Friday, 07 June 2019 09:45

පරම සත්‍යයය සංහිඳියාවේ ජනතා භූමිකාව

මම බෞද්ධයෙක්. ඒ මම කියන නිසා නොවේ මම බුද්ධා‍ගමේ මූලික ධර්මයන් සහ බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරන නිසාය. ශ්‍රී ලංකාවේ දී බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන මෙන් ඉල්ලන විටත්, රට බුද්ධ සාසනයට කැප කර ඇතැයි කියන විටත් බුදු සමයේ එන දයානුකම්පාව, ඉවසීම සහ සාමය යන වටිනාකම් නැතිවන බව පමණි මා පවසා සිටියේ.

ස්වාධීන සහ ස්වෛරී ජාතියක් ලෙස නිදහස ලැබූ දින සිටම ශ්‍රී ලාංකිකයෝ ප්‍රධාන ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකක් අතර බෙදී ජීවත් වූහ. එක්සත් බවේ දේශපාලනයේ සහ බෙදීමේ දේශපාලනයේ බෙදීම ඇති වූයේ එදා සිටය. විවිධ ජාති, ආගම් සහ භෞමික වශයෙන් බෙදීමට ලක් කළ මිනිසුන් එකට එකතු කිරීමට අති මහත් විත්ත ධෛර්යයක් සහ පුළුල් ජාතික දැක්මක් අවශ්‍යය. අවාසනාවකට මෙන් දේශපාලනික, ආගමික හෝ ව්‍යාපාරික වශයෙන් නායකත්වයට පත්වීමේ අවශ්‍යතා ඇති, කෙටි මාර්ග තෝරන ඇතැම් අය නිතරම ජනතාව භේද කර එයින්වාසි ලබාගැනීමට අපේක්ෂා කරති.

එල්.ටී.ටී.ඊ. වැනි ඇතැම් කණ්ඩායම් මේ රට ජාතීන් සහ භෞමික සාධක මඟින් බෙදීමට උත්සාහ කළහ. ඉතා මෑතකදී සහරාන් හෂීම්ගේ රැඩිකල් ඉස්ලාම්වාදී කල්ලිය සහ අයිඑස්අයිඑස් කල්ලිය තමන්ව සහ අහිංසකයින් සිය ගණනක් පුපුරවාගෙන රට ගිනි තැබීමට උත්සාහ දැරූහ. මේ ත්‍රස්ත ක්‍රියාව සියලුම ශ්‍රී ලාංකිකයෝ හෙළා දකිති. මේ ප්‍රහාරවලට ගොදුරු වූ අයට අපි අසීමිත ලෙස ණයගැති වෙමු. ඔවුන්පිළිබඳ ශෝකය සදාකාලිකය. එජාපය අවසානය දක්වාම ඔවුන් සමඟ සිටියි.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාව එක්සත් වීම වළක්වා බෙදීමට ලක්කරන එකම කණ්ඩායම මේ ත්‍රස්තවාදී කල්ලිය පමණක් නොවේ. 1983 දී එල්.ටී.ටී.ඊ.ය. සිදුකළ අපරාධයකට අහිංසක දෙමළ සිවිල් වැසියන් දරුණු ලෙසින් පීඩාවට පත් කළ අවාසනාවන්ත සිදු වීම නොදැක්කා සේ සිටීම ගැන ඇතැම් ජාතික නායකයන් පිරිසක් චෝදනාවට ලක්වේ. 1989 කැරැල්ලේ දී අන්තවාදීන් සියලුම ආගම් සහ ජාතීන්ට අයත් අය කුරිරු ලෙස ඝාතනය කෙරිණි. එවකට ආණ්ඩුව ද ඉතා දරුණු ලෙස එම කැරැල්ල මර්දනය කළ අතර එදා, ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් සුරැකීමට ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලා ජිනීවා ගියේ වෙනත් කිසිවකු නොව මහින්ද රාජපක්ෂයි.

පසුගිය කාලයේ එක්සත් රටක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් බොහෝ පියවරයන් ගනු ලැබුවා. රට පිටුපසට ඇදීමෙන් වාසි ලබන අය, අප ඉදිරි පියවරක් ගත් සෑම විටෙකම කල්ලිවාදී රේඛා ඔස්සේ අපව පසුපසට ඇදීමට කටයුතු කරනවා.

දෙමළ ජාතිකයන්ගෙන් බහුතරය එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය නොදුන් බව පුනපුනා පැවැසිය යුතු නැත, එසේම බහුතර සිංහල ජනතාවද ජවිපෙ කැරැල්ලට සහාය දුන්නේ නැත, ඉස්ලාමය රැඩිකල් කිරීම මුස්ලිම් බහුතරය පිළිකුල් කරති. එසේම කලබල ඇති කරමින් අහිංසකයින්ව දඩයම් කිරීමට සුළු පිරිසක් ගත් උත්සාහය ද කතෝලිකයන් බහුතරය සහ අනිකුත් ක්‍රිස්තියානි බහුතරය ද ප්‍රතික්ෂේප කළහ.

බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය කළ බවට සහ සෑම කුෆී ඇඳුමකටම යටින් ත්‍රස්තවාදියකු ඇතැයි යන වර්ගවාදී ව්‍යාජ ප්‍රලාපය පතුරමින් අපගේ අපරාධ යුක්ති විනිශ්වය පද්ධතිය කොල්ල කෑමට මේ දඩයමට පණ පෙවූ අය 2015 වසරට පෙර අහිංසක කඩහිමියන් පණපිටින් පිළිස්සීමට මැරයන් මෙහෙය වීමට වගකිව යුතු අයම වෙති. මේ වෛරී ක්‍රියාවන් හමුවේ නිහඬව සහයෝගයෙන් කටයුතු කිරීම බරපතල පාපයක් වන අතර එවැන්ජලින්ත පල්ලිවලට ප්‍රහාර එල්ල වීම පසුගිය රෙජිමයට නිහඬ ආශිර්වාදයක් වූ අතර එම මැරයින් පිරිසම මෙවර මැර ප්‍රහාර එල්ල කිරීමට මූලික වූහ. සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට කැමැති බහුතර අනුගාමිකයන් මේ කළහකාරී ගිහි පැවිදි පිරිස අනුමත කරන්නේ නැත.

එහෙත් වර්තමානයේ ජාතීන් අතර සාමය සහ සහජීවනය තිබීම පිරිසකට පැහැදිලි අනතුරක් වී තිබේ. ඒ රටට හෝ එහි වැසියන්ට නොවේ, එහෙත් එය අනතුරක් වන්නේ ඇතැම් දේශපාලනඥයින් පිරිසකට, මාධ්‍ය ආයතන කිහිපයකට, දේශපාලන සංවිධාන කිහිපයකට සහ පූජ්‍ය පක්ෂයේ ඇතැම් පිරිසකටය. එක්සත් ශ්‍රී ලංකාවේ දී මුස්ලිම්වරුන්ට බෞද්ධයන් සමඟ ගැටුමක් නැත, සිංහල ජනයා දෙමළ ජනයා බියපත් කර නැත, ක්‍රිස්තුභක්තිකයන්ට නිදහසේ ආගම ඇදහීමට හැකි වේ. එවිට ඉහත කී අය අවශ්‍ය වන්නේ නැත.

කුමන හෝ දේශපාලන පක්ෂයක්, මාධ්‍ය ආයතනයක් හෝ ආගමික නායකත්වය එක් ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමකින් යැපෙන්නේ නම් අනිත් අය කෙරෙහි බියක් දක්වන්නේ නම් අප ඔවුන්ගැන කල්පනාකාරී විය යුතුය. ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ බෙදීම ඉස්මතු කිරීම මඟින් නම් අපගේ එක්සත් බව බිඳීමෙන් නම් අප ඔවුන් ගැන ප්‍රවේසම් විය යුතුය. මුස්ලිම් වෛද්‍යවරුන් තමන්ව වඳ බවට පත් කරන බවට සිංහල කාන්තාවන් අතර බියක් නොපවතින විට, ආගම ජාතිය නොබලා ‍තම වෛද්‍යවරයා තෝරාගැනීමට කෙනෙක් සූදානම් විට ඔවුන්ට ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතුරු වන භූමිකාවක් නොමැත. ක්‍රිස්තියානි භක්තිකයකු වන අ‍යකුට දේශපාලන සාර්ථකත්වය ලබා ගැනීමට බුද්ධාගමට හැරීමට අවශ්‍ය නොවන තත්ත්වයකදී ඔවුන්ට හිමි වන භූමිකාව කුමක්ද? තමන්ගේ රැකියාවට, නිවාස ලබාගැනීමට හෝ විවාහයට ආගම හෝ ජාතිකත්වය බලපාන්නේ නැති කාලයක් උදා වීමේ දී මේ අයට හිමි වන තැන කුමක්ද?

ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයකට පත් වීමේදී තමන්ට කිසිම තැනක් හිමි නොවන බව ජනතාව දැනගන්නවාට ඔවුන් කැමැති නැත. එවිට කිසිවකු ඔවුන්ට ඡන්දය ලබාදෙන්නේ ද නැත, ඔවුන්ව වන්දනාමාන කරන්නේ ද නැත, කිසිවකු ඔවුන්ට වෙළෙඳ දැන්වීම් සපයන්නේ නැත, කිසිවකු ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැත. ඔවුන් අපව බියට පත් කිරීමට උත්සාහ දරන්නේ එබැවිනි. අපව බෙදීමට ඔවුන් උත්සාහ දරන්නේ එබැවිනි. අපව එක්සත් කිරීමට උත්සාහ දරණ ඕනෑම අයකු නිර්දය ලෙස සහ අනුකම්පා විරහිත ලෙස ඔවුන්ගේ ඉලක්කයට ලක් වන්නේ එබැවිනි. තමන්ගේ පැත්තේ සිටිනා තුරු පුද්ගලයකු අයත් වන්නේ කුමන ආගමකට ද, පක්ෂයකට ද ඔහු සහාය දක්වන්නේ කාටද යන්න ඔවුන් සලකා බලන්නේ නැත.

පොදුජන එක්සත් පෙරමුණේ හෙන්චයියන් වූ මාධ්‍ය සහ පූජ්‍ය පක්ෂය අතර රිෂාඩ් බදියුදීන්ට නරක නාමයක් ලැබුණේ කෙසේ දැයි සියලු දෙනාම දැනගත යුතුය. නීති විරෝධී අන්දමින් ආණ්ඩුව පෙරළා දැමීමට පසුගිය ඔක්තෝබර් 26 වැනිදා දැරූ උත්සාහයේ දී අද ත්‍රස්තවාදියකු ලෙස ඔවුන් විසින්ම නම් කර සිටින මේ බදියුදීන් ඇමැතිවරයාගෙන්ම තමන්ගේ ආණ්ඩුවට සහාය ලබාදෙන ලෙස ඔවුහු ආයාචනය කළහ. ඔහුට අල්ලස් දීමටද ඔවුහු උත්සාහ දැරූහ. එහෙත් නීති විරෝධී ආණ්ඩුවට සහාය දීම බදියුදීන් ප්‍රතික්ෂේප කළේය.

මගේ වචනය විශ්වාස කරන්න එදා ඔහු මහින්ද රාජපක්ෂට සහාය පළ කළා නම් අද ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් පළ වන්නේ නැත. ඔහුට ත්‍රස්තවාදියකු යැයි කියන්නේද නැත. එසේ වූයේ නම් අලුත් ගොදුරක් සොයා ගනු ඇත. අද දවසේ පවා ඔහු තමන්ගේ පාර්ශ්වයට සහාය දෙන්නේ නම් ඔහුගේ ත්‍රස්තවාදී ලේබලය ඉවත් කිරීමට පොරොන්දු ලබා දී තිබේ. දශකයකට වැඩි කාලයක් ඔවුන්ගේ ආණ්ඩුවේම කැබිනට් ඇමැතිවරයකු ලෙස මේ තැනැත්තාම සේවය කළේය. ඔහු අද දවසේ එජාපය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකට සිටගත් විට හදිසියේම එක රැයෙන් ත්‍රස්තවාදියකු බවට පරිවර්තනය වී ඇත.

වරක් නොව දෙවරක් නොව තුන් වරක්ම දෝෂාභියෝග ඉදිරිපත් කර පරාජයට පත් වූ සහ මාසයකට වැඩි කාලයක් නීති විරෝධී අන්දමින් පාර්ලිමේන්තුවේ බලය ඩැහැගෙන සිටි පිරිසක් මේ මිනිසාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම මහත් උත්ප්‍රාසයට කාරණාවකි. 2018 නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුව භීතියට පත් කිරීමට මේ පිරිස ගෙන ගිය අසාර්ථක උත්සාහ දෙස සමස්ත රටත්, මුළු මහත් ලෝකයත් බලා සිටියේය.

අපේ රටේ ඡන්දයෙන් පත් වන සහ පත්වීම් ලබන සියලුම නිලධාරීහු ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත්, සුරැකීමටත් දිවුරුම් දෙති. ත්‍රස්තවාදය ඇතුළු ඕනෑම අපරාධයක වරදකරු කවුදැයි යන්න තීරණය කිරීමට කිසිම දේශපාලනඥයකුට, පූජ්‍ය පක්ෂයට හෝ සමාජ මාධ්‍ය වෙත බලය හිමිවන්නේ නැත. මෙය නිසි පොලිස් පරීක්ෂණයකින් සහ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයකු විසින් ඉටු කළයුතු පූජනීය රාජකාරී කටයුත්තකි.

අපට වරදකරුවකු යැයි ඔප්පු වනතුරු සියලුම පුරවැසියන් නිවැරැදිකරුවන් යැයි පිළිගන්නා සාඩම්බරණීය අධිකරණ ක්‍රමවේදයක් ඇත. එවැනි රටක් වුවත් කිසිදු සාක්ෂියක් ලැබීමටත් පෙර කැබිනට් ඇමැතිවරයකු සහ තවත් පිරිසක් වරදකරුවන් යැයි තීරණය කර මේ පුද්ගලයන් සිව් දෙනාට එරෙහිව යම් හෝ තොරතුරු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටීමට සිදු වී තිබේ. ජාතිවාදීන් සහ විදේශිකයන් නොරුස්සන පිරිසක් අප රටේ නීතිය මංකොල්ලකා අධිකරණ ක්‍රමවේදය උඩුයටිකුරු කර ඇත.

රිෂාඩ් බදියුදීන් හෝ වෙනත් ඕනෑම අයෙක් අපරාධයක් සිදුකර ඇත්නම් අපරාධ පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදයක් පවතියි. ඔවුන්ට එරෙහි චෝදනා උසාවියක් හමුවට ඉදිරිපත් කර යුක්තිය පසිඳලීම සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටියක් පවතියි. ඔවුන් වරදක් සිදුකර ඇතිනම් ඔවුන් දඬුවම් විඳිය යුතුමය. විශේෂයෙන්ම වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙම සිද්ධීන්ට වගකිව යුතු බාහිර පාර්ශ්ව සිටීනම් ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකර නෛතික ක්‍රියාමාර්ග කරා යොමු කිරීමට අපගේ පොලීසියට සහ ආරක්ෂක හමුදාවලට පෙර නොවූ විරූ ස්වාධීනත්වයක් හිමි වී තිබේ.

එහෙත් අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නොවූ ආකාරයට මිනිසුන් වරදකරුවන් යැයි මාධ්‍ය මඟින් සහ පාර්ලිමේන්තුවේ කළින්ම නියම කර ඔහු සැබැවින්ම අපරාධයක් සිදුකර ඇත්දැයි බැලීමට පසුව පොලීසිය මඟින් සාක්ෂි රැස්කරවීම සිදු වී තිබේ. අද දවසේ ත්‍රස්තවාදී චෝදනා එල්ල වන්නේ මුස්ලිම් නායකයන්ටය. හෙට දවසේ ඒ චෝදනාව නැඟෙන්නේ කාටද? ඔවුන්ට නැඟෙන චෝදනා මොනවා විය හැකිද? මෙය නව ප්‍රවණතාවයක් වුවහොත් ඕනෑම අයකුට එරෙහිව මෙවැනි මැර කල්ලි මෙහෙය වීමට ඉඩ සැලසෙනු ඇත.

එක් අතකට වෛරය පොවා ප්‍රචණ්ඩත්වයට යොමුකර තමන්ගේ දේශපාලන සහ ආගමික නායකයන් විසින් ගිල් වූ ඇමකට හසු වී ඔවුන්ගේ මෙහෙය වීම මත මෙසේ පාරට ආ මේ ශ්‍රී ලාංකිකයන් ගැන අප අනුකම්පා කළ යුතුවේ. මේ ඇතැම් අය මගේ ක්‍රියාවන් ගැන නොසරුප් ලෙස බැණ වදින්නේ තමන්ගේ ගෝත්‍රික නායකයන් විවේචනය කරන ඕනෑම කෙනකුට බිය වීමට ඔවුන් පුහුණු කර ඇති නිසාය.

ඔවුන්ට ඇමක් ලබා දී, කසයෙන් තලමින්, උමතුවට පොළඹවන මේ නායකයන්ට අපගේ අනුකම්පාව හිමි නොවිය යුතුය. ඔවුන් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටියත්, තමන්ට පූජ්‍ය පක්ෂය යැයි කියාගත්තත්, මුද්‍රිත පුවත්පත් යැයි කියා ගත්තත්, අපගේ ගුවන් තරංග භාවිත කළත් එකිනෙකාට එරෙහිව මැර කල්ලි මෙහෙය වීමට හොඳින්ම දැනගෙන සිටිති. සාමකාමීව සිටින්නැයි හමුදාවේ මාර්ෂල්වරුන්, ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් විශේෂයෙන්ම ඉල්ලා සිටි අවදියක දේශපාලනඥයෝ, ආගමික නායකයෝ සහ මාධ්‍ය කුවේරයෝ වර්ගවාදී සහ ආගම්වාදී වෛරය අවුලමින් අපව තවත් යුද්ධයකට තල්ලු කිරීමට කැස කවති.

ප්‍රතිපත්ති සුරකිමින් රටේ එක්සත්භාවය රැකීමට මා කටයුතු කිරීම ගැන මාගේ මවුපියන් ආඩම්බරයට පත්වන බවට මට කිසිම සැකයක් නැත. අපේ රට ගිනි තැබීමට උත්සාහ දරන අය, ඔවුන් අද සිදු කරන මේ නරක ක්‍රියාව ගැන අනාගතයේ එක් දවසක ඔවුන්ගේ දරුවන්, මුණුපුරන් වෙතින්ම දෝෂ දර්ශනයට ලක් වන බව නිසැකයි. කිසිම බොරුවකට සදාකාලික විය නොහැකියි. එසේම ඔවුන්ගේ ස්වාර්ථකාමී දෙපිටකාට්ටු වැඩ ගැන කවදා හෝ දිනක මුළු රටම තේරුම් ගනු ඇත.

සියලු ආගම් සහ විශ්වාසයන් ඇති, විවිධ ජනවර්ග නියෝජනය කරන සහ දේශපාලන විවිධත්වය ඇති බහුතර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රමාද වීමට පෙර හඬ නැඟීමට අප කටයුතු කළ යුතුය. ඔබ ත්‍රස්තවාදයට විරුද්ධ නම්, දේශපාලන අරමුණු ජයගැනීමට ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට විරුද්ධ නම්, ඔබ ඉදිරියට පැමිණ කතා කළ යුතුය. කෙනකු අපරාධයකට වරදකරු යැයි නියම කිරීමට පෙර එම චෝදනාව ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කළ යුතු යැයි විශ්වාස කරන්නේ නම් ඔබ ඉදිරියට පැමිණ කතා කළ යුතුය. ඔබේ දරුවන් සාමකාමී එක්සත් ශ්‍රී ලංකාවක සහජීවනයෙන් ජීවත් විය යුතු යැයි ඔබ විශ්වාස කරන්නේ නම් ඔබ ඉදිරියට පැමිණ කතා කළ යුතුය. රැඩිකල් ඉස්ලාම් අන්තවාදය හෝ රැඩිකල් මුස්ලිම් විරෝධී අන්තවාදය සහ අනිකුත් සියලුම ආකාරයේ ජාතිවාදී වෛරී අන්තවාදයන්ට අපගේ මාතෘභූමියේ තවත් ඉඩ නොතැබිය යුතු යැයි ඔබ විශ්වාස කරන්නේ නම් ඔබ ඉදිරියට පැමිණ කතා කළ යුතුය.

අන්තවාදීන් අගය කිරීමට හෝ ඔවුන් සමඟ අතරමැදි එකඟතාවයකට පැමිණීමට කිසිවිටෙකත් කටයුතු නොකරන්න. නිසැකවම ඔවුන් ඔබ පාවිච්චියට ගෙන ඔවුන්ගේ අන්තවාදය දෙසට ඇදගෙන යනු ඇත. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම නොසලකා හරිමින් ඔහුගේ කාලයේ සිටි අන්තවාදීන්ට අවස්ථාව උදාකර දීම ගැන මම හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විවේචනය කරමි. අවසානයේ ඔහුට ඔවුන් සතුටු කිරීමටවත් නොවී ඒ වෙනුවට තම ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදු විය.

තමන්ගේ උදරයට වෙඩි උණ්ඩ ඇතුළු වී, වෛරයට සහ පළිගැනීමට ඕනෑතරම් හේතු තිබියදීත් තම රට එක්සත්ව තබාගැනීමට ඔහු ගත් උත්සාහය විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. බුද්ධා‍ගමේ සත්‍ය අර්ථයෙන්ම තමන්ගේ ඝාතකයාට දයානුකම්පාව පෙන්වීමට බණ්ඩාරනායක අමතක කළේ නැත. “මේ අවස්ථාවේ කලබල නොවී ඉවසීමෙන් ක‍ටයුතු කරන ලෙස මම මගේ රට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි මියයමින් සිටි අගමැතිවරයා කීවේය. ඒ අවස්ථාවේ දී සන්සුන් ලෙස සිටිමින් ධෛර්යවත්ව සහ නොපැකිලව පවතින තත්ත්වයට මුහුණ දෙන මෙන් ඔහු තම සමීපයන්ගෙන් ඉල්ලා සිටියේය.

මම බෞද්ධයෙක්. ඒ මම කියන නිසා නොවේ මම බුද්ධා‍ගමේ මූලික ධර්මයන් සහ බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරන නිසාය. ශ්‍රී ලංකාවේ දී බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන මෙන් ඉල්ලන විටත්, රට බුද්ධ සාසනයට කැප කර ඇතැයි කියන විටත් බුදු සමයේ එන දයානුකම්පාව, ඉවසීම සහ සාමය යන වටිනාකම් නැතිවන බව පමණි මා පවසා සිටියේ.

“වෛරයෙන් වෛරය නොසන්සිඳෙන්නේය” යන්න ධම්මපදයේ එන ප්‍රකටම දේශනාවකි. මේ සතියේ කබීර් හෂීම් සහ රාවුෆ් හකීම් මුස්ලිම් ඇමැතිවරුන්ගේ මෙහෙය වීමෙන් මේ බුද්ධ වචනයට ජීවය දුන්හ. වෛරයේ ගොදුරක් වූ තම සහෝදරයා වෙනුවෙන් එකාවන්ව එකට සිටගත්හ.

එහෙත් බුද්ධාගමේ ආරක්ෂකයන් වශයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් වන අප විශේෂයෙන්ම බෞද්ධයන් බුදුන්වහන්සේගේ නාමයෙන් වෛරය, අසහනකාරී බව සහ ප්‍රචණ්ඩත්වය දේශනා කරන්නන්ට එරෙහිව සිය හඬ අවදි කළ යුතුය.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270