Monday, 12 November 2018 08:31

අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ...?

නීතියේ බැඳීම ලේ බැඳීමක් තරමට ප්‍රබල යැයි රූසෝ එදා කීවේය. නමුත් ඒ එදාය. රූසෝගේ රටේදී ය. මෙදා මේ ලංකාවේදී ඒ ගැන වද වෙන්නේ කවුද?

නීතිය ඉදිරියේ සමානාත්මතාවය නමැති, නීතිය මත පාලනයේ නොහොත් නීතියේ ආධිපත්‍යයේ සංකල්පීය ගුණාංගය පවා, අධි බලැති විධායකයක් නිර්මාණය කිරීම මගින් කුඩු පට්ටම් කර තිබෙන ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වඩාත් සමාන වන්නේ රටක මූලික ලියවිල්ල නොහොත් උත්තරීතර නීතියට වඩා, නීතියේ ආධිපත්‍යයට විරුද්ධ වූ අත්තනෝමතිකත්වයක් පිළිගත් ප්‍රකාශනයක් ලෙස ය.

බැසිල් ප්‍රනාන්දු වරක් පැවසූ කලෙක මෙන්, ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ කලී, ‘‘රාජ්‍යය අවනීතික කළ ලියවිල්ල‘‘යි.

එනිසා සෙනසුරු උච්ච වූ කලෙක මෙන්, රටේ දැන් ඇති වී තිබෙන උභතෝකෝටිකයේ උච්චස්ථානය යනු, හුදෙක් මෛත්‍රිගේ හෝ රාජපක්ෂගේ ප්‍රශ්නයක් නොවේ. ඊට පෙර එය, එම චරිත නිර්මාණය කළ, නීතියට ඉහළින් විධායකය ඔසවා තැබූ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම විකෘතියකි. එම විකෘතිය විසින් සාධාරණ සහේතුක මිනිසුන් වෙනුවට ඔළු දෙකේ මකරුන් බිහි කරමින් තිබේ. නමට පමණක් ‘ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්‘ වන මෙහි සැබවින්ම පවතින්නේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයකි. ඒ ආණ්ඩුක්‍රමය විසින්, 1978 වසරේ සිට 2018 වසර දක්වා ගතවූ වසර 40 ඇතුළත ඔළු දෙකේ මකරුන් කී දෙනෙක් බිහි කර තිබේදැයි ඔබම සිතා බලන්න! අද මෛත්‍රිව දඬුකඳේ ගසන්නට කතා කළත් මේ කාලතුවක්කුවට උණ්ඩ දැමුවේ කවුද?

නීතිය මත පාලනය පළමුව බිඳ දැමුවේ එජාපයයි.

එදා දරමිටිපොළ රතනසාරගේ ‘පැවිදි හඬ‘ සංවිධානයට ඒ.එස්.පී. උඩුගම්පොළ පහර දුන් විට එක්සත් ජාතික පක්ෂ රජය කළේ ඔහුට උසස් වීමක් ලබා දීමයි. වෙනකක් තබා දඩ මුදල් ගෙව්වේද රජයෙනි. ඉතිහාසයේ මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ නිල නිවෙස් ඉදිරිපිට කළු ලකීලා පෙළපාලි ගියේ ද රාජ්‍ය අනුග්‍රහය ඇතිව ය. විනිසුරන් පගාව ගන්නා සංස්කෘතියක් ගැන ලංකාවෙන් මුල් වරට අසන්නට ලැබුණේ ද එක්සත් ජාතික පක්ෂ සමයේදී ය. එදා රනිල් වික්‍රමසිංහ විසින් මෙහෙයවන ලද කුප්‍රකට-දූෂිත මහර මැතිවරණයේදී බියගම පොලිසියේ ඕඅයිසී ලෙස වැඩ කළේ ගෝණවල සුනිල් සමග රනිල් වික්‍රමසිංහ බව දන්නෝ දනිති. එපමණක් ද නොවේ. අප කිසිදු විටෙක ජනතා විමුක්ති පෙරමුණ හෝ එල්ටීටීඊ ය විසින් සිදුකළ මිනීමරු දේශපාලනය අනුමත නොකරන නමුත් ඒ සඳහා පතරොම් සැපයූයේ 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනයයි. ජනතා විමුක්ති පෙරමුණට සහ එල්ටීටීඊ සංවිධානයට අවිය හැරෙන්නට වෙනත් කිසිදු විකල්පයක් නොමැති වන තැනට නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවූයේ ඔවුන් විසිනි.

එනිසා, මේ අර්බුදය අවජාතක යැයි එක්සත් ජාතික පක්ෂය අද පවසන්නේ නම්, එහි වගකීමෙන් භාගයක්ම ඔවුන් විසින් භාරගත යුතුය. පැහැදිලිවම ලංකාවේ නීතිය මත පාලනය අතිශය දරුණු ලෙස ඛාදනයට ලක් වුණේ 1977-1994 එජාප. 17 වසරක පාලන කාලය තුළදී ය. කර්මපලවාදය හෝ හේතුපල වාදය අනුව අද වන විට දෛවයේ සරදමෙන් මෙන් ඔවුන්ටම එහි විපාක විඳින්නට සිදු ව තිබේ.

පැහැදිලිවම පෙනී යන පරිදි, විධායක ජනාධිපති ක්‍රමය මගින් නිර්මාණය කර තිබෙන්නේ අවිශ්වාසය සහ සැකය මත පදනම් වූ පාලන තන්ත්‍රයකි. ජනාධිපතිවරයාට කිසිවෙකු විශ්වාස නැත. 78 ආණ්ඩුක්‍රමය යටතේ උප ජනාධිපතිවරයෙකු පවා නොමැත්තේ මේ හේතුව නිසා ය. මේ ක්‍රමය තුළ ලංකාවේ පළමු විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන විසින් අගමැතිවරයා නාමමාත්‍රික බවට පත් කිරීමට කටයුතු කිරීමත්, අමාත්‍යවරුන් බොහොමයකගේ ඉල්ලා අස්වීම් ලිපි, පත්වීමේ ලිපි ප්‍රදානය කරන අවස්ථාවේදීම අත්සන සහිත හිස් කොළ වශයෙන් තබාගත් බවටත් පවතින ඉතිහාස කතාව ඉතා ස්වභාවික ප්‍රපංචයකි.

දාම් ගසා පැරදෙන විට දාම් ලෑල්ලට පයින් ගැසීම

මෙසේ අවිශ්වාසය සහ සැකය පදනම් කර ගත් විකෘතියක් තුළ බිහිවන ‘අධිබල‘ විධායකයට පරාජයන් දරාගත නොහැකිය. අන් මත ඉවසීමට ද අවශ්‍ය නැත. එවිට ව්‍යවස්ථාව ගරු කරමියි කියා දිවුරුම් දී ඔවුහු පසුදිනම ව්‍යවස්ථාව කුඩුපට්ටම් කරන්නෝය. රෑ සිහිනෙන් නපුරු සිහිනයක් දුටුවද විරුද්ධවාදීන්ව දඬු කඳේ ගසන්නෝය. දාම් ගසා පැරදීගෙන එන විට දාම් ලෑල්ලට පයින් ගසා නැගිටින ගමේ චණ්ඩි මෙන් හැසිරෙන්නෝය.

නොඑසේ නම් එදා 1982 දී ලාම්පු කලගෙඩි ජනමත විචාරණයක් පමණක් පවත්වා, මහ මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගන්නට හැකියාවක් තිබෙන්නට විදිහක් නැත. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කඳුළු හෙළන චන්ද්‍රිකා කුමාරතුංග හට එදා 2004 දී අගමැති හෝ කථානායකවරයා නොවිමසා උන් හිටි ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට හැකියාවක් තිබෙන්නට විදිහක් නැත. 19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයා ද බැඳී සිටියදී මෙදා 2018 දී ජනපති මෛත්‍රිපාලට අවුරුදු හතරහමාරක් නැති ළදරු ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවේ 2/3 ක ඉල්ලීමකින් තොරව විසුරුවා හරින්නට හැකියාව තිබෙන්නට පුළුවන් කමක් නැත. වසරකට නොවැඩි කාලයක් විධායක ජනපති කම කළ ඩී.බී. විජේතුංග හැරුණු විට 78 යටතේ බිහි වූ ජනාධිපතිවරුන්-වරියන් 5 දෙනාම අඩු වැඩි වශයෙන් හැසිරුණේ මේ අන්දමිනි. 2015 වසරෙන් අවසන් වූ රාජපක්ෂ පාලන සමය, නීතිය මත පාලනය, තෙරක් නොපෙනෙන ආගාධයක් දක්වා ඇදගෙන ගිය බවට සාක්ෂි තවමත් දස අතේ විසිර ඇත.

ඕනෑම දෙයක් කළත් - නොකළා වගේ සිටිය හැකි රටක්

නමුත් මේ ලංකාවයි. ලංකාවේදී ඕනෑම දෙයක් සිදුවිය හැක. නීතිය මත පාලනය කියා දෙයක් ලංකාවේ තිබෙනවා නම්, බලවතුන්ගේ සිතැඟි පරිදි මේ අන්දමින් ඕනෑම දෙයක් කරන්නට පුළුවන් කමක් තිබෙන්නට විදිහක් නැත.

මේ මොනවා කළත් - මොනවා නොකළත්, තමන්ට මොකුත්ම සිද්ධ නොවන බවත් විධායකය දන්නේය.

එනිසා 20 වතාවක් බැරිනම් 50 වතාවක් හෝ සංශෝධනය කරමින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම එල්ලීගෙන ඉන්නට ඔවුහු කැමැත්තෝය. ජනතා පරමාධිපත්‍යය ගැන සුරංගනා කතා කියන අතරම ඒකාධිපතිත්වයේම නිමග්න වන්නට ඔවුහු කැමැත්තාහ.

ලංකාවේදී නීතියේ ආධිපත්‍යයට නොඑසේ නම් නීතිය මත පාලනයට මීට වඩා නරක දෙයක් තවත් සිද්ධ වන්නට ඉතිරි වී නැත.

ඒ, තමන් වැඩ වාසය කරන්නේ ව්‍යස්ථාවටත් වඩා ඉහළ තැනක බවත්, ව්‍යවස්ථාව උත්තරීතර නම් තමන් ‘අති උත්තරීතර‘ බවත් ඔවුන් දන්නා නිසාය.

එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ!

එදා ඩයිසි නීතියේ ආධිපත්‍යයට තේරුම් 3 ක් දුන්නේය.

  1. 1. ප්‍රත්‍යක්ෂනීතියෙන් නියම කරනු ලබන ආකාරයට මිස අන් කිසි ක්‍රමයට කිසිවෙකුට දඬුවම් නොකළයුත්තේය. 
    2. කිසිම අයෙක් නීතියට ඉහළින් නොසිටියි. 
    3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය මූලධර්ම, අධිකරණ ඉදිරියට පමුණුවන විශේෂිත සිද්ධිවලදී අධිකරණ තීරණවල ප්‍රතිපලයක් වශයෙන් නීතිය මත පාලනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හාත්පස පැතිරී තිබෙයි.

‘‘ඔබ කිසිවෙකුට ඉහළින් නැත. නීතිය ඔබට වඩා ඉහළිනි!“ ටොම් බින්හැම් සාමිවරයා සිය ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය වන The Rule Of Law හිදී පවසයි. ඔහු එයට අපූරු උදාහරණයක් ද ලබාදෙයි. එය මෙසේ ය.‘‘එනිසා ඔබ ලන්ඩන් සත්තුවත්තේ සිටින පෙන්ග්වින් සතෙකුට හිංසා කළොත්, ඔබ කැන්ටබරියේ අගරදගුරු වුවත් නඩු පැවරීමෙන් පළා යාමට ඔබට නොහැකිය.‘‘

එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැත.

කිසිදු පුද්ගලයෙක් නීතියට ඉහළින් නොසිටින්නේ නම්, විධායකය නමැති ප්‍රජාතන්ත්‍රවාදයේ නොවැළැක්විය හැකි බල කණුවම, නීතියට ඉහළින් සිටින පරිදි පිහිටා තිබෙන්නේ ඇයි? ඉතා සරලවම, නීතියේ ආධිපත්‍යයක් නොහොත් නීතිය මත පාලනයක් මේ රටේ නොමැති නිසා ය.

ලංකාවේ විධායකයට අසීමිත බලතල තිබෙන තාක් කල්, විධායකය, ප්ලේටෝගේ රිපබ්ලිකන් ග්‍රන්ථයේ එන ග්ලව්කන් කී අදෘෂ්‍යමාන මුද්ද (ගයිජස්ගේ මුද්ද) පැළඳගෙන සිටිනවාක් වැන්න. මේ මුද්ද පැළඳගෙන කැරකැවූ සැණින් මුදුවත් පළඳින්නාත් දෙකම අදෘෂ්‍යමාන වෙයි. එවිට නොපෙනී ගොස් ඕනෑම දෙයක් කළ හැකිය. නොපෙනෙන නිසා සාක්ෂිත් නැත.

ආණ්ඩුක්‍රමයේ ඇපකරු කවුද?

ඇත්තෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින තාක් කල් මේ කතා කිසිවක් ලංකාවට වලංගු නැත. වෙනකක් තබා, ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් විසින් ගෙන ආ ඩිගෝලියානු හෙවත් ප්‍රංශ මොඩලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට ඇතැයි එදා 78 දී වහසි බස් දෙඩුවත්, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රංශ ව්‍යස්ථාව තුළ මෙන්, නීතියේ ආධිපත්‍යය තුළ ක්‍රියාත්මක වීමට වගවීමේ යාන්ත්‍රණයක් නැත. එම වගවීම හෙවත් එහි ක්‍රියාත්මක භාවයේ ඇපකරු වශයෙන් ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවද? අඳෝමැයි! ලංකාවේ පාර්ලිමේන්තුව විධායකයට හිතෙන හිතෙන පරිදි විසුරුවා හැරිය හැකි එකක් බව මේ මොහොතේ නැවත වරක් සනාථ කර තිබේ. චන්ද්‍රිකා පවා එදා 94 දී කළේත් මෙයම ය. එනිසා කිසිසේත් ම එය පාර්ලිමේන්තුව නම් විය නොහැකිය. ප්‍රංශයේදී නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවයි. නමුත් ලංකාවේදී එය ද පුස් වෙඩිල්ලක් වෙයි. එනම් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කිසිදු අධිකරණමය බලයක් නැත. එය බොහෝවිට වැදගත් පත්වීම් සඳහා නිර්දේශ ලබාදීම පමණක් සිදුකරයි. එනිසා ලංකාවේ තිබෙන්නේ ප්‍රංශ මොඩලයේ ‘වැදගත්‘ ආණ්ඩක්‍රමයක් යැයි කියූ අයට, මෙතැනදී නිරුත්තර වීමට සිදුවෙයි. ඉතා කෙටියෙන් කියන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේදී, රටේ උත්තරීතර නීතිය නොවන වෙන මොකක්දෝ එකකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ බලකණු ත්‍රිත්වය වන ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය එකිනෙකින් ස්වාධීන ආයතන ලෙස පැවතිය යුතු බවත්, ඒවා එකිනෙක අතර තිබිය යුත්තේ සංවරණයන් සහ තුලනයන් (Checks and balances) පමණක් බව අපට කියා දී ඇත. ඒවා එසේ තිබෙන්නේ පොතේ විතරක් බව ද ඒ සමගම අපට කියා දී ඇත. නැතිනම් ලංකාවේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතිච්ඡේදනය (overlap) වන්නට විදිහක් නැත. ව්‍යවස්ථාදායක හදන නීතිවලට වඩා විධායකය හදන නීති (ගැසට් නිවේදන) ප්‍රමාණය, ගණනින් වැඩි වන්නට විදිහක් නැත. වෙන එකක් තබා, විධායකයට ව්‍යවස්ථාදායකය හිතළු අනුව විසුරුවන්නට හැකියාවක් නැත.

ඉතින් පැහැදිලි ය. මේ රටේ බලය බෙදා හැරීම සහමුලින්ම අවුල් ය. විධායකය ව්‍යවස්ථාදායකයේ වැඩය ද කරයි. විධායකයේ වැඩේ ද කරයි. අධිකරණයේ වැඩේ ද විධායකයම කරන්නටත් මේ අනුව බැරි කමක් නැත!

ඉතින් අපි ගෝඩෝ එන තෙක් බලා සිටින්නෙමු.

රටේ ශ්‍රේෂ්ඨාධිකරණය, සිය ශ්‍රේෂ්ඨ බව ඔප්පු කරන තෙක් බලා සිටින්නෙමු.

ලංකාවේ අධිකරණයට විධායකයේ කිසිදු අතපෙවීමක් නොමැත්තේ නම්, ලංකාවේ අධිකරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ස්වාධීන‘ නම් පමණක් අපට ගෝඩෝ කවදාහරි ඒවි කියා හිත හදාගන්නටත් බැරි කමක් ද නැත.

එනිසා ගෝඩෝ නොඑන්නට ඉඩ ඇති බව ද අපි දන්නෙමු.

නමුත් අපි බලා සිටිමු.

වෙන කුමක් කරන්නද? බලාපොරොත්තුව දුප්පතාගේ ආහාරයයි.

මේ සියලු විපත් හමුවේ, 1987 වසරේ නන්දා මාලිනිය විසින් ගයන ලද ‘‘කිරි සිහින සඳක් වී - මා නුවන් අඹරේ - ඒ රටට අඬ ගසයි - අනේ අපි කවදාක - හිනැහෙමුද ඒ රටේ..“ යන්න සදාකාලික පැනයක් බවට පත් ව තිබේ.

නීතීඥ රදිකා ගුණරත්න - ලංකා නිව්ස් වෙබ්

Last modified on Tuesday, 13 November 2018 06:02

Features

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website