Tuesday, 04 June 2019 08:32

පාස්කු බෝම්බ සමග පිපිරී ගිය ගල් කොරිවල ජීවිත

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදුවී මාසයක් ඉක්ම ගොසිනි. අදටත් අප ඉන් විපතට පත්වූවන් ගැන කතා කරන්නෙමු. කම්පා වන්නෙමු. එහෙත් පාස්කු බෝම්බයේ අපට නොපෙනෙන වින්දිතයෝ කොටසක්ද වෙති. ඒ මේ පිපිරීම් මාලාව සමග සිය බඩවියත සපයාගත් රැකියාව කරගත නොහැකිව ගිය උදවියය.

එහිදී අප සංචාරක හෝටල්කරුවන්, පෞද්ගලික බස්රථ හිමියන්, ත්‍රිරෝද රථ හිමියන් ඇතුළු බොහෝ වෘත්තිකයන් ගැන කතා කළෙමු. එහෙත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මුළුමනින්ම ඇනහිටි තවත් කර්මාන්තයක්  සහ එනිසා ඉන් යැපෙන්නන් පත්වූ විපත බොහෝ දෙනෙකුගේ අවධානයට තවමත් ලක්ව නැත. සති පහකට ආසන්න කාලයක් තිස්සේ මෙසේ විවිධ ගැටලුවලට මුහුණදුන් කණ්ඩායම් අතර දිවයින පුරා කළුගල් කර්මාන්තයෙහි නිරත විශාල පිරිසක්ද අවදානමට ලක්ව සිටිති.

නිවාස ඉදිකිරීමේ සිට මහාමාර්ග, වැව් අමුණු ආදී ක්ෂේත්‍ර රැසක අත්‍යවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස කළුගල් හඳුන්වා දිය හැකිය. මේවා ලබාගනුයේ දිවයින පුරා විහිදී ඇති ගල් වළවල්වලිනි. ස්වාභාවිකව පිහිටි පාෂාණ ස්ථර වෙඩි බෙහෙත් යොදා පුපුරවා හැර යන්ත්‍රානුසාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට කැබලි කර මේවා ලබා ගනී.


පිහියෙන් පාන් කපන්නටද බෙල්ල කපන්නටද පුළුවන් සේ වෙඩි බෙහෙත්වලින් ගල්බෝර දමන්නට මෙන්ම බෝම්බ හදන්නටද පුළුවන. එහෙයින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බලපත්‍ර නොමැතිව හෝ බලපත්‍ර ප්‍රමාණයට වඩා පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බොහෝදෙනාට වැඩ වැරදිණි. රජය මගින් වෙඩි බෙහෙත් නිකුත් කිරීම නවතා දැමීම ඊට හේතු විය.


රත්නපුර දිස්ත්‍රික් ගල්කොරි  හිමියන්ගේ සංගමයේ ‍ලේකම් එන්.ඒ. හරිස්චන්ද්‍ර පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් එම
ක්‍ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියාවල නියුතු වූ 15,000කගේ පමණ ආර්ථික තත්ත්වය කඩා වැටී ඇති බවය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ගල්කොරි 85ක් පමණ තිබෙනවා. මේවාට පුපුරන ද්‍රව්‍ය ලබාදෙන්නේ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ශ්‍රේණිගත ක්‍රමයකට. ඒ නිසා අපි කිසිවෙකුට වැඩිපුර වෙඩි බෙහෙත් ගබඩා කර ගැනීමට අවස්ථාවක් නෑ.

ඒත් මේ අර්බුදය නිසා දැනට මාසයක විතර ඉඳන් වෙඩි බෙහෙත් අපට ලැබෙන්නේ නෑ. ඒ නිසා රත්නපුරේ ගල්කොරි සේරම වගේ නැවතිලා. මේක දිගටම ගියොත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට ලොකු ගැටලුවක් වෙනවා. ඒ වගේම තමා මේ ගල්වළවල් ආශ්‍රයෙන් ජීවත් වුණ විශාල පිරිසකගේ රැකියාවලට මේක බලපානවා. ඔහු පවසන්නේය.
කිරිඇල්ල ප්‍රදේශයේ ගල්කොරියක සේවකයකු වන රාජේන්ද්‍ර  සුබ්‍රමනියම් පවසන්නේ මේ මාසයටම වැඩ කළේ දින දහයක් පමණ බවය.


අපි මහන්සියෙන් වැඩ කළොත් හොඳ වැටුපක් ලැබෙනවා. ඒත් දැන් වෙඩි බෙහෙත් නැති නිසා වැඩ නැහැ. ගෙවල්වලත් ඒ නිසා ආර්ථික ප්‍රශ්න. රට මේ වෙද්දී සාමකාමී වෙච්චි එකේ ජනාධිපතිතුමා ඇතුළු වගකිව යුතු අයගෙන් ඉල්ලන්නේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ හෝ වෙඩි බෙහෙත් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසයි. පාස්කු බෝම්බ පිපිරීම්වලින් රත්නපුරයට මතු නොව සබරගමු පළාතටවත් කිසිදු අනතුරක් වූයේ නැත. එහෙත් කටුවාපිටියේ, මඩකලපුවේ ජනයා මෙන්ම රත්නපුරයට නොදුරු කිරිඇල්‍ලේ රාජේන්ද්‍රලාද අද වනවිට එම පිපිරීම්වලින් නන්නත්තාරව සිටින්නෝය.


අනුරාධපුර ප්‍රදේශයේ පාරම්පරික ගල්කොරියක් පවත්වාගෙන යන එක්තරා ව්‍යාපාරිකයකු පවසා සිටියේ මෙහිදී වඩාත් අසරණව ඇත්තේ  බි කාණ්ඩයේ ගල්කොරි හිමිකරුවන් බවය.


ලංකාවේ පුපුරන ද්‍රව්‍ය බෙදාහැරීමට නියෝජිතවරු 120ක් පමණ පත්කර සිටිනවා. ගල්වළේ බලපත්‍රය අනුව නියමිත ප්‍රමාණය දිස්ත්‍රික් පුපුරන ද්‍රව්‍ය පාලන නිලධාරියා නිකුත් කරනවා. ගල්බෝර ගැසීමට ගන්නේ අධිබල පුපුරන ද්‍රව්‍ය නෙමයි. අඩු බල පුපුරන ද්‍රව්‍ය වන වෝටර්ජෙල්, ඩයිනමයිට් හා ඇමෝනියම් නයිට්‍රේට් පමණයි මෙහිදී යොදා ගන්නේ මේවායින් බෝම්බ හදනවා නම් ගෝනි ගාණක් පුපුරන ද්‍රව්‍ය ඕන.

නමුත් මේකෙදි වුණේ පුපුරන ද්‍රව්‍ය නියෝජිතවරුන්ගෙන් 103ක්ම මුස්ලිම් අයවීම. ඒ අයගෙන් හෝ කිසියම් ක්‍රමයකින් පුපුරන ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් එළියට ගියා. ඒවා යොදා ගත්තේ මාළු අල්ලන්න වගේ දේවලට.

මෙතන මුස්ලිම් අය ළඟ තිබිලා පුපුරන ද්‍රව්‍ය හමුවුණා කියලා කතාව ගියේ නියෝජිතයන් වැඩිපුර හිටියේ ඔවුන් නිසා. ඒවා අධිබල පුපුරන ද්‍රව්‍ය ‍නෙවෙයි. එල්.ටී.ටී.ඊ. කාලෙවත් මේවා නැවැත්තුවේ නෑ. මොකද අධිබල නොවන නිසා ඔහු පෙන්වා දෙන්නේය.


ඕනෑම රටක ඉදිකිරීම් ක්‍ෂේත්‍රය විශාල ආර්ථික සංවර්ධන දායකත්වයක් දරන බව නොරහසකි. ශ්‍රී ලංකාවේ බි ශ්‍රේණියේ ගල්කොරි 990ක් පවතින බව සඳහන් වෙයි. ඒ ශ්‍රේණියේ ගල්කොරි පවතින්නේ දෙසීයක් පමණ ප්‍රමාණයකි. අවම වශයෙන් මෙම ගල්කොරියක සේවකයෝ 20ත් 80ත් අතර ප්‍රමාණයක් සේවය කරති.

මේ බහුතරයකට පසුගිය මාසයක පමණ කාලයක් තිස්සේ සිය ජීවිකාව අහිමිවී ඇත්තේ රජය දුරදිග නොබලා ගත් තීන්දුව නිසාය. මෙම තත්ත්වය නිසා දසඅතේ ණය වී ගේ ‍පොඩ්ඩ අටවා ගන්නට උත්සාහ ගත් අහිංසකයන්ට සිදුව ඇත්තේ අත්තිවාරමට ගල් නැතිව හූල්ලන්නටය.


වෙඩි බෙහෙත් සැපයීම නවතා දැමීමේ තීන්දුවෙන් කෙතරම් අසීරුවට පත්වුවද ගල්වළවල් හිමියෝ පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ අදාළ නැති පාර්ශ්ව අත වෙඩි බෙහෙත් තිබිම වැරදි බවත්, ඒ අයගෙන් ඒවා ලැබුණු ආකාරය පැහැදිලිව විමසා බලා බලපත්‍ර අවලංගු කිරීමක් වැනි නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමෙන් මේ ගැටලුව ඔඩුදුවන්නට නොදී විසඳන්නට තිබූ බවත්ය.


එසේ නමුත් අපි වැලිසර රජයේ වෙඩි බෙහෙත් ගබඩාවෙන් මේ පිළිබඳව කළ විමසීමේදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ එහි වෙඩි බෙහෙත් නිකුත් කිරීම පෙර පරිදිම සුචිගතව සිදුකරන බවයි. වෙඩි බෙහෙත් පාලකවරුන්ට තවමත් අනුමැතිය හිමිනොවීම නිසා වෙඩි බෙහෙත් නිකුත් කිරීමට නොහැකිවී ඇතැයි එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.


කෙසේ නමුත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කළුගල් කර්මාන්තය ආශ්‍රිතව සේවකයන් උද්ඝෝෂණ ව්‍යාපාර කිහිපයක්ම ක්‍රියාත්මක කළ බව දකින්නට ලැබුණි. ඒවායෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුවත්පත මුද්‍රණය වන අවස්ථාව වන විට වෙඩි බෙහෙත් නැවත නිකුත් කිරීමට අදාළ අනුමැතිය හිමිව තිබුණි.

ඒත් අයෙකු පිහියකින් ඇන්නා යැයි කියා රටේම පිහි තහනම් කිරීම වැනි අමනෝඥ තීන්දු ගැනීමෙන් මේ වන විට ජාතික ආර්ථිකයට වී ඇති හානිය නම් සුළුපටු නොවේ.

(RU news)

Features

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website