Saturday, 08 June 2019 10:17

මේ ඇවිලෙන්නේ ඔක්තෝබර් 26 දා පිළිසිඳ ගත් වෛරයේ ගින්න ද?

මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රවාද ලෝකයේ ජීවත් වන ඕනෑම ජන වර්ගයක බලාධිකාරියේ වැජඹෙන ආගමික, දේශපාලන සහ ප්‍රභූ කල්ලි තම ආධිපත්‍ය සහතික කර ගැනීම සහ පවත්වා ගෙන යාම සඳහා මිත්‍යා කතාන්දර සහ බිල්ලන් නිරන්තරයෙන් නඩත්තු කළා. ඒ අතර ජාතිය වඳවීම, ආගම, භාෂාව, සංස්කෘතිය විනාශ වීම ප්‍රමුඛය.

ලංකාව ගත්තත් 1956 දී මෙරට දමිළ ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රබල විවේචනය, භීතිය වුණේ ‘‘සිංහල භාෂාව විනාශ වන බවයි’’ එදා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට අවශ්‍ය පසුබිම සම්පාදනය කළේ මේ භීතියයි. ඒත් 1956 සිට (නාමිකව රාජ්‍ය භාෂාව කළ ද) දත්ත සැලකුවත් සිංහල භාෂාව වැනසී ගොස් නැහැ. එය ක්‍රමිකව ස්වේච්ඡාවෙන් පරිණාමයකට ලක්වීම පමණයි සිදු වී තිබෙන්නේ.

ඒ වගේම ‘‘සිංහල ජාතිය වඳවීම’’ සිංහල බෞද්ධයන් භීතියට පත් කිරීමට දැවැන්ත උත්තේජනයක් වෙලා තිබෙනවා.

ගංගොඩවිල සෝම හිමියන්ගේ මුළු ආගමික ව්‍යාපෘතියම නාභිගත වෙලා තිබුණේ මේ ‘‘වඳවීම’’ මතයි. ඒත් එදා සිට දශක දෙකක් ගත වුණත් සිංහල ජාතියේ කිසිම ආකාරයක වඳවීමක් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව දැකගත නොහැකියි.

උදාහරණයක් ලෙස 1911 ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජන සංයුතියේ ‘‘සිංහල’’ ජන ප්‍රතිශතය සියයට 65.4ක් පමණය. 2012 ජන සංගණනය වන විට එය සියයට 74.9 දක්වා වර්ධනය වී තිබෙනවා. අද බහුල වශයෙන් විවේචනයට ලක්වන මුස්ලිම් ජනගහණය 1911 දී සියයට 6.4 සිට 2012 වන විට සියයට 9.2 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේ අනුව අපට ඉතාම හොඳින් පැහැදිලි වන්නේ එදා, 1956 දී දමිළ ජනතාවට එරෙහිව සමාජගත කළ ‘‘සිංහල භාෂාව’’ සේම අද මුස්ලිම් ජනතාවට එරෙහිව සමාජගත කරමින් සිටින ‘‘සිංහලයා වඳවීම’’ ද කිසිදු ආකාරයක සත්‍ය හෝ යථාර්ථවාදී ප්‍රකාශනයක් නොවන බවයි. එය ඉතාම පැහැදිලිව අවස්ථාවාදී සහ වර්ගවාදී අවශ්‍යතාවන් වෙනුවෙන් නිර්මාණය කළ අතිෂය සාවද්‍ය කතාවක් පමණි.

සිංහල බෞද්ධ ජනගහන වර්ධනය තාර්කිකව සීමා කරන ‘‘හඳහන් ගැළපීම, කුලභේදය, උඩරට පහත රට භේදය, කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්න, කාන්තාවන් උසස් අධ්‍යාපනය ලැබීම, කාන්තාවන් රැකියා කිරීම ආදි තත්ත්වයන්ට, විශේෂයෙන් හඳහන් නොගැළපීම නිසා දිගින් දිගටම විවාහය ප්‍රමාද වන මිත්‍යාමය තත්ත්වයන්ට නිසි පිළිතුරු නො දී මුස්ලිම් ගැහැනියගේ ප්‍රජනන හැකියාව ප්‍රශ්න කිරීම කුහකකමක් බව ලියුම්කරුගේ අදහසයි.

මේ තත්ත්වය ම අවශ්‍ය නම් ආර්ථිකමය කාරණා මගින් ද පැහැදිලි කළ හැකිය.

‘‘මුස්ලිම් ජනතාව කරන්නේ වෙළෙඳාම පමණයි’’ යන්න කොතරම් ප්‍රවාදයක් ද යන්න අපට නැෙඟනහිර පළාතේ දැවැන්ත කුඹුරු ඉඩම්වලින් පමණක් නොවෙයි නැෙඟනහිර ඇතුළු මුහුදු තීරය දිගට සිදුවන ධීවර කර්මාන්තයෙන් ද මනාව වටහා ගත හැකිය.

එහෙත් පුදුමය වන්නේ මෙවැනි නිරවුල් සහ යථාර්ථවාදී සංඛ්‍යාමය දත්ත තිබිය දී පවා උගත් සිංහල බෞද්ධයා පවා මේ නූගත් සහ අවස්ථාවාදී ප්‍රලාප විශ්වාස කරන්නේ කුමක් නිසාද යන්නයි.

සිදුවන්නේ කුමක්ද ?

මෙය සියලූ දෙනාම, සෑම තැනකදීම අහන ප්‍රශ්නයකි. ලංකාවේ ජනවාර්ගිකධ්‍රැවීකරණය අතිශය සංකීර්ණ නිසා එයට පිළිතුරු දීමත් සංකීර්ණ කරුණක්. කොහොම වුණත් ලියුම්කරුගේ අදහස වෙන්නේ අද අවස්ථාවාදී ලෙස සඟවාගත් දැවැන්ත ඉස්ලාම් විරෝධයක් නඩත්තු කරමින් සිටින ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම වාමාංශික පක්ෂවලට 1994 දී එජාපයේ 17 වසරක පාලනය නිමා කරමින් ආණ්ඩු බලය ලබා ගැනීමට හැකිවන්නේ 90 දශකය වන විටය. එනම් ඒ.එච්.එම්. අශ්රොප් මහතාගේ නායකත්වයෙන් තීරණාත්මක ලෙස වර්ධනය වූ මුස්ලිම් දේශපාලනය නිසාය.

අද ඉතිහාසය අමතක බොහෝ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ලියුම්කරු ඉල්ලා සිටින්නේ 1994 අගෝස්තු 16වැනි දා පැවැත් වූ මහ මැතිවරණයේ ප්‍රතිඵල දෙස අවධානය යොමු කරන ලෙසයි.

එජාපයේ 17 වසරක අඛණ්ඩ පාලනයට කොතරම් දැවැන්ත විරෝධයක් තිබුණත් මෙම මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂ රැසක් ඇතුළත් ‘‘පොදුජන එක්සත් පෙරමුණ’’ ආසන 105ක් (ඡන්ද 38, 87, 823) ලබා ගන්නා විට එක්සත් ජාතික පක්ෂය ආසන 94ක් දිනා ගත්තා. (ඡන්ද 34, 98, 370) ගාමිණි දිසානායක වැනි දැවැන්ත චරිත සිටි එදා එජාපයට අසීරුවෙන් වූවත් ආණ්ඩුව පිහිටුවීමට සැලසුමක් තිබූ බවයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ සඳහා වන ප්‍රථම පියවර වශයෙන් එම මැතිවරණයෙන් ආසන 7ක් දිනාගෙන සිටි අශ්රොෆ් මහතාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය ලබා ගැනීම සඳහා වන සාකච්ඡාවට අශ්රොප් මහතා කැඳවා ගැනීමට හෙලිකොප්ටර් යානයක් ද යැවූ බව ඇතැමුන් කියනවා.

කතාව ඇත්ත. නැඟෙනහිර සිටි ආණ්ඩුවේ හෙලිකොප්ටර් යානයෙන් කොළඹ පැමිණි අශ්රොප් මහතා කෙළින්ම ගියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ළටෙය. එදා, 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානයට ආසන 112ක සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට වාසනාව ලැබුණේ අද ඔවුන්ටම වහ කඳුරු වී තිබෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අනුහසින් බව අවධාරණය කළ යුතුය.

එදා අශ්රොප් මහතාගේ සහාය එජාපයට හිමි වුණා නම් අදත් රට පාලනය කරන්නේ එජාපයම බව ඔවුන් දැනගත යුතුයි.

1994 අගොස්තුවේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක අශ්රොප් අතර ඇතිවුණ දේශපාලන සන්ධානය අශ්රොප් මහතා හදිසියේම මියයාම දක්වා අඛණ්ඩව හා ශක්තිමත්ව තිබුණ බව අපට අමතක කළ නොහැකියි. නොසිතූ අවස්ථාවක සිදු වූ ගුවන් යනා අනතුරින් අශ්රොප් මහතා මිය නොගියා නම් ලංකාවේ මුස්ලිම් දේශපාලන දිශානතිය මීට වඩා ප්‍රබුද්ධ සහ වර්ණවත් එකක් වන බවයි මධ්‍යස්ථ මතධාරීන් පවසන්නේ.

අශ්රොප් මහතාගෙන් පසුව එතුමාගේ වැන්දඹු බිරිය ෆේරියල් අශ්රොප් සහ අශ්රොප් මහතාගේ දේශපාලන පුත්‍රයා වන හකීම් මහතා ද පූර්වගාමීයාගේ භූමිකාව නිසි පරිදි නිරූපණය කළ බවයි අපිට දැකගත හැකි වන්නේ.

එදා සිට අඛණ්ඩව 2015 ජනාධිපතිවරණ දක්වා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රමුඛ මුස්ලිම් දේශපාලන පක්ෂවල සහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලොල් බවකින් භුක්තිවිඳි බව රටට රහසක් නොවෙයි. අද සිංහල බෞද්ධයන්ට වහකඳුරු වී සිටින රිෂාඩ් බදියුදීන්, ආතාවුල්ලා, ආදීන් ද 2005 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ජවය හා ආරක්ෂාව ලබා දුන් බව කිසිවකුට රහසක් නොවෙයි.

මුස්ලිම් දේශපාලනය හතුරෙකුවීම

මෙය ඉතාම පහසුවෙන් වටහා ගත හැකි කරුණක්. 2015 ජනාධිපතිවරණයේ දී දීපව්‍යාප්තව විසිරී සිටින මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්දවලින් අති බහුතරය හංසයාට නොලැබුණා නම් හංසයාට ඉඟිලීම කෙසේ වෙතත් වළපල්ලට යාමට සිදුවන බව සහතිකය. එදා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ විට තමන් තීරණාත්මකව පරාජයට පත්ව ඇති බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ප්‍රතිඵලය කැටි කොට දැක්වූයේ ‘‘සුළුජාතීන් මාව පරාජය කළා’’ කියායි.

ලියුම්කරුගේ අදහස මහින්ද රාජපක්ෂ මහතා යථාර්ථය මනාව වටහා ගත් බවයි. බැසිල් රාජපක්ෂ හදාවඩා ගෙන පෝෂණය කළ රිෂාඩ් බදියුදීන් බොහෝ දෙනකුට ‘‘පරයෙක්’’ වන්නේ ඒ මොහොතේ සිටයි.

ඒ වෛරයට හේතු සාධාරණය. රිෂාඩ්ගේ වන්නි ඡන්ද නැතිනම්, හකීම්ගේ නැඟෙනහිර සහ කඳුරට ඡන්ද නැතිනම් හංසයා කුමක් කරන්නද ? මුළු දකුණටම සියයට 55-60ක් මහින්දට දෙන විට, සිංහල බෞද්ධයන්ගෙන් අති බහුතරය රාජපක්ෂකරණය වූ විට සුළුජන ඡන්ද නැතිනම් හංසයා කුමක් කරන්නද ?

2015 ජනවාරි 9 වැනිදා උදෑසන සිට රෙජිම මාධ්‍ය තීරණාත්මක ලෙස හඳුනාගත් ‘‘මුස්ලිම් දේශපාලන ශක්තිය’’ ක්‍රමිකව මෙන්ම නිර්මාණාත්මක ලෙස අකර්මන්‍ය කිරීමේ මෙහෙයුම කොතරම් සියුම් ලෙස දියත් වුණා ද යන්න විල්පත්තුවේ සිට දිගන සහ අම්පාර දක්වා අඛණ්ඩව දියත් වුණ දැවැන්ත මාධ්‍ය සංදර්ශන මගින් මනාව පැහැදිලි කරගත හැකිය.

ජනවාරි 9වැනි දා පිළිසිඳ ගත් මුස්ලිම්වරුන්ට එරෙහි දේශපාලන වෛරය සදාකාලික වෛරයක්, වනසා දැමිය යුතු වෛරයක් බවට පත් වුණේ පසුගිය ඔක්තෝබර් ආණ්ඩු කුමන්ත්‍රණයෙන් පසුව බව ලියුම්කරුගේ අදහසයි. එදා හකීම් හෝ රිෂාඩ් කුමන්ත්‍රණයට සහාය දුන්නා නම් කුමක් වේද ? එසේ නම් අද පවතිනු ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් මිස රනිල් - මෛත්‍රි ආණ්ඩුවක් නොවෙයි. එදා, ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට සහාය නො දී එය කඩාකප්පල් කළ රිෂාඩ් - හකීම් යුවළට රෙජිම මාධ්‍ය කිසිම සමාවක් දෙනු ඇතැයි සිතීම මුලාවක් බව අප වටහා ගත යුතුය.

සහරාන් නම් ඉස්ලාම් අන්තවාදියා මේ වෛරයේ සේවා නූලට ගිනි තැබුවා හෝ නොතැබුවා මේ ගින්න ඉදිරි ජනපතිවරණයට පෙර තීරණාත්මක ලෙසත්, බිහිසුණු ලෙසත් ඇවිලීමට තිබූ බව දේශපාලන අඳබාලයකු නොවන ඕනෑම අයකුට පහසුවෙන් වැටහී යන කරුණකි. ඔබට අවශ්‍ය රෙජිම මාධ්‍ය අඛණ්ඩව වැපිරූ මේ ගින්න, 1994 අප්‍රේල් 7 සිට ජූලි 15වැනි දා දක්වා මුළු රුවන්ඩාවම අමු සොහොනක් කළ දැවැන්ත වාර්ගික සංහාරයට අවශ්‍ය සියලූ පසුබිම සැකසූ ‘මිල්ලේ කොලින්ස්’ගුවන් විදුලිය කළ අන්තවාර්ගවාදී මාධ්‍ය භාවිතයට සම කළ හැකියි. වත්මන් රෙජිම මාධ්‍ය භූමිකාව සම කළ හැකි ආසන්නම උදාහරණය එයම පමණය. ඇත්තටම හිට්ලර්ගේ යුදෙව් සංහාරයට පසුබිම සැකසූ ගොබෙස් පවා පරජය කරමින් ලංකාවේ රෙජිම මාධ්‍ය එකම බොරුව සිය වරක් නොව අවුරුදු හතරහාමාරක්ම කියමින් සිටිනවා.

ලංකාව ඉන්නේ ඇප පිට

මේ දේශපාලන අවස්ථාවාදයේ සහ මාධ්‍ය අවස්ථාවාදයේ අවසානය කුමක්ද කියලා බොහෝ දෙනෙක් විමසනවා. ඊට පෙර ලංකාව මුහුණ දී සිටින දේශපාලන උභතෝකෝටිකය වටහා ගත යුතුයි.

‘‘ලංකාව ඉන්නේ ඇප පිට. මෙහෙම ගියොත් රිමාන්ඞ් කරන එක ෂුවර්’’ ලියුම්කරු සමඟ මෙහෙක කතාවක් කිව්වේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඔහුට අනුව කොටි සංවිධානයට එරෙහිව සිදු වූ යුද්ධයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව මොන මොන කතා කිව්වත් දැවැන්ත ලෙස මානව හිමිකම් උල්ලංඝණය වූ බවට චෝදනා තිබෙනවා. ඒ වගේම රටේ ජනවාර්ගික සංහිඳියාව ගොඩනඟන බවට ලංකාව ජාත්‍යන්තරයට පොරොන්දුවක් ද දී තිබෙනවා. 2015 මාර්තු වන විට, අද මහින්ද සමරසිංහම කියන ආකාරයට ‘‘ජාත්‍යන්තර සම්බාධක’’ පැනවීමේ නියත අවදානමක් තිබුණ රටක් තාවකාලිකව එයින් බේරී සිටිනේනේ 2015 ජනවාරි 8වැනි දා සිදුවුණ ආණ්ඩු පෙරළිය නිසාය. ඊට පසු බිහි වූ මෛත්‍රි - රනිල් ආණ්ඩුව ජාත්‍යන්තරය සමඟ සුහදව ගනුදෙනුව බේරා ගැනීමට කැමැත්ත පළ කළ නිසායි.

ඒත් දැන් පැහැදිලිව පෙනී යන්නේ ලංකාව තවත් වටයකින් අසමත් බවයි. තිස් අවුරුදු යුද්ධයක් කළ දමිළ ජනතාව සමඟ පමණක් නොව රට පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව සමඟ පවා සයක්, සහජීවනයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ බහුතරය අකමැති බවයි. ඒ පමණක් නොවෙයි මීට ස්වල්ප කාලයකට පෙර මෙරට කතෝලිකයන් සමඟ (අන්‍යාගමීකරණය) පිළිබඳ සිංහල බෞද්ධයන්ට තිබුණ අරෝව සහ ගැටුම ජාත්‍යන්තර ප්‍රජාවට අමතක නැත.

මේ තත්ත්වයෙන් ජාත්‍යන්තර ප්‍රජාව, ශිෂ්ට ලෝකය ලංකාව දකිනු ඇත්තේ ‘‘කිසිම ජනවර්ගයක් සමඟ සහජීවනයෙන් ඉන්න නොහැකි ජාතියක්’’ වශයෙන් බවයි මගේ කථිකාචාර්ය මිතුරා කිව්වේ.

‘‘මේක කොහොමටවත් ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හොඳ නැහැ. අපි මිලේච්ඡයෝ බව ඕනෑවටත් වඩා ලෝකෙට ප්‍රදර්ශනය කරනවා’’ ඔහු කණස්සල්ලෙන් යුතුව කියනවා.

ඔහු පමණක් නොවෙයි 2015 ජනවාරි වෙනස වෙනුවෙන් අවංකව කැප වුණ බහුතරයක් අද ඉන්නේ දැඩි කණස්සල්ලෙන්.

‘‘අපි එදා පරාජය කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොවෙයි. ඔහු නායකත්වය දුන් සහ පෝෂණය කළ මතයත් අපි පරාජය කළා. විශේෂයෙන්ම බෞද්ධ අන්තවාදය අපි තීරණාත්මකව පරාජය කළා. ඒත් දැන් ඒක එදා තිබුණාටත් වඩා හොඳින් ශක්තිමත් වෙලා, ව්‍යාප්ත වෙලා පමණක් නොවෙයි සමාජ සුජාතභාවයත් දිනාගෙන. ඊළඟ ජනාධිපතිවරණය කොහොමවත් සාධාරණ එකක් වෙන්නේ නැහැ මෙහෙම ගියොත්. ඒක අනිවාර්යයෙන්ම ලංකාවේ ප්‍රචණ්ඩම මැතිවරණය වෙනවා. මිනුවන්ගොඩ වගේ තැන්වලට ආවේ ඒකේ කසකරුවෝ’’ ඔවුන් කියති.

රිෂාඩ් බදියුදීන් බිල්ලට නො දී හකීම්, කබීර් ඇතුළු මුස්ලිම් ඇමැතිවරුන් සියලූ දෙනාම ඉල්ලා අස්වීම ලංකාවේ දේශපාලනය කම්පනයට වඩා තිගැස්මට ලක් කිරීමට හේතු වෙලා තිබෙනවා. කිසිවෙක් මෙවැනි එකමුතු තීරණයක් අපේක්ෂා නොකළ බව සහතිකය. අතුරලියේ රතන හිමියන්ගේ රංගනය, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අනුව ‘‘තක්කඩිකමක්’’ වෙන කොට හකීම් - කබීර් තීන්දුව සැලකිය හැකිවන්නේ ‘‘වෙන විකල්පයක් නැති තැන ගත් අතිෂය තාර්කික තීන්දුවක්’’ ලෙසයි. එය නවීන් දිසානායකට අනුව ‘‘ඔවුන්ගේ පාර්ශුද්ධභාවය ප්‍රදර්ශනය කිරීමට ගත් තීන්දුවක්’’ වෙනවා වාගේම ලංකාවේ දේශපාලනයේ මුස්ලිම් ජනතාව තව දුරටත් සිටින්නේ කොතැන ද යන්න සමස්ත ලෝකයටම ප්‍රදර්ශන කළ තීන්දුවක් බවට පත් වෙනවා. ලියුම්කරුට අනුව එය කළ යුතුම තිබූ දෙයක්. ඔක්තෝබර් 26 වෛරයට රිෂාඩ් පමණක් බිලිදිය නොහැකියි.

අතුරු කතාවක්

ලංකාවේ භික්ෂූන්වහන්සේලා කියන ආකාරයට උන් වහන්සේලාට රාජ්‍ය පාලනයට මැදිහත්වීමේ සුජාත අයිතියක් වගේම හිමිකමක් තිබෙනවා. ඒත් ලියුම්කරුට ඇති ප්‍රශ්නය වන්නේ බුදුන්වහන්සේ කිසිමදාක රාජ්‍ය පාලනයට උපදෙස් දුන්නා ද ? මැදිහත් වුණාද ? යන්නයි. ලියුම්කරු සමඟ යමින් එමින් කතාවක් කළ උගත් භික්ෂූන් වහන්සේ නමක් වදාලේ බුදුන්වහන්සේ කිසිදාක දේශපාලනයට, රාජ්‍ය පාලනයට මැදිහත් නොවුණ බවයි. උපදෙස් නොදුන් බවයි. උන් වහන්සේට අනුව රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් බුදුන්ගේ දර්ශනය ‘‘දසරාජ ධර්මය’’යයි. ඒ වගේම වජ්ජීන් අනුගමනය කළ ‘‘සප්ත අපරිහානි ධර්මය’’ ද උන් වහන්සේ රාජ්‍ය පාලනයට අනුදැන වදාළ බවයි උන් වහන්සේ වාදාලේ.

‘‘අජාසත් රජතුමා බුදුන්වහන්සේට බොහෝම සමීප, හිතවත් බිම්බිසාර රජතුමාට ඔච්චර වද දෙන කොටත් බුදුන්වහන්සේ ඒ ගැන කිසිවක් කළ බවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ නැහැනේ. ඒකෙන්ම පේනවා උන්වහන්සේ රාජ්‍ය පාලනය ගිහියන්ගේ ලෞකික දෙයක් ලෙස සලකා බැහැර කළ බව. රාජ්‍ය පාලකයන්ට ඉහළින් සිට ඔවුන්ට උපදෙස්, අනුශාසනාදීම තිබුණේ බමුණු දහම තුළයි. ඒත් බෞද්ධ භික්ෂුව කියන්නේ බමුණෙක් නොවෙයි. සියල්ල අත්හළ, සංසාර විමුක්තිය පමණක් අරමුණුකර ගත් අයෙක්’’ උන්වහන්සේ වදාළා.

‘‘හරි අපි ලංකාවේ එහෙම වුණාය කියමුකෝ. ඒත් මේ රට පාලනය කළාය කියන රජවරුන් දෙසිය ගානෙන් කීයෙන් කී දෙනාද ධාර්මික පාලකයෝ, සාර්ථක පාලකයෝ වුණේ. බහුතරය අසාර්ථක ඒකාධිපතියෝ. ඒ වගේම තමයි 14වැනි සියවස වෙන කොට ලංකාවේ ථෙරවාදී බුද්ධාගමත් දුර්වල වෙලා යනවා. ඒ කියන්නේ කොතැන හරි වැරැද්දක් වෙලා තියෙනවා. ඉන්දියාවේ රාජ්‍ය පාලනයට ඍජුව මැදිහත් වුණ බමුණන්ට බැරි වුණා ඉන්දියාව රැක ගන්න’’ උන් වහන්සේ අවසානයට වදාලා,

ලියුම්කරුගේ අදහස වෙන්නෙත් බෞද්ධ දර්ශනය අනුව පුනර්භවය විශ්වාස කරන නිසා කිසිම විටක ජාතිවාදියෙක්, ආගම්වාදියෙක් පමණක් නොවෙයි කුරා කූඹියෙක්ගේ පණවත් නැසීම නොකළ යුතු බවයි. ඒ කොහෙන් ආවද - කොහෙට යනවද කියලා නොදන්න නිසායි. බුදුන් වහන්සෙම අනුදැන වදාලේ, ‘‘මහා සංසාරය තුළ තමාට මවක හෝ පියෙකු, දරුවකු හෝ ඥාතියකු නොවූ කිසිවෙක් මේ මිහිපිට නැති බව’’යි. එවැනි තත්ත්වයක් තුළ මේ ආත්මභවයේ නොදැන ලැබුණු ජාතිය, ආගම, කුලය ගැන මෙපමණ වෙහෙසෙන්නේ ඇයි ද කියන එක මේ ලේඛකයාට ප්‍රශ්නයක්. ඇත්තටම කාටද කියන්න පුළුවන් සහතිකේටම ‘‘මම නම්ගිය ආත්මෙත් මේ රටේ ම ජීවත් වුණ සිංහල බෞද්ධයෙක් කියලා’’

වඩාත් වැදගත් බුදුන් වදාළ කරුණාව, මෛත්‍රීය සහ මෙත්සිත නොවේද ?

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270