Monday, 10 June 2019 08:05

ඇතුගල්පුර වඳ සැත්කම් සහ විශේෂඥ වෛද්‍ය කසාය බිවු ගොළුවෝ

වෛද්‍යවරුන් යනු මිහිපිට වෙසෙන දෙවිවරුන් බව මිනිසුන්ගේ විශ්වාසයයි. රෝගියාගේ ජීවිතය වෙනුවෙන් අවසාන තත්පරය දක්වා සටන් වදින එම උතුම් වෘත්තිය පිළිබඳ, අප තුළ ඇති විශ්වාසය සුන්නද්ධූලි වී යෑම කිසි ලෙසකත් සිදු නොවිය යුත්තක් ය. නමුත් රටම කැළඹූ වෛද්‍ය සාෆි මොහොමඩ් පිළිබඳ කතා පුවත පොදු ජනතාව තුළ වෛද්‍ය වෘත්තිය පිළිබඳ සැක බිය ඇතිකරවන්නකි.

කෙසේ වෙතත් පළමුව කිව යුතු යමක් ඇත. වරදකරු බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වන තුරු ම ඕනෑම චූදිතයකුට නීතියේ රැකවරණය හිමි විය යුතු ය. වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් ද එය එසේ ම ය. ගෙවී යන්නේ අවිචාරවත් සමයකි. කියන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව සැබෑවක් වුවද, මේ වන විට මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුනට විශ්වාස කිරීමට අවැසි දෙය මිස සත්‍ය හෝ කිසිවකු හේතු සාධක ඇතිව පුන පුනා ප්‍රකාශ කරන දෙය නොවේ.

වෛද්‍ය සාෆි වෙත එල්ල වී ඇති චෝදනාව වන්නේ, මවුවරුන් වන්ද්‍යකරණයට ලක්වන ලෙස දරු ප්‍රසූතියට අදාළ සිසේරියන් සැත්කම් සිදු කළ බව ය. මෙහිදී පැන නගින ගැටලු කිහිපයකි. මෙලෙස සිසේරියන් සැත්කමක් අතරතුර දී කිසිවකුටත් රහසේ අදාළ වෛද්‍යවරයාට ගර්භණී කාන්තාවගේ කැමැත්ත හෝ දැනුවත් භාවයකින් තොරව වන්ද්‍යකරණයක් කළ හැකිද? වෛද්‍යවරයකු විසින් එවැනි නින්දිත අධම ක්‍රියාවක් සිදුකොට ඇති බව දැනගැනීමට අදාළ කාන්තාවට කෙතරම් කාලයක් ගතවේද? එවැනි අකටයුත්තක් සිදු කොට ඇත්තේ ද යන්න දැනගැනීම සඳහා සිදු කළ යුතු පරික්ෂණ කවරේද?

ඇඟ බේරා ගැනීම

මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය වගකීමට කරඋර දීම වෙනුවෙන් ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛදවරුන්, ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛදවරුන්ගේ සංගමයේ සාමාජිකයන්, විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයන්හි ප්‍රසව හා නාරිවේදී අධ්‍යනාංශ කථිකාචාරයවරුන් බොහෝ පිරිසකට ඇමතූ නමුත් කිසිවකුගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණකි. බොහෝ දෙනකු කියා සිටියේ රට ජාතිය බේරාගැනීමට ගොස් අමාරුවේ වැටීමට නොකැමති බව ය. රට යන්නේ වළපල්ලට ය. එය දැක දැක ම සියල්ලෝ ඇඟ බේරා ගැනීමේ න්‍යාය අනුගමනය කරමින් සිටිති.

වෛද්‍ය සාෆිට එල්ල වී ඇති චෝදනාව සත්‍යයක් නම් මේ සිදුවන්නේ ජාතියේ විනාශයයි. දරු සම්පත ලොව ඇති වටිනාම සම්පතයි. මවකගේ නොකැමැත්ත මත ඇය වන්ද්‍යකරණය කිරීමකට තබා නිසි අවසරයකින් තොරව කිසිඳු රෝගියකුට කිසිවක් කිරීම, වෛද්‍ය ආචාර ධර්ම අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. නමුදු යම් හෙයකින් මෙම චෝදනාව පදනම් විරහිත එකක් නම්, ජනතාව ඇති කරගෙන සිටින්නේ අනියත බියක් නම්, එම අනියත බිය තුළින් ජාතියක් තවත් ජාතියක් දෙස වපරැ'සින් බැලීමටත්, වෛද්‍ය වෘත්තිය සහ මාතෘ සේවාවන් පිළිබඳ සැක ඇති කරගැනීමටත් පෙළඹීම වළකාලිය යුතු ය.

නමුදු ගැටලුව නම් මෙහි ඇත්ත නැත්ත ජනතාවට හෙළිදරව් කිරීමට කිසිවකුත්, මේ පිළිබඳ කෙළ බිඳක් හෙළීමට සූදානම් නොමැති වීම ය. සියල්ල නොපිටට ම හැරෙන බව පෙනී යද්දී ද වගකිව යුත්තන් සේ ම විශේෂඥ දැනුම ඇත්තවුන් මුනිවත රකින්නේ, රට ජාතිය වෙනුවෙන් ඔවුනට ඇති වගකීම සම්පූර්ණයෙන් ම අමතක කොට දමා ය. වෛද්‍යවරයකු සහ සේවාදායකයකු අතර ඇති විශ්වාසය අතිශය වැදගත් කරුණක් වන බැවින් වෛද්‍ය සාෆිට එල්ල වී ඇති චෝදනාව සුළුකොට තැකිය හැක්කක් නොවේ. නමුත් ඔහු තවමත් චූදිතයකු පමණක් වන බැවින් ඔහු වෙනුවෙන් සිදුකෙරෙන පරීක්ෂණය සිදු විය යුත්තේ අපක්ෂපාතීව සහ සාධාරණ ආකාරයෙනි.

ඉදිරිපත්වන මත හා තර්ක අතර සිසේරියන් සැත්කමක් අතරතුර වන්ද්‍යකරණයක් සිදු කළ හැකි බවට සේ ම එසේ කළ නොහැකි බවට ද උපකල්පන ඇත. අදාළ සිදුවීම හමුවේ බියට පත් මවුවරුන් ප්‍රකාශ කොට සිටින්නේ වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම සිදු කිරීමෙන් අනතුරුව ඔවුනට තවත් දරුවකු ලැබීමේ හැකියාව අහිමි වී යෑමට අමතරව තුනටියෙන් පහළ හිරිවැටීම, කොන්දේ වේදනාව, අන්ධභාවය වැනි රෝග තත්ත්වයන් ද ඇති වූ බව ය. මේ කියන්නා වූ රෝග ලක්ෂණ සහ රෝග ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ද අපට යම් යම් තීරණවලට එළැඹීය හැකි ය.

වෛද්‍ය සාෆි සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් මතුව ඇති කරුණ නම් සිසේරියන් සැත්කමක් අතරතුර දී සුළු වේලාවකට පැලෝපීය නාළ අවහිර කර තැබීමෙන් කාන්තාවක් වඳ භාවයට පත් කළ හැකි බවයි. මේ සම්බන්ධයෙන් පැලෝපීය නාළ යම් අවහිර කිරීමකට ලක්ව ඇත්දැයි සැක හැර දැනගැනීමට පරීක්ෂණ ඇත. ඉන් එකක් නම් එක්ස්රේ ඡායාරූපයක් මඟින් පැලෝපීය නාළ පරීක්ෂා කිරීමයි. ලැපරොස්කොපි පරීක්ෂණයක් සිදු කිරීම මේ සඳහා ගත හැකි තවත් පියවරකි. වෛද්‍ය සාෆිට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ මවුවරුන් මෙම පරීක්ෂණවලට ලක්කළ හැකි ය.

එසේ ම ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලද කාලයට අදාළ වාර්තා සහ සටහන් ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව සවිස්තරාත්මක වාර්තාවක් සකසා ගත හැකි ය. අදාළ පරීක්ෂණය මෙරට දී සිදුකළ හැකි සේම ඒ සඳහා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ ප්‍රසවවේදීන්ගේ ද අඩුවක් නැත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ පරීක්ෂණ කණ්ඩායමේ සංයුතිය ද අතිශය වැදගත් ය. පරීක්ෂණ කණ්ඩායම අනිවාර්යයෙන් ම සමන්විත විය යුත්තේ අදාළ විෂය සම්බන්ධ හසළ දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ ප්‍රසවවේදීන්ගෙන් ය. එසේ ම මේ සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණය විශ්වසනීය, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුතු නොවුව හොත් නැවතත් පොට පෑදෙනුයේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට ය.

සිසේරියන් සැත්කමක් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් ද ඇති අතර, එම චක්‍රලේඛයේ නිර්දේශ සියල්ල සැකසී ඇත්තේ මවගේ ආරක්ෂාව උපරිම සීමාව දක්වා ගෙන ඒම වෙනුවෙන් ය. එසේ හෙයින් සිසේරියන් සැත්කම් දහස් ගණනක දී පැලෝපීය නාල දහස් ගණනකට හානි පමුණුවා දහස් ගණනක් දෙනා වඳ භාවයට පත් කළ බවට වන චෝදනාව සුළුපටු කරුණක් නොවේ.

විශ්වාසය ගොඩනැඟීම

වෛද්‍ය සාෆිට එරෙහිව එල්ලවන පැමිණිලි ගණන දිනෙන් දින වැඩිවීමත් සමඟ සමාජය තුළ පැතිර යන්නේ දුරුකළ නොහැකි බියකි. සැකයකි. මේ වන විට ගර්භණී තත්ත්වයේ සිටින මවුවරුන් සේ ම ඉදිරියේ දී දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් පවා තම බිලිඳා මෙලොවට බිහි කිරීමේ මොහොත පිළිබඳ අසීමාන්තික බියක් ඇති කරගනු ඇත. එසේ ම විළිරුදාවෙන් පෙළෙන මවුවරුන්, විළිරුදා අමතක කොට සිය දරු ප්‍රසූතියේ දී සහය වන වෛද්‍යවරයාගේ ජාතිකත්වය විමසීමට ද ඉඩ ඇත. ජාතිකත්වය මත ව්‍යාපාර හා සේවාවන් ප්‍රතික්ෂේප කිරීම දැනටමත් ආරම්භ වී ඇති අතර තත්ත්වය ඉදිරියේ දී වෛද්‍ය වෘත්තිය පිළිබඳව ද ඇති වීමට ඉඩ තැබිය යුතු නැත. එසේ නම් විය යුත්තේ විධිමත් පරීක්ෂණයක් හරහා සැබෑ තතු හෙළිකොට, වෛද්‍ය වෘත්තිය පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු කිරීමයි.

වෛද්‍ය සාෆි පිළිබඳ චෝදනා මොහොතකට අමතක කර දමමු. මෙහිදී පළමුකොට අප සොයා බැලිය යුත්තේ කවුරුන් හෝ වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කමක් අතරතුරදී, සැත්කමට එකතු වන කණ්ඩායමටත් සැත්කමට භාජනය වන තැනැත්තියටත් සැකයක් ඇති නොවන ලෙස වංචනිකව සේ ම රහස්‍ය ලෙස වන්ද්‍යකරණයක් කිරීමේ හැකියාව පවතින්නේද යන්නයි. මේ පිළිබඳ අදහස් විමසීමේ දී පෙනී ගිය කරුණක් නම්, සිසේරියන් සැත්කමක් අතරතුර එලෙස වඳභාවයට පත් කළ හැකි බව ඇතැම් වෛද්‍යවරු විශ්වාස කිරීමයි. එසේ ම ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ වෛද්‍යවරුන් ද විය. අනන්‍යතාවය හෙළි නොකිරීමේ පොරොන්දුව පිට දිනමිණට අදහස් දැක් වූ එක් වෛද්‍යවරයකු මෙසේ ද පැවසී ය.

“සිසේරියන් සැත්කමක් අතරතුර දී ටික වේලාවක් පැලෝපීය නාළ යම් අවහිරයකට ලක්කිරීමෙන් (පැලෝපීය නාළ තද කරගෙන සිටීමෙන්) සිසේරියන් සැත්කමට ලක්කරන තැනැත්තිය සදාකාලික වඳ භාවයට පත් කළ හැකි බව ඇතැම් වෛද්‍යවරු විශ්වාස කරනවා. නමුත් සිසේරියන් සැත්කමක් සිදු කරන අවස්ථාවේ දී එම ස්ථානයේ හෙද නිලධාරිනියක් සිටිනවා. වෛද්‍යවරයාට සහය වෙමින් සැත්කමට අවශ්‍ය සියලු උපකරණ ලබාදෙන්නේ එම හෙද නිලධාරිනියයි.

මින් පෙර අදහස් ඉදිරිපත් වී ඇති අන්දමට පැලෝපීය නාළ අවහිර කිරීම වෛද්‍යවරයා විසින් යම් උපකරණයකින් සිදු කරනවා නම්, එය හෙද නිලධාරිනියගේ දැනුවත් භාවයෙන් තොර ව කළ හැකි බව මම විශ්වාස කරන්නේ නෑ. වන්ද්‍යකරණය කිරීමේ යම් යම් ක්‍රමවේද පවතිනවා. නමුත් මගේ පෞද්ගලික මතය අනුව මම හිතන්නෙ නෑ සිසේරියන් සැත්කම් අතරතුර දී හාරදාහක් මවුවරුන්ගේ පැලෝපීය නාළවලට හානි පැමිණවීමෙන් වඳ භාවයට පත් කිරීම, හෙළිදරව් නොවන විදිහට කරන්න කිසිඳු වෛද්‍යවරයකුට පුළුවන් කියලා. කොහොම වුණත් වෛද්‍ය සාෆිට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කළ මවුවරුන් පරීක්ෂාවට ලක්කිරීමෙන්, ඔවුන් අතරින් කීදෙනකු වඳභාවයට පත්ව සිටිනවාද යන්න සොයාබැලීම මඟින් අදාළ ගැටලුවට නිසි පිළිතුරක් ලබාගත හැකියි. කෙසේ වෙතත් ජනතාව තව තවත් වියරු වැටෙන තුරු නොසිට පරික්ෂණය කඩිනම් කළ යුතුයි.”

නවීන වෛද්‍ය විද්‍යාවේ නිර්මාතෘ ලෙස හිපොක්‍රටීස් සැලකෙන අතර, වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් පැවැති සාම්ප්‍රදායික අංගය වූයේ හිපොක්‍රටීස් දිවුරුමයි. කෙසේ වෙතත් අද වන විට වෛද්‍යවරුන්ට ම අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් ඇත. කවර කොන්දේසියක් යටතේ හෝ රෝගියාට කිසිදු හානියක් නොකළ යුතු ය යන්න එහි මූලික ම මූලධර්මයි. එසේ ම මූලික වෛද්‍ය පරීක්ෂාවකදී රෝගියා කාන්තාවක් නම් ඇය සමඟ තවත් කාන්තාවක් සිටීම, සැත්කම්වලදී කණ්ඩායමක් සහභාගී වීම සේ ම ගබ්සාවෙන් වැළකීම ආදිය ද එම ආචාර ධර්ම පද්ධතියෙහි අන්තර්ගත ධර්මතා කිහිපයකි. ලෝකයේ දියුණු රටවල මෙම ආචාර ධර්ම සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන්නේ ඉතා දැඩි පිළිවෙතකි. එසේ හෙයින් සැලකිය යුතු පිරිසක් වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් වෛද්‍ය වෘත්තියෙන් නෙරපා හැරීම ද සිදු කෙරේ.

සැබෑව එළි කිරීමේ යුතුකම

ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේදය සම්බන්ධව ඇති එක ම වෘත්තීය සංගමය වන්නේ, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ සංගමය යි. විශේෂඥ වෛද්‍යවරයකුගේ සුපරීක්ෂණය යටතේ සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු වන වෛද්‍ය සාෆි විසින් ජාතියේ මවුවරුන් 4000ක් වන්ද්‍යකරණයට ලක් කළ බවට වන පුවතත් සමඟ රට ම කම්පා වී, ජනයාගේ කෝපාග්නිය ඇවිලී යන කලෙක, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරීවේදීන්ගේ විශේෂඥ සංගමය මුනිවත රැකීමට ගත් තීරණය පිළිකුල් සහගතය. මෙම අවස්ථාවේදී විශේෂඥ දැනුම ආශ්‍රයෙන් නිවැරදි හා පැහැදිලි මතයක් සමාජගත කිරීමට සංගමයට යුතුකමක් ඇත. වෛද්‍ය සාෆිට එල්ලවී ඇති චෝදනා පදනම් සහිත ද? විරහිත ද? යන්න අරබයා විශේෂඥ මතය සමාජ ගතකොට, ජනතාවගේ බිය සැක දුරු කිරීම වෙනුවට ඔවුන් සිදු කරනුයේ මාධ්‍යයෙන් වහන් වී සිටීම ය.

තතු දන්න තැනැත්තන් සියල්ල වසන් කරමින් මුනිවත රකින විට, කිසිවක් නොදන්නවුන්, සියල්ල දන්නවුන් සේ කටමැත දොඩනු ඇත. දුර්මත සමාජගත වන්නේ එවිට ය. කෙසේ වෙතත් මුළු මහත් වෛද්‍ය වෘත්තිය කෙරෙහි බිඳ වැටුණු විශ්වාසය යළි ගොඩනැගීමට නම් අදාළ සිද්ධියේ සුලමුල හෙළි කරගත යුතු ය. ජනතාවට ඇත්ත නැත්ත පහදා දී, සැකබිය දුරු කිරීමට විශේෂඥ දැනුමක් ඇති, තනතුරු තානාන්තර දරන්නවුන්, කොන්ද පණ ඇතුව ඉදිරිපත් වන තුරු අපි අපේක්ෂාවෙන් බලා සිටිමු.

(දිනමිණ)

Features

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website