Wednesday, 05 June 2019 08:33

වනයෙන් අපට අපෙන් වනයට

අදට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙනි

සංරක්ෂණය යනු පරිසර පද්ධතීන් ආරක්ෂා කරගනිමින් පරිසර හිතකාමී ලෙස අනාගත පරපුරට ස්වභාවික සම්පත් උරුම ආරක්ෂා කරදෙමින් සංවර්ධනය සිදුකිරීමයි. සංවර්ධනය හා ස්වභාවික සම්පත් අතර යම් තුලනාත්මකව සහසම්බන්ධයක් හා කළමනාකරණයක් අනිවාර්යයයෙන් පැවතිය යුතුය. එය අභියෝගයක් වන නමුත් එකී අභියෝගයට මුහුණ දිය යුතුමය.

පරිසර පද්ධතියක් යනු ජීවි සහ අජීවි සංඝටකවලින් නිර්මිත අන්තර් ක්‍රියාකාරිත්වයෙන් යුතු ව්‍යුහයකි. ලෝකය බිහිවූ දා සිට යම් යම් පරිසර පද්ධති සකස්වෙමින් පරිණාමය වෙමින් පැමිණ ඇති අතර අද අප ජීවත්වන ලෝකයේ පරිසර පද්ධති යනු වසර කෝටි ගණනාවක පරිණාමයක ප්‍රතිඵලයකි. යම් සමතුලිතභාවයක් සහිතව එය නිර්මාණය වී ඇත. එසේ තිබියදි ඊට යම් හානියක් පැමිනුණහොත් එය ශාක හා ජීවීන්ට එක සේ බලපානු ලබයි. අද වන විට ස්වාභාවික ව ඇතිවූ මෙම පරිසර පද්ධතීන්ට මිනිසා විසින් හානි පැමිණවීම ඉතිහාසයේ අන් කවරදාටත් වඩා තීව්‍ර වී තිබේ. එය සිදුවන්නේ සංවර්ධනයේ නාමයෙන් විය හැකිය. කෙසේ වුවද, අවසාන වශයෙන් ප්‍රතිවිපාකයක් ලෙස මනුෂ්‍ය ජීවිතයට හා සත්ත්ව ජීවිතයට එල්ලවන තර්ජන ද තීව්‍ර වී තිබේ. ඒ නිසාම අද වන විට පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම අන් කවරදාටත් වඩා අපට දැනී තිබේ.

මෑතක් වනතුරු දේශපාලනඥයින් මෙන්ම සාමාන්‍ය ජනයාද, වනාන්තර කෙරෙහි අවධානය යොමු කර තිබුණේ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් විශේෂයක් ලෙස පමණි. වනාන්තරවලින් ලැබෙන සේවාවන් පිළිබඳ නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිවීම මීට ප්‍රධානතම හේතුවයි. අතීතයේ සිට ප්‍රමුඛ ලෙස වනාන්තර හෙළි පෙහෙළි කරනු ලැබුවේ කෘෂිකාර්මික ඉඩම් සඳහා හෝ ජනාවාස ඉදිකිරීම සඳහාය. ඊට අමතරව දැව මගින් ආදායම් ලැබීමත් සාධකයක් වී ඇත. කෙසේ වෙතත් මේ සියලු හේතු සාධක නිසා වන භූමි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රතිඵල ලෙස නියඟය, ගංවතුර, නායයාම් වැනි ස්වාභාවික ව්‍යසනවලට මුහුණදෙන්නට සිදුවීම අහම්බයක් නොවේ. සංවර්ධනය නාමයෙන් සිදුවුණු අහිතකර මැදිහත්වීම්, දේශගුණික විපර්යාස පිළිබඳ යුරෝපයේ අවධානය යොමුවීමට හේතු වූ කරුණක් විය. වායුගෝලයේ පවත්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළයාම මෙයට හේතුවිය. එබැවින් කාබන්ඩයොක්සයිඩ් පාලනය කිරීමට වනාන්තරවලට සුවිශේෂී කාර්යභාර්යයක් කළ හැකි බව පිළිගැනිණි. දෙයාකාරයකින් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කිරීමට වනාන්තරවලට හැකිය. සංවර්ධනය වෙමින් පවත්නා රටවලින් වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් 17%-18%ක ප්‍රතිශතයක් වායුගෝලයට එකතු වන්නේ වනාන්තර එළිපෙහෙලි කිරීම නිසාය. වනාන්තර පවතින්නේ නම් වායුගෝලයේ පවත්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරගත හැකිය.

පැරිස් ගිවිසුම

වනාන්තර හායනය අවම කොට වනාන්තර ප්‍රමාණය මිහිමත වැඩි කළ හැකිනම් ඒ තුළින් කාබන්ඩයොක්සයිඩ් වියෝජනය වැළැක්වීමටත් දැනට පවත්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කර ගැනීමටත් හැකිය. මෙම පසුබිම උපයෝගි කර ගනිමින් පැරිස් ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ වනාන්තර වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා වනාන්තර ප්‍රමාණය 29.7% සිට 32% දක්වා වැඩිකර ගැනීමට කටයුතු කළ යුතුය. මෙහි එක් පියවරක් ලෙස ලෝක බැංකුව සමඟ එක්ව පරිසර පද්ධති සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

‘පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය හඳුනාගත් පරිසර පද්ධති තවදුරටත් සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා දායකත්වයක් ලබාදෙනු ලැබේ.

කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව විශාල ජන ඝනත්වයකින් යුතු රටකි. මේ රට වර්ග කිලෝමීටරයක භූමි ප්‍රමාණයක හයසීයකට වැඩි ජනගහණයක් ජීවත්වේ. එවැනි රටක ආරක්ෂණ ප්‍රදේශ ලෙස සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 30%ක් පමණ වනාන්තර ලෙස ආරක්ෂා කර ගැනීම විශාල අභියෝගයකි. මේ පිළිබඳව රට තුළ නිසි ඇගයීමක් නැති වුණද, විදේශ රටවල එය විශාල වශයෙන් අවධානයට ලක්කර ඇති කරුණකි. ශ්‍රී ලංකාව තුළ ඒ කෙරෙහි අවධානය යොමු කරමින් කැප වන වගකිව යුතු ආයතන වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්යභාර්ය අප අගය කළ යුතුය.

වත්මන් ලෝකයේ වඩා වැදගත් ලෙස අවධානය යොමු වී ඇති තවත් කාරණයක් නම් නීති රීති සකස් කිරීමෙන් හෝ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් වන සංරක්ෂණය කළ නොහැකි බවයි. වනාන්තර ආශ්‍රිත ඉඩම්වල ජීවත්වන්නේ සාපේක්ෂ වශයෙන් ඉතා දුප්පත් ජනතාවකි. ඒ අයගේ ජීවනෝපායන් වනාන්තර හා බැඳී පවතියි. ඔවුන්ගේ ගැටලුවලට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් අපට තිබිය යුතුය. එම පිරිසගේ ආර්ථිකය වැඩි දියුණුකිරීමට වනාන්තරවලින් ලැබෙන පල ප්‍රයෝජන වඩා නිර්මාණාත්මක ලෙස සහසම්බන්ධ කළ යුතුය. එසේ නොවුණහොත් වනාන්තර ආරක්ෂා කර ගැනීමෙහිලා ඔවුන් තුළ උනන්දුවක් වර්ධනය නොවනු ඇත.

සෘණාත්මක සබඳතා

මෙරට තෙත් කලාපයේ මිනිසුන් බොහෝ විට උනන්දු වූයේ වනය එළිපෙහෙළි කොට තේ වගාවක් දමා එය දියුණු කිරීමයි. එය සෘණාත්මක සම්බන්ධයක් බව කිව යුත්තේ පෙරළා වනය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගෙන් සාධනීය යමක් සිදුවන්නේ කලාතුරකින් වන බැවිනි. වියළි කලාපය කෙරෙහි අවධානය යොමු කිරීමේදීද, වනයක් හෙළිකරගෙන හේනක් සකස් කරගනිමින් ජීවත්වීම දැකිය හැකිය. එහි දී පරිසර හිතකාමී ලෙස එම හේන් ගොවිතැන පවත්වාගෙන යා හැකි නමුත් එලෙස ක්‍රියා කළ පිරිස අඩුය. ඒ අනුව එහිදීද වැඩි වශයෙන් වනය සමඟ පැවතියේ සෘණ සම්බන්ධයකි. එහෙත් ආසියානු කලාපයේ සෙසු බොහෝ රටවල තත්ත්වය වෙනස්ය. බොහෝ විට එකී රටවල වන ආශ්‍රිතව ජීවත්වන ජනයා ජීවත්වෙන්නේ වනාන්තරය තුළමය. ඒ අයගේ ජීවිත මුළුමනින්ම පාහේ වනය මත රැඳී පවතියි. මේ නිසාම පවත්නා බැඳීම සාපේක්ෂ වශයෙන් වැඩිය. මේ නිසාම පෙරළා ඔවුන්ද වනය ආරක්ෂා කරලීමට නිතැතින්ම පෙළඹෙන බැවින් එකී සම්බන්ධය ධනාත්මක බැව් කිව හැකිය.

1980 දශකයේ ලෝකයේ සෑම රටක්ම පාහේ වන සංරක්ෂණය කෙරෙහි ප්‍රජා සහභාගිත්වය ගැන කතා කරද් දී ශ්‍රී ලංකාවට එය එතරම් අදාළ නොවුණේද, ඉහත හේතුව නිසාය. ශ්‍රී ලංකාවේ තත්ත්වය සැබවින්ම වෙනස්ය. එනම් මෙරට වන ආශ්‍රිත දිවිගෙවන ජනයාගේ පවා පැවැත්මක් හෝ යැපීමක් වනාන්තරය මත සෘජුව පදනම් නොවීමයි. එහෙව් පැවැත්මක් නැති තැනක සැබෑ සහසම්බන්ධයක් ගොඩනැඟීම ඉතා අසීරුය. මේ නිසාම ලංකාව ප්‍රජා වන වගාවට සුදුසු නැති රටක් බවට හඳුනාගෙන තිබුණි. එහෙත් කාලයකට පසුව සමාජ සංවර්ධනයේ එක්තරා මොහොතකට පසුව සොබාදහම පාදක කරගත් සංචාරක කර්මාන්තය වැනි තේමාවන් කරළියට පැමිණ තිබේ. දශක තුනකට පමණ පසු ආදායම් ප්‍රවණතා ප්‍රජාව මූලික කරගනිමින් වර්ධනය කර තිබේ. ඒ නිසාම එදා නොහැකි වූ මෙන්ම යම් ආකාරයට එතරම් නොතකා හැර තිබුණු ප්‍රජාව මූලික කරගත් වනාන්තර සුරක්ෂිත කිරීම, පරිසර පද්ධති ආරක්ෂා කිරීම වැනි කටයුත්තකට මැදිහත්වීමට අද වනවිට අවස්ථාව උදාවී ඇති බව කිව හැකිය.

මෙවන් ව්‍යාපෘති හරහා සිදුකෙරෙන්නේ සංවර්ධනය හෝ ප්‍රජාව මූලික කරගත් පරිසර පද්ධති ආරක්ෂා කරලීම වෙනුවට පරිසර පද්ධතිවලට හානි පැමිණවීම බවට පරිසර සංවිධාන විසින් චෝදනා නඟයි. ශ්‍රී ලංකාවේ දී මෙම ගැටලුව කරළියට පැමිණියේ සිංහරාජයේ මාර්ගය සම්බන්ධයෙනි. 1977ට පෙර සිංහරාජයේ දැව හෙළීම සඳහා මාර්ගයක් පැවතිණි. එසේ හෙළන ලද දැව තුනී ලෑලි සංස්ථාවට ප්‍රවාහනය කරනු ලැබුවේද මෙම මාර්ගය ඔස්සේමය. සිංහරාජය පළමුව ‘රක්ෂිතයක් ’ බවට පත්ව දෙවනුව ‘අන්තර් ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක්’ බවටත් අවසාන වශයෙන් ‘ලෝක උරුමයක් ’ බවටත් පත්විය. ඒ ආකාරයෙන් සිංහරාජය කෙරෙහි ලෝකයේ අවධානය වැඩි වැඩියෙන් යොමුවෙද් දී දේශීය හා විදේශීය සංචාරකයින් පැමිණීමත් විශාල වශයෙන් ඉහළ ගිය බව සැබෑවකි. මේ නිසාම රත්නපුරය ප්‍රදේශයෙන් කලවාන හරහා කුඩවට ගොස් සිංහරාජයට ඇතුළු විය හැකි මෙම මාර්ගය යළිත් වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගැනිණි. මෙම මාර්ගය මීට පෙර අවස්ථා ගණනාවක දී යළි යළිත් පිළිසරක වී පැවතුණු බව ද මෙහිලා අමතක නොකළ යුතුය.

මීට වසර දෙකකට පමණ ඉහත දී කුඩව ප්‍රදේශයෙන් සිංහරාජයට ප්‍රවිශ්ට වන මාර්ගයේ නායයාම් කිහිපයක් සිදුවිය. ඒවා බොහෝ බරපතළ විය. ඒ අනුව තවදුරටත් මෙය දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කළ යුතු නම්, සංවර්ධනය කළ යුතු නම් මෙම මාර්ගය වහා ප්‍රතිසංස්කරණය විය යුතු බැව් අවධානයට ලක්කෙරිණි. ඒ නිසාම මෙම මාර්ගය යළි සකස්කිරීම ආරම්භ කරනු ලැබුවේ සද්භාවයෙන්මය. අනෙක් අතට මෙම වනාන්තරය, ලෝක උරුමයක් වුවද, මෙම මාර්ගය වැටී ඇත්තේ එකී ලෝක උරුමයක් ලෙස සලකුණු කළ භූමියේ සීමාවට පිටතිනි. එසේ වුවද, අද වනවිට එම අවට ප්‍රදේශයද වන භූමි බවට පත් කොට තිබේ. කෙසේ වුවද, හුදෙක් ලෝක උරුමයක් වීම නිසාම හෝ ජාත්‍යන්තර ජෛවගෝල පරිසරයක්වීම නිසාම ඒවායෙහි පාරිසරික අගයට හානි නොවන ලෙස සංවර්ධන කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් නැත. අනෙක් අතට මෙහි දී අලුතෙන්ම මාර්ගයක් සකස් කිරීම වෙනුවට පැවැති මාර්ගයක් පිළිසකර කිරීමක් පමණක් සිදුවූ බැවින් නවතම පාරිසරික තත්ත්ව ඇගයීමක් අවශ්‍ය නොවූ බවත්, නීතිමය බාධාවක් නොවුණු බවත් සැබෑය.

සිංහරාජයේ මාර්ගය යළි පිළිසකර කිරීමේ දී ඊට පරිසර සංවිධානවල මැදිහත්වීම අගය කළ යුතුය. එය පොදුවේ රටටද ආදර්ශයකි. සිදුවූ මෙන්ම සිදුවිය හැකිව තිබූ ඇතැම් අඩුපාඩු අවමකරලීමටත්, බොහෝ දෙනකුගේ අවධානය ඒ කෙරෙහි යොමුකරවීමටත් පරිසර සංවිධානවල ප්‍රතිචාරය බෙහෙවින් ඉවහල් වූ බව සත්‍යයකි. සංරක්ෂණය යනු පරිසර පද්ධතීන් ආරක්ෂා කරගනිමින් පරිසර හිතකාමී ලෙස අනාගත පරපුරට ස්වභාවික සම්පත් උරුම ආරක්ෂා කරදෙමින් සංවර්ධනය සිදුකිරීමයි. සංවර්ධනය හා ස්වභාවික සම්පත් අතර යම් තුලනාත්මකව සහසම්බන්ධයක් හා කළමනාකරණයක් අනිවාර්යයයෙන් පැවතිය යුතුය. එය අභියෝගයක් වන නමුත් එකී අභියෝගයට මුහුණ දිය යුතුමය. එහි දී සිදුවිය හැකි අඩුපාඩු මගහරවා ගනිමින් වඩාත් සාධනීය දිශානතියකට මෙම ව්‍යාපෘතිය යොමුකරවීම සෑම සියලුදෙනාගේම යුතුකමක් හා වගකීමකි.

සිංහරාජ ගැටලුව

මේ වන විට සිංහරාජය සම්බන්ධයෙන් මතුව ඇති විවාදපන්නභාවය සමථයකට පත්කර ගැනීම වෙනුවෙන් රජය, ලෝක බැංකුව, හා යුනෙස්කෝව මැදිහත් වී තිබේ. එහි දී පරිසර හානියක් සිදුවූයේද නැතිද ඒ මොන යම් ප්‍රමාණයකටද යන්න පිළිබඳ නිසි තක්සේරුවක් සිදුකළ යුතු බව පොදු පිළිගැනීම වී තිබේ. ඒ වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධයක් නොමැති ආයතන දෙකකින් වෙන් වෙන්ව ඇගයීම් වාර්තා ලබා ගැනීමට කටයුතු කර ඇත. එක් ආයතනයක් වන්නේ ලෝක සංරක්ෂණ සංවිධානය යි. අනෙක් ආයතනය වන්නේ මෙය ‘ලෝක උරුමයක්’ හා ‘ අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක්’ බවට ප්‍රකාශයට පත්කර ඇති යුනෙස්කෝ ආයතනයට මෙරටින් වගකියනු ලබන ‘ ජාතික විද්‍යා පදනම’ යටතේ පවත්නා ‘ජාතික මිනිසා සහ ජෛවගෝල කමිටුව’යි. ඒ නිසා ඒ අයටත් මේ පිළිබඳ ඇගයීම් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන සියලුම රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පරිසර සංවිධාන, විද්‍යාඥයින් කැඳවා ඒ පිරිස් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. එහි දී අදාළ කණ්ඩායම් සමඟ පොදු එකඟතාවකට පැමිණ ඇත්තේ දැනට පිළිසකර කර ඇති මාර්ගයේ කොටස ඒ අයුරින්ම පවතින්නට ඉඩහැර ඉදිරි සැලසුම් සිදුකිරීමේ දී ඔවුන් දැනුම්වත් කර ඔවුන්ද සහභාගි කරවා ගනිමින් කටයුතු කිරීමටය. ඒ අනුව ඉදිරි කටයුතු සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයේ විෂය භාර මහාචාර්යවරයකුට බාර දී තිබේ. ඔහු විසින් මේ දිනවල මීට අදාළව වැඩපිළිවෙළක් සකස් කෙරෙමින් පවතී. මේ සියලු කාරණාවන්ට අදාළ ප්‍රගති වාර්තාවන් ලෝක බැංකුව වෙත යොමුකර තිබේ.

‘පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් සිංහරාජ වැඩපිළිවෙළට අමතරව නුවරඑළිය ප්‍රදේශයේ පවත්නා වන සංරක්ෂණ ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණු කිරීම සඳහා වන සංරක්ෂණ පුහුණු ආයතනය’ අන්තර්ජාතික මට්ටමට උසස් කරලීමටත්, නව තාක්ෂණික ක්‍රමෝපායන් හඳුන්වාදීමටත් වැඩසටහනක් දියත් කර තිබේ. ලුණුගම්වෙහෙර-යාල ආශ්‍රිත සංරක්ෂිත ප්‍රදේශවල වන අලින්ට ජල පහසුකම් ලබාදීම සඳහා කුඩා වැව් පිළිසකර කිරීම හා ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම සඳහාද වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. කෙසේ වුවද, පරිසර හිතකාමී ජීවනෝපායන් හඳුන්වාදෙමින් අදාළ ප්‍රදේශවල ජනයාගේ ජීවන තත්ත්වය නංවාලීමටත්, පරිසර පද්ධතීන් සංරක්ෂණය කර ගැනීමත්, එමඟින් සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රජා දායකත්වය ලබාගැනීමත් මේ සියල්ල යම් සාධනීය මට්ටමක පවත්වා ගැනීම සඳහා ආයතන අතර සහසම්බන්ධය හා පවත්වා ගනිමින් කළමනාකරණය කිරීමත් වගකිව යුත්තන්ගේ වගකීමකි.

(දිනමිණ)

Features

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website