Saturday, 13 April 2019 07:47

වගකීම් දැනීම හීනවීම

මෙවර සටහනින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ  අපේ රටේ දේශපාලනය වර්තමානයේ මුහුණදෙන බරපතළ කාරණයක් පිළිබඳව වන ජනතාවට වගවන මන්ත්‍රීවරයකු නිර්මාණය කර ගැනීමේ අභියෝගය පිළිබඳවය. වෙනත් ලෙසකින් පවසතොත් උත්සාහ කරන්නේ   ‘නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය’ (Representative Democracy) ලෙසින්  හඳුන්වන අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය වර්තමානයේ මුහුණ දෙන බරපතළ අර්බුදයක් පිළිබඳව සාකච්ජා කරන්නටය. මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු කරුණු කීපයක්ම තිබුණත් ඒවා කථා කරන්නට පෙර මේ ක්‍රමය අද මුහුණ දෙන අර්බුදයේ තත්ත්වය පෙන්නුම් කරන සිදුවීමක් දෙකක් අපගේ මතකයට ගැනීම ඉතාමත් වැදගත්ය. 

මාගේ අවධානයට ලක් වූ එක් සිද්ධියක් වන්නේ  මේ දවස්වල ෆේස් බුක් සමාජ මාධ්‍යයේ බරපතළ ලෙස ප්‍රචාරණය වූ මහනුවර දේශපාලනඥයකු හා ස්වාමීන් වහන්සේ නමක් අතර වූ දුරකතන සංවාදය පිළිබඳවය. සමාජ මාධ්‍යවල ඉතාමත්  වේගයකින් ප්‍රචාරණය වූ එම ප්‍රවෘත්තිය වූයේ මහා මාර්ග සංවර්ධනය පිළිබඳව වූ ගැටලුවක් මුල්කර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකරන ලද උද්ඝෝෂණයක් අතර තුර එම උද්ඝෝෂණයේ මූලිකත්වයක් ගෙන සිටි ස්වාමීන් වහන්සේ නමක් අදාළ දේශපාලන ප්‍රධානියාට දුරකථනයෙන් කථා කරන අවස්ථාවක්ය. ඒ උද්ඝෝෂණ භූමියේ සිටින අතරම තමන්ගේ උද්ඝෝෂණයට  හේතු වූ කාරණය දේශපාලකයාට (ඊට සම්බන්ධ ඇමැතිවරයාට) කියන්නට දුරකථන පණිවිඩයක් ලබාදෙන ස්වාමීන්  වහන්සේට ඇමැතිවරයා අමතන්නේ ‘පර බල්ලා’ වැනි ඉතාමත් පහත් භාෂා ව්‍යවහාරයකින්ය. පසුව ඒ ඇමැතිවරයාගේ අත්සනින්ම නිකුත් වූ නිවේදනයකින් ඔහු කියා සිටියේ තමන් එසේ ‘බලූ‘ ආමන්ත්‍රණයෙන් ඇමතුවේ දුරකතනයේ එහා කොනේ සිටින්නේ ස්වාමීන් වහන්සේ නමක් බව නොදැන බවත් තමන් සිතා සිටියේ උද්ඝෝෂණයේ සිටින ඡන්දදායකයකු විසින් තමාට දුරකතනයෙන් අමතන බවත් යැයි කියාය. ඇමැතිවරයාගේ පළමු ප්‍රකාශය මෙන්ම මේ නිල වශයෙන්ම නිකුත් කළ දෙවන ප්‍රකාශයෙන් ද පෙන්නුම් කරන්නේ මේ රටේ වර්තමාන දේශපාලනයේ යෙදී සිටින ‘මහජන නියෝජිතයා’ තමන් විසින් නියෝජනය කරන ප්‍රධාන ජනප්‍රවාහය පිළිබඳව සිතා සිටින මට්ටමේ ස්වභාවයේ තරමය. අනෙක් අතට ඔහු සමාජයට නොකියා කියන්නේ එක්කෝ තමන් නියෝජනය කරන්නේ මහජනයා නොව වෙනත් සතුන්  සමූහයක් යැයි කියාය එසේත් නැතිනම් ඔහු කියන්නේ මහජනතාව යනු තමන් පාර්ලිමේන්තුවට පත් කර එවන කල් පමණක් සිටින කණ්ඩායමක් බවත් ඊට පසු ඔවුන් අයත් වන්නේ සතුන්ගේ කුලයට කියාය.

මගේ අවධානයට ලක් වූ දෙවන සිද්ධිය සිදුවූයේ පසුගිය සතියේ පාර්ලිමේන්තු විවාදයකදී ගම්පහ දිස්තත්‍රික්කයේ මහජන නියෝජිතයන් දෙදෙනෙකු අතර සිදුවූ වචන හුවමාරුව පිළිබඳවය. රංගනය තමන්ගේ ප්‍රධාන වෘත්තිය කර ගත් අය ලැයිස්තුවේ පළවන තැනට ගෙනෙමින් තමන්ගේ මහජන නියෝජිතයා බවට පත් කර ගන්නට  ගම්පහ දිස්ත්‍රික්කයේ එජාපයේ ජනතාව  හැමවිටම සූදානම් බව රටේ කවුරුත් දන්නා කාරණයක්ය. මෙවරත් ගම්පහින් එසේ පාර්ලිමේන්තුවට පැමිණි රංගධර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ හැමෝටම ඇහෙන්නට කීවේ තමන් කවුදැයි හරියට පෙන්නීමට නම් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ ‘ගෙදර සිටින වෙනත් තැනැත්තියක්’ තමා හමුවට එවන ලෙසය. මේ සංවාදය දෙවන දිනයටත් වර්ධනය වූ අතර පාර්ලිමේන්තුව නැරඹීමට එදින පැමිණි සිටි පාසල් දරුවන්ව ගැලරියෙන් ඉවත් කර ගැනීමට සිදුවෙන ගානට මේ තත්ත්වය වර්ධනය වූ බව අප හැමෝම දැන ගත්තේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්තිවලින් සෑහෙන කාලයක් පුරා මේ ජුගුප්සාජනක කාරණය රසකරමින් පෙන්වූ නිසාවෙන්ය. 

දැන් මේ පසුගිය සතියේ සිදුවීම් දෙකට අමතරව අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ස්වභාවය පහළට වැටී ඇති ආකාරය පෙන්නුම් කරන සිදුවීම් ඕනෑ තරම් පසුගිය කාලය පුරාවටම සමාජයට අසන්නට හා දක්නට ලැබුණු බව අප හැමෝම දන්නා කාරණයක්ය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට එරෙහිව නව මැදිහත්වීමක් හරහා පාර්ලිමේන්තුව මේ විකාරවලින් හා විකාරකාරයන්ගෙන් මුදවා ගැනීමේ ව්‍යාපාරයක් මේ රටේ ගොඩනැඟීමට කාලය පැමිණ ඇති බව මගේ අදහසයි. සමහර නියෝජිතයන්ගේ කෙරුවාවල් දෙස බලන විට අද කාලයේ පාර්ලිමේන්තුව යනු එල්.ටී.ටී.ඊ. සංවිධානය සිටින කාලයේ තිබූ ආකාරයේ ‘මුදා නොගත්’ කලාපයක් බඳු යැයි කීමේ වැරැද්දක් ද නැත.  

හුඟක් අය අපේ රටේ වර්තමාන අර්බුදවලට ප්‍රධාන  හේතුව ලෙසින් පෙන්වන්නේ විධායක ජනාධිපතිධුරය හරහා ගොඩ නැඟුණු බල සම්පන්න රාජ්‍ය පාලන ආකෘතියයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ ජනාධිපති තනතුර ඇති කළාට පසුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යම් ආකාරයක සීමාවීමක් සහ ගැටලුකාරීත්වයක් මතුවූ බව සැබෑවක්ය. එය එසේ වුවත් මෙරට දේශපාලනයේ ප්‍රධානතම ගැටලුව ඇත්තේ විධායක ජනාධිපතිධුරයේ නොව පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ පැත්තේ බව මගේ අදහසය. රටේ වර්තමාන ගැටලු ගණනාවක්ම ඍජුව සම්බන්ධවී තිබෙන්නේ  විධායක ජනාධිපතිධුරය සමඟ නොව පාර්ලිමේන්තු නියෝජිතයන් ඇතුළත් ව්‍යවස්ථාදායකය සමඟය. අපේ සමාජය  පීඩා විඳින  මූලික ප්‍රශ්න කීපයක්ම විමසීමෙන් මේ තත්ත්වය තේරුම් ගත හැකිය.

එක පැත්තකින් අපේ සමාජය මේ වනවිට හිරවී සිටින බරපතළ ආර්ථික අර්බුදයේ එක් හේතුවක් වන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව කිසිදු දැනීමක් නැති කණ්ඩායමක් මන්ත්‍රීවරුන් ලෙසින් ඒ ඒ ආණ්ඩු ඉදිරිපත් කරන ඕනෑම ආකාරයේ මුදල් සම්බන්ධ පනතක් හෝ ප්‍රතිපත්තියක් අනුමත කිරීමය. ආණ්ඩුව වාර්ෂිකව ලබා ගන්නා ණය ප්‍රමාණය සීමාව ඉක්මවා ඇතැයි බොහෝ අය කීවත් ඒ සියලු ආකාරයේ ණය හා වෙනත් මූල්‍ය ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවේ අනුමැතිය හරහා ඉදිරිපත් වෙන ඒවා බව බොහෝ අය නොදනිති. තවත් පැත්තකින් පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභා පිහිටුවා ඇත්තේම රාජ්‍යයේ මූල්‍ය විනය හා පාරදෘෂ්‍යභාවය පවත්වා ගැනීම අරමුණු කර ගනිමින්ය. එහෙත් ඒ ස්ථාවර කාරක සභාවල සිටින බොහෝ මන්ත්‍රීවරුන් කිසිදු ආකාරයක මුල් සූදානමකින් (home-work)  තොරව එම කාරක සභාවලට පැමිණෙන බව අද රාජ්‍ය සේවයේ සිටින හැමෝම පාහේ දන්නා කාරණයක්ය. බොහෝ කාරක සභිකයන් එදිනට තිබෙන න්‍යාය පත්‍රය හා අදාළ සාකච්ජා සටහන් කියවන්නේ කාරක සභාවට පැමිණීමෙන් පසුව බව අප හොඳින් නිරීක්ෂණය කර ඇති තත්ත්වයකි. මේ තත්ත්වයෙන් යම් ආකාරයක හෝ වෙනසක් පෙන්වන්නේ ජවිපෙ මන්ත්‍රීවරුන් හා ඩිව් ගුණසේකර වැනි වාමාංශික පක්ෂවල මන්ත්‍රීවරුන් බව කිව යුත්තේ ඒ අයගේ මැදිහත්වීමට ගෞරවයක්ද ලෙසින්ය.

දෙවැනිව මේ රටේ ජනතාව පීඩාවට පත්වී ඇති යල් පැන ගිය නෛතික රාමුවට හේතුව වන්නේද පාර්ලිමේන්තුවේ ඇති සීමා සහිතකම් හා දුර්වලකම් මිස ජනාධිපතිධුරයේ හෝ ජනතාවගේ හෝ ප්‍රශ්නයක් නිසා නොවන බව ද මෙහිදී අවධානයට ගතයුතු කාරණයක්ය. රටේ සංවර්ධනයට හෝ විදේශ ආයෝජකයන්ගේ ආපසු හැරී යාමට මූලික වශයෙන් හේතු වී තිබෙන්නේ රාජ්‍ය නීති හා රෙගුලාසි යාවත්කාලීන නොකිරීමේ බරපතළ අර්බුදය නිසාය. අනෙක් අතට සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග නෛතික ආකෘති අලුත් කිරීම අතින් ලෝකයේ බොහෝ රටවල් ගොස් ඇති දුර කොපමණද කියා සිතාගැනීමටවත් අපේ ව්‍යවස්ථාදායකයන්ට හැකියාවක් හෝ ශක්‍යතාවක් නැති බව මගේ තේරුම් ගැනීමය. සංනිවේදන තාක්ෂණයේ දියුණුවට සරිලන ආකාරයේ හා එම දියුණුව සමඟ එකට යන ඩිජිටෙල් ආකෘතියකට රටේ නෛතික පද්ධතිය වර්ධනය කර ගැනීමට ව්‍යවස්ථාදායකයන් කටයුතු කරන්නේ නැතිනම් බංගලිදේශය වැනි රටවල් පවා අප පසුකරගෙන යන දවස වැඩි ඈතක නොවන බව සිහියට ගැනීම ඉතාමක් වැදගත්ය.

තුන්වැනිව හැම මැතිවරණයකම පාහේ කියන අලුත් ව්‍යවස්ථා හැදීම පිළිබඳ කාරණයත් තනිතරම පාර්ලිමේන්තුව සතුව තිබෙන වගකීමක්ය. දැන් තිබෙන ව්‍යවස්ථාව වෙනස් කරන්නට නම් ඒ සඳහා වූ සාරගර්භ හා විධිමත් සාකච්ජාව ගොඩනැගිය යුත්තේ ව්‍යවස්ථාදායකයන් මිස වෙනත් කවරකුවත් නොවේ. ඒ සඳහා අවශ්‍ය කැපවීම හා ඥානවිභාගාත්මක ශක්තිය වගාකර ගැනීමේ උත්සාහයකින් තොරව හොඳ ව්‍යවස්ථාවක් හදා ගැනීමේ කිසිදු ඉඩක් ලැබෙන්නේ නැත.

මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් ඉදිරියට වර්ධනය වන්නේ බරපතළ මිථ්‍යා මතවාද ගණනාවක්ම මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට 1978 ව්‍යවස්ථාවෙන් පසුව එක්වීමත් හේතුවෙන් බව මෙහිදී අපගේ අවධානයට ගැනීම ඉතාමත් අවශ්‍යය. 1978 පෙර සිටි මන්ත්‍රීවරයා හා දැන් සිටින මන්ත්‍රීවරයා අතර වෙනසක් ඇත්තේ මනාප ජන්ද ක්‍රමයෙන් තේරී පත්වීම වැනි පරිවාරයේ ඇති වෙනස්කම් නිසා පමණක් නොව මන්ත්‍රීධුරය පිළිබඳව ඇති  නිර්වචනයේම වෙනස්කමක් හේතුවෙන් යැයි කීමේ වැරැද්දක් නැත. පාර්ලිමේන්තුව යනු ව්‍යවස්ථා/නීති හා ප්‍රතිපත්ති නිර්මාණය කරන හා රාජ්‍යයේ මූල්‍ය පාලනය කරන ආයතනය ලෙසින් මීට පෙර තිබූ තේරුම් ගැනීම මේ වනවිට බරපතළ ආකාරයෙන් අර්බුදයට ගොස් ඇති අතර දැන් කාලයේ සමහර මන්ත්‍රීවරුන් සිතන්නේ පාර්ලිමේන්තුව යනු විධායක බලයේ කුමන හෝ කෑල්ලක් පරිභෝජනය කරන්නට ලයිසන් එකක් ලැබෙන ස්ථානයක් කියාය. ඒ විධායක බලයේ කෑල්ල ඇමැතිධුරයක සිට අමාත්‍යාංශයක සම්බන්ධීකරණ මන්ත්‍රීවරයා දක්වා වූ කලාපයක තිබෙන අතර මේ කුමන හෝ කොටසක් වෙනුවෙන් මහන්සි වෙනවා හැර පාර්ලිමේන්තුවේ නිශ්චිත හා නියමිත වැඩේ කරන්නට කවුරුවත් මහන්සි වෙන්නේ නැත්තේ ඒ නිසාය.

තවත් පැත්තකින් බැලුවහොත් ජනතාවගේ ඡන්දය ලැබෙන්නේද ඒ කියන විධායක බලයෙන් යම් ප්‍රතිලාභයක් ඝෘජුවම තමන්ට ලැබෙන්නේ නම් පමණක්වීම නිසා ටකරමක් හෝ ජනතාවට බෙදන්නට උත්සාහ කිරීම මිස රටේ නීති හැදීමේ කටයුත්ත සඳහා අලුත් පොතක් පතක් හෝ සාකච්ඡා සටහනක් කියවන්නටවත් උත්සාහයක් ගැනීමට මන්ත්‍රීවරුන්ට කිසිදු උත්තේජනයක්ද ලැබෙන්නේ නැති බවත් සැබෑවක්ය.

මේ සියල්ලේ අවසානය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනෙක් හැම දෙයක්ම කරන අතර තමන්ගේ තනතුරේ මූලික අවශ්‍යතාව වෙතින් සම්පූර්ණයෙන්ම වියෝ වූ අයකු බවට පත්වීමය. මා මුලින් සඳහන් කළ ආමාත්‍යවරයා තමන්ගේ ඡන්දදායකයාට තිරිසන් සතකුගේ නමින් කථා කරන තැනට මේ තත්ත්වය වර්ධනයවී ඇත්තේ ඔහුත් ඔහුගේ ඡන්දදායකයාත් යන දෙ​ෙදනාම රටකට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ ඇයිදැයි යන කාරණය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති නිසා බව මෙයින් පැහැදිලිවෙන එක් සත්‍යයක්ය.

(ලංකාදීප)

Features

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website