Monday, 10 June 2019 08:04

මාධ්‍ය ක්ෂේත්‍රයට දූෂිත ප්‍රාග්ධනය එකතුවෙනවා

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන
අංශයේ ආරම්භක අංශාධිපති එම්.ජේ.ආර්.ඩේවිඩ්

කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ එම්.ජේ.ආර්.ඩේවිඩ් මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ආරම්භක අංශාධිපතිවරයා ද වේ. සිංගප්පූරුව නැනියොන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු ද වන ඔහු, බීබීසී ආයතනයේ දකුණු ආසියාතික අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස වසර 15ක් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ද වන ඔහු, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටී.

* අනූව දශකයෙන් පස්සේ පෞද්ගලික මාධ්‍යයට ඉඩකඩ විවර වීමත් සමඟම, එදාට සාපේක්ෂව අද මාධ්‍යයේ හැසිරීම පිළිබඳ විවිධ චෝදනා එල්ල වෙනවා?

මාධ්‍ය කියන්නේ මේ රටේ තිබෙන දේවලින් කොටසක්. මාධ්‍යයෙන් නිරූපණය වෙන්නේ, රටේ තිබෙන ගැටලුව. අප ඉන්නෙ රටේ නේකවිධ ගැටලු සමූහයක් තිබෙන මොහොතක. ඒ වගේ ම, ඉතිහාසයේ එක්තරා නිශ්චිත කඩඉමකට අප පැමිණිලා. 1948 ස්වදේශික පාලනය ඇරැඹීමත් සමඟ ඇතිවූ ගැටලු නිරාකරණය කර ගැනීමේ දුෂ්කරතාවක අප ජීවත් වෙන්නෙ. මාධ්‍ය තුළ තිබෙන ගැටලු මෙහි ප්‍රති නිරූපණයක්.

පළමුව දෘශ්‍යමාන වන විශාල ගැටලුව මොකක්ද කියා නිරාකරණය කරගත යුතුයි. අප ඇතිකරගත් සමාජ ආයතනවලට, තමන්ගෙ කාර්යභාරය ඉටු කළ නොහැකි තත්ත්වයක් පවතින්නෙ. තාර්කිකව මේ ප්‍රශ්න ටික විසඳා ගත්තෙ නැත්නම්, අපට අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ. සමාජ විද්‍යා අර්ථයෙන් බැලුවොත් මෙය අනෝමීය තත්ත්වයක්. කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ මොකක්ද? කියා පැහැදිලි නැහැ.

අද වනවිට මාධ්‍ය මුහුණපාලා තිබෙන්නේ ඒ ගැටලුවට. එක පැත්තකින් ඒ අය තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න පොරබදනවා. අනෙක් පැත්තෙන් තමන්ගේ පටු න්‍යාය පත්‍ර ඉටු කරන්න, අධික ලාභ ලබන්න සහ ඒ සියල්ලටම වඩා තමන්ට හිමි නැති සමාජ බලයක් අත්පත් කර ගන්න බලනවා. මේ දෙක අතර තිබෙන ගැටුම තමයි, අද ගැටලු හැටියට දකින්නේ. මේ ගැටලු තීව්‍ර වෙන්න ප්‍රධානම හේතුව ජනතාවගේ අඩු මාධ්‍ය සාක්ෂරතාවයි. මාධ්‍යයෙන් කුමක් අපේක්ෂා කළ යුතුද? කුමක් අපේක්ෂා නොකළ යුතුද? කියන එක ගැන ජනතාව දැනුම්වත් නැහැ. ඕනැම සමාජයක ගැටලු තිබෙනවා. ඒත් මේ ගැටලුව සුවිශේෂී එකක්. මුළු ශ්‍රී ලාංකේය ජාතියම අභියෝගයකට ලක්වන ගැටලුවක අපි අද ඉන්නේ. ඒක තමයි මාධ්‍යයෙන් පිළිබිඹු වෙන්නේ.

* මේ තත්ත්වය නිරාකරණය කර ගන්න නම්, කළ යුත්තේ කුමක්ද?

සාප්පුවකින්, රාක්කෙකින් බඩු ගන්නවා වගේ, මෙයට නියත විසැඳුමක්, පිළිතුරක් නැහැ. මාධ්‍යයට කතිකාවතක් අවශ්‍යයි. එය, අංශ ගණනාවක් හරහා සිදුවිය යුතු කතිකාවතක්. රජය පැත්තෙන් ගත්තොත්, රාජ්‍ය මාධ්‍ය නියාමනය පැත්තෙන් දුර්වල බවක් පෙන්නුම් කරනවා. උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සඳහා යම්කිසි නියාමනයක් අවශ්‍යව පවතිනවා.

මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් ගත්තොත්, අද ඒ ආයතන පවත්වාගෙන යාම දුෂ්කර වෙලා. මුද්‍රණ කඩදාසි මිල ඉහළ ගිහින්. ඊට සමානව පාඨක පිරිසක් නැහැ. මේ වනවිට, ප්‍රධාන පුවත්පත් සියල්ලම පාහේ පවත්වාගෙන යන්නේ, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සමාජගත කරන්න. මේ දේ සමාජයට කෙතරම් සුදුසුද කියන දේ අප සිතිය යුතුයි. අපේ අසල්වැසි රටවල් වන ඉන්දියාව, පිලිපීනය වගේ ම බ්‍රිතාන්‍ය ගත්තහම, මාධ්‍ය සංවර්ධනය වෙලා තියෙනවා. ඒත් අපේ මාධ්‍ය තවමත් සංවර්ධනය වෙලා නෑ. අපි තාක්ෂණය අත්පත් කර ගැනීමෙන් ඉහළ තැනක ඉන්නවා. ප්‍රධාන පෙළේ මුද්‍රණාල, ඉතා හොඳ මුද්‍රණ තාක්ෂණයක් භාවිත කරනවා. ඊට සාපේක්ෂව මාධ්‍ය ප්‍රමිති, මාධ්‍ය ගුණාත්මකභාවය, මාධ්‍ය අන්තර්ගතයේ නිමැවුම ගැන අප තුළ ප්‍රමාණවත් දැක්මක් තිබෙනවද කියන එක ප්‍රශ්නයක්.

* මේ දැක්ම ඇති කරන්නේ කොහොමද?

ඒ සම්බන්ධයෙන් විවිධ කතිකාවත් ඇවිත් තිබෙනවා. මේ ආණ්ඩුව, මාධ්‍යවේදීන් වගේ ම, ග්‍රාහකයන් තුළත් විශාල බලාපොරොත්තු ඇති කරමින් සමාජයට නොයෙක් සැලැසුම් ඉදිරිපත් කළා. ඒත් ඒවා ඉටු වුණේ නෑ. කුමක් කළ යුතුද? කියන එකට යෝජනා ඇවිත් තිබෙනවා. ක්‍රියාත්මක කිරීමේ භාරකරුවන් ; ප්‍රධාන වශයෙන් රජය ඒක නිසි ලෙස ක්‍රියාත්මක කරලා නැහැ. රජයට පමණක් ම දොස් කියලා මෙය විසඳන්නත් බැහැ. මාධ්‍ය සංවිධානවලටත් මෙහිදී කාර්යභාරයක් තිබෙනවා. ඒත්, ඒ අය අතර අවශ්‍ය එකමුතුව, ඇතැම්විට අප දකින්නේ නැහැ. ඒ වගේ ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය මට්ටම පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක් නෑ. රාජ්‍ය මාධ්‍යයේ ජනමාධ්‍යවේදීන්ට හොඳට සලකන්න බැරිවෙලා. පුද්ගලික මාධ්‍ය ගත්තොත්, ඔවුන් ඉතා අස්ථාවර මට්ටමක ඉන්නේ. අයිතිකරුවාගේ අනුකම්පාව මත ඔවුන්ට රැකියාව කරන්න වෙලා. මේ තත්ත්ව වළක්වාගෙන පෙරට යන්නේ නැත්නම්, හුදු යෝජනා ගැන විතරක් කතා කරලා කාලය ගත කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ.

* ඔබ මීට පෙර කිව්වා අපේ රටේ මාධ්‍ය සංවර්ධනය වෙලා නෑ කියලා. එහෙම වෙන්න හේතුව මොකක්ද?

රජය, මාධ්‍ය හිමිකරුවන්, ග්‍රාහකයන් යන තුන් පිරිස අතර සමාජ කතිකාවක් නැහැ. ඒ නිසා, සමාජ වැඩපිළිවෙළ ඇණහිටලා. එහෙම වුණහම ඒකෙ ප්‍රතිඵල හැම පැත්තකින් ම දකින්න පුළුවන්. අපේ සමාජ සවිඥානිකත්වය, කතිකාවත, සමාජ සංවාදය ඇත්තෙම නෑ. ඒ සඳහා මාධ්‍යයට යම් පමණකින් වැඩ කළ හැකියි. කෙසේ වෙතත් මාධ්‍යයේ පාලනය එතරම් හොඳ අතක නැති නිසා, මාධ්‍යයට කරන්න බැරි කොටසකුත් තිබෙනවා. මේ කාරණයෙදි, මාධ්‍ය එක්තරා ආකාරයකට හතරමං හන්දියකට ඇවිත් තියෙන්නේ. දැන් තමයි විකල්ප මාධ්‍ය බිහි වෙන්න ඕනෙ. අද වෙද්දි වෙබ් මාධ්‍ය ඒ රික්තකය යම් තරමකින් පුරවනවා. ගුවන්විදුලිය, රූපවාහිනිය තුළත් විකල්ප දහරා බිහි විය යුතුයි. විකල්ප දහරා මේවා ප්‍රශ්න කළ යුතුයි. සමාජ මාධ්‍යයට නැති ගුණාංග පුවත්පතට තිබෙන නිසා, විකල්ප දහරාවේ පුවත්පත් බිහි වීම අවශ්‍යයි.

* හිටපු ජනමාධ්‍ය ඇමැතිවරයා, මහාචාර්ය රොහාන් සමරජීවයන්ගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය මාධ්‍ය නියාමනය කළ යුත්තේ කෙසේද? යන්න සොයා බැලීමට කමිටුවක් පත් කළා. ඔබත් ඒ කමිටුවේ සාමාජිකයෙක්. ඒත් අදවනතුරු එහි ප්‍රතිඵලයක් දකින්න ලැබුණෙ නැහැ නේද?

එහිදී අපට යම්කිසි දළ සැලැස්මක් හදා ගන්න හැකි වුණා. අප මේ වාර්තාව ඉදිරිපත් කරලා මේ වනවිට මාස කිහිපයක් වෙනවා. ඒත්, විවිධ හේතු නිසා, අද වෙනකම් ඒකෙ ඉදිරි කටයුතු සිදුවෙලා නෑ.

* එහිදී ඔබලා ඉදිරිපත් කළ යෝජනා මොනවද?

විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් නම්, ස්වාධීන අධිකාරියක් පිහිටු විය යුතුයි. මත්පැන් හල්වලට බලපත්‍ර දෙනවා වගේ තමයි මාධ්‍යයට විද්‍යුත් තරංග බෙදාහැරීම කරලා තියෙන්නේ අක්‍රමවත් විදිහට. මෙය ක්‍රමවත්ව කිරීම එක යෝජනාවක්. ඒ වගේ ම, මාධ්‍ය ප්‍රමිතිය සහ ගුණාත්මක බව පිළිබඳ අවධානයට ලක් කරන, විධිමත් නියාමනයක්, මඟ පෙන්වීමක් කරන ආයතනයක් තිබිය යුතුයි. ඒ වගේ ම වගකීම් සහගත මාධ්‍යවේදයක් ගොඩනගාගත යුතුයි. මාධ්‍යවේදීන් ගත්තොත්, මීට වඩා හොයලා බලලා, දැනුම්වත්ව අධ්‍යයනය කරලා, ඒ වෘත්තිය කරන පිරිසක් බිහි විය යුතුයි.

* ඔබ අපේ රටේ විශ්වවිද්‍යාල කිහිපයකම මාධ්‍ය අධ්‍යාපනය ලබා දුන් කෙනෙක්. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

අපේ විශ්වවිද්‍යාලවල ජනමාධ්‍යවේද අංශ ඉතාමත් ම දුර්වලයි. පහසුකම් නෑ. ඔන්ලයින් මාධ්‍ය උගන්වන්නේ, ටොල්ක් ඇන්ඩ් චෝල්ක් ක්‍රමයට. ජනමාධ්‍ය කියන්නේ, එක්තරා විධිහකට තාක්ෂණය පිළිබඳ වපසරියක් තියෙන විෂයක්. ඒ වපසරිය අත්පත් කර ගන්නේ නැතිව, ජනමාධ්‍යවේදය ඉගෙන ගන්න බෑ. විද්‍යාගාර පහසුකම්, ගුවන්විදුලි මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලවල තිබිය යුතුයි. ඒත් ඒවා ගොඩනැගිලා නෑ.

අද වෙද්දි, බිහි වෙලා තියෙන්නේ ජනමාධ්‍ය විෂය ඉගෙන ගන්න ළමයි මුළා කරන පාඨමාලා. මාධ්‍ය ඉගෙන ගත්තේ නැති කෙනාට, තාක්ෂණික වපසරිය තිබෙනවා නම්, අර කෙනාට වඩා හොඳින් වැඩ කරන්න පුළුවන්. වෘත්තීය ජනමාධ්‍යවේදීන් සඳහා යම් ආයතනයක් ආරම්භ කළ යුතුයි කියලා අදහසක් තිබුණා. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ තැන්වල ගොඩනැගිලි සහ පහසුකම් තිබෙනවා. මේ ගොඩනැගිලි හා පහසුකම් එකතු කරලා කරන්න වැඩපිළිවෙළක් තමයි නැත්තේ. ජනමාධ්‍ය විශ්වවිද්‍යාලය, එහෙම නැත්නම් වෘත්තීයවේදීන් සඳහා වූ ජනමාධ්‍ය ආයතනය, සියලු ආයතනවල පහසුකම් එකතු කරලා සංකල්පීය වශයෙන් ගොඩනගන්න පුළුවන් ආයතනයක්. ඒත් එවැන්නක් අපට නෑ.

අපේ ජනමාධ්‍ය අංශයට පොදුවේ ගත්තහම, ලාංකේය න්‍යායක් සහ භාවිතයක් ගොඩනැගිලා නැහැ. එහෙන් මෙහෙන් අල්ලා ගත්ත දැනුමක් තියෙන්නේ. අපේ මාධ්‍ය ඉගැන්වීමේ ව්‍යාපෘතිය තුළ ම බරපතළ ගැටලු පවතිනවා. එකක් භාවිතයට අවශ්‍ය තැන නොදීම. අනෙක, න්‍යාය, සංදර්භය ගැළපීම සම්බන්ධ ක්‍රමවේදයක් නොවීම. ජනමාධ්‍යවේදය කියන වෘත්තියේ ඇති පුළුල් බව නිසා ම, මාධ්‍ය අධ්‍යාපනය ලබන ළමයි යන්නේ ගුරු වෘත්තියට. එතැනට ගිහින් උගන්වන විෂය නිර්දේශය දැවැන්ත අවුලක්. එය නිසියාකාරව හැදුණු විෂය නිර්දේශයක් නෙමෙයි. අපේ පාසල්වල උගන්වන එකත් දුර්වලයි. විශ්වවිද්‍යාලවලත් දුර්වලයි. ඒ නිසා, මාධ්‍ය අධ්‍යාපනය පැත්තෙන් නැවත බරපතළ හිතාබැලීමකට යා යුතුයි.

ඒ වගේ ම, මාධ්‍යවේදීන් යාවත්කාලීන වෙන්නෙ ඉතා ම අඩුවෙන්; ඔවුන්ට ඉතාමත් ම දුෂ්කර ජීවන අරගලයක යෙදෙන්න වෙලා. පුවත්පත් බොහෝ සංඛ්‍යාවක් පහුගිය මාස කීපයේ වැහිලා ගියා. වෘත්තීය අනාගතයක් නැත්නම්, මිනිස්සු වැඩ කරන්නේ කොහොමද? ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දූෂිත ප්‍රාග්ධනය එක් වෙනවා. මේවා පටන් ගන්නේ කොහොමද?සල්ලි හම්බ වෙන්නේ කොහොමද? කියලා කවුරුත් දන්නේ නෑ. මේ වගේ හේතු නිසා, කියන දේ කරගෙන ඉන්න මාධ්‍යවේදීන් ඇරෙන්න, වෘත්තීය මාධ්‍යවේදීන් බිහි වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. මේ නිසා, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි.

* පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බීබීසී ය ප්‍රකාශ කර තිබුණේ, එය සිංහල අන්තවාදීන් විසින් කළ ප්‍රහාරයක් විධිහටයි. බීබීසී ආයතනයේ වසර 15 ක අත්දැකීම් ඇති ඔබ, මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මම මේ ප්‍රවෘත්තිය දැක්කේ නැති නිසා, ඒ ගැන සාකච්ඡා කරන්න අමාරුයි. මම අවුරුදු 15ක් බීබීසීයේ යුද වාර්තාකරණය කළා. ඔය තිබෙන විරෝධය මම අත්විඳ තිබෙනවා සහ මට ඒක තේරිලා තිබෙනවා. ඔතන තිබෙන්නේ ප්‍රවෘත්ති මාන පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ සිංහල කතා කරන, සිංහල මාධ්‍ය පරිහරණය කරන කෙනෙක් මේ ආයතනයේ ප්‍රවෘත්ති ශෛලියට අකමැති වෙන්න පුළුවන්. තමන් කැමැති ප්‍රවෘත්ති වර්ගය නොලැබුණහම, විවිධ චෝදනා එල්ල වෙනවා.

බීබීසී ය කියන්නේ කර්තෘමය උපමාන (Editorial Guidelines) සමඟ ක්‍රියාත්මක වන ආයතනයක්. ඒ වගේ ම, ඒවා උල්ලංඝනය වුණහම පියවරත් ගන්නවා. බීබීසී යට වැරැදිච්ච අවස්ථාත් තිබෙනවා. ඒ වගේ ම වැරැද්දක් වුණහම නිවැරැදි කර ගැනීමේ ක්‍රමවේදයකුත් තිබෙනවා. වැරැදි වුණහම සමාව ගත්ත අවස්ථාත් තිබුණා. සමහර අවස්ථාවල ඔවුන් දණ්ඩනයට යටත් වෙලත් තියෙනවා.

බීබීසී ය ලෝකයට ඉතා විශිෂ්ට මාධය ප්‍රමිතියක් හඳුන්වා දුන් ආයතනයක්. හිතාමතා ප්‍රවණතාවක් විධිහට වැරැදීම් සිදු වෙනවාද කියන දෙය අප හොයා බැලිය යුතුයි. එහෙම වෙනවා නම් ඒක වැරැද්දක්. හැබැයි ඒ අය ප්‍රවෘත්ති දකින, හිතන විධිහේ වෙනසක් තිබෙනවා. ඒ අය ක්‍රියාත්මක වෙන්නෙ වෙන ආචාර ධර්ම, නීති රීති, වුවමනා එක්කයි. එතකොට දෙගොල්ල අතර පරතරයක් ඇති වෙනවා.

* අපේ රටේ කෙරෙන්නේ සිද්ධවෙන දේ වාර්තාකරණය විතරයි. ඉන් ඔබ්බට යාමක් නැත්තේ ඇයි?

මූලික වශයෙන් අපේ මාධ්‍යවේදය විවරණය අතින් දුර්වලයි. පෝටර්ලා හා රිපෝටර්ලා කියා දෙපිරිසක් සිටිනවා. පෝටර් ගෙනත් තිබෙන දේ වෙන තැනකට ගෙනයන කෙනෙක්. රිපෝටර් කියන්නේ ඊට වඩා වැදගත් භූමිකාවක්. ඔහුගේ අර්ථකථනය ඉතා වැදගත්. ටාසි විට්ටච්චි, දයාසේන ගුණසිංහ, අජිත් සමරනායක, රෙජී සිරිවර්ධන වගේ එදා හිටපු මාධ්‍යවේදීන් විශිෂ්ට වෙන්නේ, විවරණ කිරීමේ හැකියාව තිබුණු නිසයි.

අද මාධ්‍යවේදීන්ගෙන් මේ හැකියාව බොහෝ දුරට වියැකිලා. ඉතා ම ආධානග්‍රාහීව ලියන මාධ්‍යවේදීන් පිරිසක් අපට ඉන්නවා. ඔවුන් මූලාශ්‍ර නැතිව වාර්තා කරනවා. තොරතුරු සහ විවරණ අතර වෙනස ඔවුන් වෙන්කර ගන්නේ නෑ. මාධ්‍යවේදියා සමාජයට ඉදිරියෙන් යන කෙනෙක්. ඔහු, සාමාන්‍ය මිනිසා හිතනවට වඩා, ඉස්සරහින් ඉන්න ඕනැ. හැදෑරීමක් නැති නිසා, ඒ ගුණය නැති වෙමින් පවතිනවා.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website