Wednesday, 12 June 2019 09:42

රට නැති කර බලය සොයන්නෝ

රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ බහුතරය මුස්ලිම්වරු වෙති. ආනයන හා අපනයන අංශයේ නියැළෙන්නන් බහුතරය ද ඔවුහුය. මුස්ලිම් වෙළෙඳසල් වර්ජනය කිරීමේ ආකල්පය වර්ධනය කිරීමෙන් අන්තවාදී දේශපාලනඥයන් බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ව්‍යාපාර බිඳ දැමීමටය. මුස්ලිම් ව්‍යාපාර බංකොළොත් කිරීමෙන් රටට සිදුවන යහපතක් නැත. ඒවා වැසී යාමෙන් රටේ සියලු ආගමිකයන්ගේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී යනු ඇත. වැඩි වශයෙන් සුළු හා මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට රජය ව්‍යවසායකයන් දිරිගන්වන මෙවන් යුගයක දැනට පවතින ව්‍යාපාර වැසී යාම සංවර්ධනය වන රටකට දරාගත නොහැකි පාඩුවකි.

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික හා බහු සංස්කෘතික රටකි. අප රට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් කර ගැනීමට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් එක්ව සටන් කළෝය. සියල්ලෝම එක් හඬක් නඟමින් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට එක් වූහ. නිදහස ලැබී ගතවූ වසර 71 තුළ කලින් කලට හටගත් විවිධ අරගලයන්ට එවකට පැවැති රජයන්ට මුහුණ දීමට සිදු විය. ඒවා දේශපාලන හා බෙදුම්වාදී වශයෙන් ක්‍රියාත්මක විය.

71 සහ 88 වර්ෂවලදී ක්‍රියාත්මක වූ අරගල සහ 79 ආරම්භ වූ බෙදුම්වාදී අරගල තුළ දේශපාලන ක්‍රියාදාමයක් තිබූ අතර 79 දියත් කළ L.T.T.E අරගලය තිස් වසරක් පුරා පැවැතිණි. 71 සහ 88 අරගල ආණ්ඩුවට එරෙහිව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ආකාරයට ක්‍රියාත්මක වූ අතර ඒවාට සියලු ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් එක්ව සිටියහ. එහෙත් 79 ආරම්භ වූ බෙදුම්වාදී අරගලය අභ්‍යන්තරයේ ජාතිවාදයක් තිබූ බව පැහැදිලිය. ඔවුන් සටන් කළේ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ පරමාර්ථයෙනි. මේ සෑම අරගලයකින්ම රටේ සාමයට හා සහජීවනයට දැඩි බලපෑම් එල්ල විය.

සංහිදියාව විනාශවීම

කඩාකප්පල්කාරී කණ්ඩායම් රටක ක්‍රියාත්මක වීම එරටේ දියුණුව ශීඝ්‍ර ලෙස පහළ වැටීමට හේතුවන අතර ආර්ථික හා සමාජයීය වශයෙන් රට පිරිහීමට ද ලක්වේ. එවන් අත්දැකීම් රාශියක් ගත වූ වසර 71 තුළ ශ්‍රී ලාංකික අපට තිබේ. අනාදිමත් කාලයක් පුරා මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් සංහිඳියාවෙන් ජීවත් වූ බව ඉතිහාසය අනුව පසක් වේ. අතීතයේ මෙන්ම වර්තමානයේද ඔවුනොවුන් අතර විවාහ සබඳතා පවා සිදුවී තිබේ. මේ හේතුවෙන් ඇතිවූ සහසම්බන්ධතාව නිසා ජාතීන් අතර ඥාතීත්වයක් හා සහජීවනයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබුණි.

එල්. ටී. ටී. ඊ. සංවිධානය බලවත් වී ඔවුන් දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවන් බව ප්‍රකාශ කරමින් රජයේ හමුදාවට හා සිංහල ජනතාවට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එතෙක් පැවැති සිංහල - දෙමළ සහජීවනය විනාශවීමට පටන් ගැනුණි. බෙදුම්වාදී නායකයන් දෙමළ ජනතාව තුළ සිංහලයන් කෙරෙහි ඇති කළ වැරදි ආකල්ප ඊට හේතු විය. තිස් වසරක යුද්ධයෙන් පසු සිංහල සමාජය දෙමළ ජනතාව සුහදව පිළිගැනීම හේතුවෙන් වෙන්ව සිටි සිංහල - දෙමළ ජනතාව එක් සමාජයක් වෙත රොක් වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එක්ව දේශපාලන කටයුතුවල යෙදුණි. සාමාන්‍ය ජනතාවද ව්‍යාපාර ක්ෂේත්‍රයේ හා ජන සමාජයේ හොඳ සබඳතාවකින් යුක්තව කටයුතු කළහ.

අන්තවාදී කණ්ඩායමක් විසින් පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාව තුළ ස්ථාන කීපයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේය. ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්තයන් විසින් බාර ගන්නා ලදී. ISIS සංවිධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තුළ සිදුකළ විනාශකාරී කණ්ඩායමේ ප්‍රධානියා සහරාන් ඇතුළු කණ්ඩායම ඉස්ලාම් ආගමිකයන් පිරිසක් වුව ඔවුන් සැබෑ ඉස්ලාම් දහමට පටහැනිව ක්‍රියාත්මක වු අන්තවාදීන්ය.

එම ප්‍රහාරයෙන් විශේෂයෙන් මුස්ලිම් ජනතාව අපහසුතාවට සහ අසරණ තත්ත්වයට පත් වූහ. සහරාන් ඇතුළු කණ්ඩායම මුස්ලිම් වීම ඊට හේතු වේ. පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ පිපිරීමෙන් සිදු වූ ජීවිත හා දේපොළ විනාශය දැක බෞද්ධ, කතෝලික, හින්දු මෙන්ම මුස්ලිම් ජනතාවද දැඩි කම්පනයට පත් වූහ. ආගම කුමක් වුවද සියලු දෙනාම මනුෂ්‍යයන්වීම ඊට හේතු විය. ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වගකිවයුතු නැත. ඒ බව තේරුම්ගත් රජය සහ සර්ව ආගමික නායකයන් කලබල නොවන ලෙසත් සාමාන්‍ය මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ප්‍රචණ්ඩ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලු ආගමික නායකයන් හා ජනතාව රජයෙන් ඉල්ලීම් කළහ. සිද්ධිය වූ මොහොතේ සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා පොලිසිය තම යුතුකම් නොපමාව ඉටුකළ අතර ජාති, කුල, ආගම් භේදවලින් තොරව සෑම ජනකොටසක්ම වැල නොකැඩී රෝගීන්ට අවශ්‍ය ලේ පරිත්‍යාග කිරීමට එක්රොක් වූහ. එයින් පෙනී ගියේ විපතට පත්වූයේ මිනිසුන් බව සැවොම අවබෝධ කරගත් බවය.

සහරාන් ඇතුළු කණ්ඩායමේ ප්‍රහාරය මුස්ලිම්වරුන් විසින් කතෝලිකයන් වෙත එල්ල කළ ප්‍රහාරයක් නොවූ සේම සහරාන් කණ්ඩායම මුස්ලිම්වරුන්ටද ද්‍රෝහි වී තිබේ. වෙනත් ආගමික ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළහොත් එහි ප්‍රතිවිපාක සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ලැබෙන බව සහරාන් ඇතුළු කල්ලිය දැන සිටියහ. ඔවුන් මුස්ලිම්වරුන්ට යම් තරමින් හෝ කැමැත්තක් ළැදියාවක් දැක්වූයේ නම් කෙදිනකවත් මෙවැනි ප්‍රහාර ක්‍රියාත්මක නොකරනු ඇත. සහරාන් එය සිදු කළේ. මුස්ලිම් ප්‍රජාව ගැන ආදරයත්, බැඳීමත් නැති නිසාය. මුස්ලිම් ජනතාවද එය අවබෝධ කරගත් බව පැහැදිලිය. ඔවුන් සහරාන් ගැන හා ඔහුගේ අනුගාමිකයන්ට සම්බන්ධ සියලු තොරතුරු ආරක්ෂක අංශ හා පොලිසියට ලබා දුන්නේ එහෙයිනි.

සහරාන්ගේ කණ්ඩායම හා ඔවුන්ට සුළු වශයෙන් හෝ සහය දුන් පිරිස අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට ඒ අනුව පහසු විය. ඉදිරියේදී සිදුවීමට තිබූ විශාල පිපිරීම් ගණනාවක් වළකාගෙන සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද ඒ නිසා හැකිවුණි. ඒ අනුව බලන විට රටේ සහෝදර පුරවැසියන්ගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා මුස්ලිම් ප්‍රජාව තම යුතුකම හා වගකීම ඉටුකර තිබේ. එබැවින් මුස්ලිම් ජනතාව තමන්ගේ සතුරන් යැයි බෞද්ධ, හින්දු, කතෝලික ජනතාව නොසිතිය යුතුය. රටට, ජනතාවට සතුරුකම් කර තිබෙන්නේ අන්තවාදීන්ය. අන්තවාදීන් මුස්ලිම්වරුන් අතර පමණක් නොව බෞද්ධ, හින්දු, කතෝලික සෑම ජන කොටස් අතර ද සිටිති.

වර්තමානයේ ලොව ප්‍රබලම ත්‍රස්ත ජාලය බවට පත්ව තිබෙන ISIS සංවිධානයේ අනුගාමිකයන් වූ සහරාන් ඇතුළු පිරිස එල්ල කළ ප්‍රහාරයට පෙර ලංකාවේ බලධාරීන් ඒ පිළිබඳ දැනුවත්ව සිටි බව පැහැදිලිය. රටේ ආරක්ෂක ප්‍රධානී ඇතුළු සියලු වගකිවයුත්තන් ලැබූ තොරතුරු සැලකිල්ලට ගෙන නොතිබු බව ද පෙනේ. ශ්‍රී ලංකා බුද්ධි අංශවලින් මෙන්ම ජාත්‍යන්තර බුද්ධි අංශවලින්ද ලද තොරතුරු පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළේ නම්, ප්‍රහාරය වළක්වා ගන්නට තිබුණි. ව්‍යවස්ථාවට අනුව ආරක්ෂක ප්‍රධානී ජනාධිපතිවරයාය. ආරක්ෂක අංශ ඔහු සතුය. රටේ ආරක්ෂාව ගැන ඔහු වගකිවයුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වී තිබේ. ඒ නිසා සේනාධිනායක ධූරයේ වගකීම ජනාධිපතිවරයා විසින් නොපිරිහෙළා ඉටුකළ යුතුය. සහරාන්ගේ ප්‍රහාරය සම්බන්ධව කිසිවකු තමා දැනුවත් නොකළේ යැයි සේනාධිනායකවරයාට පැවසිය නොහැක. මක්නිසාදයත් ඔහු නිරතුරුවම රටේ ආරක්ෂාව ගැන තොරතුරු සොයමින් අධීක්ෂණයේ සිටිය යුතු බැවිනි.

වගකීමෙන් කර ඇරීම

හිටපු ආරක්ෂක ලේකම්වරයා ද තම තනතුරේ වගකීම හඳුනාගෙන නොතිබූ බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලි වූ අතර හිටපු පොලිස්පතිවරයා ද තම වගකීම් පැහැර හැර තිබුණි. පාස්කු ප්‍රහාරයේ වගකීම ඊට වගකිවයුත්තන් එකිනෙකාට බැර කිරීමට උත්සාහ ගත් අතර විපක්ෂය ප්‍රහාරයේ වගකීම අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවට බැර කිරීමට උත්සාහ දරනු පෙනේ.

මහින්ද රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරය ගැන එසේ කතා කළද, ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණ පිරිසක් ඊශ්‍රායලයට පැමිණ ISIS සංවිධානය සමඟ සම්බන්ධ වී ක්‍රියාකරන බව ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය 2011 දී හමුදා බුද්ධි අංශ වෙත දැනුවත් කර තිබුණි. ඊට අමතරව 2014 මොසාඩ් වාර්තාවක සඳහන් වූයේ, ශ්‍රී ලාංකික පිරිසක් ISIS සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයන් වී සිටින බවය. ශ්‍රී ලාංකික අන්තවාදීන් ISIS සංවිධානය සමඟ සම්බන්ධව කටයුතු කරන බව දැනුවත් වී ඒ සම්බන්ධව පියවර නොගෙන ඔවුන්ට ත්‍රස්තවාදීන් ලෙස වර්ධනය වන්නට ඉඩ හැර මහින්ද පාර්ශ්වය දැන් ඔවුන්ගේ ප්‍රහාර හමුවේ වෙනත් පාර්ශ්ව වෙත වගකීම පැවරීම කොතරම් සාධාරණ දැයි සිතිය යුතුය. මුස්ලිම් අන්තවාදීන්ට වර්ධනය වීමට ඉඩ දුන් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රහාරයෙන් පසු අනෙකකුට චෝදනා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත.

මේ ප්‍රහාරයක් අප රටට එල්ල වූයේ ආණ්ඩුව තුළ පවතින විරසකය නිසාය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව සමඟ එක් මතයක නැත. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින දුරස් බව රටේ සියලු ජනතාවට අහිතකර ආකාරයට බලපා තිබේ. සහරාන් කල්ලියේ ප්‍රහාරය ඊට කදිම නිදසුනකි. දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් ය. පක්ෂ අතර විවිධත්වයක් පවතින්නේ ද ඒ නිසාය. එහෙත් දේශපාලන ප්‍රතිපත්ති දෙකක් එකට එක්වූ විට ප්‍රතිපත්ති හා මත ගැටුම් අවම කර මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට ආ යුතුව ඇත. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පොදු අපේක්ෂකයා වශයෙනි. ඔහුගේ ප්‍රතිපත්ති ගැන පැහැදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කීපයක් ඔහුට සහය දී ජයග්‍රහණය කරවීය. එම වසරේදීම වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමාට විශ්වාසවන්තම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව තෝරාගත් අතර ඔහුට අගමැති ධුරය ප්‍රදානය කළේය. ජනතාව මෙම දේශපාලනඥයන් කෙරෙහි තැබූ වගකීම රැකගැනීම ඔවුන්ගේ වගකීමකි. ධුර කාලය අවසන්වීමටත් පෙර දෙපාර්ශ්වය විරසක වීම ඡන්දය දුන් ජනතාව කිසි ලෙසකත් අනුමත නොකරනු ඇත.

දේශපාලනයේ පරාජිතයෝ

ඡන්ද දායකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ යුතුකමය. මේ දෙපාර්ශ්වයෙන් එක් අයකු හෝ තම යුතුකම අමතක කරන්නේ නම්, එය ජනතාද්‍රෝහි ක්‍රියාවක් වනු ඇත. එබැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විරසකය අමතක කොට රටේ සංවර්ධනය, ආර්ථික සංවර්ධනය මෙන්ම ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඇප කැපවිය යුතුය. දෙදෙනා අතර පවතින දුරස්බව නැති නොකළහොත් සිදුවූවාට වඩා විශාල හානියක් ඉදිරියේදී සිදුවීමට පුළුවන. එබැවින් සිදුවූ විනාශයේ වගකීම පොදුවේ ආණ්ඩුව භාරගත යුතුය.

සහරාන්ගේ ප්‍රහාරය සිදු වී දැනට දින 45 ක් පමණ ගත වී තිබෙන අතර ඒ කාලය තුළ සිදු වූ දේ බොහෝය. ප්‍රහාරයෙන් දින 20 ක් පමණ යන තෙක් රටේ තත්ත්වය සාමකාමී විය. ජාතීන් එකිනෙකාට විරුද්ධව එකිනෙකා නැඟී සිටියේ නැත. එම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වශයෙන් අප රටට ප්‍රශංසා ලැබුණි. දිනෙන් දින රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරුණ අතර හිටිහැටියේ හලාවත, හෙට්ටිපොළ, මිනුවන්ගොඩ යන නගරවල මුස්ලිම්වරුන්ගේ වෙළෙඳසල්වලට ප්‍රහාර එල්ල විය. සාමකාමී සමාජයට අඳුරු පැල්ලම් එකතු කරමින් සිදුකළ අන්තවාදී ප්‍රහාරය පසුපස පරාජිත දේශපාලන හස්ත තිබූ බව පැහැදිලි ය. ප්‍රහාර එල්ල වූ නගරවල සිංහල - බෞද්ධ හා කතෝලික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව ප්‍රකාශ කර සිටියේ පහරදීමට නාඳුනන පිරිස් පැමිණ තිබූ බවය. ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස එම ජනතාව ඉල්ලා සිටියහ. එයින් පෙනී යන්නේ සිංහල හා මුස්ලිම් පිරිස් අතර ගැටුම් ඇතිකර කෙසේ හෝ ජාතිවාදී අරගලයක් නිර්මාණය කිරීමට කිසියම් පිරිසකට අවශ්‍යව ඇති බවයි. මෙම පහරදීම් මඟින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරමින් මුස්ලිම්වරුන් හා ආණ්ඩුව අතර විරසකයක් ඇතිකිරීම අරමුණුකොට තිබේ. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ඡන්දය දී තිබීමය. මුස්ලිම් ඡන්ද එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්කිරීමට මෙය අවස්ථාව කර ගැනීමට පරාජිත දේශපාලන කණ්ඩායම්වල උත්සාහය විය.

එතකින් නොනැවතුණ අන්තවාදීහු දේශපාලන කණ්ඩායම් සිංහල, දමිළ ජනතාව මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීඹට පොළඹවන ආකාරයේ ජාතිවාදී ආකල්ප වපුරන්නට වූහ. සහරාන්ගේ ත්‍රස්ත කල්ලියේ ප්‍රහාරයට නොදෙවැනි ප්‍රහාරයක් පරාජිත දේශපාලන අන්තවාදීහු එල්ල කරමින් සිටිති. ඒ ජාතිවාදී බෝම්බය රට පුරා පුපුරවා හරිමිනි. රට තුළ කළහකාරී තත්ත්වයන් වර්ධනය කොට රජයත්, ජනතාවත් අතර ගැටුම් ඇතිකරමින් ආණ්ඩුව අපකීර්තියට පත්කොට එයින් දේශපාලන වාසි ලබාගැනීමට දේශපාලන අන්තවාදීහු වෑයම් කරති. රටේ දියුණුව, ආර්ථික දියුණුව, ජනතාවගේ ආරක්ෂාව හා සමඟිය ඔවුන්ට අවශ්‍ය නැත. රටට කුමක් වුවත්, ජනතාවට කුමක් සිදුවුවත් තමන්ගේ අහිමි වී ගිය බලය ලබාගැනීම ඔවුන්ගේ අරමුණය. බලය තුළ අසීමිත සුඛවිහරණය විඳි ඔවුහු බලය අහිමි වූ තැන මානසික රෝගීන් මෙන් කටයුතු කරති.

සහරාන්ගේ ප්‍රහාරයෙන් ඇති වූ සමාජ නොසන්සුන්තාව මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇතත් දේශපාලන අන්තවාදීන්ගේ ක්‍රියා හමුවේ රට නොසන්සුන්තාවයට පත්ව ඇත. ජාතිවාදය, ආගම්වාදය වපුරමින් යළි රට භේද කිරීමට සැරසෙන පරාජිත දේශපාලන කණ්ඩායම රට නැවතත් යුද පිටියක් කිරීමට වෑයම් කරන බවත් පෙනේ. රටේ ආරක්ෂාව අවුල් කරමින් ආණ්ඩුව අස්ථාවර කර ජනතාව මුලාකොට කූඨ උපක්‍රම මඟින් පරාජිත දේශපාලනඥයෝ මේ උත්සාහ කරන්නේ කුමක් සඳහා ද? ඒ අහිමි වී ගිය බලය ලබාගැනීමටය.

රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ බහුතරය මුස්ලිම්වරු වෙති. ආනයන හා අපනයන අංශයේ නියැළෙන්නන් බහුතරය ද ඔවුහුය. මුස්ලිම් වෙළෙඳසල් වර්ජනය කිරීමේ ආකල්පය වර්ධනය කිරීමෙන් අන්තවාදී දේශපාලනඥයන් බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ව්‍යාපාර බිඳ දැමීමටය. මුස්ලිම් ව්‍යාපාර බංකොළොත් කිරීමෙන් රටට සිදුවන යහපතක් නැත. ඒවා වැසී යාමෙන් රටේ සියලු ආගමිකයන්ගේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී යනු ඇත. වැඩි වශයෙන් සුළු හා මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට රජය ව්‍යවසායකයන් දිරිගන්වන මෙවන් යුගයක දැනට පවතින ව්‍යාපාර වැසී යාම සංවර්ධනය වන රටකට දරාගත නොහැකි පාඩුවකි.

බොරදියේ මාළු බෑම

රටක් ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන් හා ආකල්ප වශයෙන් කඩාකප්පල් කරන දේශපාලනඥයන්ට රටේ වගකීමක් බාර කළ හැකි ද? 2018 ඔක්තෝබරයේ සිට දින 52 ක් බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ස්ථාවරය ගොඩනඟා ගැනීමට එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා රිෂාඩ් බදියුදීන් මහතාගේ සහය ඉල්ලා සිටියේ ඔහුට ප්‍රබල චෝදනා එල්ල වී තිබූ අවස්ථාවකය. ඒ අවස්ථාවේ බදියුදීන් මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කිරීමට එකඟ වූයේ නම්, අද මේ ආකාරයට ඔහුට චෝදනා එල්ල කරාවිද යන්න ප්‍රශ්නයකි.

කෑමට හැකි නම් තලගොයා, කෑමට නොහැකි වූ තැන කබරගොයා න්‍යාය විපක්ෂය ක්‍රියාත්මක කරන බව පැහැදිලිය. සහරාන්ගේ ත්‍රස්ත ක්‍රියාවන්ට සහයෝගය ලබා දුන්නේ යැයි චෝදනා ලබන බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි යන මුස්ලිම් නායකයන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසත්, ඔවුන් පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරදිකර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් උපවාස කළහ. උන්වහන්සේගේ ඉල්ලීමට ගරු කරමින් අදාළ මුස්ලිම් නායකයෝ සිය ධූරවලින් ඉල්ලා අස්වූහ. චුදිතයන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම් කටයුතු රජය විසින් කරන අතර මෙතෙක් කල් විද්‍යුත් මාධ්‍ය සංදර්ශන පෙන්වමින් රට දෙවනත් වනතුරු කෑමොර දුන් විපක්ෂයට චෝදනාවල සත්‍යතාව තහවුරු කිරීමට දැන් අවස්ථාව උදා වී තිබේ.

නොසිතූ අවස්ථාවක රටට විපත් වූ අවස්ථාවක රට අරාජික කරමින් තම දේශපාලන වාසි පිණිස බොරදියේ මාළු බාන පරාජිත දේශපාලනඥයන්ගේ අරමුණ කුමක්දැයි බුද්ධිමත් ජනතාව අවබෝධ කරගනු ඇත. බංකොළොත් දේශපාලනයේ නියැළෙන පිරිසකට හැර රටේ බහුතර ජනතාවට අවශ්‍ය වන්නේ ජාතිවාදය හෝ ආගම්වාදය නොව සංහිඳියාව තුළින් දිවිමඟ සාර්ථක කරගන්නටය. තිස් වසරක යුද්ධයෙන් බැට කෑ ජනතාවට තවත් යුද අත්දැකීම් අවශ්‍ය නැත.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website