Tuesday, 04 June 2019 08:33

නොවැටුණු තේ

අයි. එස්. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ගිනිකෙළි සංදර්ශනයෙන් පසු රටේ සියලු ආර්ථික අංශ බලගතු අවපාතයකට ලක්විය.

සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ප්‍රධානකොටගත් සෙසු නිෂ්පාදන, සේවා, කර්මාන්ත පමණක් නොව කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන අංශය ද ස්වයංරැකියා ඇතුළු ජන ජීවිතය ද ඒ අයුරින් ම කඩා වැටුණි.

එහෙත් මේ සියලු අවපාතයන් මැද ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අපනයන ක්‍රියාවලිය මෙන්ම තේ නැවත වගාකිරීම් ආදි කටයුතු ද කිසිදු බාධාවකින් තොරව නොකඩවා ඉදිරියට ගලාගියේය.

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා පවසන අන්දමට මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 75.6 ක්ම ලැබෙන්නේ කුඩා ඉඩම් හිමියන්ගේ තේ නිෂ්පාදනය මඟිනි. 2018 සමස්ත තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් දසලක්ෂ 303.8 කි.

තේ අපනයනකරුවන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවන්ට අනුව 2019 අප්‍රේල් මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් දසලක්ෂ 23.6කි. ජනවාරි - අප්‍රියෙල් කාල පරාසය තුළ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් දසලක්ෂ 97 කි.

ඉකුත් අප්‍රේල් මාසයේ තේ අපනයනය කිලෝග්‍රෑම් දසලක්ෂ 20.7කි. ජනවාරි - අප්‍රියෙල් කාල පරාසය තුළ තේ අපනයනය කිලෝග්‍රෑම් දසලක්ෂ 94.4 කි.

කුඩා තේවතු

ජනවාරි - අප්‍රේල් කාලය තුළ 2018ට සාපේක්ෂව 2019 වසරේදී ඉරාකය, ඉරානය, ලිබියාව, චීනය සහ ජර්මනිය යන රටවල් සිය මිලදීගැනීම් වැඩිකර ඇත. 2018ට සාපේක්ෂව තුර්කිය, රුසියාව, අරාබි එමීර් රාජ්‍යය, අසර්බයිජානය සහ සිරියාව යන රටවල් මිලදී ගැනීම් අඩුකළ රටවල් ලෙස සැලකේ.

විජේරත්න දේවගෙදර මහතා පවසන අන්දමට තේ වගාව සඳහා යටවී ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 201000 කි. ග්‍රාමසේවා වසම් 225 ක කුඩා තේ වගා පැතිර තිබේ. දිස්ත්‍රික්ක 14ක කුඩා තේ ඉඩම් හිමියෝ ලක්ෂ පහක් කුඩා තේ ඉඩම් මගින් ජීවනෝපාය සලසා ගනිති. සාමාන්‍ය වශයෙන් ලක්ෂ 25ක ජනතාවක් කුඩා තේ කර්මාන්තයෙන් යැපෙන අතර මහ වතු සියයට 23ක් පමණ තිබේ.

“පාස්කු බෝම්බ ප්‍රහාර සහ ඊට සමගාමී වූ කෝලහල ගැටුම් කුඩා තේ ඉඩම් ප්‍රදේශවලට පැතිරුණා නම් තේ නිෂ්පාදනය අඩාල ‍වන්නට තිබුණා. තේ කර්මාන්ත ශාලා 650ක් පමණ සිය නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස භාවිතාකරන්නේ කුඩා තේ ඉඩම් හිමියන්ගෙන් ලබාගන්නා අමු දලුය. අමු දලු සැපයීම අඩාල වුණානම් කර්මාන්ත ශාලා වහන්න වෙනවා. රටේ වාසනාවට එහෙම දෙයක් වුණේ නෑ. ඒ වගේම තේ වෙන්දේසිත් නියමිත පරිදි නියමිත කාල සටහනට අනුව පැවැත්වුණා. තේ ප්‍රවාහනයත් නියමිත පරිදි සිදුවුණ නිසා තේ ආදායම අහිමිවීමක් සිදුවුණේ නැතැයි” සභාපතිවරයා පැවසීය.

කුඩා තේ ඉඩම් හිමියන්ගේ පවුල් සාමාජික ශ්‍රමය මත මේ කර්මාන්තය බොහෝදුරට රඳාපවතිනවා. ඇතැම් අවස්ථාවල ශ්‍රමිකයන්ගේ සහාය ලබාගන්නා නිසා ගම්බද රැකියා ප්‍රශ්නය විසඳා ගැනීමට කුඩා තේ ඉඩම් හේතුවනවා. රටට බරක් නොවී ජීවත්වන කුඩා තේ ඉඩම් හිමියන්ගේ සුබසිද්ධිය සඳහා කැපවූ ප්‍රාදේශීය කාර්යාල 8ක්, උපකාර්යාල 26ක් හා සේවා කාර්යාල 06ක් දැනට රටපුරා ක්‍රියාත්මක වනවා යැයි පවසන සභාපතිවරයා පවසන්නේ නුවරඑළිය සඳහා වන අංගසම්පූර්ණ කාර්යාලයක් සැප්තැම්බරයේදී කොත්මලේදී විවෘත කරන බවයි. එසේම කෑගල්ල සඳහා ද නව කාර්යාලයක් ඉදිකිරීමට නියමිතයි. රත්නසිරි වික්‍රමනායක මහතාගේ අදහසක් මත ඉදිකළ හන්තානේ වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ එකවර සියයකට ආසන පහසුකම් තිබෙනවා. දැන් එම ආයතනය ලාබ ලබන තත්ත්වයට පත්කර තිබෙනවා යැයි ද පැවසීය.

සමස්ත ලංකා කුඩා තේවතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා පැවසුවේ පසුගිය මාසයේ ඇතිවූ නොසන්සුන්තා නිසා තම සමිති සාමාජිකයන්ට හෝ තේ කර්මාන්ත ශාලා අංශයට හෝ අවහිරතා සිදු නොවූ බවයි.

එහෙත් කුඩා තේවතු හිමියා මුහුණ දෙන ප්‍රශ්න කීපයක් ගැන ඔහු අදහස් පළ කෙළේය. ඇතැම් ප්‍රදේශ ශ්‍රම හිඟයෙන් පෙළෙනු දක්නට ලැබේ. එසේම තේ අක්කරයකින් ලැබෙන පලදාව අඩුව තිබෙන බව බොහෝවිට දක්නට ලැබේ. මෙයට හේතුව වගාව තුනීවීමයි. අක්කරයකට තේ පැළ 5000ක් පමණ තිබිය යුතු නමුත් ඇතැම් ඉඩම්වල තේ අක්කරයක තේ පඳුරු 3000 – 4000ක් පමණ දක්නට ලැබේ. මේ නිසා අතිරේක පැළ සිටුවා පාලු ගතිය දුරු කළ යුතු යැයි ඒ මහතා පැවසීය.

මේ අතර පාලු සිටුවීම සඳහා එක පැළයකට රුපියල් 25ක් වූ ආධාර මුදල දැන් එක පැළයකට රුපියල් 100 දක්වා වැඩිකර ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කියයි. කලකට පෙර මාසයකට වාර 4ක් දලු කැඩූ නමුත් දැන් එම වාර ගණන අවස්ථා දෙක දක්වා අඩුව ඇති බව ද හේතුව කාලගුණික තත්ත්වය සහ උසස් තේ ප්‍රභේද හඳුන්වා දුන්නත් ඇතැම් ගොවීන් ඒවාට පෙළඹීමට දුෂ්කරවීම යැයි ද කුඩා තේවතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

කුඩා තේ වතු සමිති පිළිබඳව අදහස් දක්වන කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දැනට ක්‍රියාත්මකවන තේ සංවර්ධන සමිති රාශියක ක්‍රියාකාරිත්වය තරුණ පෙළට බාර දිය යුතු යැයි ද, එමගින් තේ වගාවේ අනාගතය තරුණ පෙළට හිමිවන්නේ යයි ද වඩා සක්‍රීය තේ කර්මාන්තයක් සඳහා මේ වැඩපිළිවෙළ අරඹා ඇතැයි ද කීවේය.

නැවත වගා කිරීම්

මේ දුෂ්කර ආපදා සමයේදී ආර්ථික සවියක් වූ අපේ තේ කර්මාන්තය නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් ද දේශීයව හා විදේශීයව ක්‍රියාත්මක වේ.

දේශීය වශයෙන් ක්‍රියාත්මක වන්නේ නැවත තේ වගා කිරීම සහ පාලු සිටුවීම් මගින් තේ වගාවේ ඝණත්වය වැඩිකර තේ පඳුරු ප්‍රමාණය වැඩි කිරීමය. රටේ තේ වගාවට යටව ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 201000ක් වුවත්, දලු කැඩීම සඳහා භාවිතයට ගත්තේ හෙක්ටයාර 193000ක් පමණි. හෙක්ටයාර් 7000ක පමණ වගා බිම් අත්හැර දමා ඇත.

2017දී නැවත තේ වගා කිරීම හෙක්ටයාර 944ක් වුවද, 2018දී බිම් ප්‍රමාණය හෙක්ටයාර 1027 දක්වා වැඩිවී ඇත. එසේම 2017 දී අලුතින් වගා කිරීම හෙක්ටයාර 225 කි. 2018 දී බිම් ප්‍රමාණය හෙක්ටයාර 435 දක්වා වැඩිවී ඇත. නැවත වගා සඳහා හෙක්ටයාරයට ලක්ෂ 5ක් ද අලුත් වගා සඳහා හෙක්ටයාරයට ලක්ෂ 4ක් ද වශයෙන් රජය ආධාර මුදල් වැඩිකර ඇත.

එහෙත් සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා පවසන්නේ තේ හෙක්ටයාරයක නැවත වගා සහ අලුත් වගාවන් සඳහා ඉතා විශාල වියදමක් ඉඩම් හිමියාට දැරීමට සිදුවන බවයි. කුඩා තේ වතු අංශයේ පලදාව 2018 දී හෙක්ටයාරයට කිලෝ ග්‍රෑම් 1958 කි. එහෙත් 2017දී එය හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 1995 කි. මේ නිසා නැවත වගා කිරීමේදී මීට වඩා ආදායම වැඩිකර ගත හැකි ක්‍රමයක් අවශ්‍ය යැයි වගා කරුවෝ කියති. 2015 අමුදලු සඳහා ලැබුණු මිලට වඩා ඉහළ මිලක් අද කුඩා තේ වතු හිමියාට ලැබෙන බවද කියන ගුණරත්න මහතා කුඩා ඉඩම් හිමියාගේ ආදායම තවත් ඉහළ දැමීමට ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ යැයි ද කියයි.

ලොකු වතු අංශයේ නැවත වගාකිරීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා තේ මණ්ඩලය ද ඉදිරිපත්ව සිටින අතර තේ මණ්ඩලයේ සභාපති ලුසිලි විජේවර්ධන මහතා පවසන්නේ තේ පැළ ලක්ෂ 13ක් නැවත සිටුවීමට බලාපොරොත්තු වන බවයි. මෙමගින් හෙක්ටයාර 1000ක නව පැළ සිටුවීමට නියමිතය.

දැනටම තේ පැළ දසලක්ෂ 2ක් නැවත වගා ක්‍රමය මත සිටුවා ඇත. ඔක්තෝබරය වනවිට තවත් තේ පැළ ලක්ෂ හතරක් සිටුවා නිම කරනු ඇත. දැන් ශ්‍රී ලංකාව ලෝක තේ නිෂ්පාදනයේ සිව්වැනි ස්ථානයේ සිටී. චීනය, ඉන්දියාව සහ කෙන්යාව පිළිවෙළින් එක. දෙක, තුන ස්ථාන හිමිකර ගෙන සිටී. පස්වැන්න වියට්නාමයයි. බංගලිදේශය සහ මියන්මාරය ශ්‍රී ලංකා තේ වෙළෙඳ පොළ ඩැහැගැනීමේ උත්සාහයක නිරතව සිටින බවට ව්‍යාපාරික තොරතුරු මාධ්‍ය කීපවරක්ම අනතුරු අඟවා තිබුණි. මේ වසර තුළ ඇ. ඩොලර් බිලියන 1.5ක තේ අපනයන ආදායමක් ලබාගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කයයි.

තේ කර්මාන්තයේ අපනයන අවස්ථා දියුණු කිරීම සඳහා චීනය, ඉන්දියාව සහ ජපානය යන රටවල ආරම්භක ප්‍රවර්ධන වැඩසටහන් ඇරඹෙන අතර සැප්තැම්බරයේ යුක්රේන් සහ රුසියාවේ ප්‍රවර්ධන කටයුතු ඇරැඹේ.

ජර්මනිය, සවුදිඅරාබිය, ඉරානය, තුර්කිය, චිලී සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රවර්ධන කටයුතු දෙවැනි වටයේදී ඇරැඹේ.

ඉරානය ශ්‍රී ලංකාවේ විශාලතම තේ වෙළෙඳ පොළකි. කිලෝග්‍රෑම් දසලක්ෂ 32ක් ස්ථිර වෙළෙඳ පොළක් ඉරානයේ නිර්මාණයව තිබුණත්, මේ වනවිට එම වෙළෙඳ පොළ කිලෝ දසලක්ෂ 10 දක්වා අඩුව ඇතැයි වාණිජ මණ්ඩල ප්‍රකාශකයෙක් පැවැසීය. ඉරානයට ඇමරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක නිසා එරට සමඟ ඩොලර් විනිමය ගනුදෙනු පවත්වා‍ෙගන යෑම අසීරුව තිබේ. නොවැම්බරයේ යුරෝපා සංගමය ඉරානයට සම්බාධක පැනවූ නිසා ඉරානය සමඟ ගනුදෙනු කළ ව්‍යාපාරිකයනට සිය ගනුදෙනු ඉදිරියට ගෙන යෑම අසීරුව තිබේ.

ඉරාන තෙල් වෙනුවට ශ්‍රී ලංකා තේ හුවමාරු කිරීමේ බාටර් ක්‍රමවේදයක් (ශ්‍රී ලංකා රබර් චීන සහල් මිලට ගැනීම) අනුගමනය කිරීමට ද දැන් අමාරුව තිබේ. එහෙත් රටවල් අටකට සහන සැලසීම සඳහා ඇමෙරිකාව අනුමැතිය පළකරනු ඇතැයි විශ්වාසයක් පවතී. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ද එම කපොල්ලෙන් රිංගා ඉරාන වෙළෙඳ පොළට ඇතුල්වීමට අවස්ථාව හිමිවනු ඇත.

තේ කර්මාන්තයට යටව ඇති භුමි ප්‍රමාණය වැඩි කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග සොයාගත යුතුව ඇතැයි කියන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා බෞද්ධ, කතෝලික සහ මුස්ලිම් ආගමික සිද්ධස්ථාන සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් ඇතැයිද මේ ඉඩම්වල තේ වගා කිරීමටත්, එමගින් එම ආගමික සිද්ධස්ථානවලට ආදායමක් උපයා දීමට ක්‍රියා කළ හැකි බවත් පවසයි. ආගමික ස්ථාන 700 ක් පමණ දැනට මේ සඳහා ඉදිරිපත්ව ඇති බවත් කියයි. මේ වැඩපිළිවෙළ සඳහා සියලු ආධාර සංවර්ධන අධිකාරියෙනි.

මැයි 28 – 29 තේ වෙන්දේසියට තේ කිලෝ දසලක්ෂ 6.8ක් ඉදිරිපත් විය. මේ තේ ප්‍රමාණය ඊට පෙර සතියට සාපේක්ෂව තේ කිලෝ දසලක්ෂ 0.6ක අඩුවීමක් යැයි වාර්තා වේ.

ඉරානය සහ තුර්කිය ඉක්මවා රුසියාව, සවුදිඅරාබිය, කුවේටය, එක්සත් අරාබි එමීරය සහ සිරියාව වෙන්දේසියේ දී කැපී පෙනුණු ගැනුම්කරුවෝය.

කොටස් වෙළෙඳ පොළ

මැයි 31 වනදා ගනුදෙනු අවසන්වනවිට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5310කි. මැයි 24 වනදා අවසන් වූ සතියේ එම දර්ශකය ඒකක 5295කි.

මැයි 31 ශ්‍රී ලංකා මහ බැංකු සති අග වාර්තාව පවසන අන්දමට සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 565කි. පෙර සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 206 කි. වසරකට පෙර රුපියල් දසලක්ෂ 1303 කි.

පසුගිය සතියේද සමාගම් කීපයක් සිය කොටස් හිමියනට ලාභාංශ ප්‍රදානය කෙළේය.

ඩීසල් සහ මෝටර් ඉංජිනේරු (ඩිමෝ) සමාගමය සිය කොටසකට රුපියල් දෙකයි ශත පනහක ලාභාංශයක් ප්‍රදානය කළාය. ගෙවීම ජූනි මස 17 වැනි දින දීය.

එල්. බී. ෆිනෑන්ස් සමාගමය සිය කොටසක් සඳහා රුපියල් හතරක ලාභාංශයකි. ගෙවීම ජූලි මස 8 වැනි දිනදී. සැම්සන් ඉන්ටර්නැෂනල් කොටසකට රුපියල් දෙකක ලාභාංශයක් ගෙවීම ජූනි මස 17 වැනි දිනදී.

යුනයිටඩ් මෝටර්ස් කොටසකට රුපියල් හතරක ලාභාංශයකි. ගෙවන දිනය අගෝස්තු 05 වැනිදාය.

සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කොටසක ශත හැත්තෑවක ලාභාංශයකි. ගෙවීම ජූලි මස 14.

සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී. කොටසකට රුපියල් තුනයි ශත පනහකි. ගෙවීම ජූලි මස 08 වැනිදා.

රෝයල් සෙරමික් පී. එල්. සී. කොටසකට රුපියල් එකයි ශත පනහක ලාභාංශයකි. ගෙවීම ජූලි මස 17 වැනිදාය.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පී. එල්. සී. එක් කොටසකට රුපියල් එකයි ශත විසිපහක ලාභාංශයකි. ගෙවීම ජූලි මස 08 වැනි දින දී.

ආර්. අයි. ප්‍රොපර්ටි පී.එල්.සී. එක කොටසක් සඳහා ශත 15 බැගින් වූ ලාභාංශයකි. ගෙවීම අගෝස්තු මස 06 වැනි දින.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website