Thursday, 13 June 2019 09:28

පළවුණත් නැතත් ප්‍රේමය සුන්දරයි!

කපිල ගාමිණී ජයසිංහ මහතා කෙටිකතා දෙකක් ඔස්සේ අත්හදා බැලීමක් සිදු කරන බව ද පෙනෙයි. පළමු කතාව වන්නේ, ‘ආගන්තුකයෙක් ඇවිත්’ යන්න ය. දෙවැනි කතාව වන්නේ, ‘ගොළු වූ තලබනුව’ යන්න ය. පළමු කතාව ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශෛලිය පාදක කොට රචනා කරන්නට උත්සාහ දරා ඇත.

2018 දී පළ වූ සිංහල ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහ හැත්තෑවක් කියවා ඇත්තෙමි. අපට හසු නො වූ තවත් කෙටිකතා සංග්‍රහ ඇතොත්; ඒ එකක් හෝ දෙකක් හෝ විය හැකි ය. මේ ආවරණයෙන් පසු නිගමන තුනක් ඇති කරගැනීමට හැකි විය. පළමු නිගමනය වන්නේ, 2017 සමඟ සසඳන විට ගිය වසරේ සිංහල ස්වතන්ත්‍ර කෙටිකතාව යම් ඉදිරිගාමී බවක් ප්‍රකට කර ඇති බව ය. දෙවැනි නිගමනය වන්නේ, කෙටිකතා රචනය කෙරෙහි අලුත් ආකර්ෂණයක් මතුවන බව ය. තෙවන නිගමනය වන්නේ, රචකයන්ගෙන් බහුතරය නූතන කෙටිකතාවේ සූක්ෂ්මතා හඳුනාගෙන නැති බව ය.

තුන්වැනි නිගමනය, සංවාදයට ලක්විය යුතු කාරණයෙකි. ලෝක කෙටිකතාව වුව, නවකතාව තරම් ජනප්‍රිය නැති බව සත්‍යයෙකි. එහෙත්, ජීවිත විවරණ පිළිබඳ බුද්ධිමය සංවාදය ඇත්තේ කෙටිකතාව තුළ ය. එහි ශිල්පීය අංශය මෙන් ම අත්දැකීම් විදාරණය ද අතිශයින් ම දියුණු ය. සිංහල කෙටිකතාව ගතහොත්, ලෝක මට්ටමෙන් වුව, කලාපීය මට්ටමෙන් වුව දුර්වල මට්ටමක ඇති බව පිළිගත යුතු ය. විචාරකයන්ගේ කාර්යය විය යුත්තේ, ඊට අදාළ හේතු - සාධක සොයා බැලීම ය.

සමහර ලේඛකයෝ කෙටිකතා නමින් කතාන්දර ලියති. තව සමහර රචකයෝ ශිල්ප - හරඹ දක්වන්නට ගොස් ස්වකීය ප්‍රබන්ධය අවුල් කර ගනිති. තවත් සමහර කතාකරුවෝ හෘදයාංගම අත්දැකීම් අමු - අමුවේ ලියා තබමින් කෙටිකතාව විනාශ කරති. හැදෑරීම, පුහුණුව, අභ්‍යාසය හා සංස්කරණය නැතිකම මීට ප්‍රධාන හේතු සාධකය බව පෙනී යයි. ප්‍රබන්ධ - කථා යනු හැදෑරිය යුතු විෂයයක් බව අපේ බොහෝ දෙනා අදටත් නොපිළිගනිති.

සාකල්‍ය තත්ත්වය එසේ වුව, පාඨක ආකර්ෂණය ද දිනාගත් බුද්ධිමය සංවාදයක් සහිත නිර්මාණාත්මක කෙටිකතා සංග්‍රහ කිහිපයක් 2018 වසරේ ජනගත වී ඇත. අපගේ නිගමනයට අනුව එබඳු සිංහල කෙටිකතා සංග්‍රහ දහයක් පමණ ඇත. එයින් එක් කෘතියක් වන්නේ, කපිල ගාමිණී ජයසිංහ මහතාගේ “පළ නොවූ ප්‍රේමය” නම් කෙටිකතා සංග්‍රහය යි. එය නිර්මාණාත්මක ප්‍රබන්ධ හතකින් සමන්විත අනුකාරකවාදී නො වූ කතා සංග්‍රහයකි. රචකයාගේ කතා රටාව විශ්ලේෂණය කළහොත්, විශේෂ ලක්ෂණ හතරක් හඳුනාගත හැකි ය.

(I) පරිපූර්ණ කතාවක් ඉදිරිපත් කිරීම

(II) පුළුල් සමාජ දෘෂ්ටියක් පළ කිරීම

(III) පාඨකයා සිතන්නට පෙළඹවීම

(IV) සරල - සුගම භාෂා භාවිතය

පරිපූර්ණ කතාවක් ඉදිරිපත් කිරීම යන්න වරදවා වටහා නොගත යුතු කාරණයෙකි. ඉන් අදහස් වන්නේ මුල - මැද - අග සහිත සාම්ප්‍රදායික කතාන්දරයක් ගොඩනැඟීම නොවේ. පරිපූර්ණ කතාව යන්නෙන් ප්‍රධාන සාධක දෙකක් අදහස් කෙරේ. එක; චරිත, සිද්ධි හා කතා විකාශය තර්කානුකූල ලෙස ද, විශ්වසනීය ලෙස ද ගොඩනඟා තිබීම ය. දෙක; කතුවරයාගේ ප්‍රස්තෘතය නිරවුල් ලෙස පාඨකයාට සන්නිවේදනය වීම ය. සරල අදහසකින් ගතහොත්, එම සාධක දෙකෙහි එකතුවෙන් පරිපූර්ණ කතාවක් ගොඩනඟා ගත හැකි ය.

“ඔබේ සේවය අනවශ්‍යයි” කතාව ගතහොත්, එහි ප්‍රධාන චරිතය වන්නේ මැම්බර් මහත්තයා ය. ඔහු අවංක හා ප්‍රතිපත්තිගරුක සමාජ සේවකයෙකි. මේ පුද්ගලයාගේ පසුබිම හා චර්යා - රටා ඉතා විශ්වසනීය ලෙස ද, අව්‍යාජ ලෙස ද නිරූපණය වෙයි. මැම්බර් මහත්තයා පිළිබඳ සජීවී චිත්‍රයක් අප ඉදිරියෙහි මැවෙයි. ඔහු හා ගැටෙන චරිත මෙන් ම, ඔහුට අදාළ සිද්ධි ද මැනැවින් ගළපාගෙන ඇත. ඔහුගේ දේශපාලනයේ සිට ජීවිතයේ අවසානය තෙක් කතාව විකාශය වෙයි. නූතන සමාජ අවකාශය තුළ අවංක සමාජ සේවකයකුගේ ශෝචනීය ඉරණම කතාවට තේමා වී ඇත. එය ශෝකාන්තයක් සහිත කෙටි කතාවකි. එලෙස ම මෙය දේශපාලනික හා සමාජමය වශයෙන් සංවාදයට ලක්විය යුතු ප්‍රබන්ධයකි.

කපිල ගාමිණී ජයසිංහ මහතා පුළුල් සමාජ වපසරියක සිට ස්වකීය කතා සඳහා අනුභූතීන් තෝරා ගනී. සෑම කතාවක් ම එකිනෙකට වෙනස් අන්තර්ගතයන්ගෙන් සමන්විත ය. එලෙස ම ඔහු කතා - බහට ලක් කරන තේමා හැම විටෙක ම කාලීන ය. සාහිත්‍ය හා කලාව සර්වකාලීන යැයි කියන නමුදු, නූතන සමාජ සංවාදය කෙරෙහි අවධානය යොමු කිරීම සාර්ථක ලේඛකයකුගේ කාර්යභාරයට අයත් ය. “ගොළු වූ තලබනුව” කතාවෙන් කියැවෙන්නේ, ජංගම දුරකථනය ඔස්සේ ගොඩනැඟෙන අසම්මත ප්‍රේමයක් ගැන ය. “ටෙලිෆෝන් ලව්” ගැන ද “ටෙලිෆෝන් සෙක්ස්” ගැන ද කතිකාවක් සමාජය තුළ පවතී. ජංගම දුරකථනය නිසා ජීවිත අවුල් වූ කතා ප්‍රවෘත්ති නිතර පුවත්පත්වල පළ වේ.

ලෝක කෙටිකතාවේ ප්‍රශස්ත අවධිය දහනම වැනි සියවස ලෙස සලකනු ලැබේ. එකල පැවැති රුසියන්, ප්‍රංශ හා අමෙරිකන් සම්ප්‍රදාය, නූතන කෙටිකතාකරුවන්ගෙන් බහුතරය අනුගමනය කරන බව ද සත්‍යයෙකි. එදා පැවැති එක් රටාක් වූයේ සුවිශේෂී චරිතයක චර්යා රටා ඔස්සේ මානුෂික ගැටුම් හා ගැටලු ගැඹුරින් විශ්ලේෂණය කිරීම ය. මෙහි දී ප්‍රධාන කෙටිකතාකරුවෝ සමාජ සත්‍යතා කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වූහ. මාග්‍රට් බෙනින්ග් පෙන්වා දෙන ලෙස; “ප්‍රබන්ධ යනු සිහින නොවේ. ප්‍රබන්ධ යනු සත්‍යය ම ද නොවේ. එහෙත්, ප්‍රබන්ධයකට සමාජ සාධක හා කරුණු පාදක කර ගැනීම ඉතා වැදගත් ය.” කපිල ගාමිණී ජයසිංහ මහතා ද සිය ප්‍රබන්ධකරණය සඳහා සමාජ - සාධක, සමාජ සත්‍යතා, සමාජ - සංවාද හා තොරතුරු මැනවින් ගළපා ගනී.

“බලන කපොල්ල” කතාවෙන් පුනරුත්පත්තිය පිළිබඳ සිද්ධියක් විවරණය කරයි. පුනරුත්පත්තිය, පෙර ආත්මය, පූර්ව -කර්මය වැනි විෂයයන් ගැඹුරු සංවාදයකට ලක් වී ඇත. බටහිර රටවල් ඒ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පවත්වයි. ශ්‍රී ලංකාවේ බහුතර ජනයා වන බෞද්ධයන් අතර ඒ පිළිබඳ බලවත් විශ්වාසයක් පවතී. ඒ අනුව කතුවරයාගේ මේ කතාව, පාඨක ආකර්ෂණයට හේතුවක් වෙයි. රචකයා ‘බලන කපොල්ල’ කතාව ගොඩනඟා ඇත්තේ තාර්කික පදනමක් මත ය. එබැවින් එය අව්‍යාජ ප්‍රබන්ධයක් වන අතර, පුනරුත්පත්තිය ගැන නැවත සිතා බලන්නට පාඨකයා පොලඹවයි.

රචකයාගේ කතා රටාවේ ඇති තවත් විශේෂතාවක් වන්නේ, කතා අවසානයේ පාඨකයා කිසියම් ගැටලුවක් කෙරෙහි හෝ චින්තන ධාරාවක් කෙරෙහි හෝ දැඩි ලෙස යොමු කරවීම ය. ‘ඔබේ සේවය අනවශ්‍යයි’ යන කතාවේ දී පාඨක අවධානය යොමු වන්නේ ඉහත නමින් වේදිකා ගතවන නාට්‍යය කෙරෙහි යැයි කියන්නට පුළුවන. නාට්‍යය ගැන විස්තරයක් කතාවට ඇතුළත් වන්නේ නැත. එහෙත් ‘ඔබේ සේවය අනවශ්‍යයි’ නමින් මැම්බර් මහතා වෙත ලැබෙන ලිපියකින් ඔහුට ජීවන වෘත්තිය අහිමි වෙයි. ඔහුට පළමුවරට හෘදයාබාධයක් ඇතිවන්නේ ද එම ලිපිය නිසා ය. මැම්බර් මහත්තයාගේ පුත්‍රයා පසුව නාට්‍යයක් නිර්මාණය කරන්නේ අදාළ ලිපිය හා ඊට සම්බන්ධ සිදුවීම් පාදක කරගෙන බව පෙනෙයි. සම්මානයෙන් පුද ලැබූ එම නාට්‍යයේ නම කතුවරයා හෙළි කරන්නේ අවසන් අවස්ථාවේදී ය. එය අපූරු උපායමාර්ගයක් ලෙස ද සැලැකිය හැකි ය.

“ඔහු ඉතා ආශාවෙන් හිටියා තමන් ගම් සභිකයකු ලෙස කටයුතු කළ මේ ගමට තමන්ගේ ලොකු පුතාගේ සම්මානලාභී නාට්‍යය පෙන්වන්න. ඔන්න මැම්බර් අංකල් අපි අද ඒ ආශාව ඉෂ්ට කරනවා. අපි දන්නවා ඔබ සුගති ලෝකයක ඉඳන් මේ දිහා ආදරයෙන් බලා ඉන්න බව. පිළිගන්න සමන් සමරසිංහ රචනා කොට අධ්‍යක්ෂණය කළ සම්මාන දිනූ නාට්‍ය නිර්මාණය “ඔබේ සේවය අනවශ්‍යයි” දැන් වේදිකාවේ”

(පිටුව - 31)

තරමක් වෙනස් අවසානයකි. කෙටිකතාවක ආරම්භය සේ ම, අවසානය ද ඉතා වැදගත් ය. මහාචාර්ය ස්ටැන් ලි ෆිෂ්ගේ “හව් ටු රයිට් අ සෙන්ටන්ස්’ නම් කෘතියේ නමවැනි පරිච්ඡේදය වෙන් වී ඇත්තේ, ප්‍රබන්ධ කථාවල අවසානය ගැන විවරණයක යෙදීමට ය. ඔහු පෙන්වා දෙන අන්දමට, අවසන් ඡේදයේ අවසාන වාක්‍යය ඉතා වැදගත් ය. එය මුළු කතාවේ ම හරය දක්වන වාක්‍යයක් විය හැකි ය. කතාවේ අර්ථ මුළුමනින් ම වෙනස් කර පාඨකයා වෙනත් ආස්ථානයක් වෙත ගෙන යන වාක්‍යයක් විය හැකි ය. “ඔබේ සේවය අනවශ්‍ය යි” කතාවේ දී මැම්බර් මහත්තයා මිය ගිය ශෝකය යටපත් කරමින් නාට්‍යය පිළිබඳ කුතුහලය අප අතරට එයි. එය කෙබඳු නාට්‍යයක් විය හැකිදැ’යි සිතන්නට අප පෙලඹෙයි.

නයා - මුගටියා හා ගංවතුර කතාවෙන් කියැවෙන්නේ අසල්වැසියන් දෙදෙනකු අතර පවතින කෝන්තරයක් ගැන ය. ඉඩම් නඩුවක පැටලෙන දෙදෙනා බද්ධ වෛරයෙන් පසු වෙති. එකිනෙකා අනෙකා කෙරෙහි දක්වන භීතිය හා සැකය මැනැවින් නිරූපණය කෙරේ. ආරියදාස හා සෝමරත්න ලෙසින් ඔව්හු හඳුන්වති. ගංවතුර ආපදාවකට ගොදුරු වන දෙදෙනා, අවසානයේ වහලවල් මත සිටිති. එහෙත්, අරෝවෙහි කෙළවරක් නැත. දෙදෙනා බැණ ගැනීමට ද, අතට හසුවන දේවලින් දමා ගැසීමට ද පටන් ගිනිති. මේ අතර සෝමරත්න හදිසි හෘදයාබාධයකින් විසඥ වෙයි. ඔහු නැවත පියවි සිහියට පත් වන්නේ රෝහල තුළදී ය. විට ඔහුට අසන්නට ලැබෙන්නේ, තම හතුරා විසින් තමන් බේරා ගන්නා ලද බව ය. බැලූ බැල්මට සරල අවසානයක් ලෙස පෙනුණ ද, මනුෂ්‍යත්වය පිළිබඳ සංකීර්ණ ගැටලු කිහිපයක් එහිලා මතුවෙයි. ඉන් එක ගැටලුවක් වන්නේ, සෝමරත්න යළි ආරියදාසට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ය.

නූතන අමෙරිකන් කෙටිකතාව විමර්ශනයට ලක් කළහොත්, එහි කැපී පෙනෙන ශිල්පීය ලක්ෂණ දෙක ලෙස චරිත නිරූපණය හා භාෂා භාවිතය ගත හැකි ය. කපිල ගාමිණී ජයසිංහ මහතා ද එම ශිල්පීය අංග දෙක මනාව හසුරුවා ගනු පෙනෙයි. එයිනුදු ඔහුගේ භාෂා භාවිතය විශේෂ යැයි සලකන්නට පුළුවන. කපිල ගාමිණී මහතා බහුල ලෙසින් භාවිත කරන්නේ කට - වහරට සමීප සරල භාෂාවකි. එය පණ්ඩිත ප්‍රිය සම්භාව්‍ය භාෂාවට වඩා සාමාන්‍ය පාඨකයාට හෘදයාංගම වෙයි. එලෙස ම ඔහු කතාවට, පසුබිමට හා ඒ ඒ චරිතවලට ගැළපෙන ලෙසින් භාෂාව වෙනස් කරයි.

“මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්මන්ත්‍රණයක් සඳහා නුවර ගිය මට ආපහු කොළඹට වාහනය එළවගෙන එද්දී කඩුගන්නාව කිට්ටුව දී නිදිමතක් දැනෙන්න පටන් ගත්තා. ‘තේ එකක් බීල ගියොත් නිදිමත මඟ හරින්න පුළුවන්’ කියන හැඟීම මගේ සිතට දැනුණා”

(පිටුව 67)

“බලන කපොල්ල” කෙටි කතාව ආරම්භ වන්නේ ඉහත සඳහන් වාක්‍ය කිහිපයෙන් ය. මෙහි එන වචන පෙළ ගැස්ම හා එයින් මතුවන රිද්මය ඔස්සේ කථකයා විශ්වසනීය කතාවක් කියන්නට යන බවක් හැඟෙයි. පාඨකයා එම කතාව සාවධානව අසා සිටින්නට පෙලඹෙයි. “ගොලු වූ තලබනුව” කෙටිකතාව විකාශය වන්නේ සංවාද ඔස්සේ ය. එම සංවාද ජීව ගුණයෙන් පිරී පවතී. සංවාදවලට මුල් තැනක් දීම නූතන ප්‍රබන්ධ කථාවේ විලාසයක් ලෙස ද සැලැකිය හැකි ය.

කපිල ගාමිණී ජයසිංහ මහතා කෙටිකතා දෙකක් ඔස්සේ අත්හදා බැලීමක් සිදු කරන බව ද පෙනෙයි. පළමු කතාව වන්නේ, ‘ආගන්තුකයෙක් ඇවිත්’ යන්න ය. දෙවැනි කතාව වන්නේ, ‘ගොළු වූ තලබනුව’ යන්න ය. පළමු කතාව ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශෛලිය පාදක කොට රචනා කරන්නට උත්සාහ දරා ඇත. එහෙත් එය, මුළුමනින් ම සාර්ථක වී නැත. එහි ගැළපීම් මනාව සිදු වී නැති අතර, වෘත්තාන්තය අවුල් ය. කතුවරයාගේ අරමුණ ද හඳුනාගත නොහැකි ය. දෙවැනි අත්හදාබැලීම සාර්ථක වී ඇතත්; සංවාද ඔස්සේ කතා විකාශනයේ දී නාට්‍ය පිටපතක ආකාරයෙන් ඇය,ඔහු ආදී ලෙසින් චරිත හඳුන්වා දිය යුතු නැත. කතුවරයා දෙබසට මුලින් චරිතය හඳුන්වා දී ඇත. ප්‍රබන්ධ කථාවකට එය සුදුසු නො වේ.

කෙටිකතා සංග්‍රහයක් ගත්ත ද, කාව්‍ය සංග්‍රහයක් ගත්ත ද , එහි ඇති සියලු නිර්මාණ සාර්ථක වන්නේ නැත. නිර්මාණ සංග්‍රහයක් ඇගැයීමට ලක් වන්නේ, එහි ඇති විශිෂ්ට නිර්මාණ එකක් හෝ දෙකක් හෝ නිසා වන්නටත් පුළුවන. සමස්තයක් ලෙස ගත් කල “පළ නොවූ ප්‍රේමය” කෙටිකතා සංග්‍රහය ඉදිරිගාමී පියවරක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. පාඨකයා කතාවේ ම රඳවා ගැනීම සඳහා, රචකයා දක්වන සමත්කම ද ඇගැයීමට ලක් විය යුතුය. කපිල ගාමිණී ජයසිංහ මහතාගේ ප්‍රබන්ධ, පාඨකයා ප්‍රහර්ශය වෙත කැඳවාගෙන යයි. එලෙස ම බුද්ධියට ද යම් ඇමැතීමක් කරයි.

(දිනමිණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website