Saturday, 15 June 2019 01:24

ආසියාවේ බලවතුන් තජිකිස්තානයේ

මෙවර සමුළුව පැවැත්වෙන්නේද එහි සාමාජික රටවල් කිහිපයකට සාමය ආරක්ෂාව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී වාතාවරණය මැදය. ජනාධිපති පුටින් ද මෙහිදී, ඇෆ්ගනිස්තානය, සිරියාව, ඉරානය හා උතුරු කොරියාව යන රටවල පවතින ගැටලුකාරී තත්ත්ව ඇතුළු කලාපීය ප්‍රශ්න ගැන අවධානය යොමුකරනු ඇති බව වාර්තා විය.

ආසියාකරයේ අන්තර් ක්‍රියාකාරිත්ව හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව” තජිකිස්තානයේදී (CICA) ඊයේ ආරම්භ විය. එය අද නිමාවට පත්වේ. මෙවර පැවැත්වෙන්නේ එම 5 වැනි සමුළුවයි. ආසියානු කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරත්වය ගොඩනැගීම වෙනුවෙන් බහුපාර්ශවීයව අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකිරීම හා ඒ සඳහා සහයෝගයෙන් ක්‍රියාකිරීම එහි ප්‍රමුඛ අරමුණය. CICA යනු මූලික වශයෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කරන උපදේශාත්මක සංවාදයකි.

සාමාජික රටවල් 27 කින් සමන්විත එයට ඇෆ්ගනිස්තානය, අසර්බයිජානය, බහරේන්, බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කසකස්තානය, ද. කොරියාව, කිර්ගිස්තානය, මොංගෝලියාව, පාකිස්තානය, පලස්තීනය, කටාර්, රුසියාව, තජිකිස්තානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය, වියට්නාමය හා ශ්‍රී ලංකාව වශයෙනි. ස්වෛරී රාජ්‍ය හා ජාත්‍යන්තර සංවිධාන ඇතුළත් වන අතර නිරීක්ෂණ සාමාජිකයෝ 13 දෙනකුගෙන් ද සමන්විතය. ජපානය ද නිරීක්ෂණ සාමාජිකයෙකි. සාමාජික ලැයිස්තුව පරීක්ෂා කර බලනවිට ආසියානු දැවැන්තයන් සියල්ලෝම CICA සාමාජිකයෝ වෙති. ලෝක ආර්ථිකයේ නැඟී එන බලවතුන්ද එතැනය. ඊශ්‍රායලය මෙන්ම පලස්තීනයද එහි එකට සිටී.

සංවිධාන ව්‍යුහය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 47 වෙනි සම්මේලන සැසිවාරයේදී, 1992 ඔක්තෝබර් 5 වැනිදා CICA පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කසකස්තාන ජනාධිපති නූර්සුල්තාන් නසරාබයෙව්ය. 1993 මාර්තු සිට CICA හි ක්‍රියාකාරීත්වය ඇරැඹිණි.

සාමාජික රටවල විදේශ ඇමැතිවරු විසින් 1999දී සම්මත කරගන්නා ලද CICA ප්‍රඥප්තිය මඟින් ඔවුනොවුන් එම සාමාජික රටවල ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමට බැඳී සිටිති. එමෙන්ම තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමෙන් වැළැකී සිටිති. අන් සාමාජික රටකට එරෙහිව බලය යෙදවීමද ඉන් වළක්වා තිබේ.

දෙවැන්න, 2002 දී සම්මත කරගන්නා ලද එහි සංවිධාන ව්‍යූහයට හා සහයෝගිතාව ගොඩනැඟීමට අදාළ මඟපෙන්වීම් ඇතුළත් ලේඛනයය, තෙවැන්න 2004 දී සම්මත කරගත් විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ගයන්ට අදාළ ලේඛනයයි. සාමාජික රටවල් බැඳීසිටින්නේ එම මඟපෙන්වීම්වලිනි. මේ යටතේ ඇතැම් රටවල් ස්වේච්ඡාවෙන්ම අදාළ සම්බන්ධීකරණ කාර්යයන් ඉටුකරති.

මෙහෙවර ඉටුකිරීමේදී CICA එකමුතුව රාජ්‍ය නායක සමුළුව, විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, ඉහළ නිලධාරීන්ගේ කමිටුව (SOC) හා විශේෂ කෘත්‍යාධිකාරී කණ්ඩායම (SWG) යන තල ඔස්සේ එම යන්ත්‍රණය ක්‍රියාත්මක වේ. 2006 වසරේදී පිහිටුවන ලද CICA ලේකම් කාර්යාලය එහි නිත්‍ය පරිපාලන ව්‍යූහයයි. එහි වත්මන් විධායක අධ්‍යක්ෂවරයා තානාපති ගොංග් ජියාංවෙයි ය. ඉරානය, ඉන්දියාව, කසකස්තානය, රුසියාව හා තුර්කිය යන රටවල පූර්ණකාලීන කාර්යමණ්ඩලයක්, ලේකම් කාර්යාලයේ ‍සේවයේ යෙදීසිටී. ලේකම් කාර්යාලය පවත්වා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසාගන්නේ කසකස්තාන රජයෙන් හා සාමාජික රටවල් ලබාදෙන ස්වේච්ඡා දායකත්ව මඟිනි.

මෙවර තජිකිස්තාන අගනුවර වන දුෂාන්බේ හිදී පැවැත්වෙන එම 5 වැනි සමුළුව ආවරණය කිරීම සඳහා විදෙස් මාධ්‍යවේදීහු 650 දෙනකු පමණ එහි ගොස් සිටිති. සාමාජික හා නිරීක්ෂක රටවලට අමතරව අමෙරිකාව හා යුරෝපා සංගමයට අයත් රටවල මාධ්‍යවේදීන්ටද ඒ සඳහා අවසර ලැබී තිබේ. රුසියානු හා චීන ජනාධිපතිවරු මෙන්ම ඉරානය, අසර්බයිජානය, උස්බෙකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය, බංග්ලාදේශය, තුර්කිය හා ශ්‍රී ලංකාව යන රටවල ජනාධිපතිවරු ද ඊට සහභාගිවී සිටිති.

මෙවර සමුළුවේ තේමාව, “වඩා ආරක්ෂිත හා සමෘද්ධිමත් CICA කලාපයක් සඳහා පොදු දැක්මක්” යන්නය. සමුළුව අවසන ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත්වනු ඇත. 2018 – 2020 වකවානුවට අදාළව එහි වත්මන් සභාපතිත්වය චීනයෙන් තජිකිස්තානයට පැවැරී තිබේ.

චීන ජනාධිපති ෂී ජිංග් පිංග් CICA සමුළුවට සහභාගි වී සිටින්නේ ඉකුත් 12 – 14 දිනවල බි‍ෂ්කෙත් හිදී පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවය. රුසියානු ජනාධිපති විලදිමීර් පුටින්ද ඊයේ වනතුරු පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගි විය. අනතුරුව CICA සමුළුවට සහභාගි වීමට තජිකිස්තානයට පැමිණියේය.

මොස්කව් ආරංචිමාර්ගවලට අනුව, සමුළුවට සමගාමීව රුසියානු ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සාකච්ඡා කිහිපයකද යෙදෙනු ඇත. එම පළමු සාකච්ඡාව සිදුවන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟය. දෙවන ලෝක සංග්‍රාම විජයග්‍රහණයේ 75 වෙනි සංවත්සරය සැමැරීම වෙනුවෙන් ලබන වසරේ මොස්කව්හිදී පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සව පිළිබඳ ද ජනාධිපති පුටින් SCO සමුළුවේදී අවධානය යොමුකළ බව වාර්තා විය. එම සැමරුම මහාපාරිමාණයෙන් හා අතිඋත්කර්ෂවත්ව සිදුකිරීමට රුසියාව සැරසෙමින් සිටී.

CICA නිර්මාතෘ, කසකස්තානයේ පළමු ජනාධිපති නසර්බායෙව් ද සමුළුව ඇමැතීය. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙන අන්දමට CICA සමුළුවේ න්‍යායපත්‍රය බොහෝ දුරට SCO න්‍යාය පත්‍රයට සමානය.

මෙවර සමුළුව පැවැත්වෙන්නේද එහි සාමාජික රටවල් කිහිපයකට සාමය ආරක්ෂාව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී වාතාවරණය මැදය. ජනාධිපති පුටින් ද මෙහිදී, ඇෆ්ගනිස්තානය, සිරියාව, ඉරානය හා උතුරු කොරියාව යන රටවල පවතින ගැටලුකාරී තත්ත්ව ඇතුළු කලාපීය ප්‍රශ්න ගැන අවධානය යොමුකරනු ඇති බව වාර්තා විය.

ත්‍රස්ත විරෝධි සහයෝගීතාව

සාධාරණ ලෝක රටාවක් ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳ ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අවධානයට ලක්කරනු ඇත. ඒ සඳහා ගතහැකි සාමූහික ප්‍රයත්නය පිළිබඳ ඔහු කරුණු දක්වනු ඇති බව වාර්තාවී තිබේ. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී ආසියානු රටවල් අතර සහයෝගිතාව වර්ධනය කිරීම ගැනද ජනාධිපති පුටින්ගේ අවධානය යොමුවේ. එමෙන්ම කලාපීය රටවල් අතර ආර්ථික සහයෝගිතාව ඒ ය‍ටතේ, 2015දී පිහිටුවන ලද CICA ව්‍යාපාරික කවුන්සිලය මඟින් ගන්නා ක්‍රියාමාර්ග ආදිය ගැනද මෙවර සමුළුවේ අවධානය යොමුවන බව සඳහන්ය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ඇති බැඳීම තහවුරු කරන අතරම ඉන් පිළිගෙන ඇති, ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වැළැකීම පිළිබඳ මූලධර්මය උල්ලංඝනය නොවීම ගැන මෙවර CICA සමුළුවේදී අවධානයට ලක්වේ. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදුවන එවැනි අතපෙවීම් වැළැක්වීම ගැනද සමුළුව අවසන නිකුත්වන ප්‍රකාශනයේ විශේෂයෙන් අවධානය කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පිළිබඳ රුසියාව දැඩි උනන්දුවකින් ක්‍රියාකරන බව පැහැදිලි විය.

සමාන හා බෙදිය හැකි ආරක්ෂක පද්ධතියක් ඇති කරමින් ආසියානු කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම ගැන එහිදී විශේෂයෙන් අවධානය යොමුවී ඇත. උද්ගතව ඇති තර්ජන හා අභියෝග ජයගැනීමට එවැන්නක අවශ්‍යතාව දැඩිව පවතින බව රුසියාවේ මතය වී තිබේ.

චීනයද මෙහිදී උනන්දුවෙන් ක්‍රියාකරනු ඇති බව පෙනෙන්නට ඇත. ජනාධිපති ෂී ජිංග් පිංග් දේශනයෙන් ද ඒ බැව් පැහැදිලිවිය. වෙහෙස වී වැඩ කිරීමෙන් තොරව සාර්ථක ප්‍රතිඵල නෙළාගත නොහැකි බව ජනාධිපති ෂී මෙහිදී පෙන්වා දුන්නේය. චීන - තජිකිස්තාන මිත්‍රත්වය වර්ධනය කිරීම ගැනද අවධාරණයට ලක්විය.

කලාපීය ආරක්ෂාව, සාමය හා ස්ථාවරත්වය ගැන අවධානයට ලක්ව ඇති පසුබිමක මෙවර සමුළුව ශ්‍රී ලංකාවටද වැදගත්වනු ඇත.

ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශ්ලේෂකයන් අවධාරණය කරන පරිදි ආසියානු කලාපයේ ආරක්ෂාව, අරබයා CICA වැනි එකතුවකට වැදගත් හා ඵලදායී කාර්යභාරයක් ඉටුකළ හැකිය. 2014 ෂැංහයි හිදී පැවැති එම 4 වැනි සමුළුවේදී කලාපීය ආරක්ෂක සහයෝගිතාව උදෙසා නව ව්‍යූහයක් ගොඩනඟාගැනීමට ඉදිරිපත්වූ අදහස් හා යෝජනා ඔස්සේ ක්‍රියාත්මකවීම ගැන මෙහිදී අවධානයට ලක්විය යුතුය. ඉතිහාසයේ අන් කලෙකට වඩා ආසියාව අභියෝගවලට මුහුණදෙමින් ඇති සමයක මෙවැනි එකතුවකට කළහැකි කාර්යභාරය අතිශයින් වැදගත්ය. එකී වැදගත්කම එහි සාමාජික රටවල් විසින් තේරුම් ගන්නා ප්‍රමාණය එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන්නේය.

(දිනමිණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website