Friday, 18 January 2019 04:17

නීති පද්ධතියේ ස්වාධීනත්වය ආර්ථික වර්ධනයට රුකුලක්

නව ආයෝජන ගලා ඒමට මහා අත්වැලක්නව ආයෝජන ගලා ඒමට මහා අත්වැලක්


නීතිඥ ලිලාන් අමරකෝන්


අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, ගෞරවය සමඟ නීතියේ ආධිපත්‍යය සුරැකෙන්නේ නම් වැඩි වැඩියෙන් දෙස් විදෙස් ආයෝජන ගලා ඒමට එය ප්‍රබල රුකුලක් වන බව නීතිඥ ලිලාන් අමරකෝන් මහතා ප්‍රකාශ කළේ ය.


මේ අන්දමට සැමට සමාන අයුරින් නීති පද්ධතියේ යහපැවැත්ම ඉටුවන තැනට මේ වනවිට ශ්‍රී ලංකාව පත්වී තිබීම ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ යෑමට හේතු වී ඇතැයි ද අමර‍කෝන් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීන, ගෞරවණීය හා අපක්ෂපාතිභාවය පිළිබඳව මුළු ලෝකයටම ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවලින් පැහැදිලිව පෙන්නුම් කිරීමක් සිදු වූ බව ලිලාන් අමරකෝන් මහතා අවධාරණය කරයි.නතඥ ලලන අමරකන


ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට විශේෂයෙන් නීතියේ, වාණිජ නීතිරීති පද්ධතියේ ඉහළ අපක්ෂපාතී බව ප්‍රබල රුකුලක් වන බව කී අමරකෝන් මහතා රටේ මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ද එය විසල් සවියක් වන බව ද කියා සිටියි.


‍ලෝකයේ ඕනෑම රටක අධිකරණ පද්ධතියට අනිසි බලපෑම් කිරීම, නඩු තීන්දු වෙනස් කරලීමට විනිසුරුවන්ට අල්ලස් ලබාදීම, තෑගි පිරිනැමීම හෝ විවිධ වරප්‍රසාද, වරදාන ලබාදීම සිදුවන්නේ නම්, ඒ රටේ නීතිය පිළිබඳව මහජනතාවගේ සිත්වල පවතින විශ්වාසය බිඳ වැටේ. ජනතාව නීතිය පිළිබඳව විශ්වාසය තබා නොසිටීනම්, ඔවුන් නීතිය අතට ගෙන අවනීතිය ක්‍රියාවට නැංවීමට කටයුතු කරන්නේ නම්, එවන් රටකට දෙස් විදෙස් ආයෝජන ගලා නොඑනු ඇත. එපමණක් නොව ඒ ජනසමාජයේ සමඟිය, සමාදානය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ නැත.


ශ්‍රී ලංකාවේ අපට මේ නීතියේ අධිපත්‍යය බිඳ වැටුණු, ආරක්ෂා වුණු සිද්ධි පිළිබඳව අතීත මතකය අවධි කිරීමෙන් වටහාගත හැකිය. වසර 1988/89 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේ රජයේ දේපොළවලට ගිනි තබා, කඩා බිඳ දමා විනාශ කළද , ඔවුන්වත් අප රටේ එකඳු අධිකරණ පද්ධතියකට හානි සිදු කළේ නැත. එදා එසේ රටේ පැවැති පාලනයට එරෙහිව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ පද්ධතියට බාධා එල්ල නොකළේ, ඒ කෙරෙහි පැවැති විශ්වාසය නිසාවෙන් විය හැකිය.


විශ්වාස‍යක් නොපැවතියා වුව ඔවුන් ඊට අනිසි බලපෑම් හෝබාධා සිදු කරන්නට ගියේ නැත.


වසර 1977 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සාමාන්‍ය නීතිඥයෙකු වූ නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ධුරයට පත් කරන විට ඇතැම් දෙනා සිතුවේ, ඒ හරහා අධිකරණ පද්ධතියට අනිසි බලපෑමක් සිදු කරනු ඇතැයි කියාය. එනමුත්; නෙවිල් සම‍රකෝන් අගවිනිසුරුතුමා තම රාජකාරි කටයුතු මනාව ඉටුකෙළේ, කිසිවෙකුට හෝ යටත් නොවෙමිනි.


ඉන්පසුව මෙරට අධිකරණ පද්ධතිය උඩු යටිකුරු වූයේ සරත් එන්. ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුවය. ඒ කාලයේ අධිකරණයට බලපෑම් එල්ල වූ බවට නොබියව ප්‍රකාශ කළ හැක්කේ සිද්ධි දාමයක් උදාහරණ ලෙස පෙන්වා දෙමිනි. නමුත්! ඒ සඳහා ඉඩ වෙන් කිරීම නොවටිනා දෙයක් බව අප සිතමු.


ඊටත් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධුරය දරමින් තම සිතැඟි පරිදි අධිකරණ පද්ධතිය මෙහෙයවා නීතියේ ගෞරවණීය හා විශ්වාසනීය බව බිඳ දැමූ අයුරුද අපට මතකය. මෙවන් අවාසනාවන්ත තත්ත්වයන් මත රටේ නීතිය, අධිකරණ පද්ධතිය ගැන ජනතා විශ්වාසය බිඳ වැටී තිබියදී ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ලබා දුන් තීන්දු මත නැවත රටේ ජනතාව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විශ්වාසය ගොඩනැගි ඇත. එය වසර 2025 සුවිසැල්, ආර්ථික ජයග්‍රහණ ගණනාවක් ලබා ගන්නට සූදානම් වන ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වූවකි.


රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව පවතින විශ්වාසය ඉහළට ගෙන ඒමට කටයුතු කරන අතර නව දෙස් විදෙස් ආයෝජක ආකර්ෂණයට ගැලැපෙන ලෙස රටේ නීති පද්ධතියේ වෙනස්කම්ද සිදු කළ යුතුය. ඒ අනුව වසර 2018 ජාතික අයවැය රටට ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පනත් අටක් සඳහා සංශෝධන ගෙන ඒමට යෝජනා කෙළේ ය.


මුල්‍ය වගකීම් කළමනාකරණ පනත, රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත, ජාතික විගණන පනත, කොටස් වෙළඳපොළ සාමුහික කිරීම වැළැක්වීමේ පනත, සුරැකුම්පත්කරණ පනත, ජාතික විශ්‍රාම අරමුදල් පනත, සංවර්ධන බැංකු පනත, රාජ්‍ය ව්‍යාපාර පනත ඒවා වේ. මේ පනත් සංශෝධනය තුළින් රටේ නව ආයෝජකයින්ට නීතිමය රැකවරණයක්, පහසුවෙන් ව්‍යාපාර සිදු කිරීමට ඉඩක් නිර්මාණය කරදීම රජයේ අරමුණ වී තිබේ.


මෙවන් පනත් සංශෝධනයන්ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ පෙර දැක්ම ඉදිරිපත් කරමින් රටේ මුල්‍ය අංශ ශක්තිමත් කිරීමට මහ බැංකු පනත සංශෝධනය කිරීම ක්‍රියාකරන බව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු 2019 පෙර දැක්මේ මෙසේද සඳහන් වේ.


බලපත්‍රලාභී බැංකු සඳහා වන නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණු ඇතිව මහ බැංකුව විසින් නව බැංකු පනතක් කෙටුම්පත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මෙම යෝජිත පනත සඳහා අධීක්ෂණය හා නියාමනය සඳහා වන සමස්ත බලතල, ආයතනික යහපාලනය ශක්තිමත් කිරීම, ඩිජිටල් බැංකුකරණය, ඒකාබද්ධ අධීක්ෂණය, ගැටලු නිරාකරණය, දඩ මුදල්/දඬුවම්, සීමා පැනවීම්, එකතුවීම්, ආයතන අත්කර ගැනීම් හා ඒකාබද්ධ කිරීම්, විදේශ බැංකු අනුබද්ධ කිරීම් සහ විවිධ ස්ථරවලින් යුත් බැංකු ව්‍යූහය සඳහා විවිධ නියාමන රාමු හඳුන්වා දීම යන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් කිරීමට නියමිතය. මීට අමතරව, අවදානම් මත පදනම් වූ අධීක්ෂණය සහ අධීක්ෂණ දින දර්ශනය සැලසුම් කිරීම සඳහා බැංකු කටයුතුවල තිරසාර බව ශ්‍රේණිගත කිරීමේ දර්ශකය (Banking Sustainability Rating Index/BSRI) 2019 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.


සයිබර් ප්‍රහාර හා අනෙකුත් තොරතුරු ආරක්ෂණ තර්ජන සඳහා බැංකු නිරන්තරයෙන් ඉලක්ක වීම හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රමිති හා මනා පරිචයන්ට අනුගතව බැංකු අංශයේ තාක්ෂණික අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා වන පෙර දැක්මක් සහ සාකච්ඡා පත්‍රිකාවක් නිකුත් කෙරිණ. මීට අදාළව බැංකු විධානයක් 2019 වසරේදී නිකුත් කිරීමට නියමිතය.


අධකරණනියාමන ආයතනය ලෙස, ආයතනික යහපාලනය ශක්තිමත් කිරීමට සහ හිමිකාරීත්වය සංකේන්ද්‍රනය, මණ්ඩලවල අධිකාරිත්වය, අදාළ පාර්ශ්ව සමඟ සිදුවන ගනුදෙනු ආශ්‍රිත අවදානම් හා බැඳියාවන් පිළිබඳ ගැටුම් වළක්වා ගැනීම ආදිය සඳහා බැංකුවල හිමිකාරීත්ව කොටස් පුළුල් කිරීමට අවශ්‍ය බව අපි විශ්වාස කරන්නෙමු. එම නිසා, කොටස් හිමකම් පිළිබඳ දැනට පවත්නා අවශ්‍යතා සමාලෝචනය කරනු ඇති අතර, ඇතැම් අමතර ක්‍රියාමාර්ග ගනු ලබනු ඇත. මීට අමතරව,බැංකුවල ප්‍රධාන තනතුරු සඳහා වඩා යෝග්‍ය හා සුදුසුකම්ලත් පුද්ගලයන් පත් කිරීම සඳහා බැංකු අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් පත් කිරීම සඳහා යෝග්‍ය හා නිසි ඇගයුම් ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත. යහපත් ආචාර ධර්ම හා මූල්‍ය අවංකභාවය තහවුරු කළ පුද්ගලයන් පමණක් මෙවැනි පත්වීම් සඳහා සලකා බලනු ලැබේ.


බාහිර විශේෂඥ දායකත්වය ලබාගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් විදේශිකයන්ගේ සේවාව ලබාගැනීම සඳහා පුළුල් ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ඇත. බැංකු කටයුතුවල සහ වෘත්තීය ගිණුම්කරණ/විගණන ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනය සැලකිල්ලට ගනිමින් බාහිර විගණන නිලධාරීන් පත් කිරීමේ අවම නිර්ණායක දැනටමත් සමාලෝචනය කර ඇති අතර, සුදුසුකම්ලත් විගණන නිලධාරි මණ්ඩලය ඒ අනුව සංශෝධනය කෙරෙනු ඇත.

බලපත්‍රලාභී බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම් සඳහා වන වෙළඳපොළ ක්‍රියාකාරකම් සහ පරිචයන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව බලපත්‍රලාභී බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම් විචක්ෂණශීලී ලෙස සහ ජාත්‍යන්තර මනා පරිචයන්ට අනුව සිදු කෙරෙන බවට තහවුරු කිරීම සඳහා නව නියාමන රාමුවක් හඳුන්වා දීමට මහ බැංකුව අපේක්ෂා කරයි. ගැටලුකාරී බැංකුවලට වන අහිතකර බලපෑම සහ එමඟින් අනෙකුත් අංශවලට සිදුවන බලපෑම අවම කිරීම සඳහා මහ බැංකුව විසින් බැංකු අංශය සඳහා අර්බුදවලට සූදානම් වීමේ සැලසුමක්ද සම්පාදනය කරනු ඇත. මේ සම්බන්ධයෙන් බැංකු සඳහා වන සාකච්ඡා පත්‍රිකාවක් ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත.


නියාමන අධිකාරීන් අතර අන්තර් සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස විශ්වාස කරන බැවින්, අවදානම් පදනම් කරගත් ඒකාබද්ධ සුපරීක්ෂණය පිළිබඳව අවබෝධතා ගිවිසුම් මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ රක්ෂණ නියාමන කොමිසම අතර අත්සන් කරනු ලැබූ අතර,මහ බැංකුව ප්‍රධාන නියාමක ලෙස කටයුතු කර ඇත.


මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ මහජන අරමුදල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හඳුන්වා දීමට අවශ්‍ය වන නියාමන පියවර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අතථ්‍ය මුදල් (Virtual Currency) ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කාර්යසාධක බලකායක් මහ බැංකුව විසින් පත් කර ඇත. මෙයට අමතරව, රටේ ගෙවීම් සහ පියවීම් පද්ධතියෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2018 වසරේදී නියාමන කිහිපයක්ද නිකුත් කොට ඇත.


අනාගත සැලසුම් සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගත් විට, ශ්‍රී ලංකා මහ බැංකුව, ව්‍යවහාර මුදල් කළමනාකරණයෙහි පිරිවැය අඩු කරමින් සහ ආරක්ෂාව හා පහසුව ඉහළ නැංවීමේ අරමුණ සහිතව මුදල් අවම වශයෙන් භාවිතා කරන සමාජයක් ඇති කිරීමට ඩිජිටල් ගෙවුම් යාන්ත්‍රණ ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කරනු ඇත. ඒ අනුව, බස් රථ සහ දුම්රියේ ගමන්වල දී භාවිතයට ගැනීම සඳහා ජාතික වශයෙන් පිළිගත් ගෙවීම් කාඩ්පතක් හඳුන්වා දීම සඳහා ජාතික ගෙවීම් කාඩ්පතක් සහ ප්‍රවේශ පත්‍ර හා ගමන් ගාස්තු රැස් කිරීම සඳහා වන යටිතල පහසුකම් රාමුවක් හඳුන්වා දීමට අපි පහසුකම් සලසන්නෙමු. ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ඇති කිරීමට මූල්‍ය ආයතන ධෛර්යමත් කිරීම සහ ඩිජිටල් ගෙවීම් විකල්ප හා ඒවායේ වාසි පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම මගින් ඩිජිටල් ගෙවීම් යාන්ත්‍රණ ප්‍රවර්ධනය කිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගනු ලබනු ඇත.


නියාමන අවශ්‍යතාවලට අනුකූල වෙමින් නව මූල්‍ය තාක්ෂණ නිෂ්පාදන හඳුන්වාදීම සඳහා නියාමන පරීක්ෂණ අවකාශයක් (Regulatory Sand Box) පිහිටුවීම සඳහා ද සැලසුම් සකස් කොට ඇත.


මෙම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග තුළින් අතථ්‍ය බැංකුකරණයට යොමුවීමට සහ දියුණු තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, මෙම තාක්ෂණ ප්‍රවණතා සමඟ නොපමාව සම්බන්ධ වීමට මහ බැංකුව මූල්‍ය ආයතන වෙත ආරාධනා කර ඇත.


ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, මින්පෙර නොවූ විරූ අයුරින් එකිනෙක හා බැඳුණු මෙන්ම, සංකීර්ණ බවට පත් වී ඇති අතර කම්පනවලට වඩාත් විවර වෙමින් පවතියි. ඒ අනුව, තනි ආයතන සුපරීක්ෂණය කිරීම වෙනුවට රටේ සමස්ත මූල්‍ය ස්ථායීතාව වෙත බලපෑම් කළ හැකි වෙළඳපොළ සහ ආර්ථික අංශ වෙත සමස්තයක් ලෙස අවධානය යොමු කිරීමට හැකියාව සහිත පුළුල් සාර්ව විචක්ෂණ ප්‍රවේශයක වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන ඇත.


මේ ආකාරයට රටේ අධිකරණ පද්ධතිය, ආර්ථික සංවර්ධනය උදෙසා එකිනෙකට බැ‍ඳෙමින් යාවත්කාලීන වීම තුළ රටට, ජනතාවට වඩාත් සෞභාග්‍යමත් දේශයක් බිහිවනු ඇත.

(ජයසිරි මුණසිංහ - දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270