Tuesday, 11 June 2019 08:39

සුළු පක්ෂ නටවන ආණ්ඩු බෑ

(රිෂාඞ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට ගෙන ආ විශ්වාසභංගය, රතන හිමිගේ උපවාසය, ජාතිකවාදී සංවිධානවල විවිධ මත, පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ තේරීම් කාරක සභාව, බදියුදීන් නගන චෝදනා, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හා හදිසි මහ මැතිවරණ සූදානම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.) 

ප්‍රශ්නය-  රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඔබලා ගෙන ආ විශ්වාසභංගය රතන හිමියන්ගේ උපවාසය සමඟ තේරුමක් නැති වුණා. ඒකාබද්ධ විපක්ෂය ඊළඟට කරන්නෙ මොකක් ද?

පිළිතුර-   රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේ දේශපාලන පසුබිම නොදැන අනාගතය කතා කරන්න බෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මේ රටේ මුස්ලිම් විරෝධයක් පැන නැගුණේ නෑ. හැබැයි ඊටපස්සේ ත්‍රස්ත විමර්ශන කටයුතුවලට අසාද් සාලිලා බදියුදීන්ලා බාධා කරන බවට මාධ්‍ය වාර්තා පළ වනවිට මුස්ලිම් සමාජය ගැන සැකයක් ඇතිවුණා. සාලිගේ බලපෑම් පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේදී කබීර් හෂීම් ඇමැතිවරයා පවා චෝදනා කළා. මේ පසුබිම තුළ සමාජයෙහි මුස්ලිම් අය ගැන රට පුරා විරෝධයක් ඇතිවෙන්න පටන්ගත්තා. එය අන්තවාදයට සම්බන්ධ අය ඉලක්ක කරගත යුතු නිසායි රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට විශ්වාසභංගයක් ගෙනාවේ. අපි හිතුවෙ මේ ආණ්ඩුව ඒකට කොන්ද කෙළින් තියාගෙන මුහුණ දේවි කියලයි. නමුත් ඒ වෙනුවට විශ්වාසභංගය විවාදයට ගන්න තීරණය කරන්නේ මාසෙකටත් පස්සේ ජුනි 17, 19 යි. ඒ අතරේ රිෂාඞ් බදියුදීන්ගේ කුණු හෝදන ලොන්ඩරියක් බවට පත්කිරීමේ අරමුණෙන් තේරීම් කාරක සභාවක් පත්කළා. ඒ පිළිබඳ සමාජයෙන් මතු වූ කේන්තියේ උච්චස්ථානය රතන හිමිගේ උපවාසයයි. එයින් පසු දේශපාලනය අලුත් තැනකට තල්ලු වී තිබෙනවා. අපේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරු 21ක් හිටියා. ඇමැතිවරු 9ක් හිටියා. ඒත් අපි ඉලක්ක කළේ බදියුදීන් ඇමැතිවරයා පමණයි. එහෙත් සියලුම ඇමැතිවරු ඔහු හා එක් වී ඉල්ලා අස්වී ලබා දුන් පණිවුඩය හොඳ නෑ. මුස්ලිම් සමාජය සැක කළ සිංහල දෙමළ ජනතාවගේ සැකය තවත් තීව්‍ර කිරීමක් එයින් වෙන්නේ. ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහිව අප සමඟ කටයුතු කළ මුස්ලිම් ජනතාවත් අසරණ කිරීමක්. මේ මොහොත වනවිට සමස්ත මුස්ලිම් ජනතාවම අන්තවාදීන් කියන පණිවුඩය රටට දීලා ඉවරයි. මේ පසුබිමෙහි ඊළඟ පියවර විදියට අපි මුස්ලිම් අන්තවාදයට වැට බඳින නීති රීති ඉදිරි මාසය තුළ පාර්ලිමේන්තුවට ගෙන එන්නට කටයුතු කරනවා. 

ප්‍රශ්නය-   එහෙත් බොදුබල සේනාවේ මහලේකම් ඥානසාර හිමියන් මුස්ලිම් ජන සමාජය අන්තවාදයට තල්ලු කරන බවට චෝදනා කළේ රතන හිමියන්ටයි

පිළිතුර-   ඥානසාර හිමියන් හා රතන හිමියන් කියන්නේ වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ මම සමීපව ඇසුරු කරන භික්ෂූන්වහන්සේලා දෙනමක්. ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමේ ඉතිහාසයක් මේ දෙනමටම තිබෙනවා. අද අවශ්‍ය වන්නේ ඉස්ලාම් අන්තවාදය ප්‍රතික්ෂේප කරන සමස්ත ජාතියත් මේ ස්වාමීන්වහන්සේලා දෙනමත් එකට ගැට ගසන මොහොතක්. සමගියේ ආදර්ශය අපේ භික්ෂු සමාජයටත් අතිශයින් වැදගත් කියලයි මම හිතන්නේ. 

ප්‍රශ්නය-  සිංහල අතිබහුතර ඡන්දයක් ගැනීම සඳහා රාජපක්ෂ කඳවුර අන්තවාදී  ලෙස ක්‍රියා කරන බවට ඒ.එච්.එම්. ෆවුසි හිටපු ඇමැතිවරයාත් චෝදනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දශක හතරක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨයකු නගන චෝදනාව සරල ද?

පිළිතුර-   මහින්ද රාජපක්ෂගේ වසර නවය හමාරක පාලන කාලය තුළ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල වුණේ එකක් පමණයි. ඒ කවුරුත් දන්නා අලුත්ගම සිද්ධියයි. නමුත් පසුගිය වසර හතරහමාර ඇතුළත අම්පාර, ගිංතොට, දිගන, හලාවත, කුලියාපිටිය සහ මිනුවන්ගොඩ වශයෙන් ප්‍රහාර හයක් සිදුවුණා. එතකොට මුස්ලිම් ජනතාව වඩාත් අනාරක්ෂිත කාගේ පාලනයක් යටතේ ද? ඒ නිසා මුස්ලිම් අන්තවාදයේ ග්‍රහණයට ලක්ව ඇති ෆවුසි වැනි ඇමැතිවරු අද මුස්ලිම් අන්තවාදය පෝෂණයට ආවඩන එක්සත් ජාතික පක්ෂයට ආවැඩීමත් මහින්ද රාජපක්ෂ මහතාට පහරදීම ගැනත් පුදුම විය යුතු නෑ. හැබැයි ඔවුන් එක දෙයක් තේරුම් ගත යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 21 දෙනාගෙන් කබීර් හෂීම්, මරික්කාර්, ෆයිසර් මුස්තාෆා, මස්තාන්, ෆවුසි යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරෙන්නේ සිංහල ඡන්දවලින්. ඔවුන් මේ අන්තවාදයට වැටීම තුළ සිංහල ඡන්ද ඔවුන්ට නොලැබී යන්න පුළුවන්. එයින් වෙන්නේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් නියෝජනය පහළ වැටීමයි. 

ප්‍රශ්නය-    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කැඳවූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමිණි ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, බුද්ධි අංශ ප්‍රධානියා හා පොලිස්පතිවරයාගේ සාක්ෂිවලින් හෙළිදරව් වූයේ ආරක්ෂක මණ්ඩලය නොකැඳවීම නිසා සන්නිවේදනය ඇනහිට තිබූ බවයි. මේ ඇඟිල්ල දිගුවන්නේ ජනාධිපතිවරයාට නොවේ ද

පිළිතුර-   හෙළිවන තොරතුරු අනුව ජනාධිපතිවරයා පවසන්නේ බොරුය, ඔහු මෙය කලින් දැන සිටියාය, ඔහුගේ අත්දැකීම් මඳකම නිසා කල්තියා පියවර නොගෙන සිටියාය යන්න මගේ විශ්වාසයයි. ඔහු දැන සිටියත් නැතත් පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා බුද්ධි අංශ ප්‍රධානියා පත්කළේ ජනාධිපතිවරයායි. මේ නිලධාරීන්ගෙන් යම් අඩුපාඩුවක් වී ඇත්නම් ඊට වගකිවයුත්තේ ද ජනාධිපතිවරයායි. ඒ නිසා මේ ප්‍රහාරය ගැන ජනපති දැන සිටියත් නැතත් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම ඇත්තේ ඔහුගේ කර පිටයි. එය එක එක්කෙනාගේ කර පිට පැටවීමට ඔහු දරන උත්සාහය ඇත්තටම ලජ්ජාසහගතයි. 

ප්‍රශ්නය-   ජ.වි.පෙ. නම් ඇහුවේ සමස්ත ආණ්ඩුව වගකිව යුතු තත්ත්වයකදී බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව පමණක් විශ්වාසභංගයක් ගෙන ඒමෙන් ආණ්ඩුව සුද්ධ කිරීමක් වේද කියලයි. ජ.වි.පෙ. විශ්වාසභංගය ගැන දරන්නේ කවර අදහසක් ද

පිළිතුර-  ඇත්තටම ජ.වි.පෙ. සිදුකළේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම නෙවෙයි. ආණ්ඩුව රැකගැනීමේ යෝජනාවක් ගෙන ඒමයි. රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ විට එ.ජා.ප.යේ මන්ත්‍රී කණ්ඩායමේ කාවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, හරින් ප්‍රනාන්දු වැනි මන්ත්‍රීවරුන් කීවේ ඔහු අස්විය යුතු බවයි. එවිට බදියුදීන් කීවේ සිය මන්ත්‍රීවරුන් පස්දෙනාත් සමග ආණ්ඩුවෙන් යන බවයි. එවිට අගමැතිවරයා කීවේ තේරීම් කාරක සභාවක් හරහා බදියුදීන් ඇමැතිවරයා පිරිසිදු වී ආවිට ඔහු ආරක්ෂා කිරීමට ඡන්දය දෙන්නට එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට හැකි බවයි. තේරීම් කාරක සභාව කුණු ලොන්ඩරියක් වුණේ ජ.වි.පෙ. විශ්වාසභංගය නිසයි. මන්ත්‍රීවරුන් ගෙන එළියට බහිනවා යැයි කියා බදියුදීන්ට කේවල් කිරීමේ බලයක් ලැබුණෙත් මේ ජ.වි.පෙ. විශ්වාසභංගය නිසයි. ජ.වි.පෙ. මේ විශ්වාසභංගය නොගෙනාවා නම් එ.ජා.ප.යේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහායෙන් අපේ විශ්වාසභංගය ජයග්‍රහණය කරවන්න තිබුණා. එහෙම නැත්නම් බදියුදීන් ඔයිට කලින් ඉවත්වීමට ඉඩ තිබුණා. ඇත්තටම ජ.වි.පෙ.ට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ කිසිම සැලැස්මක් තිබුණේ නෑ. 2016 මාර්තුවේ ආණ්ඩුවට එරෙහිව අපිත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා 113 හදාගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදාගන්න අපට වැඩපිළිවෙළක් තිබුණා. හැබැයි මේ විශ්වාසභංගයෙන් පසුව හදන ආණ්ඩුවකට 113 හදාගන්න විදිය ඔවුන් අද වනතුරු කියන්නේ නෑ. ජ.වි.පෙ. මන්ත්‍රීවරු හයට පමණක් ආණ්ඩු හදන්න පුළුවන් ද? 

ප්‍රශ්නය-  දැන් තමාට චෝදනා කරන පිරිස්ම ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය සඳහා සිය පක්ෂ සහාය ඉල්ලා සිටි බව කියමින් රිෂාඞ් බදියුදීන් මහතා හඬ පටයක් පවා නිකුත් කර තිබෙනවා. චෝදනාව බරපතළයි නේද

පිළිතුර-   ඇත්තටම රිෂාඞ් බදියුදීන් එකතු කරගැනීමට අපේ කිසිම වැඩපිළිවෙළක් තිබුණේ නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමට ප්‍රථම විල්පත්තු වන සංහාරය ගැන ඔහුට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ඔහුත් සමඟ විවාදවලට පවා සහභාගී වූ පුද්ගලයෙක් මම. එස්.බී. දිසානායක ඇමැතිතුමා නම් ඒ කාලේ ඔය වගේ දන්න දන්න හැම කෙනාටම දුරකථන ඇමතුම් දුන්නා. ඒක මුළු රටම දන්න කාරණයක්. ඒ නැතිව බදියුදීන් ගන්න එදා වැඩපිළිවෙළක් අපට තිබුණෙත් නෑ. අනාගතයේ ගන්නෙත් නෑ. බදියුදීන් හා අසාද් සාලිගේ සහාය ලබන කිසිම ජනපති අපේක්ෂකයකුට පිවිතුරු හෙළ උරුමය සහාය දෙන්නේ නෑ කියලා තීරණයක් ගෙන තිබෙනවා. ඔවුන් එක්ව හදන කිසිම ආණ්ඩුවක අපි ඉන්නෙත් නෑ. 

ප්‍රශ්නය-   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට බැසිල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කර ඇති බවට වාර්තා පළවුණා. ජනාධිපතිවරණය ගැන පොදුජන පෙරමුණ නිල තීන්දුවක් ගෙන තිබෙනවා ද

පිළිතුර-  පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක තීරණය ඇසිය යුත්තේ ඔවුන්ගෙන්මයි. නමුත් අපේ පක්ෂය තමන්ගෙ ජනපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරාගෙන ප්‍රකාශයට පත්කරලා සෑහෙන කාලයක් වෙනවා. 

ප්‍රශ්නය-   එතකොට ශ්‍රී.ල.නි.ප.ය හා ශ්‍රී.ල.පො.පෙ. අතර සාකච්ඡාවට පිවිතුරු හෙළ උරුමය සම්බන්ධවීමක් වෙන්නෙම නැද්ද

පිළිතුර-   පිවිතුරු හෙළ උරුමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේවත් කොටස්කරුවෙක් නෙවෙයි. ඒ නිසා ඒ පක්ෂ දෙක අතර සිදුවන සාකච්ඡාවලට අපේ දායකත්වයක් ලැබෙන්නේ නෑ. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම්වලදී පොදුජන පෙරමුණේ නායකත්වය සාකච්ඡාවල ප්‍රගතිය ගැන අපව දැනුවත් කරනවා. 

ප්‍රශ්නය-   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂය වගේම වැඩපිළිවෙළක් නැති පාර්ශ්වයක් හැටියටත් එ.ජා.ප.යේ තරුණ නායකත්වයක් ගැන ජනාධිපතිවරයා කළ මත දැක්වීමක් ගැන පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණා. මේ නව දේශපාලන වෙනස්වීම් ගැන ඔබ හිතන්නේ මොකක් ද?

පිළිතුර-   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂකයායි. ඔහු ආණ්ඩු හැදුවේ එ.ජා.ප.ය සමගයි. අදටත් ආණ්ඩු කරන්නේ එ.ජා.ප.ය සමගයි. එනිසා එතුමා එ.ජා.ප.ය සමග එකතු වෙනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඒ ගැන අප පුදුම විය යුතු නෑ. එකතු වේදැයි මා හරියටම දන්නේ නෑ. එහෙම වුණත් පුදුමයක් නෑ. 

ප්‍රශ්නය-   අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ කැමැත්තකින් මහ මැතිවරණයකට යෑමටත් 19 වැනි ව්‍යවස්ථාවට කරන සංශෝධනයකින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට නැවත ජනාධිපති අපේක්ෂකත්වයක් කරා යාමට වුවත් ඒකාබද්ධ විපක්ෂයට අවස්ථාව තිබෙනවා. හදිසි මහ මැතිවරණයකට පිවිතුරු හෙළ උරුමයේ කැමැත්ත අකැමැත්ත කොහොම ද?

පිළිතුර-   අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නෙවෙයි. තවත් මාස හතරකින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාවක් අපි දකින්නේ නෑ. 

ප්‍රශ්නය-   යම් හෙයකින් එවැනි අවස්ථාවක් සඳහා සන්ධාන මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂය අතර යම් සාකච්ඡාවක් හටගත්තොත් එයින් ඔබ කියන්නේ පිවිතුරු හෙළ උරුමයේ ඡන්දය ඊට නොලැබෙන බව ද

පිළිතුර-  පිවිතුරු හෙළ උරුමයේ මතය නම් මේ අවස්ථාවේ ජනාධිපතිවරණය පාමුල සිට පාර්ලිමේන්තු මැතිවරණයකට යාම අපට පාඩුයි. එක්සත් ජාතික පක්ෂයට වාසියි. ඉදිරි ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒක අපි වසර හතරක් පුරා කියන්නේ. ඒකට විරුද්ධ වූ අයටත් අද ඒ මතය පිළිගන්න සිද්ධවෙලා. ඔහු තමයි අනාගත ජනාධිපති. ඔහු සමඟ තරගයක් දිය හැකි අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයට නෑ. ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය අතර උපායමාර්ගික වෙනසක් තිබෙනවා. ජනාධිපතිවරණයකදී වැඩි ඡන්ද එකකින් ජයග්‍රහණය කළත් එය ජයග්‍රහණයේ තරමට බලපාන්නේ නෑ. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්ද ගණන මන්ත්‍රී ධුර ගණනට බලපානවා. එක්සත් ජාතික පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ධුර 106කට සීමා වීම අද ඔවුන්ගේ අස්ථාවර ආණ්ඩුකරණයට බලපා තිබෙනවා. එවැනි පසුබිමක අපට මන්ත්‍රී ධුර විශාල සංඛ්‍යාවකට අපට යෑමට තිබෙන අවස්ථාව මගහැරිය යුතු නෑ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වුණොත් අපට පුංචි පක්ෂවල අල්ලේ නැටවෙන්නේ නැති ස්ථාවර පාර්ලිමේන්තුවක් හදන්න පුළුවන්. විශේෂයෙන්ම රිෂාඞ් බදියුදීන් හා රාවුෆ් හකීම් අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නටවන ආකාරය බැලුවාම ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාව මුළු රටම පිළිගන්න මොහොතක්. ඒ නිසා ජනාධිපතිවරණයකින් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම අපට වාසිදායක නිසා මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට අපි විරුද්ධයි. අනෙක් අතට රාජ්‍ය බලය තිබියදී පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ අවශ්‍යතාව අප දකින්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඉතින් එ.ජා.ප.යට වාසි දේ අපට අවාසියි. ඒ නිසා ඊට අපේ එකඟත්වයක් ලැබෙන්නේ නෑ.

(ලංකාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website