Friday, 18 January 2019 03:33

එතෙර සරසන අපේ මල්එතෙර සරසන අපේ මල්

1982 ලෝකයේ 9 වැනියා අපි?. මේ වන විට අපි ඉන්නේ ලෝකයේ 52 වැනි තැන, ඉන් වැටහෙන්නේ අපි එකම තැන සිටිය දී ලෝකයේ සෙසු රටවල් අපි පසුකොට ගිහින්. අද අපේ රටට ඕකිඩ්, ඇන්තූරියම්, ඒවායේ බීජ, පැළ ආදිය ප්‍රධාන වශයෙන් ගෙන්වන්නේ ‘බැංකොක්’ වලින්. තායිලන්තයේත් ශ්‍රී ලංකාවේත් තිබෙන්නේ සමාන දේශගුණයක්. ඇයි අපිට එවැනි දියුණුවක් අත්කරගත නොහැකි වුණේ.

 


Agriculture (ඇග්රිකල්චර්) යන වචනය සහ Floriculture (ෆෝලෝරිකල්චර්) යන වචන අතර වෙනස පැහැදිලි කළ හැකිද?
Agriculture කියන්නේ කෘෂිකර්මාන්තයට, Floriculture කියන්නේ විසිතුරු මල් හා ශාක වගාවට, කෘෂිකර්මාන්තය කියන වචනයේ අර්ථය ඇතුළේ සියලු වගාවන් අන්තර්ගත වුවත් දේශීය වශයෙන් මේ වචන අර්ථ ගැන්වීම මෙන්ම ලොව පුරා මේ වචනවලට අර්ථ ලැබී ඇති ආකාරය වෙනස්.


Agriculture කියන වචනය ආහාර නිෂ්පාදනය යන අර්ථයට සීමා වී තිබෙනවා. එලෙස නිෂ්පාදනය කොට අතිරික්ත ආහාර ඇත්නම් පමණක් අපනයනය කිරීමටයි අප පුරුදුව සිටින්නේ. මේ තත්ත්වයෙන් වෙනස් වී ඇත්තේ තේ, පොල්, රබර් භෝග සහ සුළු අපනයන භෝග පමණයි.


උදාහරණයකින් විස්තර කරනව නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ කෘෂිකර්මය නමුත් මේ අධ්‍යාපනය ලද වසර 4 පුරා ‘Floriculture’ යන වචනය අසා හෝ තිබුණේ නෑ. රටක් වශයෙන් අපගේ කෘෂි අධ්‍යාපනය, පර්යේෂණ, ඥාන ගවේෂණ, මේ සියල්ල ආහාර නිෂ්පාදනයට සීමා වී තිබෙනවා.


1980 වන විට ලෝකයේ විසිතුරු මල් සහ පැළ නිෂ්පාදනයේ 9 වැනි තැනට සිටියේ ශ්‍රී ලංකාව.


ඔව්, මේ ව්‍යාපාරය ඉතාමත් හුදකලාව කෙරෙමින් තිබුණ. 90 දශකයේ අවසන් කාලය වන විට සමක ආසන්න ආසියානු අප්‍රිකානු රටවල් මෙන්ම යුරෝපා රටවල් මේ ව්‍යාපාරයට ප්‍රවේශ වුණා. ඊට හේතුව යුරෝපයේ මෙන්ම මැදපෙරදිග ඩුබායි වැනි වෙළෙඳ නගර තුළ මේ නිෂ්පාදනයන්ට විශාල ඉල්ලුමක් ඇතිවීමය. (Green Concept) හරිත සංකල්පය මෙන්ම (natural beautiful) ස්වභාවික සුන්දරත්වය ඇගයීම ලොව පුරා ප්‍රවණතාවක් බවට පත් වුණා. මේ ලෝක අවශ්‍යතාව හඳුනාගත් ආයෝජකයෝ මේ සඳහා ආයෝජනය කළා. ඉන්දියාව, තායිලන්තය, චීනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මේ සඳහා මහා පරිමාණයෙන් ආයෝජනය කරනවිට මේ ව්‍යාපාරයේ ප්‍රමුඛත්වයට පත් වුණේ නෙදර්ලන්තයයි. ලොව පුරා කෙරෙන මේ වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 22ක් පමණ වෙනවා. ඒ තුළ රටක් වශයෙන් අපගේ කොටස මිලියන 15ක් තරම්. සමස්ත ප්‍රමාණය තුළ 0.01 ක ප්‍රමාණයක්.


ඔබ පවසන්නේ ලෝක වෙළෙඳ පොළේ Floriculture මාර්කට් ෂෙයාර් එකෙන් ඊට වැඩි කොටසක් අපට හිමිකර ගත හැකි බවද?
1982 ලෝකයේ 9 වැනියා අපි?. මේ වන විට අපි ඉන්නේ ලෝකයේ 52 වැනි තැන, ඉන් වැටහෙන්නේ අපි එකම තැන සිටිය දී ලෝකයේ සෙසු රටවල් අපි පසුකොට ගිහින්. අද අපේ රටට ඕකිඩ්, ඇන්තූරියම්, ඒවායේ බීජ, පැළ ආදිය ප්‍රධාන වශයෙන් ගෙන්වන්නේ ‘බැංකොක්’ වලින්. තායිලන්තයේත් ශ්‍රී ලංකාවේත් තිබෙන්නේ සමාන දේශගුණයක්. ඇයි අපිට එවැනි දියුණුවක් අත්කරගත නොහැකි වූයේ. අපේ රටේ කෘෂිකර්මාන්තයේ ජාතික ප්‍රතිපත්ති පවා තවමත් සීමා වී තිබෙන්නේ ආහාර නිෂ්පාදනයට, අපනයන කෘෂිකර්මාන්තය පිළිබඳ දෙපාර්තමේන්තුත් ස්ථාපිත කර තිබුණේ කුළු බඩු කර්මාන්තයට අයත් සුළු අපනයන භෝග සඳහා එහි කටයුතු සීමා වී තිබෙනවා. මේ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා දැක්මක්, ක්‍රමයක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නැති තරම්.


විශ්වවිද්‍යාලයේ දී Floriculture ඉගෙන නොගත් ඔබ ඒ ආශ්‍රිත ව්‍යාපාරයක් ගොඩනැඟුවේ කුමක් නිසාද?
මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූයේ 1982 දී. ඒ කාලේ වැඩි දෙනෙක් උත්සාහ කළේ විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරුන් වීමට හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයට එකතුවීමට. මේ දෙකටම එකතුවීමට නොහැකිවීමෙන් මම පෞද්ගලික අංශයේ රැකියාවකටයි එකතු වුණේ. ඇත්තෙන්ම මම මුලින්ම එතැනට එකතු වුණේ එතරම් කැමැත්තකින් නොවෙයි.


ඒ කාලේ අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ මාසෙකට රජයෙන් රුපියල් 180ක ණය ලබාගෙන. ඒ ණය මුදල රැකියාවක් කරන විට ගෙවීමේ පොරොන්දුව ඇතිව රාජ්‍ය අංශයේ සේවයට එකතු වූ අප මේ ණය ගෙවුවා. පෞද්ගලික අංශයේ රැකියා ලැබූ අය එය මඟහැරියත් මම ඒක ගෙවුවා. එසේ ගෙවීමට සරිලන වැටුපක් මා වෙත ගෙවූ නිසා මම ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස එහි සේවය සතුටින් ආරම්භ කළා. මම එම සේවය කළ කාලය වසර 20 ක්.


මුලින් හොඳ තත්ත්වයක තිබුණ ඒ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය දෙවැනි පරම්පරාවට මාරුවීම නිසා ක්‍රමයෙන් පිරිහුණා. 93 – 94 වකවානුවේ ආයතනයේ ණය බර වැඩි වුණා. 1994 වන විට මිලියන 22ක ණයක් තිබුණා. මේ අතරෙදි මගේ ප්‍රධානියා ආයතනයේ සියලු පරිපාලනය මට භාර දුන්නා. වැඩ කිරීමට, තීරණ ගැනීමට, නිර්මාණශීලීවීමට මෙන්ම අභියෝගයකට මුහුණ දීම සඳහා ලද එම අවස්ථාවට මම ඉතාමත් හොඳින් මුහුණ දුන්නා. වසර දහයක් ගෙවාගැනීමට නොහැකි වූ මිලියන 22ක ණය මුදල් වසර 3ක දී ගෙවා අවසන් කිරීමට මට හැකි වුණා. කෙසේ වෙතත් හිමිකරුවන්ගේ අවසන් තීරණය වුණේ ආයතනය සතු සම්පත් මෙන්ම ඉඩම් විකුණා දැමීමට. ඒ අනුව මගේම ව්‍යාපාරයක් ඇරැඹීමේ අවස්ථාව මට උදා වුණා. වසර 20ක කාලයෙන් ලද අත්දැකීම්, දැනුම, මානව සබඳතා මේ සියල්ල නිසා මට අවශ්‍ය වුණේ ඒ වන විට කොමර්ෂල් බැංකුව සමඟ මට හොඳ සබඳතාවක් පැවතුනා. ඉඩමක් ව්‍යාපෘතිය සඳහා ගැනීමට මෙන්ම අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් මට ණයක් ලබාගැනීමට හැකිවුණා. 2003 වසරේ දී omega green(pvt)Ltd ආරම්භ කළේ එලෙසයි.

2010 වර්ෂයේ දී අපනයන සම්මානය හිමිකර ගැනීමටත් ඔබට හැකි වී තිබුණා.?
වසර 7ක් යනවිට මම ඉලක්කය ජයගත්තා. මට ඒ වන විට ක්ෂේත්‍රය පිළිබඳ තිබුණ දැනුම තාක්ෂණික දැනුම නිසා කඩිනමින් ව්‍යාපාරය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබුණා.


ඔබ පවසන්නේ මේ ව්‍යාපාරයට පිවිසෙන ඕනෑම කෙනකුට සාර්ථක විය හැකි බවද?
අපි නිෂ්පාදනය කරන්නේ විසිතුරු මල් සහ ශාක. ඒ සඳහා ලෝක වෙළෙඳ පොළේ පමණක් නොවේ, දේශීය වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම ක්‍ර‍මයෙන් ඉහළ යමින් පවතින්නේ. එසේම දේශීයව ඉතාමත් ඉහළ වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ තත්ත්වය නිසා නිෂ්පාදන වැඩි වීමෙන් ගැටලු ඇති වන්නේ නෑ. ප්‍රධානම හේතුව ලෝකයේ විශාල ඉල්ලුමක් මේ සඳහා පැවතීමයි.


මේ ව්‍යාපාරය කරගෙන යන හෝ ආරම්භ කරන අයට දිය හැකි උපදෙස් මොනවාද?
මේ ව්‍යාපාරයේ වැදගත්ම කාරණය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ මුල් අදියරේ සිට අවසාන අදියර දක්වා සියයට සියයක අවධානයක් පවත්වා ගැනීමයි. උදාහරණ පවසනවා නම් ශාකයේ බීජ අවස්ථාවේ සිට එය වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කළ යුතු අවස්ථාව දක්වා ඊට ලබාදිය යුතු සියලු සත්කාර සිදු කළ යුතුයි. සියයට 99කින්වත් එය නැවැත්වීම නොකළ යුතුයි. එලෙස සම්පූර්ණ නොකරන සියයට 1 නිසාද සමස්ත නිෂ්පාදනයම වෙළෙඳ පොළෙන් ප්‍රතික්ෂේප විය හැකියි.


දෙවැනි කාරණය මල් හා විසිතුරු ශාක නිෂ්පාදනයේ දී එකම වගාවක් පිළිබඳ විශ්වාසය තැබීම නොකළ යුතුයි. හානි හා පාඩු අවම කර ගැනීම සඳහා විවිධාංගීකරණය කිරීම වැදගත්.


වැදගත්ම කාරණය අනෙකුත් වගාවන්ගෙන් මෙන් මෙහි ආදායම ලැබෙනුයේ අවස්ථා කීපයක් නොවෙයි දිනපතා ආදායම් ලබා ගත හැකියි. ඊට ගැළපෙන අන්දමින් නිෂ්පාදනය සිදු කිරීමයි කළ යුත්තේ.


කෘෂිකර්මාන්තය මුහුණ දෙන කම්කරු ගැටලුව මේ ව්‍යාපාරයට බලපාන්නේ කොහොමද?
කම්කරුවකුට දෛනිකව රුපියල් 1500ක් පමණ ගෙවිය යුතු වෙනවා. නමුත් කන්නයකට අස්වැන්න ලැබෙන වගාවක දී එලෙස ගෙවිය හැක්කේ අස්වැන්න ලැබෙන කාලයට පමණයි. නමුත් මේ වගාවේ දී ආදායම් නිතිපතා ලැබෙනවා. ඒ නිසා ශ්‍රමිකයන් යෙදවීමේ ගැටලුවට මුහුණ දිය හැකිය.


කෙසේ වෙතත් මගේ අත්දැකීම්වලට අනුව මේ කම්කරු ගැටලුව ඇති වන බවට එය ඇති වීමටත් පෙර සිටම මගේ අවබෝධයක් තිබුණා. ඒ නිසාම කම්කරු ගැටලු අඩු කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිත කිරීමට පෙළඹුණා.


තාක්ෂණයට පිවිසීම සඳහා ප්‍රාග්ධනය වැය වෙනවා. නමුත් ඉන් අත්වන ලාභය දීර්ඝ කාලීනයි.


එලෙස තාක්ෂණය භාවිත කර කම්කරු ගැටලුවලට මුහුණ දුන් ආකාරය පිළිබඳ පැහැදිලි කළ හැකිද?
වගාවේ දී ප්‍රධානම ගැටලුව වල් පැළ සහ ලෙඩ රෝගයි. මේ ගැටලුවට මුහුණදීම සඳහා අපි වගා කරන සියලු ද්‍රව්‍ය පෝච්චිවල වගා කිරීමට කටයුතු කරනවා.


එසේම දිලීර බැක්ටීරියා කෘමි හානි වැළැක්වීමට මෙන්ම වැල් වැවීම වැළැක්වීමට මේ පෝච්චි තබන පොළව ඉටිකොළ යොදා ආවරණය කරනවා. ඉටිකොළ එළීමේ දී තැන් තැන්වල වතුර රැඳීම නිසා ඩෙංගු අවදානම ඇති වෙනවා. මේ නිසාම අපි මීට ගැළපෙන විසඳුමක් ලෝක වෙළෙඳ පොළ තුළ සොයා බැලුවා. ඒ සඳහා අපිට ගුලංග විසඳුම ලැබුණා.


වතුර පොළොවට උරා ගැනීමේ පොළව ආවරණය ලැබුණා. නමුත් එහි වර්ග අඩියක මිල රුපියල් 180ක් පමණ වෙනවා. අක්කර ගණනින් කෙරෙන ව්‍යාපාරයක එවැනි ආයෝජනයක් කිරීම තරමක් අසීරුයි. මේ වන විට අපි ක්‍රමානුකූලව එම ආවරණ සිදුකරනවා. වසර 10ක් පමණ කාලයක් පවතිනවා. එම ආවරණ නිසා වල් ගැලවීමට අවශ්‍ය ශ්‍රමය ඉවත් කිරීමට හැකි වුණා.


වසර 20ක අත්දැකීම් මෙන්ම ලෝකයේ වෙනත් රටවල මෙවැනි විශාල පරිමාණයේ වගාවන් සිදු කරන ආකාරය දැකීමෙන් අප නව තාක්ෂණික ක්‍රම හඳුනාගෙන තිබෙනවා. හරිතාගාර පුරා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ ඒ පුරා පහසුකම් සංසරණය විය හැකි පීලි දෙකක් මත එහා මෙහා ගෙන යා හැකි ඩක්කුව ආකාරයේ කරත්ත මඟින්. එම කරත්තය තල්ලු කරගෙන යෑම එක සේවකයකුට වුව කළ හැකියි. මල් පෝච්චි, පැළ ආදිය මේ උපකරණය නිසා පහසුවෙන් කාර්යක්ෂම ආකාරයෙන් එහා මෙහා ගෙනයා හැකිය. මේ නිසා කාලය, ශ්‍රමය දෙකම අවම කරගත හැකි වුණා. මේ නිසා අවශ්‍ය වූවේ ගැල්වනයිස් බට සහ රෝද සවිකර සකස් කරන ලද කරත්ත පමණයි.


ඉදිරියේ දී තායිලන්තය සමඟ ඕකිඩ් ව්‍යාපෘතීන් ඇරැඹීමට සැලසුම් කරන බව ඔබ පැවැසුවා.


අපේ රටේ වගේ වසර පුරා එක සමාන දේශගුණය ලොව බොහෝ රටවල නෑ. Foriculture ව්‍යාපාරයේ ලොව අංක එක වන නෙදර්ලන්තය 100% ක්ම වගාව කරන්නේ හරිතාගාර තුළයි. ඇතැම් කාලවලට හරිතාගාර උණුසුම් කළ යුතුයි. එවැනි රටවල් තමන්ගේ වගාවන්ට උණුසුම අවශ්‍ය කාලවල දී අප වැනි උණුසුම පවතින රටකට එම ශාක එවා නියම මට්ටමට එම ශාක පැමිණි පසු නැවත ඒ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. තායිලන්තය, ඉන්දියාව දැනටමත් මේ ව්‍යාපාරයට පිවිසිලා. අප වෙත ලබාදෙන ඔකිඩ් පැළ මල් එනතෙක් තබාගෙන නැවත ඔවුන්ට ලබා දීමයි කෙරෙන්නේ.


ඔබ පැවැසුවා මේ ක්ෂේත්‍රයේ පැවැත්ම හා දියුණුව සඳහා ඇතැම් නීති රීති වෙනස් විය යුතු බව?
අපගේ ශාක නිරෝධායන නීති සකස්වී ඇත්තේ අප රටේ පවතින ස්වභාවික පරිසරයේ ආරක්ෂාව සඳහා. නමුත් දැන් පවතින නීති නිසා රටට හොර පාරෙන් පැමිණෙන ශාක ප්‍රමාණය වැඩි වී තිබෙනවා. එමෙන්ම රටින් ගෙන්වන ඇන්තූරියම් වැනි පැළවල මිල ඉතා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා විද්‍යාත්මක සංවාදයක් අවශ්‍ය වෙනවා.


ව්‍යාපාරය සඳහා මේ ක්‍ෂේත්‍රය තෝරා ගන්න කෙනකුට උපදෙස් හෝ දැනුම දීමට ඔබට අවකාශ තිබෙනවාද?
ඇත්තෙන්ම මමත් මගේ ආයතනය ඒ සඳහා කැමැත්තෙන් පසුවෙනවා. එවැනි අය වෙනුවෙන් විශේෂයෙන් වැඩමුළු සංවිධාන කරනවා. තොරතුරු ලබා ගැනීමට www.omegagreen lanka.com වෙත පිවිසිය හැකියි.

SLflowers

(දිනමිණ)

Features

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website