Saturday, 08 June 2019 10:15

බිහිසුණු උගුලට නොවැටෙමු

පුරවැසි ශ්‍රී ලාංකික ජාතිකවාදයක් නැතහොත් ස්වදේශික ජාතිකවාදයක් වෙනුවට සිංහල, දෙමළ සහ මුස්ලිම් අනන්‍යතා මත පදනම් වුණු ප්‍රතිගාමී වාර්ගික සහ ආගමික නැතහොත් එත්නික් ජාතිකවාදයක් නිර්මාණය කිරීමේ බල දේශපාලන කූටෝපායික ඉතිහාස කතාවේ සුවිශේෂී මොහොතකට ලංකාව එළඹ සිටී. 

එය සුවිශේෂී වන්නේ ජන සමාජයට යහපතක් අත්කරදීම හෝ අත්කර දෙන නිසා නොවේ. අතිශයින් ම භේදකාරී, විසිරුණු සහ නග්න පසමිතුරු රටකට මඟ පාදන නිසාය. මේ මොහොතේ ප්‍රධාන මතු වීම් කීපයකි. මුස්ලිම් සමාජයේ පැළුමකින් මතු වූ ජන සංහාරක ත්‍රස්තවාදය ඉන් එකකි. සිංහල බෞද්ධ සමාජයේ පැළුමකින් මතු වූ හුදු සිංහල බෞද්ධ යැයි කියාගත් ලුම්පන් හැසිරීම තව එකකි. තම සමාජයෙන් මතුවූ ජන සංහාරක ත්‍රස්තවාදයේ ඇතිවීම සහ වර්ධනය වීම වැළැක්වීමට මුස්ලිම් සමාජයට නොහැකි විය. ඒ තරම් වුවමනාවක් ද නොවීය. උගුරට හොරෙන් බෙහෙත් කන පරිද්දෙන් ඒ හරහා තම වර්ගයේ බලය හා මහන්තත්වය අන්‍යාකාරයකින් නඩත්තු වීම ඉවසා සිටියේය. 

ඒ පරිද්දෙන්ම හරයාත්මක දාර්ශනික පදනමකට උරුමකම් කියන තම ජන සමාජයෙන් ව්‍යුත්පන්නව මතුවන ලුම්පන් හැසිරීම ලත් තැනම ලොප් කිරීමට සිංහල සහ බෞද්ධ සමාජයට ද නොහැකි විය. එක්කෝ ඕනෑකමක් නොවීය. දාර්ශනික මූල සහ ප්‍රතිමානවලින් ඈත්ව හුදු ආයතනික රාමුවකට කොටු වී සිටි නායක හිමිවරුන් එවැනි වුවමනාවක් පෙන්නුම් කළේ නැත. මැදිහත් වුණේ ද නැත. එසේම පොදුජන සමාජය සමඟ සරල බෞද්ධ ඇදහීම් නඩත්තු කළ කුඩා පන්සල් ද අලුත් අලුත් පුද පූජා හඳුන්වාදීම නිසාම අලුතින් බලවත්, ජනප්‍රිය සහ ධනවත් වූ හිමිවරුන් සහ කාලීන බණ යැයි නම් ලද දේශන පවත්වන හිමිවරුන්ගේ රැල්ල අනුගමනය කළා මිස බුදු දහමේ සහ පැවැත්මේ දාර්ශනික මූල හෝ ප්‍රතිමානාත්මක කරුණු කාරණා ගැන අවධානය යොමු කළා මදිය. එක්කෝ අවධානය යොමුකළේ නැත. පොදු ජන අවධානය යොමු කර වූයේ ද නැත. ඒ අනුව මේ සමාජ දෙකේ ම ආගමික භාරකාර ආයතනික ව්‍යුහ තම වගකීම් නිසි ලෙස ඉටු කොට නැත.

එවැනි පසුබිමක වුවත් සාමාන්‍ය සිංහල බෞද්ධ අවිඥානය අතිශයින්ම දාර්ශනික හරයන්ට අනුව හික්ම වී තිබීම පිළිබඳ පසුගිය දශකවල උදාහරණ බොහෝ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ගේ නිසි අවධානයට ලක්වී නැත. කොටින් විසින් ජය ශ්‍රී මහා බෝධිය අබියස සිදු කරන ලද සිංහල බෞද්ධ මිනිස් ඝාතනය, අරන්තලාවේ භික්ෂු ඝාතනය, සිංහල ගම්මානවල මහා මිනිස් ඝාතන, බස් බෝම්බ මගින් කළ මහා මිනිස් ඝාතන, තැන තැන විවිධාකාරයෙන් සිදුකළ මහා මිනිස් ඝාතන සහ දළදා මාළිගාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය යනාදී මේ කිසිදු ප්‍රහාරයකට දෙමළ ජනයාගෙන් පළි ගැනීමට සිංහල බෞද්ධ ජනයා පාරට බැස්සේ නැත. ඒ නියම සිංහල බෞද්ධ ගිහි හැසිරීමය. එකල ඔවුන් ඊට උසි ගන්වන ලුම්පන් රංචු හෝ සංවිධාන තිබුණෙත් නැත. නො දැනුවත් අතිශයින්ම සාමාන්‍ය සිංහල ජනයා පවා පාරට බැස්සෙත් නැත. බස්සවන්න කිසිවකු උත්සාහ කළෙත් නැත. පාරට බැස්සා නම් බැස්සේ කොටි විරෝධය, ආණ්ඩු විරෝධය සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ විරෝධය පෙන්වීමට මිස දෙමළ විරෝධය සඳහා නොවේ. ඒ තත්ත්වය අප අමතක කළ යුතු නැත. අසූ තුනේ බැස්සේ අර සිංහලත් නොවන බෞද්ධත් නොවන නමුත් එසේ යැයි කියා ගත් ලුම්පන් රංචුය. ඊට පිටුපසින් සිටියෝ ලුම්පන් පාලකයෝය. පසුගිය දවස්වල බැස්සෙත් ඒ ලුම්පන් රංචුය. හැබැයි ඒ බැසීම අසූ තුනට වඩා සංවිධානත්මකය, උපායිකය.

කතෝලික සමාජය මෑත ඉතිහාසය පුරාවටම පෙන්නුම් කළේ අර දෙකටම වෙනස් තත්ත්වයකි. එනම් එම සමාජයේ පැළුම් තුළින් විවිධ අන්තවාදී පාර්ශ්ව බිහි වී ඇතත් ඒවා පර පීඩක මරණීය ක්‍රියාවලට තවම පෙළඹී නැත. එසේම අපේ රටේ මෑත ඉතිහාසය තුළ කතෝලික සමාජය තුළින් අන්‍ය විරෝධී ලුම්පන් හැසිරීම් මතු වුණේ ද නැත. ඒ හැසිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ද වෙනස් වුණේ නැත. එහෙත් කතෝලික සමාජය ද අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ තම සමාජයේ පැළුම්වලින් ද මෙවැනි බිහිසුණු තත්ත්ව නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බවය. එය තලියේ කිඹුල්ලු  දැකීමක් නොවේ. නයින් නැතත් හුඹස් සැකයි කියා ගැමි කියමනක් අපේ අම්මා නිතර කියනු මා අසා තිබේ.  

එය එසේ වන අතරම, පාස්කු ඉරිදා සිදුවීම ගැන අප අවධානය යොමු කරමු. පාස්කු ඉරිදා සිවිල් ජන සංහාරයෙන් පසුව සිංහල කතෝලික ජනයාත් සිංහල බෞද්ධ ජනයාත් හැසිරුණේ අතිශයින්ම කම්පිත සහ භීතික මනෝ භාවයකින්ය. ඔවුහු කාගෙන්වත් පළිගැනීමට නොගියහ. සමස්ත මුස්ලිම් ජනයාට චෝදනා කළේ ද නැත. එසේම තව්හිද්වාදී නොවන මුස්ලිම් ජනයා ද සිටියේ කම්පිතව සහ බියෙන්ය. ඒ නිසාම තව්හිද්වාදී ඝාතකයන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට සැපයුවේ ද ඔවුන්ය. කවුරු කවුරුත් වහ වහා ක්‍රියා කළේ තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමටය. කල් ගත කළේ වසර දහයකට පසු රට පත් වූ ඛේදවාචකය ගැන දැඩි කනගාටුවකින්ය.

බෙදා පාලනය කිරීමේ හෝ විනාශ කිරීමේ පාලක වුවමනාව කරළියට පැමිණියේ එවැනි පසුබිමකය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් නො ඇවිස්සුණු භේද නොවුණු පොදු ජන මනසට ඒ මොහොතේ කිසිදු අදාළත්වයක් නැති ප්‍රකාශයක් කඩාපාත් කෙරුණි. එනම් “මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ” යන ප්‍රකාශය මංගල සමරවීර ඇමතිවරයා වරක් නොව දෙවරක්ම දමා ගසන්නේ එවැනි සාකච්ඡාවක් මතු නොවී තිබුණු මොහොතකය. එයින් රට ගිනි ගත්තේ නැත. ඒ ලුම්පන් ප්‍රකාශයට ලුම්පන් ප්‍රතිචාර මතු වුණේ ද නැත. ඊට සංයමයකින් පිළිතුරු දුන්නේ කාදිනල් හිමියෝය. ප්‍රකාශය බෝම්බයක් නම් එය නො පිපිරුණි. කාදිනල් හිමියන් විසින් එය නිෂ්ක්‍රීය කරනු ලැබීය. ප්‍රකාශය කිරීමේ අරමුණ ව්‍යර්ථ විණි.

එසේම කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, ෆෙරියල් අෂ්රොෆ් සහ අලි සබ්රි වැනි ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් පුවත් සාකච්ඡා තියමින් සමාජය නිවීමේ කටයුත්තේ නිරත වුණේ කාගේත් ප්‍රසංශාව ලබමින්ය. ඔවුහු, තව්හිද්වාදීන් සහ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් අතර වෙනස මනාව පැහැදිලි කළෝය.  ඒ නිසා රට ගිනි තියන්නට ලුම්පන් බලවේගවලට හැදෙන ඉඩ ඇහිරිණි. ඒ සියල්ල මැද මුස්ලිම් ඇවතුම් පැවතුම් ගැන ස්වයං නැතහොත් අභ්‍යන්තරික සාකච්ඡා, ශ්‍රී ලාංකික නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස, ආරක්ෂාව පිළිබඳ පොදු එකඟතා සහ කැප කිරීම් කරළියට ආවේ සම්මුතිවාදී ස්වරූපයකින් වීම පැසසිය යුත්තකි. පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පමණ පසු සිදු වූ ලුම්පන් ප්‍රචණ්ඩ ක්‍රියා දිග්ගැස්සුණු ක්‍රියාවලියක් බවට වර්ධනය නොවුණේත් මහා සමාජය ඒ මඟට නො පිවිසුණෙත් ඒ තත්ත්වය නිසාය. එනිසා  ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස සිටි පාර්ශවවල අරමුණු ඉටු නොවීය.

තව්හිද්වාදී ප්‍රචණ්ඩත්වය පිටුපස සිටිනවා යැයි කියමින් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට, ඇමතිවරයකුට සහ මන්ත්‍රීවරයකුට එරෙහිව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා දැඩිව නැඟෙන චෝදනා ඒ කලාපවලින් නොනැවතී පාර්ලිමේන්තු විවාදවල මාතෘකා බවට පත් විණි. ඒවා දෛනික පොදුජන සාකච්ඡා බවට පත් විණි. ඒවායේ සුවිශේෂීතාවක් වූයේ ඒ චෝදනා සමස්ත මුස්ලිම් ආගමික ඇමතීන් සහ මන්ත්‍රීන් අරබයා එල්ල නොවීමය. එනම් සත්‍ය අසත්‍ය බව කුමක් වුවත් චෝදනාව එල්ල වූයේ අර මුලින් කී සතරදෙනාට මිසක සියලු_ මුස්ලිම් ආගමික මැති ඇමතීන්ට නොවේ. ඇතැම් මුස්ලිම් ආගමික මන්ත්‍රීන් පවා මේ චෝදනා නගන්නන්ගේ පිළේ සිටීම ද විශේෂ ය. එහෙත් චෝදනාවලට ලක්වූවන් උත්සාහ කළේ ඒවා සමස්ත මුස්ලිම් සමාජයටම එල්ල වන සේ හුවා දැක්වීමටය. එය සාර්ථක නොවූයේ චෝදනා එල්ල කරන්නන් නිශ්චිතවම පුද්ගලයන් නම්කොට ඒ කාර්යය සිදු කිරීම නිසාය.

මේ සමාජ බලපෑම හමුවේ ආණ්ඩුව පරණ අරමුණ ම ඉටු කර ගැනීම සඳහා අලුත් උපායක් ක්‍රියාත්මක කළේය. ආණ්ඩුවේ සිටින සියලු මුස්ලිම් ආගමික ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වන ලෙස නියෝග කිරීම ඒ අලුත් උපායයි. සමහරුන්ට මෙය නාටකයකි. එහෙත් ඇත්තටම නම් එය නාටකයක් නොවන සජීවී සමාජ ඛේදවාචකයකි. සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ චෝදනාවලට ලක් නොවූ අය ඉල්ලා අස් කරවීම නිසා සාමකාමී සාතිශය බහුතර මුස්ලිම් ජනයා ද අර තව්හිද්වාදී ගොඩට ඇද දමා ඇත. එසේම සිංහල දෙමළ ජනයාගේ ද ප්‍රසාදය ප්‍රබලව නිබඳව ලබන මුස්ලිම් නායකයන් ඒ ප්‍රසාදයෙන් ඈතට තල්ලු කොට ඇත. ඔවුන් අසරණ කොට හුදකලා කොට ඇත. සිංහල ජනයාගේ ප්‍රසාදය ලබන කබීර් හෂීම් වැනි අයට ඉල්ලා අස්වීමට සිදුවීම ඊට නිදසුනකි. එසේම සාමකාමී මුස්ලිම් ප්‍රජාව පිළිබඳ විශ්වාසය අත්හරින්න යැයි ආණ්ඩුව නොකියා කියා ඇත. තව්හිද්වාදයේ ජයග්‍රහණයට පාර කපා ඇත. කැත වාර්ගික සහ ආගමික බෙදීම්වලට පාර කපා ඇත.

කොටිවාදය විසින් දෙමළ නායකයන් ඉල්ලා අස්කරනු ලැබ, දෙමළ ජන සමාජය ශ්‍රී ලාංකික ජාතිකවාදයෙන් ඈත් කොට ඇති කළ මහා ව්‍යසනය සිහියට ගන්න. මේ ඉල්ලා අස්කරවීමේ අරමුණ එවැන්නක් විය නොහැකිද? කළ යුතුව තිබුණේ හුදු ආගම්වාදී හෝ ජාතිවාදී පදනමක් නොමැතිව එල්ල වූ චෝදනා නෛතිකව නිසි ලෙස විමර්ශනයට ලක් කිරීම සඳහා සම්මත ආයතනික ක්‍රියාමාර්ගයක් ගැනීම මිස ව්‍යසනය තවත් වර්ධනය කරන කැත දේශපාලන ක්‍රීඩාවක නිරතවීම නොවේ. මෙය උගුලකි. මේ උගුල පාස්කු ප්‍රහාරයට වඩා බිහිසුණුය. කබීර් හෂීම් ෆෙරියල් අෂ්රෆ් වැනි අය තම අව්‍යාජ හඬ ඉක්මනින්ම අවදි කළ යුතු ය. එය ශ්‍රී ලාංකික ජාතිකවාදය සුනු විසුනු කරන උපායකට මහා ව්‍යසනයකට එරෙහිව කරන මහා කැපකිරීමකි. නැතහොත් ඔබලා ද උගුල් අටවන්නන්ගේ ගොඩට වැටීම වැළැක්විය නො හැකිය. රටට මගේ යෝජනාව වන්නේ අපි මෙම උගුලේ නොවැටෙමු යන්නය.

(ලංකාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website