Saturday, 13 April 2019 07:44

හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය

අවුරුදු චාරිත්‍ර විධිවල අවසාන අංගය වූ හිසතෙල් ගෑම මේ මස 17 වැනි බදාදා පූර්ව භාග 7.40ට නැඟෙනහිර දිසාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹපත් මිශ්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යනු ජ්‍යොතිෂයේ නියමයයි.

සිංහල හින්දු අලුත් අවුරුදු සංස්කෘතික සැණකෙළියේ සිදුවන ක්‍රියා පද්ධති‍යේ හිසතෙල් ගෑම සුවිශේෂිතය. මේ හිසතෙල් ගෑමට ඇත්තේ දිගු ඉතිහාසයක් යැයි ඒ පිළිබඳව ඈතට තතු සෙවුවෝ පවසති.

සිංහල අවුරුදු සැණකෙළිය අධ්‍යතන අවදියේ පවත්නා උළෙලට වඩා වෙනස් මුහුණුවරකින් අනුරාධපුර - පොලොන්නරු - දඹදෙණි යුගවල පැවතුණු අයුරු ඉතිහාසය හා සාහිත්‍යගත තොරතුරුවලින් අනාවරණය වේ.

අනුරාධපුර අවදියේදී සියලු අස්වැන්න කපා නිවසට ගත්තාට පසු සෞභාග්‍යයේ එසේ නැත්නම් සශ්‍රීකත්වයේ උළෙලක් රජ දවස පැවතුණි. නෙළාගත් අස්වැන්න පරිහරණයට පෙරාතුව බුදුරදුන්ට හා දෙවි දේවතාවුන්ට එම මුල් බත පූජාකිරීම සිරිතකි. අනුරපුර යුගයේ රජවරු මහාවිහාරයට හෝ අභයගිරියට ගොස් මෙසේ පිදීමෙන් අනතුරුව එහි වැඩ විසූ යතිවරුන් ලවා හිසතෙල් ගල්වා ගත් අයුරු මහාවංශාදි වංශකතාගත තොරතුරු වලින් අනාවරණය වේ.

සිල්වත් මහායතිවරුන් ලවා මෙසේ හිසතෙල් ගා ගත්තේ ඇයි? විශේෂයෙන් වෛද්‍ය බුද්ධදාස රජු හිසට තෙල් ගෑම සඳහා අවශ්‍ය ඖෂධීය තෙල් සකස් කර දුන් බවද කියැවේ. මෙසේ යතිවරුන් ලවා හිසට තෙල් ගාවා ගනු ලැබුවේ නිරෝගිමත් දිවියක් වසර පුරාම ගත කිරීම සඳහායි.

අද ද නුවර කලාවියේ ජනයා අනුරාධපුර යුගයේ ඇති වුණු මේ සම්ප්‍රදායය අඛණ්ඩවම රකින බව පෙනේ. අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරුව රුක්මූලයක් භාවිතාවට ගෙන පූජාවක් පවත්වා ඉන් පසු විහාරස්ථානයට ගොස් එහි වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාවට මුල් බුද්ධපූජාව තබා සංඝරත්නය ලවා හිසතෙල් ගාවා ගැනීම ජීවිතාශ්‍රිත පුරුද්දක් බවට පත් කරගෙන ඇත.

මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල - හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකමය හා සැණකෙළි‍යේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උළෙල ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උළෙලයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහාසයුරට එක්කොට අලුත් වසරට ජීවිතයේ අලුත් පිටුවක් පරිච්ඡේදයක් පෙරලා ගැනීමේ අරමුණෙන් මෙසේ හිසට තෙල් ගාවා ගනු ලබන්නේ පෙර සිරිතට අනුගතව නිරෝගී දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ පරමාර්ථයෙනි.

ජීවිතය නිරෝගී නැත්නම් එයට සාපේක්ෂකව ප්‍රඥාව නොවූයේ නම් එම ජීවිතය නිසරු අර්ථ ශුන්‍යභාවයෙන් උපයුක්ත වූවකි. එබැවින් දුරදිග බලා මෙසේ ඖෂධීය තෙල්වලින් වැඩිහිටියකු නැත්නම් ගමේ පන්සලේ නායක හාමුදුරුවරුන් ලවා හිසතෙල් ගාවා ගැනීම ඉතාම වැදගත් උතුම් කර්තව්‍යයක් බවට පත්ව ඇත.

මෙවර හිසතෙල් ගෑම බක් මස 17 වැනි බුධ දින පූර්ව භාග 7.40ට නැඟෙනහිර දිශාව බලා කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා පලාන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කරනු මැනවි යනුවෙන් ජ්‍යෙතිෂයේ සඳහන් වේ.

වැඩි වශයෙන් මේ තෙල් හා නානු සකස් කරනු ලබන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවරුන්ය. නැකැත් සතරට අනුව කෙරෙන මේ භාග්‍යවත් සාපත්‍යයට මුළුමනින් ම උරදෙනු ලබන්නේ පන්සලේ නායක හාමුදුරුවන්ය. අතීතයේ මුළු ගමටම තෙල් හා නානු සකස් කොට බෙදා දෙනු ලැබුවේ ගමේ පන්සලි. උදයේම පන්සලට ගොස් තෙල් හා නානු ගෙන ඒම අතීතයේ පැවති සිරිතයි. මෙයට දසක තුනකට හතරකට පෙරාතුව මේ සම්ප්‍රදායය රට පුරා හැම පන්සලකින්ම සිදුවුව ද අද එය ගමේ පන්සලෙන් දුරස්ථව ගමේ ප්‍රභූ ගෙදරකට පමණක් සීමා වී ඇත. එහෙත් සමහර පන්සල්වල නායක ස්වාමීන් වහන්සේ අදත් මේ පැරණි සිරතට මූලිකත්වය දෙමින් තෙල් හා නනු සකස් කර බෙදාදීම ගැන ද අප පැසසිය යුතුය.

පැරණි පුස්කොල පොතක වට්ටෝරුවකට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ මෙසේය. කලාඳුරු අල, කුංකුමප්පු, සුදුහඳුන්, විෂ්ණුක්‍රාන්තිය ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම්දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳගනු ලැබේ. ඉන් පසු දිවුල්පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරය දමා ‍හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරා ගනු ලැබේ.එවිට ලැබෙන දියරය 'නානු' ලෙස භාවිතා කෙරේ.

හිසතෙල් සඳහා භාවිතා කෙරෙන තෙල් වර්ග මෙසේයි. තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඬරු තෙල් මිශ්‍ර කොට 'තෙල්' සකසනු ලැබේ. මේ 'තෙල්' හා 'නානු' හිසට ගා නෑම සිදු කිරීම හිසතෙල් ගෑමේ උළෙ‍ලේ සමාප්තියයි.

මේ සඳහා උපයෝගී කොට ගන්නා අමුද්‍රව්‍ය ආයුර්වේදයේ සඳහන්ඉහලම ශාක සාරයයි. සොබාදහමෙන් මිනිසාට ලැබී ඇති අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කොට හිසේ ගල්වන්නට ඇත්නම් කොතරම් භාග්‍යයක්ද? එයින් විදහාපාන්නේ ජීවක ගුණයයි. මිනිසාගේ හිසේ රෝග නිවාරණය කරනු ලබන්නේ හිසේ තෙල් ගැල්වීමෙනි. හිසේ නිතර ඇතිවන වේදනාව, හිසරදය අව්වේ යෑම අගුණ වීම, අකලට හිසකෙස් පැසීම, නුවණ වැඩීම ආදියට ශරීරයේ උත්තමාංගය වන ‍හිසේ තෙල් ගැල්වීම ගුණදායකයි.

සිව් දිසාවේ වෙසෙන ඥාතීන් හා හිතවතුන් නිවසට පැමිණෙන්නේ ද හිසතෙල් ගාන දිනයටය. බුලත් හුරුළු දී හිසේ තෙල් ගල්වා ගැනීම ද අද බොහෝ පළාත් වල සිදු වන හොඳ චාරිත්‍රයකි. සුබ මොහොතින් නැකතට හිස තෙල් ගානෙන ස්නානය කොට අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී එකට හිඳ ආහාර අනුභවයද හිස තෙල් ගාන දිනයේදී සිදු වේ.

සමාජය රෝගී තත්ත්වයෙන් පෙළෙන්නේ නම් එම සමාජය අඳුරට, අවපාතයට, අවරෝහණයට හා අසංවර්ධනයට ගොදුරුවීම කිසිසේත්ම නොවැළැක්විය හැකි කරුණකි. හිස තෙල් ගෑමේ අවුරුද්දෙන් ප්‍රතීත කරන්නේ නිරෝගී සමාජයක් උත්පාදනය කිරීමය.

ප්‍රියශිලි, කඩිසරශීලී, ප්‍රඥාශීලි ජන සමාජයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. එකිනෙකා වැළඳගන්නා රුස්නා ප්‍රසන්නකාරක සමාජයක පුරවැසියන්ගෙන් සමුපලක්ෂිතවීම මෙහි තවත් අභිපේතාර්ථයකි.

රටේ සංවර්ධනයට නිරෝගී මනසක් තිබීම අත්‍යවශ්‍ය සාධකයකි. නව නිර්මාණශීලී හැඟීම් වලින් ප්‍රාදූර්භූත වූ සමාජයක් නිතරම ඉදිරියට ගමන් කැරේ අපගමනයක් එහි නොමැත. නිරෝගී ජීවිතයකට සමගාමීව එක්වන ප්‍රඥාව ද ඇති වේ. අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම මඟින් පූර්ණ ලෙස සෘජුවම ප්‍රකට කරන්නේ ද මෙයයි.

අට අනූවක් රෝග නිවාරණය කොට ජීවිතයට සහන් එළියක් පතා හිසට තෙල් ගෑම මෙදා සෑම දෙනාගේම අභිලාෂයයි. මවගේ ඇකයේ සිටින බිළිඳාගේ හෝ බිළිඳියගේ හිසට තෙල් ගා නානු ගාන්නේ ද මවයි. තම සිඟිත්තාට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කිරිම ඇයගේ මෙදින කාරියයි. මිනිසා වඩාත් යෝග්‍ය වූ සමාජ තලයකට ඇදගෙන යන්නට අඩිතාලම දමන්නේ ද හිසතෙල් ගාන අවුරුද්දයි. එතරමටම මෙදින ජීවිතයට ආකර්ෂණීය වූවකි.

නුග වෘක්ෂය ආදී වෘක්ෂ වන්දනාවේ වැඳුම් පිඳුම් වලදී ප්‍රමුඛත්වයක් ගත් වැඳුම් පිඳුම් ලැබූ වෘක්ෂයකි. එසේම නුග වෘක්ෂය කරඳ වෘක්ෂය අටවිසි බුදුවරුන්ට බුද්ධත්වය ලබාගැනීමට ඉවහල් වූ වන්දනීය වෘක්ෂයන්ය. එම වෘක්ෂයන්ගේ පත්‍ර ඖෂධීය ගුණයන්ගෙන් යුක්තය.

වසරින් වසර ඒ ඒ නැකතට සහ දිනයට අනුව ද හිසට යොදාගන්නා පත්‍ර වෙනස් වේ. ඇතැම් විට බෝ පත්‍ර ද, නා පත්‍ර, කොහොඹ පත්‍ර, කොලොන් පත්‍ර, දිවුල් පත්‍ර ආදිය ද යොදා ගැනේ. මෙම හැම ඖෂධීය පත්‍රයකින්ම මිනිසාට සෙත සලසාලයි. මෙම සියල්ලෙන් සංකේතවත් කරන්නේ ලැබූ නව වසර පුරා උපද්‍රවයන්ගෙන් තොර නිරෝගිමත් පින්බර දිවියක් ගත කිරීමට.

පුළුල් වූ අර්ථයක හා පරාසයක විහිදි ගිය හිසතෙල් ගෑමේ මංගල්‍යය සිංහල අවුරුද්දේ සුවිශේෂිත වූ භූමිකාවකි. මෙහි ගැබ් වී ඇති සමාජාර්ථය ගැඹුරුය. සමාජය වර්ගීකරණයකට පාත්‍ර නොකොට පන්සලෙන් තෙල් හා නානු බෙදා දෙනු ලබන්නේ බුදුරදුන් අපට දේශිත සමාජවාදී අර්ථ කථනයට අනුගතවය එයින් බැහැර වීමට අපට කිසිසේත්ම නුපුළුවන.

මිනිසාගේ පැවැත්මේ වෛෂයිකභාවය පදනම් කරගෙන මෙබඳු සිරිත් අනුගමනය කිරීමට මිනිසා පොළඹවයි. එය සොබාදහම මඟින් මිනිසා ඒ දිසාවට තල්ලු කරයි. දෝලනය කරයි. වසරක් ගෙවී එසේ නැත්නම් දවස් තුන්සිය හැට පහක් පසුකොට තවත් දින තුන්සිය හැටපහකට මුල පුරන මේ අවස්ථාවේ මෙවැන්නක් අපට දායාද කොට ඇත්තේ ද එහි ඵල වශයෙනි.

ගොතටුව පාරමිතා ශ්‍රී මහාබෝධි මලු විහාරාධිපති අලුත්ගම ඓතිහාසික කන්දේවිහාර වාසි

(දිනමිණ)

Features

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website