Tuesday, 04 June 2019 08:34

සතර අගතිය හරහා අගාධයට

ලෝභය, ද්වේශය, බිය හා මෝහය නිසා අප අගතියට පත් වන්නේ යැයි කීවේ බුදුන් වහන්සේ ය. අද රට දෙස බැලූ විට පෙනෙන්නේ මේ කරුණු හතර නිසා අගතියට ගොසින් නොනැවතී අගාධයකට ම අප තල්ලු වී ඇති බව ය.

අපට අවශ්‍ය ලොකු කුට්ටියකි. එය කවරකු විසින් හෝ උදුරාගෙන ඇතැයි හැඟීමක් අප බොහෝ දෙනකුට තිබේ. එය නැවත දිනා ගැනීම, මේ දිනවල කෙරෙන සංග්‍රාමයේ එක් අරමුණකි. ඒවා අතර වැඩිපුර ඇත්තේ ව්‍යාපාරික අරමුණු ය. කැපී පෙනෙන්නේ පාරිභෝගිකයන් දිනා ගැනීමේ සටන ය. මේ සටනට ව්‍යාපාරිකයන්ට අමතරව ඇතැම් වෛද්‍යවරුන් ද එක්ව සිටින්නේ තමන්ගේ පාරිභෝගිකයන් ද ඒ හරහා දිනා ගැනීමේ අභිප්‍රායෙනි.

මේ ගැන මූණූ පොතේ පළ වී තිබුණු පහත සටහන සියල්ල හකුලා දක්වන්නේ ය. "වෛද්‍යවරයකුට එරෙහිව පැමිණිලි 4000 ක් ලැබිය යුතු නැත. එක් පැමිණිල්ලක් ඔප්පු වීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. එහෙත් අප සැම අවබෝධ කරගත යුතු සත්‍යය නම් සමහරුන් විසින් මේ වෛද්‍යවරයාගේ හිස ඉල්ලා සිටිනු ලැබුවත් තවමත් එකම එක පැමිණිල්ලක් වත් ඔප්පු වී නැති බවය. අප දන්නා නීතියේ හැටියට කෙනකු වැරදිකාරයකු හැටියට ඔප්පුවන තුරු ඔහු නිවැරදිකරුවකු ලෙස සැලකිය යුතුය. එහෙත් මේ වන විටත් සමහරුන් විසින් චෝදනා ඉදිරිපත් කර, නඩු අසා, දඬුවම් ද නියම කර හමාරය. නැවත පිළියම් කළ නොහැකි ලෙස එක් පුද්ගලයකුගේ වෘත්තීය ජීවිතය විනාශ කොට හමාරය." එහි වාසිය ඇත්තේ ඔහු හා තරඟ කරන සෙසු වෛද්‍යවරුන්ට ය.

මේ ගෙනියන සටන හලාල් සටනේ ම තව අදියරකි. ඒ සඳහා වැඩිමනත් ලෙස යොදා ගැනෙන්නේ සිංහලයන් තුළ වඳභාවය ඇති කරන්නේය යන බිය ය. තිසර පටවල ජෙල් පිළිබඳ කතා ගොතන්නේ ඒ සඳහා ය. විකුණන ආහාරවල වඳ පෙති අසුවුණේය කියන්නේ ඒ සඳහා ය. වඳ පුලුන් යොදා සැදූ සනීපාරක්ශක තුවා, වඳ බෙහෙත් දැමූ කෑම, වඳ ගුලි දැමූ මොටර් සයිකල් සහ කාර් සීට්, වඳ තුනපහ වර්ග ඇතුළු කප්පරක් උප්පරවැට්ටි ඒ සඳහා ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙනදා මේවා විශ්වාස නොකළ අය ද විශ්වාස කරන නිසා දැන් හොද්ද බොර ය.

පරීක්ෂණ හා නිගමන

මේ කිසිවක් ඔප්පු වී නැති වා පමණක් කරන ලද පරික්ෂණෙවල ප්‍රතිඵලවලින් ද එවැන්නක සලකුණක්වත් හමු වී නැත. ජෙල් යොදා තැනූ තිසර පට ගැන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් තිබුණේ ඒවායේ ශරීරයට අහිතකර කිසිවක් නැති බව ය. ප්‍රශ්නය, පරික්ෂණ කර නිගමනයකට එනතුරු කල් බැලීමටවත් අපට උපේක්ෂාවක් නැති වීම ය. පරික්ෂණ ප්‍රතිඵල නිකුත් වුව ද ඒ පිළිබඳ වගේ වගක් නැතිව මුල් ප්‍රවෘත්තියම රස කර කර කීම ය.

බයෙන් නතර කළ නොහැකි වූ පාරිභෝගිකයන් නවත්වන්නට ඒ දවස්වල එල්ල වූ කුණු බිත්තර ප්‍රහාරයන් ද අමතරව නැවතත් කරලියට පැමිණ තිබේ. ඊට අමතරව කලින් මෙන්ම සටනේ පතාක යෝධයන් ලෙස චීවරධාරීන් පෙනී සිටිනු ද පෙනේ. පදියතලාවේ කඩයකට පැන ජවුසම් නටා මිනිසුන් එලවා දැමූවේත් කඩ අයිතිකාරයාට තර්ජනය කළේත් එවැනි චීවරධාරියෙකි.

පාරිභෝගිකයන් ඉවත් කිරීමට අමතරව ප්‍රතිවාදීන් හොඳින් හෝ නරකින් ගිනි තියා හෝ අඩම්තේට්ටම් කර හෝ එලවා ගැනීමේ සටනක් ද ඇත්තේ ය. එතැන ඇත්තේ ද පට්ට ලෝභය ය. එය දවටා ඇත්තේ ජාති ප්‍රේමයෙන් නිසා තේරුම් ගැනීම ඇතැමකුට අමාරු ය. අනෙත් අතට මේ අතිශය නින්දිත ව්‍යාපාරික වුවමනාව පිළිබඳ කතාව ඇත්ත වුව ද එය තිත්ත නිසා මග හැර යෑම හොඳ ය. වැඩි දෙනකු ඉන්නේ එතැන නිසා එය ඇඟටත් හොඳ ය. නැත්නම් සිදු වනු ඇත්තේ අපේ ජාතකය ගැන තොරතුරු, අප ගැන නොදන්නා කෙනකුගෙන් ලුණු ඇඹුල් ඇතිව, අහගන්නට ය. ඒ ලෝභයේ කතාව ය. ඊළගට ඇත්තේ ද්වේශයේ කතාව ය.

වට පිටාවේම ඇත්තේ ද්වේශය ය. එය සුපේක්ෂශීලී භික්ෂුන්ගෙන් ද ප්‍රකාශයට පත් වන විට එහි ජුගුප්සාජනක බව විශාල ය. ගිනි ගෙන ඇත්තේ මුස්ලිම් කඩ සාප්පු පමණක් නොවේ. ඊට මිනිසුන්ගේ හදවත් ද ඇතුළත් ය. ඒ හදවත් දැවෙන්නේ වෛරයේ ගිනි දැල්වලිනි. විහිදෙන වදන්වලින් ද ඒ තුළ කැකෑරෙන භයානක හඩින් ද නින්නාද වෙන්නේ ද්වේශය ය.

ඒ ගිනි දැල් නිවන්නට අද බුදු කෙනකු නැත. ඒ සඳහා බුදු දහම මදි ය. සංඝයාට නම් කොහොමටත් බැරි ය. අද දවසේ බොහෝ සංඝයාට කළ හැක්කේ එය වැඩි දියුණු කිරීමට තෙල් සැපයීම පමණ ය. බුදුන් වහන්සේ පැමිණිය ද පැත්තකට වී වැඩක් බලා ගන්නා ලෙස කියන්නට ඉදිරිපත් වන පිරිස විශාල ය.

මේ පිටුපස ඇති අනෙත් කාරණය නම් බය ය. තමන් නැති වෙතැයි යන බය ය. තමන් සුළුතරය වෙතැයි යන බය ය. එදාට මේ අද කරන දේ පොලියත් සමග ලැබේ යැයි යන බය ය.

ජාතියක් හැටියටම අප බොහෝ දෙයට බය ය. හොල්මන්වලට බය ය. කළු පූසන්ට බය ය. හූනෙක් අඬනවාට බය ය. ග්‍රහ තාරකාවලට බය ය. ලබන ආත්මයේ කවරකු වී ඉපදේදැයි බය ය. ළමයින් අයාලේ යතැයි බය ය. ගෑනුන් පිට යතැයි බය ය. සංස්කෘතිය විනාශ වෙතැයි බය ය. ආගම නැති වෙතැයි බය ය. සදාචාරය සෝදා පාළු වෙතැයි බය ය. කුමන්ත්‍රණයක් කර රට කවුරුන් හෝ අල්ලා ගනිතැයි බය ය. ඒ බයට තවත් බයක් එකතු කර ගැනීමට ඒ නිසා අපට දෙවරක් හිතන්නට අවශ්‍ය නැත.

එහෙම බැලුවහම කඩු දැක්කහම බය වෙන එක සාධාරණ ය. ඒවා තණකොළ කපන්නට ගෙනා බවට මෝඩ උත්තර බඳින විට බය දෙගුණ තෙගුණ වීම ද සාධාරණ ය. එහෙත් බියෙන් අගතියට යෑමෙන් වැඩක් වන්නේ නැත. එයින් සිහිය විකල්වී සියල්ල අනා ගැනීම සම්බන්ධයෙන්, ඒ කිසිදු කතාවකින්, සමාව ලැබෙන්නේ නැත.

මේ ලිපියෙන් කියන්නේ සැකය අත්හල යුතු බව නොවේ. සැකය පරීක්ෂාවකට මග සැලසිය යුතු බව මිසක නිගමනයකට පැන පිස්සු කෙලීමකට හේතු නොවිය යුතු බව ය. රෑ කෙසෙල් අත්තක් සෙලවුණු විට හොල්මනක් යැයි සිතා හූ තියමින් දුවන්නේ නැතිව එලියක් අල්ලා බැලිය යුතු බව ය. මිනිසුන්ට දඬුවම් නියම කිරීමට පෙර සාක්කි විමසා විනිශ්චයකට පැමිණිය යුතු බව ය.

අන්තවාදය පෝෂණය

බියේ නිවුන් සොහොයුරා මෝහය ය. ඒ මෝහය තමන් කරන වැඩය නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල ගැන සිතන්නේ නැත. තීන්දුවක් ගැනීමට පෙර තවදුරටත් කල්පනා කළ යුතු යැයි එයට දැනෙන්නේ නැත. එය මුහුණ සමග තරහ වී නහය කපා ගන්නේ ය. එය බලන්නේ ළඟ ය. එයට දුර පෙනෙන්නේ නැත. එය රස කර කර බොන්නේ වස ය.

අප අතර ඇති මේ මෝහය කොතරම් ද යන්න මේ දිනවල මහ ඉහළින් ප්‍රදර්ශනය වන්නේ ය. අන්තවාදය තනි කරනු වෙනුවට අද බොහෝ දේශප්‍රේමීන් කරන්නේ එය තව තවත් පෝෂණය කිරීම ය. අහිංසක මිනිසුන්ට ද වද දී ඔවුන් ද අන්තවාදීන්ගේ ගොඩටම තල්ලු කර දැමීම ය. ඒ තුළ ද්වේශය ද ලෝභය ද බිය ද සමග, හරි හරියට, මරිමුස් මෝඩකම ද අඩුවක් නැතිව ප්‍රදර්ශනය කිරීම ය.

මෝහය අනුන්ගේ අන්තවාදය දකින්නට ද තමන්ගේ අන්තවාදය නොදකින්නට ද හේතුවක් වන්නේ ය. ඒ මෝහය අපව එක දිසාවකට අන්ධ කරනු ලබන නිසා ය. බෝම්බයෙන් මැරුණ මිනිසුන් ගැන කම්පා වෙන සිත වයඹ පළාතේ කඩුවෙන් කපා කොට මරා දමන ලද මුස්ලිම් මිනිසුන් ඉදිරියේ ගල් වෙන්නේ ඒ නිසා ය. මුස්ලිම් පල්ලියේ ඝෝසාව දරා ගන්නට බැරි බොහෝ දෙනා පන්සලේ “සද්ද පූජා“ ඉදිරියේ ගොළු වන්නේ ඒ නිසා ය.

අන්තවාදය සම්බන්ධයෙන් පමණක් නොව හරි වැරැද්ද ඇතුළු තව බොහෝ දේ සම්බන්ධයෙන් ද එය සත්‍යය ය. සිය දිවි නසාගත් බෝම්බකරුවන් ද අපේ දරුවන් යැයි දීපානි සිල්වා කලාකාරිනිය කියන විට පරල වන බොහෝ අය එයම ඥානසාර ස්වාමීන් වහන්සේ වැඩ වදාරණ කල නෑසූ කන් ඇතිව ඉන්නේ ඒ නිසා ය. තමන්ගේ පාර්ශ්වයේ කෙනකු වැරදිකරුවකු ලෙස හංවඩු ගසන විට ප්‍රමාණවත් සාක්කි ඉල්ලා සිටින අය වෙනත් පාර්ශ්වයක චුදිතයකු සාක්කි නොවිමසා ම දංගෙඩියට යවන්නේ ඒ නිසා ය.

මෝඩ මිනිසුන්ට ළග මිස දුර පෙනෙන්නේ නැත. මුස්ලිම් කඩ වර්ජනය කරන්නට යෝජනා කරන මිනිසාට අප තෙල් ගේන්නේ මුස්ලිම් රටවලින් බව පේන්නේ නැත. අන්තවාදීන්ට අවශ්‍ය මුදල් එන්නේ හන්දියේ නානාගේ කඩෙන් නොව සවුදි අරාබියෙන් හෝ වෙනත් එවැනි රටක අන්තවාදීන්ගෙන් බව ද ඔවුහු ඒ සමගම අමතක කර දමන්නෝ ය. තෙල් නැති වුණු දවසකට අපට යන්න වෙන්නේ හොම්බෙන් ය. බඩ ගින්න නිවාගන්නට නොහැකි ව අපට ලත වන්නට සිදු වන්නේ අම්පාරේත් පොළොන්නරුවේත් හාල් තියාගෙන ය. අද දවසේ අප උපයන විදෙස් මුදල් වැඩිපුරම එන්නේ මැද පෙරදිග රැකියා කරන මිනිසුන්ගෙන් බවවත් ඔවුන්ගේ සැලකිල්ලට හසු වන්නේ නැත. අප කිසිවකුට, කිසිම ජාතියකට හෝ රටකට, වත්මන් ලෝකයේ, තනිවම ජීවත් විය නොහැකිය යන්න මේ මෝහයෙන් පෙළෙන මිනිසාට වැටහෙන්නේ නැත.

මුස්ලිම් කඩ ගිනි තැබීම නිසා ද වර්ජනය කරනු ලබන නිසා ද ජීවන මාර්ගයක් අහිමි වන මිනිසාට පිහිටට එනු ඇත්තේ අන්තවාදීන් විසින් සැපයීමට නියමිත මුදල් බවත් අවසානයේ අප අහිංසක මුස්ලිම් ජනතාව තල්ලු කර දමන්නේ අංගුලිමාලලාගේ ගොඩට බවත් තේරෙන්නේ නැත. අන්තවාදීන් ආණ්ඩු මට්ටුකිරීම ඔවුන් විසින් පටලාගනු ලැබ තිබෙන්නේ මුස්ලිම් මිනිසුන් ආණ්ඩු මට්ටු කිරීම සමග ය. මේ දෙක එකක් නොව දෙකක් බව ඔවුන්ගේ කුඩා මොළයට වැටහෙන්නේ නැත.

බොරුවට නිදා ගැනීම

මෝඩකම නැති තැන ඇත්තේ කපටිකම ය. බොර දියේ මාළු බෑමට ඇති වුවමනාව ය. ඌරන් කැකුණ තලන විට රජමඟුල් වෙන්නේ හබන් කුකුළන්ට ය. ඒ නිසා අන්තවාදීන්ගේ ගිණුමට බැර කොට, ඔවුන් මර්දනය කිරීමේ ගිණුමට බැර කොට, ස්වාර්ථ සාධනයේ යෙදෙන්නන්ගේ ද අඩුවක් අපට නැත. එතැන මෝහය වෙනුවට ඇත්තේ ලෝභය ය. ව්‍යාපාරිකයන්ට අමතරව මේ සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්නේ දේශපාලනඥයන් ය. කපටි ආරක්ෂකයන් ය.

බොහෝ විට අප අතරමං කරන්නේ, හැසිරීමට හේතුව මෝඩකම ද නැතිනම් කපටිකම ද යන්න, තේරුම් ගැනීමට ඇති දුෂ්කරතාවය ය. එයට හේතුව, උත්පත්ති සාධකය කුමක් වුව ද පෙන්නුම් කරන්නේ එකම හැසිරීම වීම ය. හැසිරීමට බලපෑවේ මෝඩකම නම් එය ඉවත් කිරීමට යම් උත්සහායක් කළ හැකි ය. එහෙත් එය කපටිකම නම් අපට සිදුවන්නේ කාලය නාස්ති කර ගැනීමට ය. ඇත්තට නිදා ගෙන ඉන්නා තැනැත්තා නැගිට්ටවිය හැකි වුව ද බොරුවට නිදාගෙන ඉන්නා තැනැත්තා නැගිට්ටවීම අමාරු ය. කපටි ආරක්ෂකයන් වැඩි දෙනෙක් නිදා සිටින්නේ බොරුවට ය.

අපේ ඇතැම් සතුරන් පරාජය කිරීම පහසු ය. විශේෂයෙන් අපට මේ මොහොතේ බිය වී දඟලන සතුරන් පරාජය කිරීම පහසු ය. එයට අවශ්‍ය වන්නේ ඔවුන් කල් තියා හඳුනා ගැනීම ය. ඒ සඳහා අපට අවශ්‍ය ශක්තිමත් ආයතන පද්ධතියක් හා තාක්ෂණය ය. දැනටමත් ඒවායේ අනුබලය ලැබ අපි උන් හඳුනා ගනිමින් සිටිමු. එහෙත් සැබෑ ලෙස භයානක සතුරන් නම්, පරාජය කිරීමට අපහසු, අප ඉහත සඳහන් කළ සතර අගතීන් ය. ඒවා හඳුනාගැනීමට අපහසු ය. ඒවා පවතින්නේ අප අභ්‍යන්තරයෙහි නිසා ය. ඒවා ඇති කරන හානිය තීරණාත්මක වුව ද සියුම් නිසා ය. එයට දිය හැකි ළගම උපමාව පිළිකාව ය.

පිළිකාව ඔඩු දුවන්නේ අපට හොරා ය. මුල් වකවානුවේ අපට වේදනාවක් හෝ දැනෙන්නේ නැත. අතරින් පතර ශරීරය ඇගවීමක් කළ ද අප ඒ ඇගවීම් ගණන් ගන්නේ ද නැත. බොහෝ අවස්ථාවල දැන ගන්නා විට ඔඩු දුවා අවසන් ය. අපව කුලප්පු කරන මේ සතර අගතිය ද එවැන්නකි. එය භයානක රෝගයක් බව අපට දැනෙන්නේ නැත. ඒ, මේ අලකලංචි අස්සේ ම, අපේ ජීවිතය සාමාන්‍ය ලෙස තවමත් ගෙවී යන නිසා ය. එහෙත් අපේ පදනම පොළොව යටින් හෑරෙමින් ඇත්තේ ය. හිටි හැටියේ අප ඇදගෙන වැටෙනතුරු අපට සිහිය එළඹෙන පාටක් නැත.

පළමු කෝච්චිය වැරදුණේ දෙමළ ජනයා සමග අරෝවක් ඇති කරගෙන යුද්ධයක පැටලී සිටි නිසා ය. දැන් දෙවැනි කෝච්චිය වැරදෙන්නට යන්නේ මුස්ලිම් ජනයා සමග ආරෝවක් පටලවා ගැනීම නිසා ය. මේ දෙකට ම අප ව උසි ගන්වනු ලැබුවේ පිළිවෙළින් දෙමළ හා මුස්ලිම් අන්තවාදය යයි කියා අපට ගැලවිය හැකි ද? එසේ කළ හැක්කේ මෝඩකමින් ද උද්දච්ඡකමින් ද පෙළෙන මිනිසකුට පමණකි. උන් උසි ගැන්වූ පමණින් පරල වන්නට අප බල්ලන් නොවන බව සතර අගතියෙන් පරල වූ මිනිසුන්ට තේරෙන්නේ නැත. බුදු දහමින් සැබෑ ලෙස සංයමයට පත් කරනු ලැබ ඇති මිනිසකුට නම් එසේ වගකීම තව කෙනකුට පවරා නිදහස් විය නොහැකි ය. අපව පාලනය කර ගැනීමට අපට නොහැකි නම්, අප මිනිසුන් සේ නැතිව, බල්ලන් සේ උසි ගැන්වීමකට ප්‍රතිචාර දක්වන්නේ නම්, එහි වැරැද්ද අපගේ ය. සතර අගතියෙන් පෙළෙන අප ගේ ය.

බුදු දහම තිබෙන්නේ අවි දරා ආරක්ෂා කර ගැනීමට නොවේ. බුදු දහම තිබෙන්නේ ආරක්ෂාකාරී මගකට අපට පිවිසීමට අවශ්‍ය සංවරය හදා ගැනීමට ය. අපේ ඇතුළාන්තය සකස් කර ගැනීම මගින් සෙසු අය මෙල්ල කර ගැනීමට ය. ඔවුන්ට බලපෑමක් කිරීමට ය. එහෙම නොකර සතර අගතියෙන් පරල වන අයට කිව යුත්තේ උන්ට බුදු දහමෙන් නම් පලක් නොවන බව ය. ඒ නිසා එය රැක ගැනීමට උන් කරන්නා වූ උත්සාහයන් සියල්ල නිශ්ඵල බව ය. ගඟට කපන ඉණි බව ය. ඒ වෙනුවට සතර අගතිය පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීම් නැවත පරිහරණය කර බලන ලෙස ය. ඊනියා සංඝයාගේ සරණ වෙනුවට, අබ සරණ වෙනුවට, බුදු දහමේ සරණ සොයන ලෙස ය.

සතර අගතිය බුදු දහමේ ඉගැන්වීමක් වුව ඊට සමාන ඉගැන්වීම් අනිත් ආගම්වල ද ඇතුවාට සැක නැත. ඒ නැතිවා වුව ද මේ දැනුම සාමාන්‍ය දැනුමක් සේ සලකා අපට අනුගමනය කළ හැකි ය. සතර අගතියෙන් ඈත් වුවහොත් මිසක, මේ නරාවළෙන් ගොඩ යා හැකි මගක් මට නම් පෙනෙන්නේ නැත.

(දිනමිණ)

Last modified on Tuesday, 04 June 2019 08:53

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website