Friday, 09 November 2018 14:12

අර්බුදයට විසදුම කුමක්ද?

මේ වන විට ශ‍්‍රි ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය එක් එක් පාර්ශවයන් විසින් විවිධාකාරයෙන් ව්‍යවස්ථාවට අර්ථ දැක්වීම, නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීම සහ එම සමස්ත කි‍්‍රයාවලියේ ප‍්‍රතිපලයක් ලෙස පාර්ලිමේන්තුව නොවැම්බර් 14 දින දක්වා කල් දැමීම සමාජයේ සෑම කොටසකම කතාබහට ලක්වී ඇත.

ඉතිහාසයේ කවරදාවක් නොතිබුණු ආකාරයට ශ‍්‍රි ලංකාවේ සියලුම පුරවැසියන් මෙම තත්වය පිළිබද තම තමන්ට ආවේණික වූ කෝණයකින් එය විග‍්‍රහ කිරීමට පෙළඹී ඇත.

අප විසින් කරන ලද සරල සමීක්ෂණයක් අනුව බොහෝ ව්‍යාපාරිකයන්, ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂකයන් සහ වෘත්තිකයන් පෙන්වා දෙන්නේ මෙම අර්බුදය තව තවත් කල් නොදමා විසදිය යුතු බවයි.

විශේෂයෙන්ම අතීතයේ පැවති ආවෘත ආර්ථිකයෙන් ඔබ්බට ගොස් ගෝලීයකරණය තුළ දේශපාලනය සහ ආර්ථික ක‍්‍රියාකාරකම්  කරන රටක් ලෙසත් 2015 දී ලබාගත් ජයග‍්‍රහණය ජාත්‍යන්තරය තුළ ඇති පිළිගැනීම කුමන ආකාරයකින් හෝ පලුදු නොකර ගෙන දැනට ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදය වහා වහා විසදා ගත යුතු බව මෙම ප‍්‍රජාවගේ අදහයි.

ඔවුන් දක්වන ලද අදහස් අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් පාර්ලිමේන්තුව රැස් කර පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසයක් ඇති මන්ත‍්‍රීවරයා අගමැති ලෙස තෝරාගෙන රජයක් පිහිටුවීමට අවස්ථාව ලබා දීම.

ඉන් අනතුරුව එම බලය උපයෝගී කරගෙන 30 දෙනෙකුට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කරගෙන පාලන බලය නීත්‍යානුකූලව එම කණ්ඩායමට පැවරිය යුතුය. අනෙක් කණ්ඩයමට සිදුවන්නේ නිල වශයෙන් විපක්ෂව යාම සහ ඔවුන්ගේ කාර්ය භාර්ය කිරීමය.එම කණ්ඩායමට 2020 අගෝස්තු දක්වා ගරු ජනාධිපතිතුමා සමග සහයෝගයෙන් රාජ්‍ය පාලනය කළ හැකිය.

මෙම විශ්ලේෂක කණ්ඩායමට අනුව මේ වනවිට එ.ජ.නි.ස. පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 106 ක් ද එක්සත් ජාතික පෙරමුණට මන්තී‍්‍රවරු 99ක් ද වශයෙන් දිනා ගෙන ඇති අතර අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමේදී හෝ වර්තමාන අගමැතිවරයාව විශ්වාසභංග යෝජනාවකින් පරාජය කිරීමේදී හෝ තමන් වෙත බහුතරයක් නොමැති බැවින් එම කිසිදු වෙනස්කමක් කිරීමට හැකියාව හෝ නොලැබෙනු ඇත.

දෙමළ ජාතික සංධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව පාර්ලිමේන්තුව කැදවීමටත්,පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමටත් සහයෝගය දුන්නත් ඉදිරියේදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන මුදල් පනතක් හෝ අනෙකුත් කිසිදු ජනතා විරෝධි පනතකට සහයෝගය ලබා දේ යැයි අනුමාන කළ නොහැක.

මේ අනුව මෙම කණ්ඩායම පෙන්වා දෙන්නේ ඉදිරියේදී පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාමේදී උගුලකට ( Dead Lock Situation ) නතු වන බවයි.

මෙම තත්වය අනුව වර්තමාන අර්බුදය තවදුරටත් උග‍්‍ර විය හැකි අතර එය ආර්ථික දේහයට නම් එතරම් සුභදායක නොවන බවයි.

විසදුම කුමක්ද?

නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුව කැදවීම අනිවාර්යය විය යුතු අතර එය ස්වාධීනව පවත්වා ගෙන යාම කථානායකවරයාගේ පූර්ණ වගකීම වනවා ඇත. කථානායකවරයා පාර්ලිමේන්තු  සම්ප‍්‍රදාය සහ ජනාධිපති බලතල අතර ගැටලුවක් ඇතිකර නොගත යුතු අතර ඔහු ස්වාධීන විය යුතුය.

අප ඉහත සදහන් කළ ආකාරයට ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට කුමන හෝ පක්ෂයකට බලයක් නැතිනම් ඊළගට ගත යුතු පියවර කුමක්ද?

පළමු සාධකය වන්නේ එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තවදුරටත් ඉදිරියේදී සන්ධානගත වීමක් නොවන්නේ නම් ජනාධිපතිතුමා ඇතුළු සියලුම පක්ෂ නව ජනවරමක් ( New Mandate ) ලබාගත යුතුය. එමගින් සියල්ල අලුත් වනවා ඇත. ජනාධිපතිවරයාද බලය ලබා ගන්නා පක්ෂය සමග ඊළග ජනාධිපතිවරණය තෙක් කටයුතු කිරීමට සුදානම් විය යුතුය.

විසුරුවා හැරිය හැකිද ?

වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති හැකියාව පිළිබද මේ දිනවල කථා බහට ලක්වී ඇත. එය විසදා ගැනීමට මාර්ග කිහිපයක් ඇත.

  • පවතින ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගහරිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති නීත්‍යානුකූල තත්වය විමසීම සහ ඒ සදහා ජනතාව දැනුවත් කිරීම.
  • වසර 4 ½ ගතවීමට පෙර මැතිවරණයක් පැවැත්විය යුතුද යන්න ජනමත විචාරණයකට ලක් කිරීම (මෙය වියදම් අධික සංකීර්ණ කි‍්‍රයාවලියක් වන නිසා ).
  • සියලුම පක්ෂවල එකගතාවයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා 2/3 ක බලයකින් යෝජනාවක් සම්මත කර ගැනීම.

අවසාන වශයෙන් මේ රටේ අනාගතය, ආයෝජනයන්, අනාගත පරපුර ගැන සිතන මන්ත‍්‍රී කණ්ඩායමක් වන්නේ නම් පරණ දේ අමතක කර රට පෙරට ගෙන යන වැඩපිළිවෙලකට සියලු දෙනාම එකගවිය යුතුය.  

LIN

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website