Thursday, 06 June 2019 01:02

මවුපියන් අහිමි වූ දරුවන්ට සහන සලසන පියවර අගයමු

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආබාධිත වූ හා මවුපියන් අහිමි වූ හෝ මවුපියන් ආබාධිත වූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 500ක ළමා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. පාස්කු ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට අවශ්‍ය වූවහොත් රජයෙන් වියදම් දැරීමටත් වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතා සැපිරීමටත් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා කළ අප පුවත්පත ඒ සඳහා වන විශේෂ කැබිනට් පත්‍රිකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

විශේෂ ඇගයීමට ලක් කළ යුතු පියවරකි. දෙයක් වූ විට සතියෙන් දෙකෙන් ඒ සියල්ල අප සමාජය අමතක කර දමන බවට චෝදනාවකි. එය චෝදනාවකටත් වඩා සත්‍යයට වඩාත් සමීප වූ තත්ත්වයකි. අවසානයේ වින්දිතයන්ට සියල්ල තනිවම දරා ඉවසාගෙන සිටීමට සිදුවේ. පොදු විපතකින් අනතුරුව එබඳු තත්ත්වයක් නිර්මාණය වීම කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.

පාස්කු ඉරුදින මෙරට පුරවැසියන් දේවස්ථාන කරා ගියේ සිය ආගම දහම ඇදහීමටය. හෝටල් කරා ගියේ විවේකය විනෝදයෙන් ගතකර ඒමටය. මරාගෙන මැරෙණ අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූයේ ඒ මොහොතේය. තුන්සිය පනහකට වැඩි පිරිසක් මිය ගියහ. පන්සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිය ප්‍රහාර සඳහා තෝරාගත් ස්ථාන එහි පැමිණි සිටි පිරිස් පෞද්ගලිකව ඉලක්ක කර තෝරාගත් ස්ථානද නොවේ. ඔවුන්ට වුවමනා වූයේ තම මනදොළ සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට මිනිස් බිලි ප්‍රමාණයකි. එම පුරවැසියන් සිය ජිවිතයෙන්ද සිය සිරුරෙන්ද වන්දි ගෙව්වේ ඒ පාපතර වුවමනාවටය.

අනපේක්ෂිත අනතුරෙන් ආබාධිතවූ දරුවන් වෙනුවෙන් මෙන්ම මවුපියන් අහිමිවූ දරුවන් වෙනුවෙන් සහන සැලසීමට රුපියල් මිලියන 500 ක ළමා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කිරීම වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. එමගින් කියැවෙන්නේ විනාශය රුපියල් ශතවලින් ගණනය කරන බව හෝ එසේ කළ හැකිබව හෝ නොවේ. ආබාධිතයන්ට වින්දිතයන්ට තම ජීවිතය පවත්වාගෙන යාමට එබඳු පිහිටක් අවැසි හෙයිනි.

තිස් වසරක යුද සමයේදීද සාමාන්‍ය ජනයා ඉලක්ක කරමින් කොටි ත්‍රස්තවාදීහු ප්‍රහාර එල්ල කළහ. බස් බෝම්බ පුපුරවා හැරියහ. ජිවිතය සම්බන්ධ මහ මෙරක් උසට බලාපොරොත්තු පොදි බැඳ සිටි ජනයා මහ මඟ අකාලයේ මිය ගියහ. සදාකාලික ආබාධීත භාවයට පත්වූහ. පවුලක්ම රක්ෂා කළ පියා මිය ගියේය. එක්කෝ ආබාධිත විය.

සැබවින්ම ඒ දරුපවුල් වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීය. ඒ දරුපවුල්වල අද තත්ත්වය කෙබඳුදැයි පසු විපරමක්ද නැත. තමන්ගේ නොවන යුද්ධයකට තමන්ගේ ජිවිත වලින් වන්දි ගෙවූ මිනිසුන් එසේ නොසලකා හැරීම යුක්ති සහගත නැත. එහෙත් එයට වඩා වැඩි මනක් යමක් කිරීමට තරම් පරිසරයක්ද නොවූ බව ද තේරුම් ගත යුතුය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ආබාධිත හා වින්දිත දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වඩාත් අගය කළයුතු වන්නේද ඉහත පරිසරයට යටත්වය.

මෙබඳු සද් කාර්යයකට මුළු රටම ඒකාත්මික කරගැනීමේ දියුණු වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්නේ නම් එයද වැදගත්ය. රටේ සෙසු ජනයාට මෙබඳු සත්කාරයකට මැදිහත්වීමේ ඉඩකඩක් තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතුය.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ මහජනයාගේ දුක් ගැනවිලි බාරගැනීමට විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ ඒකකයක් පිහිටුවූ බවය. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ස්ථාපිත කර ඇති එම විශේෂ ඒකකයට දේශපාලන පළිගැනීම් මෙන්ම වංචා දූෂණ චෝදනා ආදිය ඉදිරිපත් කළ හැකිය.

එයද එක් යහපත් ප්‍රවණතාවකි. අප වැනි රටක මහජනයා හැඳින්වෙන්නේ ‘හඬක් නැති මිනිසුන්’ ලෙසය. දේශපාලන බලයට යටත් කළ මිනිසුන් ලෙසය. එබඳු මිනිසුන් සිතන්නේ ‘කළු ගල්වල ඔළුව හප්පා ගත නොහැකි’ බවය. එබඳු හඬක් නැති මිනිසුන් වෙනුවෙන් හඬක් නැඟීමට තැනක් තිබීම වැදගත්ය. තමන්ට සිදුවන අයුක්තියක්, අසාධාරණයක් දැනුම්දී යුක්තියක් සාධාරණයක් ඉටුකර ගැනීමට ප්‍රයත්නයක් දැරිය හැකි විශ්වසනීය ස්ථානයක් තිබීමෙන් මහජනයාගේ ආකල්පද වෙනස්වේ. රටක් ඉදිරියට යායුතුවන්නේ එබඳු යහපත් ප්‍රවණතා සමඟිනි.

(ලංකාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website