Tuesday, 11 June 2019 08:41

ගිජු ලිහිණි න්‍යාය

අවලස්සන බොහෝ දේ සිදු වෙමින් තිබෙන වටපිටාවක ඇතැම් තැනක ලස්සන දේ ද අහන්නට ලැබේ. ජාතිවාදය ගොජ දමමින් වැඩෙමින් තිබිය දී, සංහිඳියාව යන වචනය පවා විසුළුවට ද වෛරයට ද ලක් වෙමින් තිබිය දී, ජාතින් අතර සමගිය ඇති කිරිම සඳහා මිනිසුන් විසින් කරන සත් ක්‍රියා ද අපට වාර්තා වෙයි. ජාතිවාදය ව්‍යාර්ථ කිරීමට ගන්නා උත්සාහයන් ද ඒ අතර තිබේ.

අවලස්සන සිදු වීම් අතර සිදු වූ ලස්සන සිදු වීමකින් අද අපේ ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමු. ඒ ආණ්ඩුවේ ඇමති ධුර දැරූ සියළු මුස්ලිම් ජාතිකයන් තම ධුරවලින් ඉවත් වීම ය.

බොහෝ දෙනකු අනාවැකි පල කර තිබුණේ මේ අවස්ථාවේ ඔවුන් අස් වන බවට තර්ජනය කරමින් ආණ්ඩුව ලවා තමන්ගේ නිදහසට කරුණු පාදා ගනු ඇති බව ය. එහෙත් සිදු වූයේ අනෙකකි. ආණ්ඩුවෙන් අස් වුව ද තමන් ආණ්ඩුව අමාරුවේ දාන්නට අදහස් නොකරන බව, ඔවුහු ඒ වෙනුවට කියා සිටිය හ. තමන් අස් වූයේ කරන යම් පරීක්ෂණයක් වෙතොත් එය වඩා ස්වාධීනව සිදු කිරීමට ඉඩ සලසාලමින් බව ද ඔවුහු කියා සිටිය හ.

එය එක් පැත්තකින් බදූර්දීන්ගේ ඉල්ලා අස්වීම හෝ ඔහුගේ ඉවත් කිරීම ඉල්ලා සිටි අයට ගැසූ කනේ පහරක් වූවා නිසැක ය. එහෙත් ඒ පහර වෛරයෙන් එතූ පහරක් වෙනුවට, දරාගත නොහැකි වඩාත් කාරුණික සියුම් පහරක් වූයේ ය. ඒ දේශපාලන පරිණතභාවය කලකින් අප රටේ දේශපාලනඥයන්ගෙන් දකින්නට නොලැබුණු තරමේ එකකි.

එය කොතෙක් බලපෑවේ ද යත් උක්ත උපවාසය හෙළා දැකීමටත් මුස්ලිම් අමාත්‍යවරුන්ට සිය පදවි බාර ගන්නා ලෙසත් ඉල්ලා සිටීමට මහ නාහිමිවරුන්ට පවා සිදු විය. රටපුරා සැණකෙලි පවත්වන බවට පුරසාරම් දෙඩූ ඥානසාර හිමියන්ට ද රතන හිමියන් කළේ “කැත“ වැඩක් යයි කියන්නට සිදු විය.

මාරාන්තික උපවාසය මේ අස්වීම් ඉදිරියට තල්ලු කළ කාරණය බවට නැවත කරුණු දක්වන්නට ඕනෑ නැත. අප පළමුව මාරාන්තික උපවාසය යන කාරණය දෙස සංයමකින් බැලිය යුතු ය.

යුක්තිය ඉටු කර ගැනීම උදෙසා තිබෙන සියළු ක්‍රියාමාර්ග ගෙන බැරිම තැනක, සියළු සාධාරණ මාර්ග වසා පොලු දමා ඇති තැනක, එවැනි තර්ජනයක් කිරීමට කෙනකුට ඇති අයිතිය ගැන අපට ප්‍රශ්න කළ නොහැකි ය. එහෙත් ඒ සඳහා වෙනත් නීතිමය මෙන්ම ශිෂ්ට වූ මාර්ග තිබිය දී එවැන්නක් භාවිතා කිරීම ගැන කෙනකුට සමාව දිය හැකි ද? විශේෂයෙන් බොහෝ මිනිසුන් පිස්සු බල්ලන් මෙන් පාස්කු ප්‍රහාරයට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් මිනිසුන්ගෙන් පවා ගේම ඉල්ලන වටපිටාවක ප්‍රශ්නය තිබුණේ සමස්තයේ ය. ඒ සන්දර්භයේ ය.

මෙතැන තිබුණේ දේශපාලනයකි. එය ජාතිවාදය සමග හරි හරියට මිශ්‍ර කර තිබූ පමණින් එම කාරණය අවලංගු වන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියේ බදුර්දීන්ගේ අස් කිරීම ය. ඒ හරහා ආණ්ඩුවම අර්බුදයකට ගෙන යා හැකි යැයි ඔවුන් සිතන්නට ඇත. ඔවුන් අසාද් සාලිගේ හෝ හිස්බුල්ලාගේ ඉවත්වීමක් හෝ අස්කිරීමක් ඉල්ලා සිටියේ නැත. ඒ පත්වීම් දෙකම තමන්ට මෑත කාලයේ දී සහය දැක්වූ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ වීම නිසා ඔවුන්ට අවශ්‍ය වූයේ බදුර්දීන් තනි කර ඔහුට ගැසීමට බව හැසිරුණු විදියෙන් පෙනෙන්නට තිබුණේ ය.

තීන්දුවෙන් පසු සාක්ෂි

එහෙත් රතන හිමි ඒ දෙක ද එකතු කළේ ය. ඒ නිසා රතන හිමියන් සමග එක පෙළට සිට ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළේ නැත. ඒ නිසා මාධ්‍ය මගින් කොතෙක් ඇවිස්සුව ද මුල් දිනවල ජනතාව රතන හිමියන් වටා එහෙමකට පෙළ ගැසෙන බවක් දක්නට ලැබුණේ නැත. ඥානසාර හිමියන් පැන්නේ මේ හිඩැස පිරවීම ය. ඔහුට ම උරුම වෛරී කථනයකින් ඔහු කීවේ හෙට දහවල් 12 ට කලින් අස් කළේ නැතිනම් රටම සැණකෙලියක් කරන බව ය. උපවාසය ගැම්ම ගන්නේ ඒ ප්‍රකාශයත් සමග ය.

මුස්ලිම් අමාත්‍යවරුන් සියල්ලම ඉල්ලා අස්වීම නිසා නාට්‍ය පිටපතට අනුව රග දැක්වීමට නළුවන්ට නොහැකි වූයේ ය.

දැන් සියල්ල සන්සුන් ය. දැන් බදුර්දීන්, අසාද් සාලි සහ හිස්බුල්ලා යන තිදෙනාට ම එරෙහි යම් සාක්ෂියක් පැමිණිල්ලක් තිබේ නම් බාර ගන්නට විශේෂ කවුන්ටරයක් විවෘත කර තිබේ. තීන්දුව දීලා ඉවර ය. දැන් තියෙන්නේ සාක්කි කැඳවන්නට ය. ඒ දුන් තීන්දුව තහවුරු කර ගන්නට ය. එසේත් නැතිනම් කාලයේ වැලිතලාව තුළ ඒ චෝදනා සියල්ල සඟවා තබන්නට ය.

ජාතිය ඒකාබද්ධ කිරීමේ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා තමාට හැකි පමණින් තම අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නට වෙර දැරූ හැටි ද අපි දුටුවෙමු. එතුමා කීවේ, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ මැති ඇමතිවරුන්ට විරුද්ධව පැමිණිලි හෝ සාක්කි ලැබී ඇද්දැයි විමසූ විට, ඔහුට දැන ගන්නට ලැබුවේ ඒ වන විටත් අත්අඩංගුවට ගැනීමට හෝ පරීක්ෂණ සිදු කිරීමට මගපෙන්වන පැමිණිලි හෝ සාක්කි කිසිවක් ඔවුන්ට ලැබී තිබුණේ නැති බව ය.

කුරුණෑගල සාෆි වෛද්‍යවරයාට අත් ව තිබුණේ ද සමාන ඉරණමකි. පැමිණිලි කිසිවක් නැතිව ම මාධ්‍යවලින් ඔහු වැරදිකරු කර තිබිණි. ඉන්පසු පොලීසිය විසින් මාධ්‍යවලින් දැක්වූ වඳ කිරීමේ කතාවට කිසිදු සම්බන්ධයක් නැති වත්කම් ප්‍රශ්නයක් අරබයා ඔහු අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ, වංචනික වත්කම් රැස්කර ගෙන තිබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂමව කටයුතු කළ හැකි, විශේෂයෙන් බලාත්මක කරන ලද, අල්ලස් හා දූෂණ කොමිසමක් තිබිය දී ය.

තව හැරවුම් ලක්ෂයක්

මේ සෑම තැනකම ප්‍රදර්ශනය කර තිබුණේ හදිසියකි. පැමිණිලි හෝ සාක්කි නැතිව වුව තීන්දුවක් ගන්නට බල කෙරුණු වටපිටාවකි. තීන්දු ගනු වෙනුවට තීන්දුවලට පනින වතාවාරණයකි. ඒ සියල්ල වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නට බලකරන්නට කැප වූ මිනිසුන් රාශියකි. ඒ සියලු දේට පණ දෙන්නට කෑදර කමින් බලා සිටිනා මාධ්‍ය රැසකි.

උපවාසයේ විසුළු සහගත නිමාවත් සමග ඒ සියල්ල මඳකට නැවතී ඇති සැටියකි. සෝඩා බෝතලයේ කැළඹිල්ල සන්සුන් වී ඇති සැටියකි. වීරයින් පසු බැස ඇති සැටියෙකි.

එහෙත් සියල්ල තවම අවසන් නැත. මුස්ලිම් අයට එල්ල වූ තර්ජනය ජාතිවාදයට විරුද්ධව මත ප්‍රකාශ කරන්නන්ට ද එරෙහි ව එල්ල වන ලකුණු පෙනෙන්නට ඇත. මේ ප්‍රහාරයට වත්මන වඩාත් ලක් ව ඇත්තේ හැමදාමත් තම මතය අභීතව කියන අමාත්‍ය මංගල සමරවීර ය. ඔහු ප්‍රහාරයට ලක් වන්නේ, මේ රට සිංහල බෞද්ධ රටක් නොව ජීවත්වන සියළු ජාතීන්ට අයත් රටක් ය, යන නිවැරදි මතය වෙනුවෙන් මේ මොහොතේ ප්‍රසිද්ධියේ පෙනී සිටිම වෙනුවෙනි. ඔහුට එරෙහිව බෞද්ධ භික්ෂූන් කීප නමක් පෙළ ගැසී ඇතැයි වාර්තා වෙයි.

ඕනෑම අයකුට වුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ද ගරු කරමින්, අපට කිව හැක්කේ ඇත්ත කීම සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයාට පමණක් නොව කිසිදු පුද්ගලයකුට තහංචි පැනවීම තරම් නොවන බව ය.

මේ පිරිස එතැනින් නැවතුණේ නැත. ඔවුහු මුහුණ සෝදන බේසමේ කිඹුලන් සොයන්නට ද පටන් ගත් හ. රත්නපුරේ ඡායාරූප ශිල්පය ඉගෙන ගන්නා කොලුවෙක් කන්දක් උඩ සිට රත්නපුරේ නගරය ඡයාරූප ගත කළේ යැයි දැන් හිරේ ය. ඒ පුංචි කැමරාවකින් සටහන් කර නොගත්තාට ගූගල් සිතියම් වලින් හැම දෙයක් ම ආසන්නව බලා ගත හැකි ව තිබිය දී ය. පොලීසිය බාරයේ සිටි මේ තරුණයා ටික වේලාවකට තමන්ට බාර දෙන්නැයි පන්සියයක් පිරිවර සමග පැමිණි සංඝයා වහන්සේ කෙනෙකු ඉල්ලා සිටියේ තරුණයාට දන්නා ඉහළින් ම සලකන්න ය. පසුව ඒ හිමි නම ම පසුතැවුණු බවක් ද වාර්තා විය. නැවක සුක්කානම දැක්වෙන රූ සටහනක් ඇඳි කාන්තාවක් අදටත් හිරේ ය. ඒ සුක්කානමේ හා ධර්ම චක්‍රය අතර වෙනස නොදන්නා, එසේත් නැතිනම් කලබල වීමෙන් එම වෙනස හඳුනාගැනිමට ඉස්පාසුවක් නොවුනු, සංඝයා වහන්සේලා හා බෞද්ධ ගිහි පින්වතුන් නිසා ය.

මේ සියල්ල පටු ජාතිවාදය හරහා තමන් පිම්බීමට ගන්නා උත්සහායන් මිසක වෙන අරමුණක් ඇති ව කෙරෙන වැඩ නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ජාතිවාදයට තටු ලැබී තිබේ. ලවක් දෙවක් නැතිව මේ පියාඹමින් ඉන්නේ එසේ තටු ලැබ අහස් කුස පුරා ගොදුරු සොයමින් කැරකෙන ගිජු ලිහිණියන් ය. රීරී පිසාචයන් ය. උන් එක අතකින් භයානක ය. අනිත් අතට සපයන්නේ විහිළු ය. රටම ලෝකය ඉදිරියේ විහිළුවක් බවට උන් පත් කරන්නේ අමු සොහොනක් බවට පත් කරන්නට බැරි වූ විට ය.

අපේ රට තුළ විවිධ ජනවර්ගවලට අයත් අය මෙන්ම විවිධ ආගම්වලට අයත් අය ද වෙසෙති. ඒ වසර දස දහස් ගණනක් තිස්සේ ගොනු වී අද වන විට මෙහි පැලපදියම්ව ය. ඉන්දීය මහා ද්වීපයෙන් සංක්‍රමණය වූ විවිධ ජාතින්ගෙන් ද වෙළඳාම පිණිස පැමිණි ජාතීන්ගෙන් ද ලංකාවේ ජනතාව සමන්විත ය. ජාතියක් හැටියට ගත්තොත් අද අප සියලු දෙනා අයත් වන්නේ ශ්‍රී ලාංකික ජාතියට ය. මෙය බොරුවක් ද?

බහුතරය සිංහලයන් බව ද ඔවුන්ගෙන් බහුතරය අදහන්නේ බුද්ධාගම බව ද ඇත්ත ය. එසේ කියා රටේ අයිතිය ඔවුන්ට යැයි කිව හැක්කේ කෙසේ ද?

මේ සම්බන්ධයෙන් අපට ආදර්ශයක් දෙන්නේ බුදුන් වහන්සේ ය. උන්වහන්සේ සංඝයා අමතා කිවේ තම ශාසනයට විවිධ කුලවලින් විවිධ තරාතිරම්වලින් අය පැමිණෙන බව ය. ඒ හැම කෙනකුම ශාසනයට ආ පසු එකම පිරිසක් බවට පත් වන බව ය. ඔවුන් ආ පසුබිම ඉන්පසු තවදුරටත් අදාළ නොවන බව ය. ඒ සඳහා බුදුන් වහන්සේ උපමාවක් ද ගෙන දැක්වූහ.

විවිධ ගංගාවලින් සමූද්‍රයට ජලය එක්වේ. එහෙත් එක් වූ පසු ඒ ජලය අහවල් ග‍ඟෙන් පැමිණියේ යැයි කියන්නට කිසිවකුට බැරි ය. මගේ ශාසනයේ අය සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුතු පිළිවෙත එසේ විය යුතු ය. කවරකුටවත් සෙසු අය අභිබවා වරප්‍රසාද හිමි නොවිය යුතු බව උන්වහන්සේ පැවසුවේ එසේ ය.

එකම වෙනස ශාසනය තුළ එකම ලබ්දියක් තිබිම ය. එකම දර්ශනයකින් ඔවුන් බැඳී සිටිම ය. රටක එසේ නොවිය හැකි ය. එසේ වුව ද අදහස රටකට ද අදාළ ය. ඕනෑම සංවිධානයකට ද එය අදාළ ය. නැතිනම් රටක් ලෙස, සංවිධානයක් ලෙස, එවැන්නකට තවදුරටත් පැවතිය නොහැකි ය. මේ සත්‍යය අවබෝධ කර ගැනීමට කෙනකු නිවන් ලබාගත යුතු නැත. උපාධියක් හිමිකර ගත යුතු නැත. විභාග සමත් විය යුතු නැත.

රටේ අයිතිය

මේ රට අප සියලු දෙනාගේ ය. අප අයත් වන්නේ එකම ශ්‍රී ලාංකික ජාතියකට බව සෑම ජන වාර්ගිකයකු විසින් ම අවබෝධ කරගත යුතු ය. එසේ හැසිරිය යුතු ය.

කැලෑ කැපිම වරදක් විය හැක්කේ එය බදුර්දීන් කරන විට පමණක් නොවේ. හොරකම් කරන එක වරදක් වන්නේ එය මුස්ලිම් අමාත්‍යවරයෙකු කරන විට පමණක් නොවේ. තරුණියක දූෂණය කිරීම වරදක් විය හැක්කේ එය මුස්ලිම් කොල්ලකු විසින් කරන විට පමණක් නොවේ. කඩු තබා ගැනීම වරදක් වන්නේ එය මුස්ලිම් පල්ලියක් තුළ තිබෙන විට පමණක් නොවේ. අයථා ලෙස වත්කම් එකතු කරගැනීම වරදක් වන්නේ එය මුස්ලිම් වෛද්‍යවරයෙකු විසින් කළ විට පමණක් නොවේ.

අතීතයේ මෙසේ චෝදනා සියල්ල එල්ල කෙරුණේ දෙමළ ජාතිකයන් ට විරුද්ධව ය. අද එය මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කර ගෙන තිබේ. හෙට එය කතෝලිකයන්ට එරෙහිව යා හැකි ය.

සතුරකු සොයා ගන්නා විට වෙන පිලකින් සොයා ගැනීම ඇඟට ගුණ ය. විශේෂයෙන් දුර්වල පිලකින්, සුළුතරය ඉන්නා පිලකින්, තෝරා ගැනීම පහසු ය. වීරයකු වීමට, පොරක් වීමට, ඒ මගින් ඇඟට වැඩිය අගුණ නැති මගක් විවෘත වන්නේ ය. මේ ගත වන්නේ ඒ ඊනියා වීරයන්ගේ හෝරාව ය. වීරයන් ලෙස බෞතීස්ම කරනු ලබන රීරී පිසාචයන්ගේ හෝරාව ය.

මේ කී සියල්ල එල්ල කරනු ලැබුයේ මේ දිනවල නැගිටිමට වෙර දරණ ඊනියා සිංහල බෞද්ධ මතවාදය සම්බන්ධයෙන් ය. එහි විවිධ ස්වරූපයන්ට ය. එහෙත් එය තනිකරම එක් කණ්ඩායමක් මත පවරා අත් පිසදා ගැනීමට නොහැකි තරමට සංකිර්ණ එකකි. වගකීම ඇත්තේ සැමට ය. වාර්ගික හණ ගසා ගනිමින් වෙන්වෙන්නට හදන සැම මෙහි කොටස්කරුවෝ ය.

එක් පසෙක අන්තවාදය ශක්තිමත් කරන්නේ අනෙක් පස අන්තවාදය විසිනි. මේ ඉහත කී සියල්ලට මග පෑදුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය ය. ඒ ප්‍රදර්ශනය කරන ලද “මුස්ලිම්“ අන්තවාදය විසින් ජවය සැපයුවේ මේ අද දිගහැරෙමින් තිබෙන “සිංහල“ අන්තවාදයට ය.

ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩ නැගිය හැක්කේ වාර්ගික අන්තවාදය හා වර්ගයක් ලෙස වෙන්වීමට දරන උත්සහයන් පරාජය කිරීම හරහා ය. එහි වැඩිමනත් වගකීම බහුතරය වෙත පැවරෙතත් අප පිළිගත යුත්තේ එක් අතකින් පමණක් අත්පුඩි ගැසීමට නොහැකි බව ය. ඒ නිසා සෙසු ජනවර්ග හා ආගම්වලට අයත් හැම දෙනාමත් තම වත් පිළිවෙත් ගැනත්, සෙසු කටයුතු ගැනත්, අලුතින් සිතිය යුතු ය.

සංකේත තුළින් ආගම සෙවීම

ඒ සඳහා එක් වැදගත් පියවරක් වන්නේ ආගමික සංකේත, වත් පිළිවෙත් හා කටයුතු තම නිවෙස්වලට හා පල්ලි පන්සල්වලට සීමා කර ගැනීමට ඉටා ගැනීම ය. ඒවා හැකිතාක් දුරට පිටට වාන් දැමීමෙන් වළකා ගැනීම ය.

අප තේරුම් ගත යුත්තේ අප එකිනෙකා කුළල් කා ගනිමින් වැනසෙන අතරේ, අප මෙන්ම ගැටි වැනසෙන රටවල් කීපයක් හැර, සෙසු රටවල්, අප ව පසු කරගෙන ඉදිරියට යන බව ය. තමන්ට එරෙහිව දියත් කෙරෙන අන්තවාදී ප්‍රහාර නිසා ඔවුන් මේ තරමට පරල වී කටයුතු නොකරන බව ය. ඒ නිසා ඔවුන්ට අන්තවාදය පරාජය කොට ජය ගැනීමේ වැඩි ඉඩක් පවතින බව ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතිවාදයට අවශ්‍ය ගින්දර සැපයූ බව ඇත්ත ය. එහෙත් ඉන්ධන අපේ හදවත් තුළ ද ඇතිවෙන්නට තිබුණේ ය. ඇවිල ගියේ ඒ නිසා ය.

පොලීසිය හා ආරක්ෂක අංශ මේ ගින්දර සොයා මෙහෙයුම් දියත් කරනු ඇත. එහෙත් ඉන්ධන තිබෙන තාක් ගිනි ගන්නට ඇති ඉඩ වැළැක්විය නොහැකි ය. ඒ නිසා ආරක්ෂක අංශ හෝ පොලිසියට හෝ තවත් සමහරුන් විශ්වාස කරන විදිහට, ගමේ මැරයිනට පමණක් හෝ මේ ගිනි ඇවිලීම නතර කළ නොහැකි ය.

එයට මෛත්‍රියේ සිසිල් දිය දහරක් අවශ්‍ය ය. ප්‍රේත ආත්මයකින් ගැලවීම පතා මෛත්‍රී භාවනාව අනුයන සංඝ නායකයන් වෙනුවට සැබෑ ලෙස සියලු සතහට මෙත් වැඩීම වෙනුවෙන් පෙනී සිටින, ඒ සඳහා මිනිසුන් පොළඹවන, ආගමික නායකයන් අවශ්‍ය ය. මේ රට සියලු දෙනාට අයිති බව කියන දේශපාලන නායකත්වයක් අවශ්‍ය ය. එපමණකින් නොනැවතී, ඒ බව තහවුරු කරන්නට කැපවුණු දේශපාලන නායකත්වයක් ද අවශ්‍ය ය.

එක් පැත්තකින් එසේ ගිනි නිවන අතරේ සහ ගිනි ඇවිලීමට ඇති ඉඩ අවුරුවන අතරේ, ජනතාව අතර එකිනෙකා සම්බන්ධයෙන් ඇතිවන සැක සංකා හා බිය ඉක්මණින් තුරන් කිරීමට ද එවැනි නායකත්වයක් විසින් පියවර ගත යුතු ය. හොල්මනකට බිය වි දඟලන මිනිසකු බිය ගුල්ලෙකු ලෙස හඳුන්වා, විහිළුවට ලක් නොකර, එතැන ඇත්තේ කෙසෙල් කොළයක සෙලවීමක් පමණක් බව, එලියක් දල්වා කරුණාවෙන් පෙන්වා දෙන නායකත්වයක් අවශ්‍ය ය.

මුස්ලිම් අමාත්‍යවරුන් අස්වූයේ අප අවසානයට කි කාරණයට ඉඩකඩ සලසා දෙනු වස් ය. දැන්වත් පරල වන්නේ නැතුව සොයා බලා තින්දුවලට පැමිණෙන්නැයි අප කලබල කරන්නන්ට කිව යුතු ය. ඒ කලබල අවුළුවන මාධ්‍යවලට කිව යුතු ය. නැවත ඇති නොවන ලෙස ගින්න නිවා දැමිමට අප ද කැප විය යුතු ය. එසේ නොකරන්නන්ට රටට යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට අයිතියක් නැත.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website