Saturday, 08 June 2019 10:17

චීන-අමෙරිකා සටන මැද ෂංග්‍රිලා සංවාදය

චීන - අමෙරිකා උණුසුම පළමු ලෝක යුද්ධය වැනි තත්ත්වයක් ඇති කරනු ඇතිද යන කාරණය ගැන පිලිපීන ආරක්ෂක ලේකම් බිය පළකර සිටියේ ය. පිලිපීනයට ඒ ගැන පසුතැවීමට කාරණාද තිබේ. ඉන් ප්‍රධාන වන්නේ එරට හා අමෙරිකාව අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් තිබීමය. දකුණු චීන මුහුදේ ආරක්ෂාව හා ස්ථාවරත්වය ෂංග්‍රිලා සංවාදයේදී අවධානයට ලක්වූ ප්‍රධාන කාරණයකි.

ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට ස්වෛරී රාජ්‍යවලට කලාපීය වශයෙන් ඇති බැඳීමට අමතරව බටහිර බලවතුන්ගේ ආධිපත්‍යයට මුහුණදීමට ද සිදුව තිබේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ, මහබලවතුන් සමඟ කටයුතු කිරීම කුඩා රටවලට වඩා සංකීර්ණ වී ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසය

ෂංග්‍රිලා සංවාදය’ යනුවෙන් ප්‍රකට ආසියාවේ මුල්ම ආරක්ෂක සමුළුවේ 18 වැන්න සිංගප්පුරුවේදී පැවැත්විණි. මැයි 31 වැනිදා ආරම්භව එය ජුනි 2 වැනිදා නිමාවට පත්විය.

ආසියා - පැසිෆික් කලාපීය රටවල් 28ක ආරක්ෂක ඇමැතිවරු සහ ආරක්ෂක ප්‍රධානීහු මේ සමුළුවට සහභාගි වෙති. ශ්‍රී ලංකාවද එහි සාමාජිකයෙකි. කලාපීය රටවලට අමතරව ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය යන රටවල ආරක්ෂක ඇමැතිවරු හා ආරක්ෂක ප්‍රධානීහු ද මෙම සමුළුවට සහභාගි වෙති. 2002 වසරේදී ආරම්භක සමුළුව සිංගප්පුරුවේ ෂංග්‍රිලා, හෝටලයේදී පැවැති නිසා ‘ ෂංග්‍රිලා සංවාදය’ යනුවෙන් හැඳින් වුවද එහි නිලනාමය IISS ආසියානු ආරක්ෂක සමුළුවය. ස්වාධීන බුද්ධි සංචිතයක් වන ‘උපායමාර්ගික අධ්‍යයනය සඳහා වන අන්තර්ජාතික ආයතනය’ (IISS) වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි. කලාපීයව වැදගත් ආරක්ෂක ප්‍රශ්න හා කාරණා මූලික වශයෙන් සංවාදයට ගැනෙන අතර ඊට සහභාගිවන රටවල් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාද පැවැත්වේ.

ද්විපාර්ශ්වික සාකච්ඡා

මෙවර 18 වෙනි ෂංග්‍රිලා සංවාදය පැවැතියේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වී තිබූ පසුබිමකය. මෙම සමුළුවට දෙරටේම ඉහළම පෙළේ ආරක්ෂක ප්‍රධානීහු සහභාගි වූහ. ආරම්භක දිනය මුළුමනින්ම පාහේ වෙන්ව තිබුණේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහාය. සමුළුවේ ප්‍රධාන දේශනය කළේ සිංගප්පූරු අගමැති ලී ෂියෙන්ලුංග් විසිනි. දෙවැනි දිනයේ පළමු සැසිය වෙන්වුණේ අමෙරිකානු වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් එම් ෂනාන්ගේ දේශනය සඳහාය. ‘ඉන්දු - පැසිෆික් ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාවේ දැක්ම යන්න ඔහුගේ තේමාව විය. චීන - අමෙරිකා උණුසුම පළමු ලෝක යුද්ධය වැනි තත්ත්වයක් ඇති කරණු ඇතිද යන කාරණය ගැන පිලිපීන ආරක්ෂක ලේකම් බිය පළකර සිටියේ ය. පිලිපීනයට ඒ ගැන පසුතැවීමට කාරණාද තිබේ. ඉන් ප්‍රධාන වන්නේ එරට හා අමෙරිකාව අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් තිබීමය. දකුණු චීන මුහුදේ ආරක්ෂාව හා ස්ථාවරත්වය ෂංග්‍රිලා සංවාදයේදී අවධානයට ලක්වූ ප්‍රධාන කාරණයකි.

වියට්නාම ආරක්ෂක ඇමැති, ජෙනරාල් ස්ගෝ ෂුවාන් ලීඩ්, සමුළුවට සහභාගිවෙමින් අවධාරණය කළේ, ජාත්‍යන්තර නීතියට අනුව හා සමානාත්මතා පදනම යටතේ ගැටලු විසඳාගැනීමට වෑයම් කරන රටවල් සමඟ වියට්නාමයද සිටින බවය.

චීන - අමෙරිකා සබඳතා පිළිබඳ සිංගප්පුරු අගමැති ලී කළ විෂය මූලික විශ්ලේෂණය චීනයේ අගය කිරීමට ලක්විය. එම සමස්ත දේශනය චීනයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වී තිබිණි. චීන ආරක්ෂක ඇමැති, ජෙනරාල් වෙයි ෆෙංග්ගේ දේශනයේ මාතෘකාව, චීනය හා අන්තර්ජාතික ආරක්ෂක සහයෝගිතාව ය. ඔහු නොබියව අදහස් දැක්වූ බව පැහැදිලි විය. දකුණු චීන මුහුදේ අමෙරිකානු ක්‍රියාකාරකම් හා තායිවානය සමඟ එක්ව අමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ග චීන ආරක්ෂක ඇමැතිවරයාගේ දැඩි අවධානය යොමුවිය. රටක් නම් කිරීමෙන් වැළැකෙමින් වුවද අන්තර්ජාතික ගිවිසුම් හා සංවිධානවලින් ඉවත්වෙමින් ඒකපාර්ශවිකව ක්‍රියාකරන රටවල් ඔහු සිය පළමු ෂංග්‍රිලා සංවාද දෙසුමෙන්ම විවේචනය කළේය. මේ විවේචනය ඉදිරිපත්වූයේ කා සම්බන්ධයෙන්ද යන්න නොරහසකි.

බියන්ආටෙක් චතුරස්‍රයේ සිදුවීම්වල 30 වැනි සංවත්සරය යෙදී තිබුණේද මේ දිනවලදීය. තායිවානය එය සැමරීමටද කටයුතු කළේය. චීනය අවධාරණය කරන්නේ තායිවාන ප්‍රශ්නය තම රටේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාව සමඟ බද්ධ වී ඇති එකක් බවය. නිදහස ප්‍රකාශ කිරීමට ගන්නා කවර හෝ වෑයමක් මෙන්ම විදේශීය මැදිහත්වීමක් අසාර්ථක කරනු ඇති බවද චීනය තායිවානය සමඟ සාමකාමීව බැඳි සිටිනු ඇති බවද එසේ පවතිනතාක් බලය යෙදවීමක් සිදු නොවනු ඇති බවද චීන ආරක්ෂක ඇමැතිවරයා අවධාරණය කර තිබිණි. මෙවර සමුළුවේ චීන සහභාගිත්වය කැපී පෙනෙන්නේ, දශකයකට පමණ පසු පළමු වතාවට චීන ආරක්ෂක ඇමැතිවරයකු ඊට සහභාගි වූ බැවිනි. සාමාන්‍යයෙන් චීනය ෂංග්‍රිලා සංවාදයට සහභාගි කරවුයේ පහළ මට්ටමේ ආරක්ෂක ප්‍රධානියකුගේ නායකත්වය යටතේ වූ නියෝජිත පිරිසකි.

චීන ආරක්ෂක ඇමැතිවරයා සිය දේශ‍නයේදී 1970 ගණන්වල අමෙරිකාවේ කොන්ග්‍රසය විසින් සම්මත කළ තායිවාන සබඳතා පනත පවා ප්‍රශ්න කළේය. දේශීය නීතිය යටතේ තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත්වීමට කිසිදු සාධාරණ හේතුවක් අමෙරිකාවට ඇතැයි සොයාගත නොහැකි බව ඔහු මෙහිදී පැවැසීය. ‘තනි චීනයක්’ පිළිවෙතට ගරු කරන්නේ නම් අමෙරිකාව තායිවානය චීනයේම කොටසක් ලෙස පිළිගතයුතු බව බෙයිජිං හි අදහසය. එහෙත් තායිවාන සබඳතා පනත යටතේ තායිවානයට ස්වයං ආරක්ෂක අවි සැපයීමට පවා අමෙරිකාව ක්‍රියාකර තිබේ.

දකුණු චීන මුහුදේ ප්‍රශ්නය

එය කිසිසේත් චීනය සැහැල්ලුවට ගන්නා කාරණයක් නොවේ. තායිවානය වෙනම රටක් ලෙස සලකා කවර හෝ රටක් ක්‍රියාකිරීම ගැන චීනය එකඟ වන්නේවත් සතුටු වන්නේවත් නැත. දකුණු චීන මුහුදේ අර්බුදයක් ගැන කෙරෙන සංවාද පිළිබඳ අවධානය යොමුකරමින් චීන ආරක්ෂක ඇමැතිවරයා පෙන්වා දුන්නේ; එම මුහුදු කලාපය ස්ථායී බවය. සෑම වසරකම දකුණු චීන මුහුද හරහා නෞකා 100,000ක් පමණ යාත්‍රා කරන බව පැවසු ඔහු එහි තර්ජනයක් නැතිබවට එයම හොඳ නිදසුනක් බව කීවේය. ප්‍රශ්නය ඇත්තේ බාහිර පාර්ශ්ව දකුණු චීන මුහුදට පිවිසීම තුළ බවද ඔහු අවධාරණය කරයි. එම මුහුදු කලාපයේ දූපත්වලට ඇති අයිතිය මෙන්ම ඒවායේ ගුවන්පථ වැනි හමුදාමය පහසුකම් ඇති කිරීම සඳහා තම රටට ඇති අයිතිය සම්බන්ධයෙන්ද චීනය දැඩිව පෙනී සිටී.

සමුළුවේ ආරම්භක දිනයේම චීන ආරක්ෂක ඇමැතිවරයා සහ අමෙරිකාවේ වැඩබලන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක් පැවැත්විණ. එහිදී උපායමාර්ගික තලයේදී මනා සන්නිවේදනයක් පවත්වාගැනීම, හමුදාමය අංග අතර ඵලදායී සබඳතා පවත්වා ගැනීම ගැන දෙපාර්ශ්වයම එකිනෙකාට තහවුරු වී තිබේ. චීන - අමෙරිකා සබඳතාවන්ට අදාළව ඒවා ස්ථිරසාර සාධක බවද හඳුනාගෙන ඇත. ද්විපාර්ශ්වික සබඳතාවන්හි 40 වැනි සංවත්සරයද මේ වර්ෂයට යෙදී ඇති බව මෙහිදී සිහිපත් කෙරිණි. ඉකුත් දශක 4 තුළ උගත් අගනාම පාඩම දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්ත්ව තිබියදී වුවද සහයෝගිතාවයේ ප්‍රතිඵල නෙළාගැනීමට හැකිවීම බවද මෙහිදී අවධාරණය කර තිබිණි.

චීනය හා අමෙරිකාව අතර ගැටුමක් ඇතිවුවහොත් කලාපයේ සෙසු කුඩා රටවල් ගතයුත්තේ කාගේ පාර්ශ්වය ද යන ප්‍රශ්නයද පැන නැඟී තිබේ. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මහා බලවතුන් අතර තරගයේදී කුඩා රටවල්වලට එය බලපාන තරම සම්බන්ධයෙන් මාලදිවයින හා සොලමන් දූපත් හොඳම නිදසුනක් බවය. මෙවැනි අවස්ථාවකදී කුඩා රටවලට සිය පැවැත්ම වෙනුවෙන් උපායමාර්ගික පිළිවෙතක පිහිටා සිටීමට සිදුවේ.

ෂංග්‍රිලා සංවාදය වැදගත්වන තවත් කාරණයක් නම් ඉහළම පෙළේ ආරක්ෂක ප්‍රධානීහු සිය උපායමාර්ගික දැක්ම ඔස්සේ විවෘතව අදහස් දැක්වීමය. අමෙරිකාව සමඟ ඇති වෙළෙඳ යුද්ධයේදී චීනය සිය ආරක්ෂක රතු රේඛාව සලකුණු කළේද එලෙසය. කුඩා රටවල් කළයුත්තේ එක් පාර්ශ්වයක් සමඟ සිට ගැනීම නොව සිය අභිලාෂයන් ආරක්ෂා කිරීම බව සිංගප්පුරු අගමැතිවරයා මෙම සමුළුවේදී පෙන්වා දී තිබිණි. තම රට වැනි රටවලට කළහැකි බලපෑම ඉතා සීමිත බව ඔහු එහිදී පැවැසීය. අගමැති ලී අවධාරණය කරන්නේ සිංගප්පුරුව චීනය හා අමෙරිකාව යන දෙරට සමඟම සබඳතා පවත්වාගන්නා බවය. එක් පැත්තක් ගැනීමෙන් වළකින බවද ඔහු පවසා තිබිණි.

කුඩා රටවල අභියෝග

කෙසේවුවද බෙදීම ඇරැඹෙන්නේ කිසියම් පාර්ශ්වයක් විසින් ඔබ අපගේ මිතුරකුද නැතිද යන ප්‍රශ්නය විමසන තැන් සිටය යන්න ඔහු පෙන්වා දේ. බලවත් රටවල් අතර තරඟයේදී කුඩා රටවල හැසිරීම පැහැදිලිකර ගැනීමට මාලදිවයින ක්‍රියාකරමින් ඇති ආකාරය දැක්විය හැකිය. සාලේ මාලදිවයින් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පළමු විදේශ සංචාරය යෙදුණේ ඉන්දියාවටය. ඉන්දීය අගමැති මෝදි දෙවනවරට ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු දිව්රුම් දී මුල්ම විදේශ සංචාරය සඳහා තෝරාගන්නේ මාලදිවයිනය.

ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට ස්වෛරී රාජ්‍යයවලට කලාපීය වශයෙන් ඇති බැඳීමට අමතරව බටහිර බලවතුන්ගේ ආධිපත්‍යට මුහුණදීමට ද සිදුව තිබේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ, මහබලවතුන් සමඟ කටයුතු කිරීම කුඩා රටවලට වඩා සංකීර්ණ වී ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසය. සැබෑ අභියෝගය නම් කුඩා රාජ්‍ය ආර්ථිකමය, රාජ්‍ය තාන්ත්‍රිකමය හා හමුදාමය වශයෙන් අමෙරිකාව හා චීනය අතර ඇතිවන බෙදීමේදී උපායමාර්ගික අවකාශයක පුළුල් පරාසයක් දක්වා විහිදෙන පරිදි තමන්ගේම තෝරාගැනීම් ඔස්සේ ක්‍රියාත්මකවීමය. චීනයෙන් මෙන්ම අමෙරිකාව වෙතින් එල්ලවන පීඩනය හමුවේ කුඩා රටවලට ගෙවීමට සිදුවන දේශපාලන මෙන්ම ආර්ථික මිල එම තෝරා ගැනීම් ඔස්සේ ඉහළ යමින් ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(දිනමිණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website