Sunday, 13 May 2018 14:20

ආණ්ඩුවේ ඉදිරි ගමන

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු විශ්වාසනීය ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීම, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබුණේ යැයි කියන විරසකභාවය අවසන් වීම හා පසුගිය දා සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනය සමග පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ උද්ගතව තිබූ දේශපාලන අස්ථාවරභාවය සම්පූර්ණයෙන්ම අවසන් වන ලකුණු පළ වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ බොහෝ දෙනකුගේ අදහස වන්නේ ආණ්ඩුව යළි උපන්නා වැනි හැඟීමක් තමන් තුළ ඇති වූ බවයි. විශේෂයෙන් ආණ්ඩුවට යළි තමන් පිළිබඳ ජනතා විශ්වාසය වර්ධනය කර ගැනීමට මෙතරම් කඩිනමින් හැකිවීම ගැන ඔවුන් තුළ පවතින්නේ යම් තරමක විමතියක්.

ආණ්ඩුව තම අභ්‍යන්තර ගැටලූ හා නොඑකඟතාවන් මේ ආකාරයෙන් විධිමත්ව කළමනාකරණය කර ගැනීම සමග ජනතාවගේ අපේක්ෂාව වන්නේ පසුගිය කාලය තුළ ප‍්‍රමාද වූ හෝ නොවිසඳී පවතින පොදුජන ගැටලූ සහ ජනවාරි 08 දේශපාලන න්‍යාය පත‍්‍රය ගැන ආණ්ඩුවේ කඩිනම් අවධානය යොමුවනු ඇති බවයි. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂ මාධ්‍ය ජුන්ටාව විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින දේශපාලන අවස්ථාවාදයට ප‍්‍රතිඋත්තර ලබාදීමක් සිදු වනු ඇති බවයි.

මෙහිදී බහුතරයක් ජනතාව ප‍්‍රධාන වශයෙන් (යහපාලන ආණ්ඩුවට ඡුන්දය භාවිත නොකළ ජනතාව පවා* අපේක්ෂා කරන්නේ පසුගිය කාලය තුළ රට තුළ ක‍්‍රමයෙන් වර්ධනය වූ ආර්ථික අස්ථාවරත්වය අවසන් කිරීමට ආණ්ඩුව කඩිනම් පියවර ගනු ඇති බවයි. ඒ සඳහා ආණ්ඩුවට වගකීමක් මෙන්ම වගවීමක් ද තිබෙන බව ඔවුන් කියනවා.

ජනතාවගේ මැසිවිලි ඇයි ?

ජනතාවගේ මේ මැසිවිල්ල අපට පහසුවෙන් වටහා ගත හැකියි. 2015 ජනවාරි 08 දේශපාලන වෙනස වෙනුවෙන් තම ඡුන්දය භාවිත කළ ජනතාව අතර සැලකිය යුතු පිරිසක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික පීඩනයෙන් (බන්දුල ගුණවර්ධන මහතාගේ වයිමා ආර්ථික න්‍යායයෙන්) ගැළවීම සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තම ඡුන්දය භාවිත කළා. ඔවුන්ගේ පැහැදිලි අපේක්ෂාව වුණේ එක්සත් ජාතික පක්ෂය සතු ආර්ථික කළමනාකරණ හැකියාව මගින් තමන්ගේ ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය වඩාත් යහපත් කිරීමට අවශ්‍ය වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදුවනු ඇති බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම ක‍්‍රියාත්මක කළ දින සියයේ වැඩසහන මගින් රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කළත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ස්ථාවරව පවත්වා ගෙන යාමට දැඩි පරිශ‍්‍රමයක් දැරුවත් ආණ්ඩුවට බලයට පත්ව වසර තුනකටත් අධික කාලයක් ගතව ඇති මේ අවස්ථාවේ එකී ප‍්‍රවේශයන්ගේ දේශපාලන හා සමාජමය වටිනාකහ හීනවී ඇති බව අප පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉතාම පැහැදිලිව දැක්කා. එහිදී රජය ජීවන වියදම අඩු කිරීම සම්බන්ධයෙන් කොතරම් තිරසාර පියවර ගෙන තිබුණත් ඒ සියලූ සාධනීය පියවර අභිබවා බන්දුල ගුණවර්ධනගේ ‘‘පොල්බෑයේ දේශපාලනය’’ වෙත දකුණේ සිංහල ඡුන්දදායකයින් ආකර්ෂණය වූ බව අපට පහසුවෙන් බැහැර කළ නොහැකියි.

මේ වන විට මේ තත්ත්වය තවත් තිව‍්‍රර වෙමින් පවතින බවක් අපට පහසුවෙන් වටහා ගත හැකියි. ලෝක වෙළෙඳපොළේ ඛනිජතෙල් මිල ඉහළ යාම සමග ස්වභාවිකව නිර්මාණය වන භාණ්ඩ හා සේවා රැුසක මිල ඉහළ යාමේ තත්ත්වය සමග ආණ්ඩුව පමණක් නොව ජනතාව පවා කිසියම් පීඩනයකට ගොදුරු වන බවක් අපට හඳුනා ගත හැකියි. විශේෂයෙන් දේශපාලනමය වශයෙන් සහ සමාජයමය වශයෙන් අති සංවේදී ඉන්ධන හා ගෑස් මිල ගණන් ඉහළ යාම, කිරිපිටි මිල ගණන් ඉහළ යාම මේ අවස්ථාවේ පහසුවෙන් දේශපාලන ආකර්ෂණය දිනා ගන්නා අතර එය ජනතාවට ද අති සංවේදී වන බව අප වටහා ගත යුතුයි. මේ තත්ත්වය තුළ ජනතාව බලාපොරොත්තු වන ආර්ථික සහන, විශේෂයෙන් ජීවන වියදම අඩු කිරීම සම්බන්ධ සහන ගැන ආණ්ඩුව වඩාත් සංවේදී විය යුතු බව අපගේ අදහසයි.

ජනතාවගේ හෘද සාක්ෂිය

ඒ සමග පොදුවේ ජනතාව වශයෙන් අප ද මේ අවස්ථාවේ අපගේ හෘද සාක්ෂියට එකඟතව ක‍්‍රියාත්මක විය යුතුව තිබෙනවා. ඒ ඒකාබද්ධ විපක්ෂය සහ රාජපක්ෂ මාධ්‍ය ජුන්ටාව අවධාරණාත්මකව ප‍්‍රකාශ කරන ආකාරයේ ජීවන වියදම සම්බන්ධ සැබෑ අර්බුදයකට තමන් මුහුණ දෙමින් සිටිනවාද ? යන්න ගැන අවංක තක්සේරුවක් වෙත පැමිණීමයි. උදාහරණයක් වශයෙන් ජීවන වියදම ඉහළ යාම ගැන විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරමින් සිටින මේ අවස්ථාවේ පසුගිය කාලය තුළ ලංකාවේ අඩුව ජීවන වියදම් දර්ශකය වාර්තා වූ බව අප කිසිසේත් අමතක නොකළ යුතුයි. විශේෂයෙන් පසුගිය සිංහල අලූත් අවුරුදු සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා දීර්ඝ කාලයකට පසු අවම මිල ගණන් වාර්තා වූ බව නිල සංඛ්‍යා ලේඛන පමණක් නොවෙයි සාමාන්‍ය ව්‍යාපාරික පිරිස් පවා සඳහන් කළා. එහිදී ඔවුන් අවධාරණාත්මකව පවසා සිටියේ පසුගිය වසර හතකට ආසන්න ඉතිහාසය තුළ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අවම මිල වාර්තා වුණේ මෙවසරේ සිංහල අලූත් අවුරුදු සමයට සමගාමීව බවයි.

මේ තත්ත්වය තුළ ජනතාවගේ ආර්ථිකය හා සම්බන්ධ සැබෑ තත්ත්වය අද මහින්ද රාජපක්ෂලා, බන්දුල ගුණවර්ධනලා කියන කතාවෙන් බොහෝ ඈතින් තිබෙන බවක් අපට පහසුවෙන් වටහා ගත හැකියි. එහෙත් මෙහිදී පැනනගින ප‍්‍රශ්නය වන්නේ දේශපාලන කණ්ණාඩිය ගළවා ගෙන ආර්ථික යථාර්ථය දෙස අවංකව බැලීමට දකුණේ සිංහල ජනතාව කොතරම් දුරට කැමැත්තක් දක්වන්නේ ද යන්නයි. දකුණේ සිංහල ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් රාජපක්ෂ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයේ මානසික වහළුන් බවට පත්ව සිටතාක් ආණ්ඩුව කොතරම් දක්ෂ හා තීක්ෂණ ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කළත්, එහි ප‍්‍රතිලාභ ජනතාව වෙත ගලා ගියත් එහි දේශපාලනික වටිනාකම් අත්පත් කර ගැනීම මේ තත්ත්වය තුළ අසාර්ථක වෙමින් පවතිනවා. මෙය වඩාම වෙනස් විය යුතු තත්ත්වයක් බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ.

මේ තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම ආණ්ඩුවට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බවයි අපගේ අදහස වන්නේ. ඒ සඳහා යහපාලන බලවේගවල ද සක‍්‍රීය මැදිහත්වීම හා දායකත්වය ලබාදිය යුතුව තිබෙනවා. එය ජනවාරි 08 වෙනසට දායකත්වය ලබා දුන් ජනතාවගේ වගකීමක් මෙන්ම වගවීමක් බවයි අපගේ අදහස වෙන්නේ.

නව කැබිනට් මණ්ඩලයට ප‍්‍රසාදය

පසුගිය දා සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනය ගැනත් මේ අවස්ථාවේ ම අප අපගේ අවධානය යොමු කළ යුතුයි. එය කොතරම් දුරට ආණ්ඩුවේ ස්ථාවරභාවය සේම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා දායකත්වයක් ලබා දෙන්නේද යන්න ගැන අප සියුම්ව විමසා බැලිය යුතුයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයට පදනම පැහැදිලි කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබුණේ (බී.බී.සී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්) කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බවයි. ඒ අනුව අලූත් කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී විද්‍යාත්මක පදනමක් අනුව විෂය බෙදාදීමක් සිදුවන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා.

ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ කරුණු ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා ඇති බවක් අපට පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනය අනුව පැහැදිලි වෙනවා. විශේෂයෙන් කැබිනට් මණ්ඩලය අඩු කිරීමට ද ඒ ඒ ඇමැතිවරුන්ගේ දක්ෂතා සහ විශේෂඥභාවය අනුව ඇමැති පදවි වෙන් කිරීමට ද ජනාධිපතිවරයා දැඩි උනන්දුවක් දක්වා ඇති බවක් අපට පැහැදිලිව දැකිය හැකියි.

කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වූ ආකාරය ගැන ආණ්ඩුව තුළ ද ප‍්‍රසාදජනක හැඟීමක් පවතින බවක් අපට දැකිය හැකියි. විශේෂයෙන් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී රාජපක්ෂ කල්ලිය සමග එක්ව ඡුන්දය භාවිත කළ ශ‍්‍රීලනිපයේ 16 දෙනාගේ කල්ලියට යළි ඇමැති පදවි ලබා නොදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ඒ අතර කැපී පෙනෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන සංහිඳියාව යළි වර්ධනය කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩල සංශෝධනය අවස්ථාවක් කර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබෙන බවක් දැකිය හැකියි. ඒ අනුව එජාපය විසින් ඉල්ලා සිටි සමාජ සවිබලගැන්වීම් හා කම්කරු අමාත්‍යධූර එජාපයට ලබාදීම සාධනීය පියවරක් වශයෙන් අපට සැලකිය හැකියි.

මෙහිදී හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාට යළි කැබිනට් ඇමැති පදවියක් ලබාදීම ගැන දේශපාලන වශයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබලයින් හා සම්බන්ධ නඩු ප‍්‍රමාදවීම, හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම විවේචනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත ඇමැතිධූරයෙන් ඉවත් කළ විජේදාස රාජපක්ෂ මහතාට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍යධූරය පිරිනැමීමට අගමැතිවරයා එකඟත්වය පළ කිරීම ගැන ඔවුන් තුළ පවතින්නේ විමතියක්.

එහෙත් බොහෝ පිරිසක් පවසන්නේ මෙය ආණ්ඩුවේ ස්ථාවර භාවය හා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ද සාධනීය ප‍්‍රවේශයක් වනු ඇති බවයි. විශේෂයෙන් අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව විජේදාස රාජපක්ෂ මහතා විසින් ඡුන්දය භාවිත කිරීමේ දේශපාලන වටිනාකම මෙහිදී ඔවුන් පෙන්වා දෙනවා. මේ ලියුම්කරුගේ ද අදහස වන්නේ විජේදාස රාජපක්ෂ  මහතා රාජපක්ෂ කල්ලියේ තුරුළට තල්ලූ නොකොට රාජපක්ෂ මහතා සමග තිබූ ගැටලූ නිරාකරණයට මේ අවස්ථාවේ ගත් ප‍්‍රවේශය දේශපාලනිකව අතිෂය සවිඥානික පියවරක් වනු ඇති බවයි.

මේ සමග පසුගිය කැබ්නට් මණ්ඩල සංශෝධනය ගැන විද්වතුන් වෙතින් පළවන අදහස් ගැන ද අප අපගේ අවධානය යොමු කළ යුතුයි. එහිදී දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 1977 කැබිනට් මණ්ඩලයෙන් පසු ලංකාවේ පත් කරනු ලැබූ වර්ණවත්ම කැබිනට් මණ්ඩලය වශයෙන් පසුගිය දා යළි නම් කළ කැබිනට් මණ්ඩලය සැලකිය හැකි බවයි. එමෙන්ම කැබිනට් මණ්ඩලය අඩු කිරීම ද ඔවුන්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබුණා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් ‘‘සීනිවලට පවා  ඇමැතිවරු’’ නම් නොකිරීම සේම ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ඇමැති පදවි ඇමක් කර නොගැනීම ගැන ඔවුන් තුළ තිබුණේ දැඩි ප‍්‍රසාදයක්.

රුපියල බාල්දු කළේ කවුද ?

ආණ්ඩුව මේ ආකාරයෙන් යළි ශක්තිමත්භාවය තහවුරු කර ගනිමින් සිටියදී ආණ්ඩුවේ පාලනයෙන් බැහැරව පවතින අභියෝග කිහිපයක් ඒකාබද්ධ විපක්ෂය විසින් තම වාසිය සඳහා ව්‍යාජ අර්ථකථන දක්වමින් භාවිතයට ගනිමින් සිටිනවා. ඒ අතර ප‍්‍රධාන වන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය වීම හා ආර්ථික වර්ධනය තව දුරටත් මන්දගාමී වීමයි.

මෙහිදී රුපියල බාල්දු වීම තුළ ආර්ථිකයට ද්විආකාර බලපෑම් එල්ල වන බව ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල බාල්දුවීම සමග ආනයන වියදම් ඉහළයාම, විදේශ ණය වර්ධනය වීම වැනි හානිකර තත්ත්වයන් සිදුවන අතර ලංකාවේ අපනයන සඳහා එය වඩාත් වාසිදායක අවස්ථාවක් නිර්මාණය කරන බවයි. ඒ අනුව ලංකාවේ අපනයන කර්මාන්ත තරඟකාරීව දියුණු කර ගැනීමට මේ හරහා අවස්ථාවක් නිර්මාණය වන බව ඔවුන් පෙන්වා දෙනවා.

බොහෝ ආර්ථික විශ්ලේෂකයින්ට අනුව රුපියල අවප‍්‍රමාණය වීම මගින් ඉහළම වර්ධනීය අවස්ථාවක තිබෙන සංචාරක කර්මාන්තයට ද සාධනීය බලපෑමක් සිදුවෙනවා. ඒ විදේශ සංචාරකයින්ට ලංකාව ලාබදායක නවාතැනක් වීම තුළයි. ඒ අතර ලංකාවේ ප‍්‍රධාන ඉපයීම් මාධ්‍යය වන විදේශ සංක‍්‍රාම (විදේශ රැකියාවල නියුතු පුද්ගලයින් විසින් කරන ඉපයීම්) ආදායම ඉහළ යාමක් ද මේ අනුව සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පැහැදිලි කිරීම් අනුව අපට පෙනී යන්නේ රුපියල අවප‍්‍රමාණය වීම රාජපක්ෂ කල්ලිය පෙන්වා දෙන තරමේ රකුසෙකු නොව ආර්ථික කළමනාකරණය තුළින් ධනාත්මක පැතිකඩකට හරවා ගත හැකි අවස්ථාවක් බවයි.

රුපියල අවප‍්‍රමාණය වීම සම්බන්ධයෙන් රාජපක්ෂ කල්ලිය විසින් ආණ්ඩුවට එරෙහිව එල්ල කරන චෝදනාවට සැබෑ චූදිතයින් වන්නේ පසුගිය රාජපක්ෂ පාලනය විසින් අනුගමනය කළ විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්ති හා හුදලකා විදේශ සම්බන්ධතා බවට ද ප‍්‍රබල චෝදනාවක් තිබෙනවා. විශේෂයෙන් අපනයන කර්මාන්ත සංවර්ධනය මුළුමනින්ම නොසලකා හැර ඊනියා කොන්ක‍්‍රීට් සංවර්ධනය කෙරෙහි දැක්වූ ප‍්‍රමුඛතාවය මේ අර්බුදයේ පදනම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මාර්ග සංවර්ධනය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ හා කොළඹ ලස්සන කිරීම ඇතුළු ප‍්‍රදර්ශනකාමී සංවර්ධන කටයුතු වෙනුවෙන් ගත් දැවැන්ත ණය මගින් ආර්ථික ප‍්‍රතිලාභ ලබා නොදීම මෙහිදී දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ අහිමි වූ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ආදිය මගින් ලංකාවේ අපනයන කර්මාන්ත කෙරෙහි සිදු වූ දැවැන්ත හානිය රුපියල අවප‍්‍රමාණය වීමට පදනම් හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අද රාජපක්ෂවරුන්ගේ කටගැස්මක් බවට පත්ව ඇති ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ද පවතින්නේ ඉහත සඳහන් කළ ආකාරයේ තත්ත්වයක් බවයි ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ. 2005 - 2009 කාලය තුළ පැවැති යුධ ආර්ථිකය හා 2009 න් පසු ක්ෂණිකව ආර්ථිකයට එක් වූ උතුරු හා නැගෙනහිර කෘෂිකාර්මික දායකත්වය හේතුවෙන් ඇති වූ නාමික වර්ධනය මගින් මිස 2005 - 2015 දශකය තුළ ආර්ථිකයේ ගුණාත්මක වර්ධනයක් සිදු නොවූ බවයි ඔවුන් මෙහිදී පැහැදිලිව පෙන්වා දෙන්නේ. මේ තත්ත්වය තුළ 2015 සිට මේ දක්වා ආර්ථිකයේ සිදුවන මන්දගාමී වර්ධනය ගුණාත්මක වර්ධනයක් වන බවත් එය ක‍්‍රමිකව තිරසර සංවර්ධනයක් බවට පත්වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

රාජපක්ෂ පාලනය විසින් හප කළ ආර්ථිකයක් සමග පසුගිය තෙවසර තුළ ආණ්ඩුව ගෙනගිය විධිමත් ආර්ථික කළමනාකරණය හා ජනතාවට බරක් නොපටවන ජනතාවාදී ප‍්‍රවේශය ගැන අප මෙහිදී යළි සිහිපත් කළ යුතුයි. මන්ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් දැවැන්ත ලෙස ප‍්‍රසාරණය කරන ලද රාජ්‍ය අංශයක් ද, යුධ ජයග‍්‍රහණයෙන් පසුත් අඛණ්ඩව නඩත්තු කිරීමට සිදුව ඇති මිලිටරි යාන්ත‍්‍රණයක් ද සමග රාජපක්ෂ යුගයේ සුබසාධන සේවා (පොහොර වැනි) අඛණ්ඩව පවත්වා ගෙන යාමට වත්මන් ආණ්ඩුවට සිදුව තිබෙනවා. ඒ අතර හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි ඌන උපයෝගී සංවර්ධන ව්‍යාපෘති ද, මග නැඟුම, ගම නැඟුම, දිවි නැඟුම ආදි විවිධාකාර නාමකරණයන් යටතේ ගසා කෑ දැවැන්ත රාජ්‍ය ආයෝජන ද යළි පියවා ගැනීමේ වගකීම වත්මන් ආණ්ඩුව විසින් කරගසා තිබෙනවා. මේ ලියුම්කරු විසින් මීට පෙර ද සඳහන් කර ඇති ආකාරයට ‘‘රාජපක්ෂලාගේ කෑම බිල ද ගෙවමින් ආණ්ඩුව මේ යමින් සිටින්නේ පහසු ගමනක් නොවෙන බව ජනතාව හොඳින් දන්නවා. ඒත් ජනතාව තෘප්තිමත් කිරීම සඳහා තවත් යමක් සිදුවිය යුතු බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. මේ තත්ත්වය සරලව පැහැදිලි කළහොත් ආණ්ඩුවට තැල්ල බඳින්න නම් බෙල්ල රැක ගත යුතුව තිබෙනවා. එහි දේශපාලන අදහස වන්නේ ළඟ ළඟ එන මැතිවරණ සඳහා ආණ්ඩුව මේ දැන් සිට සූදානම් විය යුතු බවයි. පසුගිය කාලය පුරා වැපිරූ, අසීරුවෙන් රැක බලා ගත් කුඹුරේ අස්වැන්න වහ වහා කපා ගෙට ගෙන ජනතාව සමග සතුටින් බුක්ති විඳිය යුතු බවයි.

සුසන්ත ගුණතිලක

Features

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website