Wednesday, 12 June 2019 09:41

ත්‍රස්තවාදියාගේ මැවුම්කාරයා

වැරදි සහගත ආකල්ප බැහැර කළ යුතු ය. එවිට සිරගෙවල් අපරාධකරුවන්ගෙන් පිරී නොයනු ඇත. අපේ රටේ ඇතැම් පරිපාලන නිලධාරීන් ඔවුන්ගේ අමාත්‍යාංශවල දැක්ම සහ අරමුණ පවා නොදනී. එවැනි පිරිසකට රටක් ගොඩනැඟිය හැකිද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුය. අවශ්‍ය වන්නේ ආකල්ප වෙනස්වීමකි. ඒ සඳහා මූලික අඩිතාලම සකස් විය යුත්තේ කුඩා කල පටන් ය. අපරාධකරුවන්, ත්‍රස්තවාදීන්, රෝගීන් වැඩි වැඩියෙන් බිහිවීමට ඉඩ දී බලා සිටීමෙන්, රටක් වශයෙන් ඉදිරියේ දී අපට බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදු වනු ඇත.

දූෂණයෙන්, භීෂණයෙන් හා ගැටුම්වලින් තොර සමාජයක් බිහි කිරීමෙහි ලා, පළමුකොට කළ යුත්තේ දරුවන් තුළ මානව ගුණධර්ම වැපිරවීම ය. මාපිය තුරුලෙන් ක්‍රමයෙන් මහා සමාජයට යොමු වන දරුවාගේ ආකල්ප වර්ධනය වන්නේ ඔවුන් සමාජයෙන් උකහා ගන්නා දේ අනුව ය. ඒ හේතුවෙන් දරුවකු වැඩිහිටියකු වූ පසු මැරයකු, ත්‍රස්තවාදියකු හෝ ජාතිවාදියකු වනවා ද? නොඑසේ නම් මානව හිතවාදියකු වෙනවා ද? යන්න තීරණය වීමේදී මුළු මහත් සමාජය ම ඒ සඳහා සෘජුව හෝ වක්‍රව බලපෑම් එල්ල කරයි.

ළමා විය පුද්ගල ජීවිතයේ වැදගත් ම අවධිය ලෙස සැලකෙන අතර එහිදී ද ‘පූර්ව ළමා විය‘ අතිශය විශේෂ වේ. එය පුද්ගල ජීවිතයේ තීරණාත්මක අවධියක් බව ලෝකයේ බොහෝ රටවල කෙරුණු අධ්‍යයන මඟින් ඔප්පු වී ඇත. මනෝ විද්‍යාවට අනුව පිළිගැනෙන්නේ දරුවකුගේ වර්ධනයේ උච්චතම අවධිවල දී දරුවන්ට අවශ්‍ය සත්කාර නිසි පරිදි නොලැබී යෑම ඔවුන්ගේ මොළයේ වර්ධනය අඩාල වීමට හේතු වන බවයි. මිනිසකුට ඕනෑම වයසකදී අධ්‍යාපනය ලැබීමට සහ කුසලතා වර්ධනයට යොමු විය හැකි වුවත් මනෝ විද්‍යාඥයින්ට අනුව පුද්ගල ජීවිතයට විශේෂ සහ ඉහළම බලපෑමක් කළ හැක්කේ පූර්ව ළමා වියේදී ය. එනම් උපතේ සිට වයස අවුරුදු 3ත් 5ත් අතර කාලයේදී ය. මෙම වයස්වලදී ‍ඉන්ද්‍රීය චාලක ශක්ති හැකියාව සමඟ ම ඔවුන්ගේ චින්තන ශක්තියේ ද දියුණුවක් ඇති වේ. වයස අවුරුදු 8ක් වනවිට සෑම දරුවකු ම වැඩිහිටියකු වී අවසන් ය යනුවෙන් සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා ප්‍රකාශ කොට ඇත. ඉන් පසක් වන්නේ ළමා කාලය පුද්ගල ජීවිතයක කෙතරම් වැදගත් අවධියක් ද යන්නයි. අපේ හුරුපුරුදුකම් ඇතිකර ගැනීම, යමක උණුසුම, යමක සීතල වැනි දැනීම් නිවැරදිව හඳුනාගැනීම සිදු වන්නේ මේ කාලයේදී ය. භාෂාවක් ඉගැන්විය හැකි පහසු ම වයස වන්නේ ද කුතුහලයෙන් යුතු ව යම් යම් දේ පිළිබඳ ව විශ්ලේෂණයට පෙළඹෙන අවධිය වන්නේ ද මෙය යි.

සමාජානුයෝජනය

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වසය අවුරුදු 18 සීමාව දක්වා ළමා විය ලෙස සැලකේ. බටහිර රටවල දරුවන් නව යොවුන් වියේ ම තනි ව ජීවිතයට හැඩගැසෙන නමුත් අප සමාජයේ දරුවන් වයස අවුරුදු 18 ඉක්ම වූ පසු ද විවාහ වන තුරු ම පවුලේ ආදරය රැකවරණය ලැබීමේ භාග්‍ය හිමිකොටගෙන තිබේ. එසේ ම ළමා කාලය සුන්දරත්වයෙන් යුතු ව ගෙවීමට පහසුකම් ගොඩනැඟීම වෙනුවෙන් විවිධාකාර වැඩසටහන්, සංවිධාන සහ රාජ්‍ය යාන්ත්‍රණ ද පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ සංවර්ධන නිලධාරීන් සහ පූර්ව ළමාවිය ඉලක්ක කොටගත් පෙරපාසල් ද දිවයින පුරා ක්‍රියාත්මක වේ. නමුත් මෙවැනි පසුබිමක වුව අප සමාජයේ ගැටුම් සහ කලහකාරී තත්ත්වයන්ගේ ද මදිපාඩුවක් නොමැති වීම පශ්චත්තාපයට කරුණකි. වැඩි අවධානයක් යොමු විය යුත්තේ, වැඩිහිටියන් බවට පත් වූ පසු, සමාජ ප්‍රශ්න ගොඩනැඟෙන අන්දමේ ව්‍යාකූල චර්යාවන් ජනනය කරන පෞරුෂත්ව ඇතිවීම වළක්වාලීම පිළිබඳව ය. මෙහිදී ළමයකුගේ සමාජානුයෝජනය ඉතාමත් ම වැදගත් ය. ජීව විද්‍යාත්මක සත්ත්වයකු සමාජ විද්‍යාත්මක සත්ත්වයකු බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සමාජානුයෝජනය යනුවෙන් හැඳින්වේ. දරුවකුගේ සමාජානුයෝජනය ඇරඹෙන්නේ, කළලයක් ව මවු කුස තුළ සිටින කාලයේ පටන් බව පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. දරුවාට මවුකිරි ලබාදීම තුළ ඇතිවන සුරක්ෂිතභාවය ද මෙහිදී අතිශය වැදගත් ය.

මවගෙන් කිරි උරාබීම දරුවන්ගේ ආකල්ප සංවර්ධනයේදී කොතරම් වැදගත්ද යන්න හුවා දැක්වීමට මානව විද්‍යාත්මක පර්යේෂණ පවා සිදුකොට ඇත. මාග්‍රට් මීඩ් නම් මානව විද්‍යාඥවරිය මේ සම්බන්ධ පර්යේෂණය කර ඇත්තේ, නියුගිනියානු සමාජයේ ‘මුන්ඩුගුමාර්‘ සහ ‘ඇරපේස්‘ නම් ගෝත්‍රික සමාජ දෙක පදනම් කරගෙන ය. එක ම භූගෝලීය ප්‍රදේශයක වෙසෙන මේ ගෝත්‍ර දෙකෙහි වැඩිහිටියන් හැසිරෙන්නේ හාත්පසින් ම වෙනස් ආකාර දෙකකට ය. එක ගෝත්‍රයක් ඉතාමත් සාමකාමී, ආගන්තුක සත්කාරයට ළැදි, අන් අයට ගරුකරන පිරිසකි. අනෙක් ගෝත්‍රය අසභ්‍ය වචන භාවිත කරමින්, නිරන්තරයෙන් කළහකාරි ලෙස හැසිරෙන පිරිසකි. එක ම භූගෝලීය කලාපයක වෙසෙන මේ ගෝත්‍ර දෙකේ ජනතාව මෙවැනි ප්‍රතිවිරුද්ධ අන්දමේ චර්යාවන් පෙන්නුම් කිරීමට බලපෑ හේතුව සොයාගැනීමට මෙම මානව විද්‍යාඥවරිය වසර ගණනාවක් මුළුල්ලේ සංස්කෘතික අධ්‍යයනයක් සිදුකොට ඇත.

මුන්ඩුගුමාර් ගෝත්‍රයේ මවුවරුන් දරුවන්ට කිරිදීම දේව කාරියක් සේ සලකයි. ඔවුන් දරුවාගේ කුස පිරෙන තුරු කිරිදෙන්නේ, සම්පූර්ණ අවධානය දෙමින්, නැළවිලි ගී ගයමින්, සුරතල් කරමින් ය. එනිසා ම එම දරුවන් මවගේ ඇකයෙන් ඉවත් වන්නේ තෘප්තිමත්ව ය. එහෙත් ඇරපේස් ගෝත්‍රයේ මවුවරුන් දරුවන්ට කිරි දෙන්නේ වතුවල වැඩ කරන අතරතුර දරුවා ඇඟේ බැඳගෙන ය. ඔවුන් කේන්තියෙන් බැණවදිමින්, අවධානයක් සහ ආදරයක් නොදක්වමින් දරුවන්ට කිරි දෙනවා පමණක් නොව, දරුවා කිරි බොමින් සිටින අතරවාරයේ ඉවතට කර, වතුවැඩවල ද යෙදෙති. එලෙස මවගේ තන පුඩුවෙන් ඇද ඉවත් කරන දරුවා කිසිවිටක තෘප්තිමත් නැත. නොසන්සුන් ය. නිතර සිටින්නේ ඉච්ඡාභංගත්වයෙන් ය. ඒ අනුව මානව විද්‍යාඥවරිය එම චර්යා වෙනසට හේතුව පිළිබඳ නිගමනයකට එළඹ ඇත. මින් පැහැදිලි වන්නේ කිරි උරාබීම, දරුවකුගේ කායික පෝෂණය පමණක් නොව, මානසික පෝෂණයත් ඇති කරවන අතිශය වැදගත් ක්‍රියාවලියක් බව ය. දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේදී මාපියන් දරුවන් සමඟ කාලය ගතකිරීම සේ ම කාලය ගතකරන ආකාරය ද ඉතාමත් වැදගත් ය. පවුල තුළ ආදරය, රැකවරණය දරුවකුට දැනෙන්නට සැලැස්විය යුතු ය. මන්ද දරුවකු පළමුවෙන් ම සමාජානුයෝජනයට ලක්වන්නේ පවුල තුළ බැවිනි. දරුවන් පළමුවෙන් ම ඔවුන් තුළ හොඳ හෝ නරක ආකල්ප ඇති කරගන්නේ පවුල තුළ මාපියන් කටයුතු කරන ආකාරය අනුව ය.

ඉන් අනතුරුව පෙරපාසල ද දරුවන්ගේ ආකල්ප සංවර්ධනයේ දී අතිශය තීරණාත්මක සංධිස්ථානයකි. පළමු වරට දරුවකු මහා සමාජය හා යාවීමේ නොඑසේ නම්, නාඳුනන කණ්ඩායමක් හා මුහුවීමේ ආරම්භය සිදු වන්නේ පෙරපාසල තුළිනි. ගුණගරුක සමාජයක නීති රැකීම සඳහා දරුවකු මූලික පෙරහුරුවක් ලබන්නේ ද පෙරපාසල සහ පාසල තුළිනි. නියමිත වේලාවකට අනුව අවදි වීමට, ආහාර ගැනීමට, නිල ඇඳුමක් ඇඳීමට යොමු වීමෙන් දරුවා යම් නීති මාලාවකට ක්‍රමයෙන් අනුගත වනු ඇත. තමන්ට අදාළ කාර්යය නිම කිරීමට දරුවකු පුරුදු පුහුණු වන්නේ ද පෙර පාසල සහ පාසල තුළිනි. එමිල් ඩූ කයිම් නම් සමාජ විද්‍යාඥයාට අනුව පාසල යනු මානව පවුල සහ මහා සමාජය යා කරන පාලමයි. පාසල තුළ දී සහ පෙරපාසල තුළදී දරුවන්ට මුණගැසෙන සම වයස් සමූහ සැලකෙන්නේ ද සමාජානුයෝජන කාරක ලෙස ය. දරුවන් ඔවුනට මුණගැහෙන සමවයස් සමූහ තුළින් ද තම ආකල්ප වර්ධනය කරගනී.

මාධ්‍ය සහ විවිධ පුද්ගලාන්තර සබඳතා ද දරුවන්ගේ ආකල්ප ගොඩනැගීමට මැදිහත් වන හේතූන් ලෙස දැක්විය හැකි ය. කාටූන් යනු සෑම ළමයකුගේ ම ළමා කාලයේ මිහිරි අත්දැකීමක් වන නමුත්, ඇතැම් සංවර්ධිත රටවල කාටුන් විකාශනයේ දී වාරණ පනවා ඇත්තේ, කාටුන් වැඩසටහන්වල භාවිත වන දරුවන්ට නොගැළපෙන භාෂා ශෛලීන්, ජයග්‍රහණය උදෙසා ගෙනයන සටන්, එකිනෙකා අතර ඇති විශාල ඝට්ටන අදියර අනුකරණය කිරීමට යෑම හේතුවෙන් දරුවන් ප්‍රචණ්ඩ වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි බැවිනි.

මනෝ විද්‍යාවට අනුව දරුවන්ගේ චාලක වර්ධනය සිදු වන අවධියේ ඔවුන්ට මඩ ඇනීමට, වැලි ඇල්ලීමට, වැස්සට තෙමීමට, අව්වට රත්වීමට ඉඩදිය යුතු ය. වැඩිහිටියන් වූ පසු ද පොද වැස්සට තෙමුණ ද සහලවා උණගැනෙන්නේ ඒ කිසිවකට ඔරොත්තු දීමේ ශක්තියක් ඔවුන් තුළ ගොඩනැඟී නොමැති විට ය. පෙර පාසලේ දී ළමයින්ගේ චාලක ඉන්ද්‍රීයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරවීම වෙනුවෙන් ලබාදෙන ක්‍රියාකාරකම් ද බොහෝ විට අවසන් වන්නේ මවුවරුන් අතිනි. නමුත් මේ උත්සාහය මවුවරුන්ගේ චාලක හැකියාවන් ක්‍රියාත්මක කිරීමට නොව, දරුවන්ගේ චාලක හැකියාවන් ක්‍රියාත්මක කිරීමට ගත් පියවරක් බව පළමුකොට මවුවරුන් තේරුම්ගත යුතු ය. දරුවන්ගේ චින්තනය ක්‍රියාත්මක වන්නේ මෙම චාලක හැකියාවන් සමඟිනි. දරුවන් නැඟිටින්නේ වැටි වැටී ය. ඔවුන් යමක් නිවැරදිව කරන්නට පුරුදු වන්නේ විටින් විට වරද්දාගැනීමෙන් අනතුරු ව ය. ඔවුහු එතුළින් ඉගෙන ගනිති. නමුත් අද මාපියන් කරන්නේ දරුවාට ‘බෑ‘ යන ආකල්පය මනසට දී, සියල්ල ඔවුන් විසින් කරදීම ය. දරුවාට වැඩිපුරම ඇසෙන්නේ ‘එපා‘ සහ ‘බෑ‘ යන වචන ය. දරුවන්ගේ පෞරුෂ අක්‍රමිකතාවයන්ට සහ ඉච්ඡාභංගත්වයට එය ම මූලික හේතුවකි. එලෙස ඉච්ඡාභංගත්වයට ලක්වෙන දරුවන් වැඩිහිටියන් වූ පසු ව ද මත්ද්‍රව්‍යවලට, විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු කරගැනීමට සේ ම අන්තවාදී සංවිධානවල ඉත්තන් බවට පත්කර ගැනීම ද පහසු ය.

පාසල තුළ දී ද සමාජ තත්ත්වය, ධනය, බලය මත දරුවන් විශේෂ කොට සැලකීම ඇතැම් ගුරුවරුන් අතින් සිදු වන බරපතළ වරදකි. ගුරුවරයාට සෑම දරුවකු ම සමාන විය යුතු ය. පන්ති කාමරය තුළ පසුගාමී චරිත ඉදිරියට ගෙන ඒමේ වගකීම ඇත්තේ ද ගුරුවරයා අතේ ය. දරුවකු පසු බසින්නේ, මුළුගැන්වෙන්නේ ඔහු හෝ ඇය අභියස ඇති සමාජ, ආර්ථික ප්‍රශ්න බොහොමයක ප්‍රතිඵලයක් ලෙස විය හැකි ය. නමුත් ගුරුවරයා තුළින් දරුවාට වටිනාකමක් ලැබෙන විට එම දරුවන්ගේ ප්‍රියතම ස්ථානය පාසල බවට පත්වනු ඇත.

විභාග පැවැත්වීම ද අවශ්‍ය ය. නමුත් අවැසි වන්නේ විභාග පැවැත්වීම පමණක් නොවන වග අප පසක් කරගත යුතු ය. ජපානයේ දරුවන්ට පහේ පන්තිය දක්වා ම කිසිදු විභාගයක් නොපැවැත්වේ. උගන්වන්නේත් පන්ති කාමරය පිරිසුදුව තබාගැනීම, පොත් බෑගය පිළිවෙළට සකස් කරගැනීම, නිවැරදි ව ආහාර ගන්නා අන්දම, මිතුරන් සමඟ හැසිරෙන ආකාරය වැනි දේ ය. විභාග පැවැත්වෙන්නේ හයේ පන්තියේ සිට ය. ඒ වන විට එම දරුවන්, තමන් ජීවත් විය යුතු ආකාරය, රටට ආදරේ කරන ආකාරය, පොදු දේපළ සුරකින ආකාරය පිළිබඳව හොඳින් ඉගෙනගෙන හමාර ය. එසේ බලන කල අපට මඟහැරී ඇත්තේ හොඳ ම දේවල් ය. සමාජ හර පද්ධතීන් තඹ සතයකට මායිම් නොකර අප හැල්මේ දුවන්නේ විභාග ඉලක්ක කරගත් තරගයට දරුවන් මෙහෙයවීම උදෙසා ය.

මඟහැරුණු දේ

දරුවන් තුළ යහපත් ආකල්ප ඇති කළ හැක්කේ ඔවුන්ගේ මනස නිරවුල්ව සහ නිරෝගීව පවතින විට ය. යහපත් ආකල්ප තුළින් නිරෝගී පෞරුෂත්වයක් ඇති ප්‍රසන්න දරුවන් බිහි වේ. විවිධ ජාතීන් අතර, විවිධ ආගම් අතර සහජීවනයේ අපූර්වත්වය දරුවන්ට කියා දිය යුත්තේ කුඩා කල සිට ම ය.

අප වැනි රටවල දරුවන්, කුඩා කල සිට ම පරිසරයට ආදරය කිරීමට සහ පරිසරය රැකගැනීමට සංවේදී නොකිරීම හේතුවෙන් වර්තමානය වන විට පරිසරය රැකගැනීමට අසීමාන්තික ලෙස නීති පැනවීමට සිදුව ඇත. පැළයක් සිටුවා සාත්තු කිරීමට, කසළ නිසි පරිදි බැහැර කිරීමට, තමන් පරිහරණය කරන දේ පිළිවෙළකට තබාගැනීමට සහ පෞද්ගලික පිරිසිදුකම පවත්වාගෙන යෑමට දරුවන් හුරුපුරුදු කරවිය යුත්තේ මුලසිට ම ය. පරිසරය විනාශ කිරීමේ වරදට දඬුවමක් වශයෙන් දඩයක් නියම වන්නේ නම් බොහෝ දෙනකු එම දඩය ගෙවාදමා එම වරද ම නැවත නැවත කිරීමට වුව පෙලඹිය හැකි ය. නමුත් දඩය ගෙවන අතර ම වරදකරුට මහා මාර්ගයේ පැය 24ක් වැඩ කිරීමට නියම කළහොත් අක්‍රමවත් ලෙස තැන තැන කසළ බැහැර කිරීමට ජනතාව බියක් දක්වනු ඇත.

පොදු දේපල භාවිතය සම්බන්ධයෙන් ද අද සමාජයේ දැකිය හැක්කේ ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. පොදු වැසිකිළියක් භාවිත කිරීමෙන් අනතුරුව එය අනෙකා වෙනුවෙන් පෙරටත් වඩා පිරිසුදුව තබන්නට කටයුතු කරන්නේ කීයෙන් කීදෙනා ද? රජයේ සහ පෞද්ගලික ආයතනවල මේ ආකාරයට විදුලිය ජලය නාස්ති කිරීම අසීමිතය.

අපේ ධනය ඉතිරි කරමින් රටේ ධනය විනාශ කිරීම තුළ මේ පිළිබිඹු වන්නේ අප තුළ ඇති ආත්මාර්ථකාමීත්වය ම නොවේද? සමාජය තුළ ‘මම‘ සහ ‘අපි‘ අතර ඇති පරතරය අර්ථකථනය වී ඇත්තේ ඉතාමත් ආත්මාර්ථකාමී අන්දමිනි. මේ ආත්මාර්ථකාමීත්වය රෝපණය වීම ඇරඹෙන්නේ පවුල තුළිනි. හොඳ මිනිසකු වීම වෙනුවට දරුවාගේ මනසට ඇතුළු කරන්නේ කෙසේ හෝ ලොකු මිනිසකු වීමේ වුවමනාවක් පමණි. මාපියන් දරුවන්ගේ විභවතාව තේරුම්ගැනීම වෙනුවට අනවශ්‍ය තරගකාරීත්වයක් දරුවන් අතර ඇති කරයි. විලාසිතා කිරීම, දරුවන්ට ආහාරපාන ලබාදීම, අතිරේක පංති යැවීම ආදී සෑම තැනකදී ම මාපියන් උත්සුක වන්නේ අනවශ්‍ය තරගයකට දරුවා යොමු කිරීමට ය. තම වත්පොහොසත්කම් අනුව එසේ කිරීමට හැකියාවක් නැති මාපියන් පවා අද වන විට මෙම පුහු තරගකාරීත්වය ළමා මනසට ඇතුළු කර හමාර ය. එතුළින් ඔවුන් දරුවන්ගේ ජීවිතයේ බොහෝ වටිනාකම් අහිමි කරයි.

පාසල් අධ්‍යාපනය තුළ විභාග ඉලක්ක කරගැනීමට අමතරව රටේ නීතිය, මූලික අයිතිවාසිකම්, ලිංගික අධ්‍යාපනය, යහපත් සෞඛ්‍ය පුරුදු, ජාතීන් අතර සහජීවනය වැනි දේ දරුවන්ගේ මනසට ලබාදිය යුතු ය. අපරාධකරුවන්, සිරගෙවල් සහ පුනරුත්ථාපන වැඩසටහන් පිළිබඳ විශාල අවධානයක් ලබාදෙන අප, වඩා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ දරුවන් තුළ යහපත් ආකල්ප ගොඩනැඟීමට ය. වැරදි සහගත ආකල්ප බැහැර කළ යුතු ය. එවිට සිරගෙවල් අපරාධකරුවන්ගෙන් පිරී නොයනු ඇත. අපේ රටේ ඇතැම් පරිපාලන නිලධාරීන් ඔවුන්ගේ අමාත්‍යාංශවල දැක්ම සහ අරමුණ පවා නොදනී. එවැනි පිරිසකට රටක් ගොඩනැඟිය හැකිද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුය. අවශ්‍ය වන්නේ ආකල්ප වෙනස් වීමකි. ඒ සඳහා මූලික අඩිතාලම සකස් විය යුත්තේ කුඩා කල පටන් ය. අපරාධකරුවන්, ත්‍රස්තවාදීන්, රෝගීන් වැඩි වැඩියෙන් බිහිවීමට ඉඩ දී බලා සිටීමෙන්, රටක් වශයෙන් ඉදිරියේ දී අපට බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදු වනු ඇත. අප අපේක්ෂා කරන ආකල්පමය වෙනස පවුල තුළින් ආරම්භ වී පෙරපාසල, පාසල, ජනමාධ්‍ය, දේශපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා සමාජය දක්වා දිව යන්නක් විය යුතු ය.

(දිනමිණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website