Saturday, 13 April 2019 07:40

අර්බුද මැද රට යන අත

“ඉපැරණි ගම” ලස්සන ය. මා මේ කියන්නේ අපෙන් ගිලිහී ගිය ඉපැරණි ගම නොව පින්නවල අලි අනාථාගාරයට මුහුණලා ඉදිකර ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ පර්යේෂකයන්ගේ නැරඹීමට සහ අවධානයට ලක්වී තිබෙන ඉපැරණි ගම ආදර්ශය ගැනය. අති සුන්දර පරිසරයක ඉදිකර ඇති ඉපැරණි ගමේ එක මායිමක් වන්නේ කෑගල්ල රඹුක්කන මාර්ගය ය. අනිත් මායිම රමණීය මහඔය ය.

මේ ඉපැරණි ගම මොඩලය පවත්වාගෙන යනු ලබන්නේ සබරගමුව පළාත් සභාව විසින් ය. එය පළාත් සභාව සතු සම්පතකි, දේපළකි. පළාත් සභාවේ සියලු අමාත්‍යාංශ එකතුවී ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙහි සියලු නඩත්තු කිරීම් සිදුකරනු ලබයි. එහි ඉපැරණි ගම තේමාව තවදුරටත් සංකල්පීයව වැඩිදියුණු කළ යුතු බව ඇත්තක් වුවත් පවත්නා තත්වය ද නරක නැත. කටුමැටි බිත්තිවලින් යුත් පොල් අතු සෙවිළි කළ විශාල ශාලාව සම්මන්ත්‍රණ සහ විවිධ රැස්වීම් සඳහා ය. එය ඔයට ඉතා සමීපය. ගම වැනුම සීමා කළ හැක්කක් හෝ කළ යුත්තක් නොවුණත් දැනට ඒ ඇතැයි සිතමි.   

පසුගිය බදාදා දවස පුරා එහි පැවැත්වුණේ ශ්‍රී ලංකා මුල්‍ය කොමිසමේ සාමාජිකයන් සහ සබරගමු පළාත් සභාවේ ඉහළ නිලධාරීන්ගේ හමුවක් ය. මුල්‍ය කොමිසමේ සභාපති, ලේකම් සහ තවත් සාමාජිකයන් දෙදෙනකු ද ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද ආණ්ඩුකාරයා සහ අමාත්‍යංශ ලේකම්වරු/වරියන්  ඇතුළු පළාත් සභාවේ ඉහළ නිලධාරීහු පිරිසක් මේ හමුව තුළ වූහ. පළාත් සභාවල ඉදිරි අය වැය කටයුතු සොයාබැලීම, නිරීක්ෂණය සහ උපදෙස් දීම සඳහා මුල්‍ය කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ සබරගමු හමුව යි එදා පැවැත්වුණේ.

ඒ හමුව ආරම්භ කරමින් ආණ්ඩුකාරයා ප්‍රකාශ කළේ ලැබී නැති ප්‍රතිපාදන ගැන නොව ලැබී ඇති ප්‍රතිපාදන ගැන කතා කිරීමට තමා සුදානම් බවත් ලැබී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බවත් අර පරෙස්සමින් ඒවා නිසි භාවිතාවේ යෙදවීමට කටයුතු කරන බවත් ය. එසේම දිළිඳුකම පිටු දැකීම සහ මහජන පීඩා ඉවත්කිරීම යන මූලධාර්මික පදනමේ පිහිටා එම ප්‍රතිපාදන පළාත තුළ යොදාගැනීමට ක්‍රියා කරන බව ඔහුගේ ප්‍රකාශය තුළ විය. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියා ඊට දැක්වූ ප්‍රතිචාරය අපූරු එකකි. ඔහුට අනුව තම අවුරුදු දහඅටක සේවා කාලය තුළ ප්‍රතිපාදන ප්‍රමාණවත් යැයි කියූ ප්‍රකාශයක් ඇසූ පළමු අවස්ථාව මෙය ය. රටේ ආර්ථිකයේවත් පොහොසත්කම, ඇතිකම, නැතිකම, හැකිකම සහ බැරිකම ගැන මනාව දන්නා මේ නිලධාරියා එසේ කීවේ ඉතා සංවේදීව ය. ඔහු පමණක් නොව මුල්‍ය කොමිසමේ සභාපති ලේකම් ඇතුළු සෙසු සාමාජිකයෝද එවැනි කටයුත්තකටම ගැළපෙන කෘතහස්ත මහත්වරුය. 
ඉහත සියලු පැහැදිලි කිරීම සහ වැනුම වනාහි මේ රට පත්ව ඇති ඛේදවාචකය තේරුම් කර දීම සඳහා වූ ප්‍රවේශයකි. ඒකාබද්ධ ජාතික සැලැස්මක් (මාස්ටර් ප්ලෑන් එකක්) නොමැතිව ඒ ඒ වෙලාවට ඒ ඒ තැනට ගළප්පාගෙන යන මේ රට, රාශිභූත වී ඇති අර්බුද ගොඩකට තවත් අර්බුදයකින් දමා ගසයි. එවිට ඒ අර්බුද ගැලවී විසිරී සමස්ත සමාජයම විපතට හෙළන අර්බුද මාලාවක් නිර්මාණය වෙයි. රට සමස්තයක් ලෙස ගෙන ක්‍රියාකාරී ඒකාබද්ධ සැලැස්මක් මත කටයුතු කළා නම් ඒ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මය. එයත් සාර්ථක නොවූයේ ජාතික වැඩපිළිවෙළකට වඩා පාලක බල තණ්හාව පෙරට පැමිණි නිසා ය. ඉන් පසු සිදු වුණේ රටේ සම්පත් දූෂණය කිරීම සහ අවභාවිතාවේ යෙදවීමය. රට සංවර්ධනය නොවුණේ භෞතික සම්පත් හෝ මුල්‍ය සම්පත් මදිවීම නිසා නොව ඒ සම්පත් සහ මුදල් අවභාවිතාවේ යෙදවීම, සොරකම සහ නාස්තිය නිසා ය. දැනුත් එහෙමය. රටේ ඇති මුල්‍ය හිඟය සහ ආර්ථික අර්බුදය වනාහි නාස්තිය, දූෂණය සහ සොරකම පමණක් නොව පාලකයන්ගේ හිතුවක්කාරී දේශපාලන අරමුණු සාධනය සඳහා අර ඉහත කී සම්පත් අවභාවිතාවේ යෙදවීමය. නිලධාරීන්ද එසේම ය.  

දුෂණය සහ නාස්තිය තරම්ම අවභාවිතාව රටේ අර්බුදයට හේතුවී තිබෙන ආකාරය සරල උදාහරණ කීපයකින් තේරුම් ගනිමු. රටේ සියලුම පාසල් ළමයින්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබා දෙයි. එසේ කළ යුතුද? එම නිල ඇඳුම් ආධාරය ලබා දිය යුත්තේ අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක්ය යන්න මගේ අදහසය. මන්ද නිල ඇඳුම් මිලට ගැනීමට හැකියාවක් ඇති අයට එය ලබා දිය යුතු නැත. පාසල් පොත් නොමිලේ ලබා දීම ද කළ යුත්තේ අඩු අදායම්ලාභී දරුවන්ට පමණක්ය. එවැනි ප්‍රතිපත්තියකට අප එළඹුනහොත් රටට ඉතිරිවන මුල්‍ය ප්‍රමාණය, අඩුවන ක්ෂයවීම් ප්‍රමාණය සහ ශ්‍රම වැඩ පැය ගණන සුළුපටු නැති බව ඔබ පිළිගන්නවා ඇති. පාසල කොළනිකරණයට සහ මුඩුක්කුකරණයට ලක් නොකොට වැසී යන සහ දුෂ්කර පාසල් ආරක්ෂාවන පරිදි ගුරු නිවාස සහ මනා පහසුකම් ලබා දීමට ක්‍රියා කරන්නේ නම් රටේ අධ්‍යාපනයේ ඇතිවන ප්‍රගතිය සුළුපටු නැහැ නේද? මෙසේ නොකිරීම සම්පත් මුදල් පමණක් නොව ජනයාට අයිති අනෙකුත් සියලු ක්ෂේත්‍ර අවභාවිතාවේ යෙදවීමක් ය.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගම් අණසක, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් සහ ඖෂධ ජාවාරම් මාෆියාවේ අණසක නිසා අවභාවිතාවේ යෙදවෙන මහජන සෞඛ්‍ය අවකාශය ඉන් නිදහස් කරගත්තොත් එකී අංශවල ඇතිවන ප්‍රගතිය සුළුපටු නැත. එවිට සියලු කාර්යමණ්ඩලය නිවාඩු දමා රෝගීන් පමණක් තනිකොට මඟුල් ගෙවල්වල  යන ප්‍රාදේශීය රෝහල් රට තුළ දකින්නට නොලැබෙනු ඇත. නගරයේ මහ රෝහල්වල වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරී ඉතිරී යද්දී ප්‍රාදේශීය සහ ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන් නොමැතිවීම වැළකෙනු ඇත. අයි සී යූ නොවැසෙනු ඇත. එසේම මුදල් යහමින් ඇති අයට යා හැකි රෝහල්වල තත්වයට රාජ්‍ය රෝහල් ද පත්කරගත හැකිය. අවශ්‍ය වන්නේ තම රස්සාව ගැන පමණක් නොව රට සහ පොදු ජනතාව කෙරෙහි වූ ස්වදේශික සහ මානවීය හැඟීම ය. නැත්තෙත් ඒකම ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් ඇත්තේ සම්පත් නැතිකම නොව තිබෙන සම්පත් සාධාරණව සහ නිසිලෙස භාවිතාවේ නො යෙදීම ය.

රටේ රාජ්‍ය සේවය ලක්ෂ පහළොවකට වැඩි වුණේ ආර්ථික හේතු හෝ පරිපාලන හේතු නිසා නොවේ. එනම් ආර්ථික අවශ්‍යතා හෝ පරිපාලන අවශ්‍යතා නිසා නොවේ. රටට අවශ්‍ය නිසා ද නොවේ. ඒ සා විශාල නිලධාරීන් සහ සේවක ප්‍රමාණයක් දක්වා රාජ්‍ය සේවයේ ඔළුගෙඩි ගණන වැඩි වුණේ පාලකයන්ගේ පෞද්ගලික සහ කණඩායම්වාදී බල දේශපාලනචර්යා සහ වුවමනා නිසා ය. රටේ රාජ්‍ය සේවය ලක්ෂ පහකින් කළ හැක්කකි. අනිත් අයට රැකියා වෙනුවට ලබා දී ඇත්තේ සන්තෝෂම් ය. සමෘද්ධිලාභීන්ගේ ප්‍රමාණය ආණ්ඩුවෙන් ආණ්ඩුවට දහස් නොව ලක්ෂ ගණනින් වැඩිවන්නෙත් ඒ නිසා ය. කොච්චර ලැබුණත් මදියි මදියි කියන රාජ්‍ය ආයතන මේ රටේ ඇත්තේ ඒ ආකාරයේ අවභාවිත රාජ්‍යකරණ සංස්කෘතියක් රට තුළ මුල්බැසගෙන තිබීම සහ ඉන් රට ගලවා ගැනීමට කිසිදු ආණ්ඩුවකට වුවමනාවක් නැති නිසා ය.

මේ ආකාර අවුල්  තිබෙනතුරු රට සංවර්ධනයකොට මහජන සුබසාධනය ඇති කළ නොහැක. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ හුදු ආණ්ඩුවක් හෝ හුදු පාලකයන් හෝ නොව රට සංවර්ධන මාවතකට ගෙනයන වැඩපිළිවෙළක් සහ ඒ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කිරීමට හැඟීමක්, උනන්දුවක් සහ කැපවීමක් ඇති වැඩකරුවන් ය. එහෙත් එහෙම අය නිකම්ම බිහිවන්නේ නැත. ඒ සඳහා හේතුවන දෘෂ්ටිවාදීමය සංස්කෘතියක් නැතහොත් විලාසිතා සංස්කෘතියක් එහෙමත් නැත්නම් මානුෂික කලාපයක් පළමුව ගොඩ නඟා ගත යුතුය.

එය කළ හැක්කේ ස්වදේශික විරෝධී දක්ෂිණාංශික නව ලිබරල් බලවේගයකට නොවන බව අප පළමුව වටහා ගත යුතුය. එසේම වාමාංශික සන්නාම දාගත් නිකායවාදී නැතහොත් රංචුවාදී විනෝදකාමී නන්නත්තාර මුදල් උපයා ගැනීමට විරෝධතා පවත්වන කට්ටල්වලට ද එය කළ නොහැකිය. එය කළ හැක්කේ ස්වදේශිකවාදී නුතනවාදී වාමාංශික ජනප්‍රිය බලවේගයකට ය. රටේ ප්‍රධාන පෙළ ගැසීම් අතර එකක් හොඳටම දෘෂ්‍යමාන ය. ඒ  ස්වදේශික විරෝධී දක්ෂිණාංශික නව ලිබරල් බලවේගය ය. එම බලවේග රටට සිදුකරමින් සිටින  මහා විනාශය බිහිසුණු ය. 

ඊට විකල්පව ගොඩ නැඟිය යුතු ස්වදේශිකවාදී නුතනවාදී වාමාංශික ජනප්‍රිය බලවේගය තවමත් පෙනෙන්නට නැත. එහෙත් එය මතුවිය යුතුමය. ඒ බලවේගය නම් සඟ වෙද ගුරු ගොවි කම්කරු නම් වූ පොදු මහජනයා බලමුළු ගන්වන වාමාංශික ජනප්‍රිය සංස්කෘතිය සහිත පංච මහා බලවේගයමය. ඒ බලවේගය නැතිකම් නොව ඇතිකම් මත තියෙන දේවල් මත සියල්ල කළමනාකරණය කරනු ඇත. එවිට මේ රටේ සියලු ආයතන මදියි මදියි නොකියන, තියෙන දේවල් මගින් මහා සංවර්ධනයක් අත්පත් කර ගැනීමට පෙරමුණ ගනු ඇත. ඉපැරණි ගමෙන් මා උගත්තේ එය ය.

(ලංකාදීප)

Features

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website