. කොළඹට තදාසන්න ප්‍රදේශවල තරුණ පිරිස රාජාංගනය වැනි ප්‍රදේශවලට ගොස් වගා කළහ. එහෙත් අතිබහුතරයක් පිරිස ආහාර තෙමේම නිෂ්පාදනය කරගෙන පරිභෝජනයට ගැනීම නම් වූ ක්‍රියාවලිය විවේචනය කළහ. ඒ එකී වැඩපිළිවෙළ දියත් කෙරුණ ආකාරය ප්‍රායෝගික නොවුණු නිසාය. මිරිස් නැතුව හොදි කන්නං වැනි ව්‍යාජ සහ හාස්‍ය සටන් පාඨවලින් ආණ්ඩු හිතවාදීන් උක්ත විවේචනවලට පිළිතුරු බැඳීමට යාම තුළ සමස්ත ක්‍රියාවලිය මහජන අවකාශයෙන් බැහැර වී දේශපාලන වැඩසටහනක් දක්වා ඌනනය විය. සැබැවින්ම එය විවෘත ආර්ථිකයට පෙර යුගයක් නිසා රටේ ශ්‍රම බළකායෙන් සැලකිය යුතු පිරිසක් කෘෂිකර්මාන්තයට තල්ලු කිරීමේ හැකියාවක් එදා මෙරටට තිබුණි. එසේ වුවත් වගා සංග්‍රාමය නම් වූ වැඩසටහන සාර්ථක වූයේ නැත. සාර්ථක නොවූයේ රටේ සමස්ත ශ්‍රම බළකාය කෘෂිකර්මාන්තයෙහි ව්‍යාප්ත නොවීම නිසාය. අද තත්ත්වය ඊට වඩා හතර පස් ගුණයකින් බරපතළය. යළි කුඹුරට බසින, හේන් කොටන්නට, පැල් රකින්නට යන තරුණ පරපුරක් ප්‍රාර්ථනා කිරීම සිහිනයක් මිස සැබෑවක් වන්නට විදියක් නැත.

ගම්පෙරළිය

මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය නවකතාවේ ජිනදාස වගා කරන්නට සිංහලේ යයි. ඔහු කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ දියණිය වන නන්දාගේ ස්වාමි පුරුෂයාය. කයිසාරුවත්තේගේ ආර්ථික ඇද වැටීම මත නන්දාට ද සුවපහසු දිවිය අහිමිවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මෙන් ජිනදාසට ද ආහාර නිෂ්පාදනය ගැන සිතන්නට සිදුවෙයි. ඒ නිසා ඔහු වගා කිරීමේ අරමුණ පෙරදැරිව සිංහලේ බලා ගියේය. ඉක්බිති අසන්නට ලැබෙන්නේ එම වගා කටයුතු අසාර්ථක වී ඉනික්බිතිව රෝගී වූ ජිනදාස මළ පුවතය. ගම්පෙරළිය ලියවෙන්නේ 56දීය. 76 වන විටත් අමාරුවෙන් හෝ ජිනදාසලා එකකු දෙන්නකු සොයා ගත හැකි සමාජයක් ලංකාවේ තිබුණි. එහෙත් මේ වන විට ජිනදාස, බිරිඳ හැරපියා නොව තනිකඩව සිටියත් සිංහලේ යන්නේ නැත. ජිනදාසලාගේ වර්තමාන පරපුරේ සාමාජිකයෝ කෙසේ හෝ ත්‍රීවිල් කට්ටක එල්ලෙති. වැඩිපුර ඇඟ මහන්සි නොකර ත්‍රීවිලයෙන් රෝල්වෙති. හයර් නැති වෙලාවට අංගණයේ විනෝදයෙන් කල් ගෙවති. ආහාර නිෂ්පාදනයට ගොස් ඔවුන් මේ විනෝදජනක දිවිය කෙළවර කර ගනී යැයි සිතිය හැකිද?

ගොවි පුතා

ජනපති ශ්‍රේෂ්ඨ ගොවි පුතකු බව සැබෑය. ඔහු වී කුරුට්ටේ සුවඳ විඳ මැඩුවමේ කෙළ ඇඟ පුරා ගාගෙන වුව ද වැඩිදුරට අධ්‍යාපනයක් ලබා අද සිටින තැනට ස්වෝත්සාහයෙන් පැමිණි මිනිසෙකි. ගොවි පුතකු නිසා ඔහුට මෙරට ජනයා කන්ට අඳින්ට පිටරටින් එනතුරු මුහුදට දැක නියවාගෙන සිටින ජනයා ගැන මහත් කම්පාවක් තිබෙන්නට පුළුවන. ඒ නිසා ඔහු වවාගෙන කාපියව් යකුනේ කීම අතිශයින්ම සාධාරණය. ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක ගතහොත් ඔහු ගොවි පුතකු නොවේ. මෙරට වැසියන් උපහාසය පිණිස නමක් පටබැඳ තිබුණු ඔහු ප්‍රභූ පන්තියේ පුද්ගලයෙකි. එහෙත් ඔහු අගමැතිවීමෙන් පසුව ගල්ඔය හා මින්නේරි ගොවි ජනපද ව්‍යාපාර ඇති කර ලංකාවේ කෘෂිකාර්මික දිවි පෙවෙතට නව අරුතක් දුන්නේය. මින්නේරියේ, කවුඩුල්ලේ වාන්ඇළ ඉපැරණි ගොවීන්ගේ කාලයේ ගැළපෙන දේ කරන්නට මෙරට ගොවි ජනයා යොමු කළ නිසාය. වර්තමාන ජනපති ගොවි පුතකු වුවත් කෘෂිකර්මය විෂයෙහි ඔහුට ඩී.එස්. ගිය ගමන යා නොහැකිය. ඒ ඩී.එස්.ට ගොවි ජනපද සංකල්පය ජය ගැනීමට ආධ්‍යාත්මයෙන් පොළොව සමඟ බැඳුණු කෘෂි ප්‍රජාවක් සිටියත් මෛත්‍රීට එවැනි පිරිසක් නැති නිසාය. සේවා ආර්ථිකයට හුරු වූ තරුණ ප්‍රජාවක් මෛත්‍රීට අභිමුඛවම සිටීම නිසාය. අඩුම තරමින් 60 දශකයේ දී ලංකාවට මෛත්‍රීපාල සිරිසේන කෙනකු හමුවූවා නම් මේ අරමුණ ජයගැනීමට තිබුණි. 60 දශකයේ දී ලංකාවට අභිමුඛ ඩඞ්ලිට මෙන්ම සිරිමාවෝට ද කෘෂිකාර්මික දිවි පෙවත ගැන ඒසා අවබෝධයක් නොතිබුණි. මෛත්‍රිපාල සිරිසේන නම් වූ ගොවි පුතුට මේ ගැන අවබෝධයක් ඇතත් රටේ පුතාලා මේ වන විට ගොස් තිබෙන්නේ හරිත මඟක නොවේ. ප්‍රශ්නය ඇත්තේ එතැනය.

නිෂ්පාදන ආර්ථිකය

ලංකාවේ රුපියල එන්න එන්නම ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණ වෙයි. මෙය නතර කළ හැකි එකම මඟ වන්නේ ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට පිළිපන්ව මෙරට රුපියල ශක්තිමත් කරන වැඩපිළිවෙළකින් පමණි. නිෂ්පාදනය යනු කෘෂිකර්මයයි, ආහාර නිෂ්පාදනයය, එමඟින් ධනෝපායන මාර්ග සකසාගත හැකිය යන අදහස ලංකාව තුළ මේ වන විට යල් පැන ගිය මතයකි. කෘෂිකර්මය විෂයෙහි ලෝකයේ භාවිත නව තාක්ෂණික ක්‍රම පවා නුපුහුණු ගොවි පුතුන්ට භාවිත කළ නොහැකිය. ඒවා පැවරිය යුතුව තිබුණේ ද දිගුකාලීනව පියවරෙන් පියවර උඩට එන වැඩපිළිවෙළක් ඔස්සේය. ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට යා යුත්තේ පැපොල් වවා නොවේ. කර්මාන්ත ආර්ථිකයකට අත තැබීමෙනි. ජනපති ගොවි පුතකු වූ පමණින් කෘෂිකර්මාන්තයට සූදානමක් නැති සමාජයක් යළි කෘෂිකර්මාන්තයට කැඳවිය හැකිද? වගා නොකළහොත් ඉඩම් පවරා ගන්නවා යනුවෙන් නියෝග පැන වුවත් සේවා ආර්ථිකය පසුපස දුවන පිරිස කෘෂිකර්මාන්තයට පැමිණේ යැයි සිතිය නොහැකිය. දකුණේත්, රජරටත්, යම් පිරිසක් ජනපති කිව්වත් නැතත් තවදුරටත් කෘෂිකර්මාන්තයෙහි නියැළෙනු ඇත. උතුරේත් යම් පිරිසක් ඒ සඳහාම කැපවෙති. ජනපති කළ යුත්තේ ඒ පිරිසට දිරි දීමය. නිදර්ශනයක් ලෙස යල සහ මාස් දෙකන්නෙහිම අස්වනු නෙළන කාලයේ හැමදාම ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ වී සඳහා සහතික මිලක් ලබාගැනීමය. රජය ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා නම් අස්වනු විකිණීම සදාකාලික ප්‍රශ්නයක් බවට පත්වන්නේ නැත. තුට්ටු දෙකට වී ටික විකුණන යුගයක් මෙරට තිබුණි. ගොවීන්ගේ අස්වැන්න මුළුමනින් රජයට මිල දී ගත නොහැකිය. එහෙත් පුද්ගලික වෙළෙඳුන්ගේ සහල් මාෆියාවක් රටෙහි පවතියි. ජනපතිට මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය හැකිද? ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැකිද? වැව් ටික ප්‍රතිසංස්කරණය කර දිය හැකිද? කෘෂිකර්මාන්තය සඳහා ගත් ණය ගෙවීමට පොළොන්නරුවේ ගොවීහු අත්ට්‍රැක්ටර් උකසට තබන හා ඒවා සින්න වන තත්ත්වය වැළැක්විය හැකිද? අඳගොවි ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාදිය හැකිද? ගොඩමඩ ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය හැකිද?

රටම වගා සංග්‍රාමයකට හෝ ආහාර නිෂ්පාදනයට තල්ලු කළ නොහැකිය. කළ යුත්තේ දැනට කෘෂිකර්මාන්තයේ නියුක්ත පිරිසට අවශ්‍ය සහන හා සහයෝගය ලබා දීමය.

උනන්දු විය හැකි විෂයයන්

කෘෂිකර්මාන්තයට දක්වන උනන්දුව මෙරට කිරි ගොවි කර්මාන්තයට දැක් වුවහොත් රටේ ආහාර නිෂ්පාදනයෙන් ආර්ථිකය දියුණු කර ගැනීමට කල්පනා කරනවාට වඩා වැඩි මෙහෙයක් සිදුවෙයි. විශේෂයෙන්ම ආනයනික පිටිකිරි බොන සමාජයක් එළ කිරි පානයට යොමු කර ගතහොත් එක් පැත්තකින් එය රට වැසියන්ගේ සෞඛ්‍යයට වැඩදායකය. අනෙක් අතින් කිරි ගොවි කර්මාන්තයේ නියැළෙන පිරිසගේ අත මිට සරු කිරීමට එය සමත් වෙයි. මේ ගැන ලංකාවේ නායකයන්ට තිබෙන උනන්දුව අල්පය. අනෙක් අතට පළතුරු වගාවෙන් ලංකාවට සැලකිය යුතු ධනයක් අත් කර ගත හැකිය. පාඩු ලබන වී වගාවට මහන්සි නොවී පලතුරු වැනි බෝග වගාවනට ගියහොත් ඉන් ගොවීන්ට හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගත හැකි බව පළතුරු වෙලෙඳ පලේ මිල, ඉල්ලුම මෙන්ම සැපයුම පිළිබඳ විමර්ශනයේ දී පෙනී යයි. ආනයනය සඳහාම පළතුරු වගා කිරීම ද කළ හැකිය.

මෙරට ආර්ථිකය දියුණු කිරීමට වෙනත් මාර්ග අවශ්‍යය. ආර්ථික කවුන්සිලයක් මඟින් තීරණ ගන්නේ කෘෂිකර්මය ගැන නම් එය බරපතළ කාරණයකි. එම කවුන්සිලය මඟින් ප්‍රතිපත්ති තීරණ ගත යුතුය. කෘෂිකර්මය එහි එකක් පමණක් විය යුතුය. වෙනත් ආර්ථික මාර්ග ගැන සොයා බැලීමටත් ඒවා ප්‍රායෝගිකත්වයට නංවන වැඩපිළිවෙළක් සැකසීමත් ආර්ථික කවුන්සිලයේ වගකීමකි. අගමැතිගේ ප්‍රධානත්වයෙන් හා ජනපති පත් කළ ආදී වශයෙන් ආර්ථික කමිටු දෙකක් ලංකාවට තිබෙන හිඟ හා ඒවායේ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් ඇතැයි සැලකෙන නිසා ලංකාව යළි ගල්ඔයට හෝ මින්නේරියට ගෙන යනවා ද නැතහොත් නූතන භෞතික ලෝකයට ගෙන යනවාද යන්න ගැන ඔවුන් සාර්ථක තීරණයක් ගත යුතුය.

විමලනාත් වීරරත්න

Features

Stats

There are 28592 listings, 821 categories and 101 owners in our website