Friday, 15 March 2019 02:13

ජංගම දුරකථනයෙන් කතා කර කර දුම්රිය මග දිගේ එලොව යන්නෝ

උපකාරක පන්තිය නිම කළ, පියුමිත් ලලංගත් තමන්ගේ හොඳම යෙහෙළිය සමගින් පැමිණියේ, ඒ අද්දර වූ රේල් පාර වෙතය. ලලංගත් අනෙක් යෙහෙළියත් කතාකරමින් පිටුපසින් එද්දී, පියුම් සිය ජංගම දුරකථනය දෙස බලමින් දුම්රිය මගේ ඉදිරියෙන් ගමන් කරමින් හුන්නාය.

එක්වරම තමන්ට පිටුපසින් දුම්රියක් පැමිණෙනු දැනුණ ලලංග තමන් සමඟ ගමන් කළ සිය යෙහෙළිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කළේය.

නමුත් ජංගම දුරකථනය දෙසම අවධානයෙන් ගමන් කළ පියුමිට දුම්රියේ හඬ ඇසුණ වගක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ නිසාම ලලංග ඉදිරියට පැන්නේ, පියුමිද රේල් පාරෙන් ඉවත් කරගන්නටය. එහෙත් යකඩ යකා ඊට පෙර ඉස්සර වූයේ, ඔවුන් දෙදෙනාගේ සිරුරුද දෙකඩ කරවමිනි.

නාවලපිටිය ඉඹුල්පිටියේ පියුමි භාග්‍යා සෙව්වන්දිත් දෙකිඳ අලුත්ගම ලලංග හර්ෂ කුමාරත් ඉකුත් සති අන්තයේ, මහනුවර සිට ඇල්ල බලා ධාවනය වූ සති අන්ත විශේෂ දුම්රියට, නාවලපිටිය ජයසුන්දරපුර ප්‍රදේශයේදී හැපී මෙලොවින් සමුගත්තේ එලෙසිනි. දුම්රියේ වැදුණු පියුමිගේ සිරුර දෙකඩ වී දුම්රිය මගටම වැටුණු අතර පාදයක් වෙන්වූ ලලන්ගේ සිරුරද දුම්රිය මඟෙහිම වැටී තිබිණි. ජංගම දුරකථනය නිසා දුම්රියේ ගැටී, පුද්ගලයන් මිය ගිය පළමු අවස්ථාව මෙය නොවේ.

එහෙත් දිනෙන් දින වැඩිවෙමින් පවතින එවැනි සිද්ධීන්හි අලුත්ම අත්දැකීම එයයි.
“මේ අනතුර සිදුවුණු ප්‍රදේශය ආශ්‍රිතව මිනිස්සුන්ට ගමන් කරන්න තියෙන එකම පාර රේල් පාර ‍නෙවෙයි. රේල් පාරට සමගාමීව දෙපැත්තෙම මහා මාර්ගය තියෙනවා. එහෙම තියෙද්දි මේ තුන්දෙනා කොහේ යන්න රේල් පාරට ආවද කියලා හිතාගන්න බැහැ.” නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති බන්දුල  සමරකෝන්  පවසන්නේය. 

මේ  අනතුර සිදුවූ අවස්ථාවේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවය කළ ස්ථානාධිපතිවරයා ඔහුය. ඔහු පෙන්වා දුන් පරිදි මෙම අනතුර  සිදු වී  ඇත්තේ,  දුම්රිය  ස්ථානයට  කිලෝමීටර  තුන්කාලක් පමණ එහාදීය.

“මම සිද්ධිය ඇසින් දුටුවෙ නැහැ. ඒත් ඉදිරියෙන් ගමන් කරපු සිසුවියගෙ සම්පූර්ණ අවධානය තිබිලා තියෙන්නෙ ජංගම දුරකථනය”ඔහු පැවැසීය. සිදු වූ අනතුර ගැන ‍පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින්, දුම්රියේ රියැදුරුවරයා පවසා ඇත්තේද, දුම්රිය නළා හඬ නොඇසෙන තරමටම, මේ සිසුවිය සිය ජංගම දුරකථනයට අවධානය යොමු කරමින් ගමන් කළ බවක් පෙනෙන්නට තිබූ බවයි.

කොතෙක් තහංචි දැම්මද ඒ නොතකා ජංගම දුරකථනයෙන් කතා කරමින් රේල් පාරේ ගමන් කිරීමත් දුම්රිය මගෙහි හිඳ සෙල්ෆි ඡායාරූප ගන්නට උත්සාහ දැරීමත් නිසා පසුගිය කාලය පුරාම මියගියවුන් බොහෝය. ඒ ගැන කෙරෙන කතාබහේද අඩුවක් නැත. එහෙත් මේ අනතුරු අඩුවූ බවක් පෙනෙන්නට නැත්තේ, දිනෙන් දින එවැනි සිදුවීම් ගැන අසන්නට ලැබෙන බැවිනි. අපේ රටේ මිනිසුන්ට තම ජංගම දුරකථනයෙන් තොර ලොවක් නැද්දැයි සිතෙන තරමටම වර්තමානයේ ඔවුහු මේ කෙරෙහි යොමුව සිටින්නෝය.

එහෙත් විද්‍යා ‍ලේඛක සහ නව මාධ්‍ය පර්යේෂකයෙකු වන නාලක ගුණවර්ධන පවසන්නේ, මෙම තත්ත්වය අපේ රටට පමණක් ආවේණික තත්ත්වයක් නොවන බවයි. “මෙවැනි සිදුවීම් පසුගිය වසර කිහිපය පුරා ජපානය, ඉන්දියාව, කොරියාව වගේ රටවලින් වගේම ඇමෙරිකාව, ජර්මනිය, කැනඩාව, බ්‍රිතාන්‍ය  වගේ රටවලිනුත් අසන්නට ලැබුණා.

රටකින් රටකට මිනිසුන්ගෙ චර්යා රටා වෙනස් වෙන්නෙ නැහැ. ඔවුන් කොහෙදිත් එකයි” ඔහු පෙන්වා දෙන්නේ මෙතැනදී වැදගත් වෙන්නේ, තමන් කුමන කාර්යයක නිරත වුවත්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම පමණක් බවයි.
“අද වෙද්දි ජංගම දුරකථන භාවිතාව වැඩිවෙලා තියෙනවා. විශේෂයෙන්ම කතා කරන්න පමණක්  නමෛයි  කෙටි  පණිවුඩ යැවීමටත් අන්තර්ජාලයට පිවිසීමටත් ඔවුන් එය යොදා ගන්නවා. ඒ නිසාම හුගක් දෙනා මගතොටේදිත් ජංගම දුරකථනයට එබිගෙනම ගමන් කරන බවක් පෙනෙන්න තියෙනවා. ඒ හරහා අනතුරුවලට භාජනය වීමට තියෙන ඉඩකඩ වැඩියි.”

දුම්රිය ආරක්ෂක  අධිකාරී  අනුර  ප්‍රේමරත්න පවසන්නේ, දුම්රියට  පැන සියදිවි හානි කර ගැනීමට අමතරව වැඩිපුරම දුම්රිය අනතුරුවලට පුද්ගලයන් ලක්වෙන්නේ, රේල් පාර මත ගමන් කිරීම සහ ඒ මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමෙන් බවය. ඔහු පෙන්වා දෙන පරිදි මේ වසරේ ගත වූ මාස දෙකෙහිදී පමණක් දුම්රියේ ගැටීමෙන් එලෙස හැටහතර දෙනෙක් මිය ගොස් ඇති බවයි.

“විශේෂයෙන්ම මෙහිදී අනතුරුවලට ලක්වෙන්නෙ දුම්රිය ද්විත්ව මාර්ගවල ගමන් කරන්න ගිහින්. ඒ වගේ අවස්ථාවල එක් පාරක යද්දි ඉස්සරහින් කෝච්චියක් ආවොත් ඔවුන් කරන්නෙ අනෙක් මාර්ගයට මාරු වෙන එක. ඒත් ඔවුන් දන්නෙම නැතුව පිටුපසින් ඒ පාරෙත් දුම්රියක් ඒ වෙලාවටම එන්න පුළුවන් අවස්ථා වැඩියි” අනුර ප්‍රේමරත්න අවධාරණය කරන්නේය.

අනෙක් අතට ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය මග දෙපස ඇති ඉදිකිරීම් මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. එනම්, ඔහු පවසන පරිදි නගර සභාව ඊට අදාළ සැලසුම් අනුමත කරද්දී, එම ගොඩනැගිලිවලට ප්‍රවේශ වීමට මාර්ගයක් තිබේද යන්න ගැන නිසිලෙස අවධානය යොමු කොට නැති හෙයින් මේ බොහොමයක් ගොඩනැගිලිවල ප්‍රවේශ මාර්ගය වී ඇත්තේ අසල ඇති දුම්රිය මගයි.

“සමහර ස්ථානවල  තියෙන උපකාරක පන්ති ඇරුණාම ළමයි ඔක්කොම කෙළින්ම එන්නෙ රේල්පාරට” ඔහු පවසන්නේ දුම්රිය මාර්ගය හරහා මෙම ස්ථානවලට මාර්ගයක් තනන ලෙස කොයිතරම් ඉල්ලීම් කළත් එය මෙතෙක් ඉටු වී නැති බවය. සාමාන්‍යයෙන් දුම්රියක් ගමන් කරන වේගය මහා මාර්ගයේ ගමන් කරන වෙනත් වාහනවලට වඩා වැඩිය. එමනිසා දුම්රියක් ඉදිරියට එන මාර්ගයෙන් කෙනෙකුට ඉවත් වෙන්නට ඇත්තේ ඉතාම සුළු කාලයක් පමණි. එම නිසා අනතුර වළක්වා ගැනීමට නම්  ඒ සඳහා හැකි ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සිදුවේ.

අනුර ප්‍රේමරත්න පෙන්වා දෙන පරිදි ඒ නිසාම දුම්රිය අනතුරුවලට වැඩි වශයෙන් ලක්වෙන්නේ අවුරුදු පනහක් ඉක්මවූ වැඩිමහලු අයයි. ඔවුන්ට යමක් ශ්‍රවණය වීමේ අඩුකම, යම් දෙයකට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඇති නොහැකියාව ආදිය ඊට බලපායි. එහෙත් තරුණ කොටස් වැඩි වශයෙන් දුම්රිය අනතුරුවලට ලක්වෙන්නේ, ජංගම දුරකථන භාවිතාව සහ දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම හේතුවෙනි.

අන්කවරදාකටත් වඩා වැඩියෙන් ජංගම දුරකථන භාවිතාව ඉහළ ගොස් ඇත්තේ, කාර්යබහුල සමාජයක් තුළ ඉන් ඉටු කර ගත හැකි කාරණා බොහොමයක් ඇති හෙයිනි. එහෙත් ඒ නිසාම පුද්ගලයා අද වන විට ජංගම දුරකථනයට අසාමාන්‍ය ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඒ ඇබ්බැහිය නිසාම සිදුවන අනතුරුද වැඩි වී ඇති බවත් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේය. ඔහු පෙන්වා දෙන්නේ, අද වෙද්දී විවිධ කාර්යයන් සඳහා ජංගම දුරකථනය භාවිත කරන බැවින්, ඒ ඇසුරේ සිටියදී ඇතැමුන්ට කාලය පිළිබඳව හෝ බාහිර උත්තේජනයන් පිළිබඳව කිසිදු සංවේදිතාවක් නැති වී යන බවයි.

“පරිසරයෙන් ඇසෙන ශබ්ද, කිසිවෙකු කතා කරන හඬ කියන මේ සියල්ල කෙරෙහිම වන අවධානය ජංගම දුරකථනය නිසා නැති වෙලා යනවා. ඔවුන්  සම්පූර්ණ අවධානය යොමු කරන්නෙ දුරකථනයට. ඒකයි මෙහෙම අනතුරුදායක තත්ත්වයන්ට යොමු වෙන්නෙ.”

විශේෂඥ මනෝ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේය.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පවසන්නේ, ඇතැමුන්ට කොතෙක් අවබෝධ කර දුන්නද මෙහි ඇති අවදානම ගැන වටහා දෙන්නට නොහැකි බවය. දුම්රිය ආඥා පනතෙහි සඳහන් වන පරිදි, දුම්රිය මගක ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් කිසිවෙකු ඒ ගැන තැකීමක් කරන බවක් පෙනෙන්නට නැත. එහෙයින් මේ සම්බන්ධව පදිකයන් මෙන්ම නිලධාරීන්ද දැඩිව අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න අවධාරණය කරන්නේය.

දුම්රියේ ගැටී ගිය වසරේ 153 මරුට

නීති විරෝධී ලෙස දුම්රිය මගේ ගමන් ගැනීම නිසා වාර්ෂිකව විශාල පිරිසක් අනතුරට පත්වේ. දුම්රිය ආරක්ෂක අංශයේ තොරතුරු අනුව වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වනුයේ කොළඹ කොට්ඨාසයෙනි. 2018.01.01 සිට 2018.12.31 දක්වා කොළඹ දුම්රිය කොට්ඨාසයේ දුම්රියේ ගැටී තුවාල ලද මුළු පිරිස 209ක් වන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 153කි. නාවලපිටිය කොට්ඨාසයේ දුම්රියේ ගැටී තුවාල වීම් 33ක්ද මරණ 23ක්ද වාර්තා වී ඇත. අනුරාධපුර කොට්ඨාසයේ දුම්රියේ ගැටී තුවාල ලැබිම් 12ක්ද මරණ 36ක්ද වාර්තා විය.

2019.01.01 සිට මේ දක්වා කොළඹ කොට්ඨාසයේ දුම්රියේ ගැටී තුවාල ලැබිම් 36ක්ද මරණ 23ක් වාර්තා වන අතර නාවලපිටියේ තුවාල ලැබිම් 6ක්ද මරණ 2ක්ද වාර්තාවේ. අනුරාධපුර කොට්ඨාසයේ තුවාල ලැබිම් වාර්තා නොවන මුත් මරණ 2ක් වාර්තා වෙයි.

දුම්රිය මගට ඇතුළුවීම අනතුරුවලට මුලයි

-
දුම්රිය රියැදුරන්ගේ සංගමයේලේකම් ඉන්දික දොඩංගොඩ

දුම්රියේ ගැටී මිනිසුන් මිය යෑමට මූලික හේතුව ඔවුන් දුම්රිය මගට ඇතුළු වීමයි. එය මුළුමනින්ම නීති විරෝධි ක්‍රියාවක්. සාමාන්‍ය ජනයාට තබා දුම්රිය මාර්ග නඩත්තු සේවක මහතුන්ටවත් තම අභිමතය පරිදි දුම්රිය මගේ යන්නට බෑ. ඒ සඳහා ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවා. එහිදි කොඩි සංඥා ක්‍රමය, රේල් පීල්ලට වෙඩි බැඳීම වැනි දේ මගින් ඔවුන් දුම්රිය රියැදුරන්ට සංඥා ලබා දෙනවා මාර්ගයේ සේවකයන් රැඳී සිටින බව. ඊට අමතරව මාර්ගයේ නඩත්තු කටයුතු වෙනවා නම් යාබද දුම්රිය ‍පොළෙන් ඒ බව රියැදුරන්ට දන්වනවා.

එහෙත් සාමාන්‍ය ජනයා කිසිත් නොතකා දුම්රිය මාර්ගයේ ගමන් කරනවා. දුම්රියක් ක්ෂණිකව නතර කළ නොහැකියි. තිරිංග ක්‍රියාත්මක කළ පසු එය යම් දුරක් ඇඳී යනවාමයි. දුම්රියේ නළාව ගහන්න බැරි ඇයි කියා සමහරු අහනවා. බොහෝ දෙනා දන්නේ නෑ දුම්රිය නළාව කියන්නේ සංඥා මෙවලමක් බව. බස් කාර් එළවන රියැදුරන් වගේ දුම්රිය රියැදුරන්ට හිතුමතේ හෝන් ගහන්න බෑ.

දුම්රියක් පනගැන්වීමේදී ගහන හෝන් එක එක විදිහක්, දුම්රියක් දුම්රිය ‍පොළට ඇතුළු කරන කොට පිට වෙන කොට ගහන හෝන් වෙනස්. ධාවනය වන දුම්රියකට අමතර තිරිංග බලයක් ලබා ගන්නට නියාමක සතු අත් තිරිංග ක්‍රියාත්මක කළ යුතුයි. එවැනි අවස්ථාවක ගහන නළාව වෙනස්. එම තිරිංග අක්‍රිය කළ යුතු අවස්ථාවේ ඒ බව දන්වන්නෙත් හෝන් එකෙන්මයි. දුම්රිය නළාව ඉතා වගකීමෙන් පාවිච්චි කරන්න ඕන එකක්.

ඇතැම් ගම්මානවලට යන්න පාරවල් නෑ. එවැනි ගැටලු අදාළ බලධාරීන් විසඳිය යුතුයි. තේ වතු ආශ්‍රිතව මාර්ග නොමැති තැන්වල වතු කම්කරුවන්ට පමණක් මාර්ගයේ ගමන් කිරීමට විශේෂ අවසර පත්‍රයක් දී තිබෙනවා. ඒ විශේෂ තහඩුවක්. එය පැලඳ සිටීනම් පමණක් ඔවුනට දුම්රිය මගට ඇතුළු විය හැකියි.

රියැදුරන් හැමවිටම දුම්රියේ මිනිසුන් ගැටීම වළකන්න බලනවා. මෙවැනි අනතුරු නිසා වඩාත් පීඩාවට හා කම්පානයට පත් වන්නේ එය දකින රියැදුරායි.

(ළක්බිම)

Features

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website