Wednesday, 16 January 2019 07:11

ශවේන්ද්‍රගේ පත්වීමෙන් ස්ථාවරයේ වෙනස පෙනෙයි

මෙම වසරේදී ජනපතිවරණයක් පැවැත්වීමට තිබෙන හැකියාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විමසුමට ලක්වෙමින් තිබෙන බවක් පෙනේ. එහෙත් ඒ හා සමග ඔහු තවත් කටයුත්තක නිරත වීමට යන බවට ලකුණු දැනටමත් පළව තිබේ. එනම් ඉදිරි ජනපතිවරණය සදහා අපේක්ෂකයකු ලෙස ඔහුද ඉදිරිපත් වීමට ඉටාගෙන සිටීමයි. එක් වරක් පමණක් ජනපතිධූරය හොබවන තමා ඉන්පසුව දේශපාලනයෙන් විශ්‍රාම යන බව ඔහු අතීතයේ දී වරක් පැවසුවේය.


ජනාධිපතිවරයා විශ්වාස කරනා ආකාරයට මෙම ගමන යෑම සදහා වන පළමු උත්සාහය පදනම් වනු ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග මැතිවරණමය සන්ධානයක් ඇතිකර ගැනීම අරබයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාර්ථක වීම මතය. එවන් එකඟතාවයක් යටතේ දෙපාර්ශවයම නියෝජනය කරමින් පොදු අපේක්ෂයකයකු ලෙස ඉදිරිපත්වීමට හැකිවනු ඇතැයි ජනපති සිරිසේන මහතා සිතයි.


ව්‍යවස්ථාවට අනුව ජනපතිධූරයේ වසරහතර හමාරක කාලයක් ගෙවීමෙන් පසුව තවත් වාරයක් සදහා තමන්ට ජනපතිධූරය හෙබවීමට අවැසි ජනමතය පවතීදැයි විමසනු වස් මැතිවරණයක් පැවැත්වීමේ අවසරය ජනපතිවරයාට හිමිය. ඒ අනුව සැළකුවහොත් 2019 ජනවාරි මස 9 වැනිදායින් පසුව ඕනෑම අවස්ථාවක දී මැතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කිරීමට ජනපති සිරිසේනට හැකිය. 

වත්මන් ජනපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට මසකට නොඅඩු සහ දෙමසකට නොවැඩි කාලයක් ඇතුළත ජනපතිවරණය පැවැත්විය යුතු බව ව්‍යවස්ථාව සදහන් කරයි. ඒ අනුව ගත්කළ ජනපතිවරණයක් පැවැත්වෙතොත් එය පැවැත්වෙනු ඇත්තේ 2019 දෙසැම්බර් මස 8 වැනිදාට පෙර සහ 2019 නොවැම්බර් මස 8 වැනිදාට පසුවය.

කෙසේවුව ද, ගෙවෙන සතියක් පාසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මැතිවරණමය සන්ධානයක් ඇතිකර ගැනීමේ අවස්ථාව ජනපති සිරිසේන මහතාගේ ග්‍රහණයෙන් ක්‍රමයෙන් ගිලිහී යමින් පවතිී. එය පසුපස ඇති හේතු ගණනාවකි. ප්‍රසිද්ධියේ නොකීවද, එම හේතු අතර ඔහුගේම යම් ක්‍රියාකලාපයන් ද වේ. විවිධ පළාත්වලට ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඉන් එකකි. එවැනි වෙනසක් සිදුකිරීමට ජනපති සිරිසේන මහතා පෙළඹුනේ ඇයි ද යන්න ජනතාව නොදනී. එම කටයුත්තේ ද වියවුල් සහගත ස්වභාවයක් පැවැතිණ. 


මැතිවරණ නිරීක්ෂණ සංවිධායක ප්‍රධානියකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතා දැක්වූ විරෝධය හමුවේ ජනපති සිරිසේන තෙන්නකෝන් මහතාව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නැවත පත් කළේය. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටි ඩිලාන් පෙරේරාගේ පියා වන මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්ව තිබිණ. 


කෙසේවුවත් ඔහුගේ එය පිළිනොගත් ජනපති සිරිසේන මහතා, මාර්ෂල් පෙරේරාව ඌව පළාත් ආණ්ඩුකාවරයා ලෙස පත් කළේය. මෙම සමස්ත ව්‍යායාමය පුරාම දැකගත හැකිවූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ දක්වා ගෙවී තිබෙන ධූර කාලයයේ කීර්තිය පළුදු කළ සිතූ මනාපයට තීන්දු හා තීරණ ගන්නා සුලු හැසිරීමය.

 

එවැනි පත්කිරීම් සඳහා පූර්ණ බලය ජනපතිවරයා සතු වෙතත් ඇතැම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයන් තර්ක කරනුයේ සිය පක්ෂයේ නිල නොවන නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් ඉක්බිති, ජනපති සිරිසේන හා මහින්ද රාජපක්ෂ අතර සබදතාවයක් ගොඩනැගී තිබෙන බවය. දෙපාර්ශවය අතර සාකච්ඡා කෙරුණු ගැටළු ගණනාවක් සැළකීමේ දී ඒ අරබයා තමන්ට ද හඬක් නැගීමට අවස්ථාවක් තිබිය යුතුව තිබුණු බව ඔවුහු පවසන්නෝය.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයන්ගේ සිත්තැවුලට හේතු වී තිබෙන තවත් කාරණයක් වන්නේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගෙන් පුරප්පාඩු වූ අසුනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට පියවර ගෙන තිබීමය. ඔවුන්ට අව්‍යශව තිබී ඇත්තේ හිටපු මාධ්‍ය ලේකම්වරයකු වන චරිත හේරත් මහතා එම අසුනට පත් කිරීමටය. චරිත හේරත් නියෝජනය කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. තවද, ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සදහා ජනපති සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය අපේක්ෂා කරනා විට, ඔහුගේ ක්‍රියාකලාපයන්ට පක්ෂයක් ලෙස තමන්ට වගකීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙන්නෝ ය.


අනෙක් අතට, ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තර්ක කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කල්පනාවට තුඩු දී තිබෙන කාරණා සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතාට අවබෝධයක් තිබෙන බවය. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කිරීම, එය තහවුරු කැරෙන අවස්ථාවක් බව ඔවුන්ගේ අදහසයි. 


ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් මීළග හමුදාපතිවරයා වන්නට බොහෝ දුරට ඉඩ තිබෙන්නේ ද ඔහුම බවට ඉඟි කැරේ. කෙසේවුවත් සිල්වා මහතාගේ ධූර කාලය මෙම වසරේ ජූනි මස 22 වැනිදා අවසන් වීමට නියමිතය. දැනටමත් වසරක සේවා දිගුවක් ලබා සිටින වත්මන් හමුදාපති මහේෂ් සේනානායක මහතා ලබන අගෝස්තු මස 22 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය. 


මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉතාම සමීපව කටයුතු කළ, 2009 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළ හමුදා මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටි නිලධාරියෙකි. මේ නිසාම ඇමරිකාවේ නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස කලක් කටයුතු කිරීමටද ඔහුට අවස්ථාව සැළසිණ.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස සිල්වා මහතාව පත්කිරීම දෙමළ ඩයස්පෝරාවේ විරෝධයට ලක්ව තිබෙන අතර, ඔහු යුද අපරාධවලට හවුල් වී ඇතැයි ඔවුන්ගේ චෝදනාවයි. ලන්ඩනයේ ක්‍රියාත්මක ගෝලීය දෙමළ සංසදය නිකුත් කර තිබෙන නිවේදනයක සදහන් වන්නේ මෙවැන්නකි.


ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම දෙමළ ජනතාව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින සියලුදෙනා කම්පනයට පත්කර තිබේ. 2019 මාර්තු මාසයේ ජිනීවාහි දී, සිය මානව හිමිකම් වාර්තාව විවරණයට ලක් වීමට නියමිතව සිටින ශ්‍රී ලංකාව, මෙම පත්කිරීම හරහා අන්තර්ජාතික ප්‍රජාව වෙත පැහැදිලි පණිවිඩයක් ලබා දෙමින් කියා සිටින්නේ, අන්තර්ජාතික ප්‍රජාවේ අදහස් ඔවුන් කිසිසේත්ම නොසළකන බව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 30, 34 1 විශ්වසනීයව ක්‍රියාත්මක කිරීමෙහි ලා ඔවුන් අපොහොසත්වීම හමුවේ අත්විදීමට සිදුවනු ඇති ප්‍රතිවිපාකයන් කෙරේ ඔවුන්ට වගක් නොමැති බවය.


නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධරයකු කියා සිටියේ මෙවැන්නකි.


මේජර් ජනරාල් සිල්වා කියන්නේ නිර්භීත සොල්දාදුවෙක්. ජනපති සිරිසේන ඔහුව පත්කළේ එම සියලු කරුණු සැළකිල්ලට ගෙන,

ලබන මාර්තු මාසයේ ජිනීවාහි දී ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන් ආරම්භ වන පැලෙයිස් දි නැසියොන්ස් හි මෙම ගැටලුව රාව ප්‍රතිරාව නංවනු ඇත. මෙරට සිදුව ඇතැයි පැවසෙන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික විනිසුරුවන්ද ඇතුළත් වන එම මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීම සදහා එක්සත් ජාතීන් ඉදිරිපත් කළ යෝජනාවට, ශ්‍රී ලංකාව දැක්වූ සම අනුග්‍රහකත්වය ඉවත් කර ගැනීමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් ජනපතිවරයා සොයා බලමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ගයකින් දැනගත හැකිවිය.


යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකා එක්සත් ජනපදය සමග එයට සම අනුග්‍රහකත්වය දැක්වීමට නිර්දේශ කළේ එවක විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාය. ඔහු එසේ කටයුතු කර තිබෙන්නේ එවැනි සම අනුග්‍රාහකත්වයක් කිසිසේත්ම නොදක්වන ලෙසට එදවස ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ, වර්තමාන විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා කළ දැඩි කරුණු දැක්වීමට එරෙහිව බව දැන් දැනගන්නට තිබේ.

 
යෝජනාවලිය අරබයා ජනපති සිරිසේන මහතා වර්තමානයේ අනුගමනය කරන පිළිවෙත ඒකාබද්ධ විපක්ෂය, නැතහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ සම්බන්ධයෙන් දරන මතය හා සමානය. ජිනීවා යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීමට එදා ජනපති සිරිසේන මහතාගේ අනුමැතිය හිමිවූයේදැයි දැනගැනීමට මංගල සමරවීර මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.


සති දෙකකට පෙර පැවැති සාකච්ඡා වටයෙන් පසුව මේ දක්වා ගෙවී තිබෙන කාලය පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නැවත සාකච්ඡා අලුත් කිරීමක් සිදුව නොමැත. 


අවසානයට පැවැත්වුණු සාකච්ඡා වටයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ මහින්ද අමරවීර යන මහත්වරු සහභාගී වූහ. හිස්බුල්ලා මේ වන විට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර සිටී. පොදු ජන පෙරමුණ නියෝජනය කළේ දිනේෂ් ගුණවර්ධන සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ය. ගෙවුණු සතියේ දෙපාර්ශවය අතර සාකච්ඡා අලුත් කිරීමට ජනපතිවරයා පෞද්ගලිකවම මැදිහත් විය. සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් සවිත්රාත්මකව අනාවරණය කළ ආකාරයට මැතිවරණ සන්ධානයක් ඇතිකර ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටී.


දෙපක්ෂය අත්වැල් බැදගන්නා වේදිකාව මතින් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති සිරිසේන මහතාට තිබෙන්නේ ඉතාම අල්ප හැකියාවකි. නමුත් එය මෙතෙක් සම්පූර්ණයෙන්ම බැහැර කර නොමැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන තර්කය වන්නේ, රාජපක්ෂ සොහොයුරන් - ගෝඨාභය රාජපක්ෂ (ජනපති අපේක්ෂකයා), මහින්ද රාජපක්ෂ (අගමැති අපේක්ෂකයා), ලෙස ඉදිරිපත් කිරීම ජනතාව දිනා ගැනීමෙහි ලා ඉතාම සාර්ථක වනු ඇති බවය. ඒ හරහා නැවත බලාපොරොත්තුවක් දල්වා ගත හැකි වනු ඇති බවය. නොඉවසිලිමත් ඔවුන් මේ අරබයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වහාම පිළිතුරක් බලාපොරොත්තු වේ.

(ලංකාදීප)

Last modified on Wednesday, 16 January 2019 11:05

Features

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website