Wednesday, 05 June 2019 08:36

එක තැන හෝන් ගහන අපේ ගමනාගමනය

ශ්‍රී ලංකාවේ රථවාහන තදබදය අවුරුදු 20-25 අතර කාලයක සිටම පවතින ගැටලුවකි. වර්තමානය වන විට මෙම වාහන තදබදය දිනෙන් දින වැඩිවෙමින් පවතී. අවශ්‍යතා වැඩිවීමත් සමඟම බහුතරයක් ජනයා, තමන්ගේ රාජකාරී සඳහා කොළඹට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නගර ඒක කේන්ද්‍රීය වී ඇත. විශේෂයෙන්ම මුළු ලංකාවේම ජනයා කොළඹ නගරයට ඒකරාශීවීම හේතුවෙන් කොළඹ නගරයෙහි දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබේ. “කොළඹ නගරයේ රථ වාහන තදබදය“ මීට අවුරුදු ගණනාවක සිටම මාර්ග සංවර්ධන අධිකාරියෙහි ප්‍රධාන මාතෘකාවකි

.

රථවාහන තදබදයට හේතු

මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන ආකාරයට රථවාහන සංඛ්‍යාව වැඩිවීම, කොළඹ නගරයෙහි ජනයා පමණක් නොව පිට පළාත්වල ජනයා ද කොළඹ නගරයට එකම වේලාවක් තුළදී පැමිණිම. රථවාහන ධාවනය කිරීමේ දී රියැදුරන් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම, මාර්ග පළලින් අඩු වීම, මාර්ග නිසි පරිදි අලුත්වැඩියා නොකිරීම, නගර සැලසුම්කරුවන් විසින් මිනිසුන්ගේ අවශ්‍යතාවලට අනුගත වන ලෙස පොදු ප්‍රවාහන සේවය සකස් කර නොතිබීම හේතුවෙන් ලංකාවේ පොදු ප්‍රවාහන සේවය දුබල මට්ටමක පැවතීම යන කාරණා ශ්‍රී ලංකාවේ රථවාහන තදබදයට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල රථවාහන තදබදය විශාල ගැටලුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනයා තමන්ගේ අදායමට සරිලන පරිදි කෙසේ හෝ වාහනයක් මිල දී ගැනීමට උත්සාහ කරති . ඒ හේතුවෙන් මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන පරිදි විශාල වාහන ප්‍රමාණයක් එකතු වේ.

ශ්‍රී ලංකාවේ වාහන සංඥා පද්ධතියේ පවතින දුබලතාවයන් හේතුවෙන් ද රථවාහන තදබදය වැඩි වී තිබේ. ඇතැම් නගරවල ධාවනය වන වාහන ප්‍රමාණය මනාව කළමනාකරණය කර ගැනීමට නොහැකි ලෙස වාහන සංඥා පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබේ. මෙවැනි අවස්ථාවලදී මිනිසුන් අතරද ආරවුල් ඇති වේ. උදාහරණයක් ලෙස මංසන්ධිවල එක් මාර්ගයක වාහන ඉක්මණින් යවන විට , අනෙක් මාර්ගයේ වාහන සුළු ප්‍රමාණයක් පමණක් එක් අවස්ථාවක දී යැවීම පෙන්වා දීමට පුළුවන. එලෙස මහජනයාට එක් ස්ථානයක බොහෝ වේලාවක් සිටීමට සිදු වීම නිසා යා යුතු ස්ථානයට නිසි වේලාවට යාමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ රථවාහන තදබදය මුළු මහත් ජනතාවටම දැඩි බලපෑමක් සිදු වන සංසිද්ධියක් වී තිබේ. උදාහරණයක් ලෙස එදිනෙදා රැකියාවන්ට පිටත්වන ජනයාට නියමිත වේලාවට තම රැකියාවට යාමේ අපහසු වීම පෙන්වා දීමට පුළුවන .

විදේශීය සංකල්ප

මාර්ග පළල් කිරීම මගින් රථවාහන තදබදය යම්තාක් දුරකට පාලනය කිරීමට පුළුවන. ශ්‍රී ලංකාවේ මංතීරු 2 , මංතීරු 04 දක්වා වැඩි කළ හැකි නමුත්, මංතීරු 04 , මංතීරු 06 දක්වා වැඩි කිරීමට නොහැකි ය . ඊට හේතුව ශ්‍රී ලංකාවේ අතීතයේ නිර්මාණය කරන ලද මාර්ග අඩු පළලකින් යුක්ත වීම ය. අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේ දී ඇතැම් විට ඇතුළුවන සීමාව පළලින් නිර්මාණය කළ ද , අනෙක් ප්‍රදේශය පළල අඩු කොට සකස් කර තිබීම, එක් නගරයක් තුළ අධිවේගී මාර්ග කිහිපයක් සකස් කර නොතිබිම වැනි කරුණු හේතුවෙන් ද ශ්‍රී ලංකාවේ රථවාහන තදබදය ඇති වී තිබේ.

පෘතුගීසී, ලන්දේසි, සහ ඉංග්‍රීසි පාලන කාලවලදී නගර සැලසුම් කිරීමේදී නිසි කළමනාකරණයකින් සහ විද්‍යාත්මක පදනමකින් තොරව, දූරදර්ශීව සිතා කටයුතු නොකිරීමෙන්, වර්තමානය වන විට මාර්ග පද්ධතිය තුළ වෙනස්කම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් පවතී. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුරය , තුළ ද අතීතයේ සිටම පැවති නගර සැලසුම් හේතුවෙන් වර්තමානය වන විට රථවාහන තදබදය පාලනය කිරීමට නොහැකි වි තිබේ. මේ වන විට බත්තරමුල්ල නගරය තුළ රජයේ ආයතන බොහොමයක් ස්ථාපිත කර ඇතත්, එම ප්‍රදේශයේ මාර්ග පළලින් අඩු වීම හේතුවෙන් රථ වාහන තදබදය උග්‍ර වී තිබේ. එහෙත් හම්බන්තොට ප්‍රදේශයේ මාර්ග පද්ධතීන් වැඩි පළලකින් යුක්තව, දූරදර්ශීව සිතා නිර්මාණය කර ඇති බැවින් රථවාහන තදබදය පාලනය වේ.

ලෝකයේ දියුණු රටවල නගරවලට පැමිණෙන වාහන සීමා කිරීම සඳහා විධිමත් ක්‍රාමෝපායන් භාවිත කරනු ලබයි. බ්‍රිතාන්‍යය, අමෙරිකාව වැනි රටවල නගරවලට ඇතුළු වීමේ දොරටු සහ කලාප (zone) පිහිටුවා ඇත. නගරයට පිටතින් පිහිටා ඇති දොරටු සහ කලාපවල ධාවනය කිරීමේදී මුදලක් අය නොකරනු ලබයි. එහෙත් නගරය ඇතුළත දොරටු හෝ කලාපවලට අවතීර්ණ වීමේ දී සැලකිය යුතු මුදලක් ගෙවීමට සිදු වේ. එබැවින් නගර මැදට ඇතුළු වන්නේ, දැඩි අවශ්‍යතාවයක් පවතින පුද්ගලයකුම පමණි. සෑම පුද්ගලයකුම ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ගෙවීමට අපහසු නිසාවෙන් නගර මැදට පැමිණෙන වාහන ප්‍රමාණය සීමා වේ.

සංවර්ධිත රටවල වාහන නැවැත්වීම සඳහා අධික මුදල් ප්‍රමාණයක් අය කිරීම හේතුවෙන් නගරවලට ඇතුළුවන වාහන සීමා කර තිබේ. තව ද ලන්ඩනය , එංගලන්තය යන රටවල මාර්ගවල කොළ රැල්ල, (Green wave ) නමැති සංකල්පය හදුන්වා දී තිබේ. මෙහිදි පුද්ගලයකු කොළ රැල්ල (Green wave) තුළින් මාර්ගයට අවතීර්ණ වුවාට පසු , ඊට අනුගත එකම වේගයක්, ඇතුළු නීති පද්ධතියක් අනුගමනය කළ යුතු වේ. එසේ නොකළහොත් මාර්ගයේ ඉදිරියට යාමේ දී නැවත වාරයක් කොළ රැල්ල හමු නොවේ. එක් එක් අවස්ථාවල දී වාහනයේ වේගය වෙනස් වූවහොත් හෝ නීතියට පටහැනි ලෙස වාහනය ධාවනය කළහොත් ඊට අදාළ දඩුවම් දීම ද සිදු කෙරේ. මෙමගින් නීති රීතිවලට අනුකූලව වාහන ධාවනය කිරීමට හැකි රියැදුරන් පමණක් නගරවලට පැමිණිම හේතුවෙන් නගරය මැදට පැමිණෙන රථවාහන සීමා වීමක් සිදු වේ.

Park and ride සංකල්පය යනු වාහන නවත්වා ගමන් කිරීම ය. උදාහරණයක් වශයෙන් ගාල්ල හෝ මාතර සිට වාහනයකින්, කොළඹට පැමිණි පුද්ගලයකු, තම වාහනය, කොළඹ ස්ථානයක නවතා තබා තමන්ගේ කාර්යය සඳහා පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කිරීම ය. ලංකාවේ මෙම සංකල්පය 2009 - 2010 අතර කාල සීමාවේ දී කොළඹ ප්‍රවාහන කොමිසම විසින් රත්මලාන නගරයට හඳුන්වා දුන්න ද, එය දීර්ඝ කාලයක් නොපැවතුණි. ඊට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ඉක්මණින් ළඟා විය හැකි අන්දමට පොදු ප්‍රවාහන සේවය විධිමත් නොවීම සහ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු, තම රථය නවතා දමා, පහසුකම්වලින් අඩු පොදු ප්‍රවාහන සේවයක් භාවිත කිරීමට අකමැති වීම යන කාරණාවන් ය.

ගමනාගමනය මූලික කරගත් සංවර්ධනය (transit-oriented development) දැවැන්ත සංකල්පයකි. මෙහිදී නගරයේ මීටර් 400-500 පමණ සීමාවක් දක්වාම පෞද්ගලික වාහන ඇතුළුවීම සීමා කෙරේ . එහෙත් මෙම සංකල්පය යටතේ නගරයේ පොදු ප්‍රවාහන පද්ධතිය මගින් මිනිසුන්ට තමන්ට අවශ්‍ය ස්ථානවලට ඉක්මණින් සහ සුඛෝපභෝගී අන්දමට ගමන් කිරීමට පුළුවන.

අමෙරිකාවෙහි ප්‍රචලිත සංකල්පයක් වන car pooling මඟින් පුද්ගලයකු, දෙදෙනකුට වඩා වැඩි සංඛ්‍යාවක් සමග වාහනයක ගමන් කරන විට විශේෂ මාර්ගවල ධාවනය කිරීමට අවස්ථාව හිමි වේ. මාර්ග වැඩි වශයෙන් තිබෙන නගරවල මෙය දැක ගැනීමට පුළුවන. මෙමගින් පිරිසක් සමඟ වාහනයක ගමන් කරන විට ඉතාමත් ඉක්මණින් අවශ්‍ය ස්ථානයට යාමේ හැකියාව ලැබේ.

වාහන තදබදය පාලනය

විදේශ රටවල පවතින්නේ ගමනාගමනය මූලික කර ගත් සංවර්ධනයකි. මෙහි දී රැකියා අවස්ථා බෝහොමයක් පවතින නගරයක, විශාල මිනිස් ප්‍රජාවකට ජීවත්විය හැකි මහල් නිවාස සංකීර්ණ ගොඩනඟා ඊට සමගාමී ව පොදු ප්‍රවාහන සේවයක් (transport corridor ) නිර්මාණය කිරීම මගින් රථවාහන තදබදය අවම කර ගැනීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ රථ වාහන තදබදය ඇති වීම සඳහා බස් රථ රියැදුරන්ගේ නොසැලිකිලිමත්බව සහ සංයමයෙන් තොර බව ද වඩාත් බලපා තිබේ. එහෙත් විදේශ රටවල බස් රථ සේවාවෙහි, අනුමත කළ වේගයකට ධාවනය වීම, බස් නැවතුම් පොළවල්වල නැවැත්විය යුතු කාලසීමාව ඉක්මවා නොනැවැත්වීම, ඉදිරියෙන් යන බස් රථය පසුකර නොයෑම, අනෙකුත් බස් රථ සමඟ තරගකාරීත්වයක් නොමැති වීම, යනාදී ලක්ෂණ දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ජා කිරීමෙන් අනතුරුව මාර්ග සැලසුම් නිර්මාණය කිරීම වඩාත් සුදුසු ය. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මාර්ග නිර්මාණය කිරීම සහ ඉදි කිරීම යන කාර්යයන් දෙකම සිදු නොකොට ඒ සඳහා නාගරික නිර්මාණකරුවන්ගෙන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් උපදෙස් ගැනීම කළ යුතු ය.

දීර්ඝ කාලීන වශයෙන් ජනතාව සහ රථවාහන වැඩි ප්‍රමාණයක් එක්වන මංසන්ධි ආශ්‍රීතව රථවාහන තදබදය දැඩි ලෙස දැක ගැනීමට පුළුවන. එවැනි ස්ථාන හඳුනාගෙන, රථ වාහන තදබදය පාලනය කිරීමේ දිගු කාලීන ප්‍රතිපත්ති සකස් කළ යුතු ය. උදාහරණයක් වශයෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවන මංසන්ධිය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනී. එලෙස සිදු වී ඇත්තේ උදෑසන කාලයේ රැකියාවන්ට සහ පාසල්වලට යන ප්‍රජාවගේ ද, දහවල් කාලයේ පාසල් ගොස් පැමිණෙන ප්‍රජාවගේ ද, සවසට රැකියාට ගොස් පැමිණෙන පිරිස් ද හේතුකොට ගෙන ය. විශේෂයෙන් ම ලංකාවේ ප්‍රධාන නගර සඳහා පැමිණෙන පුද්ගලයින් කල් වේලා ඇතිව තමන්ගේ වාසස්ථානයෙන් පිටත් වීමට මතක තබා‍ ගත යුතු ය.

විකල්ප පොදු ප්‍රවාහන පද්ධතීන් නිර්මාණය කිරීම මඟින් ද රථවාහන තද බදය පාලනය කිරීමට හැකි වේ. උදාහරණයක් වශයෙන් සැහැල්ලු දුම්රිය මාර්ග ඉදි කිරිම මඟින් යම් තරමකට රථවාහන තදබදය පාලනය කර ගත හැක. එමෙන් ම මාර්ගවල රථ වාහන හිර වී පවතින ස්ථාන සොයා බලා , එම තත්ත්වය පාලනය කිරීම සදහා කළ යුතු දෑ පිළිබඳව රියැදුරන් දැනුවත් කිරීම වැදගත් ය.

මිනිසුන්ට වඩාත් ප්‍රයෝජනවත් විශාල ප්‍රමාණයේ වාහනයක් වන බස් රථ, මාර්ගවල නිසි පරිදි ධාවනය නොවීම මඟින් අනෙකුත් වාහනවලට ද දැඩි බලපෑමක් සිදු වේ. එම නිසා ශ්‍රී ලංකාවේ බස් රථ ධාවනය කරන රියැදුරන්ට නිසි ක්‍රමවේදයකට අනුව, සංයමශීලීව බස් රථ ධාවනය කිරීමට පුහුණු කිරීම හිතකරය. රථවාහන ධාවනය කරන රියැදුරන් අනෙකුත් රියැදුරන් පිළිබඳව පරාර්ථකාමීත්වයෙන් කටයුතු කළ යුතු වේ. ඒ සඳහා රියදුරන් තුළ යහපත් ගුණධර්ම ඇති කිරීම සඳහා රජය ක්‍රියා කළ යුතු ය.

ක්ෂණීක විසදුම්

ශ්‍රී ලංකාවේ රථවාහන තදබදය කළමනාකරණය (Traffic management) සඳහා දීර්ඝ කාලීන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වේ. තව ද ශ්‍රී ලංකාවේ මාර්ගවල පවතින තදබදය ක්ෂණයකින් හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් ද හැකි ඉක්මණින් ලබා දීම සඳහා නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් (security system) නිර්මාණය කළ යුතු ය.

ලංකාවේ නගරබඳව පවතින මාර්ග බොහොමයක් අතීතයේ නිර්මාණය කරන ලද ඒවා ය. ඒ හේතුවෙන් රජය නව මාර්ග නිර්මාණය කිරීමේ දී වර්තමානයේ දක්නට ලැබෙන වාහන ප්‍රමාණයට සාපේක්ෂව, දූරදර්ශීව සිතා බලා කටයුතු කළ යුතු ය. ලංකාවේ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා ඉදිරිපත්වන අංශ සහ අදාළ බලධාරීන් රටේ ගෙවී ගිය අවුරුදු 25-30 අතර කාල සීමාවේදී රථ වාහන තදබදය සිදු වූයේ කෙසේ ද? දැනට පවතින තත්ත්වය කුමක් ද? යන්න පිළිබඳව පර්යේෂණාත්මක ගවේෂණයක් සිදු කොට, ඉදිරි අනාගතයේදී රටේ පවතින රථවාහන තදබදය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වඩාත් යහපත් ය.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website