Monday, 17 June 2019 07:57

ල බිඳු සහිත වලාකුළු අහසේ රැඳී තිබීම මට ප්‍රශ්නයක් වුණා

ආචාර්ය ගාමිණී පියදාස Codegen ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ

කැනඩාවේ මැනිටොබා සරසවියෙන් අධිශිෂ්‍යත්වයක් හිමි කරගනිමින් විද්‍යුත් චුම්බක ප්‍රවාදය පිළිබඳ පර්යේෂණ පවත්වන ආචාර්ය ගාමිණී පියදාස පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රැඳෙමින් මූලික විද්‍යාව පිළිබඳ පර්යේෂණ මෙහෙයවා තිබේ. 2007 වසරේ සිට පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ට ජාතික විද්‍යා පදනම මගින් ලබාදෙන පර්යේෂණ ආධාර යටතේ ඔහු පර්යේෂණවලට යොමු වී සිටී. ඔහුගේ නවතම පර්යේෂණ පත්‍රිකාව ලොව සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිගත් ජර්නලයක් වන Physics Essayහි පළ කර ඇති අතර එය විද්‍යා ලෝකයේ විවාදයකට පාත්‍රවිය හැකි සංකල්පයකි. ඒ ප්‍රතිගුරුත්වයයි.

* ඔබ ප්‍රතිගුරුත්වය පිළිබඳ පර්යේෂණ කළ භෞතික විද්‍යාඥයෙක්. එවැනි බලයක් ගැන සොයා යාමට පෙළඹුණේ ඇයි?

මම පශ්චාත් උපාධිය පටන් ගත්තේ 1989දී. ස්වීඩනයට ගිහින් ඒ අධ්‍යයන කටයුතු ආරම්භ කළාට පස්සේ අධ්‍යයනය කරන්න ලැබුණේ වලාකුළු භෞතිකය කියන කාරණය. එතැනදී මට පැනනැඟුණ ප්‍රශ්නයක් තමයි, වලාකුළු ජලයෙන් සෑදී තිබීම. අපි කවුරුත් දන්න කාරණයක් තමයි ජල බිංදු වාතයට වඩා දහස් ගුණයක් බර බව. ජල බිංදුවලින් සෑදුණු වලාකුළු අහසේ රැඳිලා තිබෙන්නේ කොහොම ද කියන එක ගැන තමයි මට පැන නැඟුණ මූලික ප්‍රශ්නය. ඒ ගැන 1989 දී අධ්‍යයනය කළා. එහෙත්, ක්‍රමානුකූලව අධ්‍යයනයක් කරන්න ලැබුණේ 2007 වර්ෂයේදී යි.

* ඔබ වලාකුළු අහසේ රැඳී තිබීම ගැන පර්යේෂණයක් කර එහි නිගමන ඉදිරිපත් කළා නේද?

වලාකුළු අහසේ රැඳී තිබෙන හේතුවට දැනට තිබෙන එකම විද්‍යාත්මක පැහැදිලි කිරීම තමයි සංවහන ධාරා කියන එක. ඒ තියෙන නියමයන් එක්ක සංසන්දනය කරලා, හරි විශ්ලේෂණයකට ගොස් නිවැරැදි අධ්‍යයනයකින් පස්සේ ඒ විද්‍යාත්මක හේතුව ගැන කතා කළොත් විතරයි ලෝකය පිළිගන්නේ. ඒ නිසා අපි යම් දෙයක් ගැන නිරීක්ෂණය කරලා, ඒ ගැන නිවැරැදි පරීක්ෂණයක් කරලා එහි නිගමන ලෝකයේ පිළිගත් සඟරාවලට යවන්න ඕනෑ. එහෙම යවන නිගමනය ඔවුන් තවත් විශේෂඥයන් කණ්ඩායමකට යොමු කරලා නිවැරැදි කියලා තහවුරු කරගන්නවා. එහෙම කරලා තමයි කැනඩාවේ physics essay magzine එකේ පළ කළේ. ඒ සඟරාව භෞතික විද්‍යාවේ මූලික මූලධර්ම ගැන සාකච්ඡා කරන සඟරාවක් නිසා ඔවුන් මගේ සොයා ගැනීම ගැන පළ කරන්න කැමැති වුණා.

* ඔබගේ පර්යේෂණයෙන් ලෝකයට කියන්න උත්සාහ කරන්නේ කුමක් ද?

භෞතික විද්‍යාත්මක බල අතර ලෝකයේ මුල්ම සොයා ගැනීම් අතර ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය ලෙස සැලකෙන්නේ ආකර්ෂණ බලයක් ගැන පමණ යි. විද්‍යුත් බලවල ආකර්ෂණ සහ විකර්ෂණ බල යනුවෙන් දෙකොටසක් තියෙනවා. මගේ පර්යේෂණයට හේතු වුණෙත් ජල වාෂ්පවලින් සෑදුණු වලාකුළු අහසේ රැඳී තිබෙන්නට නම් එතැනදීත් විකර්ෂණ බලයක් තිබිය යුතුම යි කියන කාරණය. ඒ ගැන මම විශ්වාස කළා. ඒ කාරණය මම පරීක්ෂණාත්මකව ලෝකයට ඔප්පු කරලා පෙන්වන්න ඕනෑ. ඒ නිසා ප්‍රතිගුරුත්වාකර්ෂණය ගැන පර්යේෂණ සිදු කළා.

* ප්‍රතිගුරුත්වාකර්ෂණ පිළිබඳ සොයා ගන්න පර්යේෂණයට යොමු වුණේ කොහොම ද?

සාමාන්‍යයෙන් වලාකුළු අහසේ රැඳී තියෙන්නේ වාතය නිසා කියන එක පිළිගන්නවා. ඒ නිසා වාතයට වඩා වෙනත් බලයකින් වලාකුළු අහසේ රැඳී තිබෙන්නේ යැයි කියන්න මට ඕනෑ වුණා. ඊට පස්සේ මට මේ පර්යේෂණය කරන්න ඕන වුණ නිසා යම් භාජනයක් ගෙන එහි තිබෙන වාතය ඉවත් කළා. ඉවත් කරලා භාජනයේ මැද කොටසේ අයඩීන් මූලද්‍රව්‍ය තැන්පත් කළා. වාත අංශුවකට වඩා අයඩින් මූලද්‍රව්‍යය තුන් ගුණයක් විතර බරයි. එහෙම තැබූ මූලද්‍රව්‍යය ක්‍රමයෙන් පහළට ඇවිත් තැන්පත් වෙනවා. ඒක ගුරුත්වයට සම්පූර්ණයෙන් ම එකඟ යි. නමුත් මේ අණු රත් කළාම භාජනයේ පහළට නෑවිත් උඩ කොටසේ තැන්පත් වුණා. ඒකෙන් පැහැදිලිව ම පේනවා අයඩින් අණු රත් කළාට පස්සේ ගුරුත්වයට ප්‍රතිවිරුද්ධ දිසාවේ තැන්පත්වීම නිසා ගුරුත්වයට ප්‍රතිවිරුද්ධ බලයක් ලැබෙනවා කියලා.

* ඔබගේ පර්යේෂණයෙන් ලෝකය තුළ යම් වෙනසක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා ද?

පැහැදිලිවම ඔව්. ලෝකයේ ඕනෑ තරම් මත තිබෙනවා. ඒ අතර පිටසක්වල ජීවීන් ගැන මත තිබෙනවා. ඒ වගේම පිරමීඩ ගැන මත තිබෙනවා. මේවා හිතලුම නෙවෙයි. මේවා ගැන මුළු ලෝකයම කතා කරනවා. පිරමීඩ ගැන කතා කරද්දීත් අපි කතා කරන ප්‍රතිගුරුත්ව බලය භාවිතා කළා ය කියන මතය ඉදිරිපත් වෙනවා. මේ කාරණය අපිට අනාගතය දෙස බලන්න සුබදායක විදිහට හිතන්න පුළුවන්.

* බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් කරලා තියෙන්නේ බටහිර විද්‍යාඥයෝ. හේතුව කුමක් ද?

ලෝකයේ මතයක් තියෙනවා මූලික විද්‍යාත්මක පර්යේෂණ කරන්න පුළුවන් බටහිර විද්‍යාඥයින්ට විතරයි කියලා. ඔවුන්ට ඒ දේවල් කරන්න බැහැ කියලා අනෙක් විද්‍යාඥයන් හිතනවා. ඒ නිසා ඒ මතය බිඳින්න ඕනෑ කියන තැන මම ඉන්නවා. මගේ පර්යේෂණය ලෝකයේ ඉහළම පර්යේෂණයක්. ඒක ලංකාවෙන් බිහිවීම ලංකාවට කීර්තියක්. මම මේ පර්යේෂණයේ භාගයක් ලංකාවේ කළා. ඉතිරි ටික කළේ කැනඩාවේ දී. 2014 දී හෝමාගම නැනෝ ආයතනයෙන් ආරාධනයක් ලැබුණා. ඒ ආරාධනයෙන් පස්සේ මම ආවා. ඇවිත් මූලික පර්යේෂණ ආරම්භ කළා. නමුත්, බටහිර විද්‍යාඥයන් හිතනවා ආසියාතික විද්‍යාඥයන්ට මූලික විද්‍යා පර්යේෂණ කරන්න බැහැ කියලා. ඒ මත බිඳලා ආසියාතික විද්‍යාඥයන්ට මේ දේවල් කරන්න පුළුවන් කියලා මම ඔප්පු කරලා තියෙනවා.

* අපේ රටේ දරිද්‍රතාවය ගැන කතා කළොත්, මේ රටේ සමාජ ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්න පිළිබඳ පර්යේෂණ නිගමනවලට යොමු වෙන්න ඔබ වැනි පර්යේෂකයන්ට බැරිද?

ඉන්දියාව ගත්තොත් දරිද්‍රතාවයත් උපරිමයෙන් තියෙන රටක්. ඒ රටේ ඒවා ගැන පර්යේෂණ සිදු කෙරෙනවා වගේ ම ක්‍රියාත්මක වීමකුත් වෙනවා. අපේ රටේත් පර්යේෂණ සිදු කෙරෙනවා. එහෙත් ඒවා ක්‍රියාත්මක වීමේ ගැටලුවක් තිබෙනවා. අපේ රටේ ගඟක් හැරවීමට අවශ්‍ය වුවොත් ඊට අවශ්‍ය පර්යේෂණ මිලියන ගණනක් වියදම් කරලා හරි කරනවා. ඊට පස්සේ කාගේ හරි ඉඩමක් නිසා හෝ පුද්ගලික හේතුවක් නිසා හෝ ඒ ගඟ හරවාගෙන යාම නවතා දමනවා. මේ වගේ ප්‍රශ්න අපේ රටේ තියෙනවා. අපේ රටේ හොඳ විද්‍යාඥයෝ ඉන්නවා. ඔවුන්ට අපේ රටේ පරිසරය, කෘෂිකර්මාන්තය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් අපේ රටේ රජයන් විශ්වාස කරන්නේ විදේශ රටවල විද්‍යාඥයෝ ගැන විතරයි. කොහොම වුණත් මොන විද්‍යාඥයා, පර්යේෂකයා කීවත් අපේ රටේ ඒවා ක්‍රියාත්මක නොවීම අවාසනාවක්.

*1948 නිදහසෙන් පස්සේ අපේ රටේ අත්කරගෙන තිබෙන සංවර්ධනයත්, එදා අපට පසුපසින් සිටි රටවල් අප රට අභිබවා යාමත් ගැන පර්යේෂකයෙක් විදිහට ඔබ සිතන්නේ කුමක් ද?

මේ ගැන අපිට දුකයි. ලෝකයේ විශාල වශයෙන් තියෙන ඉලෙක්ට්‍රොනික් උපකරණවල ඇති IC කියන උපාංගය නිපදවන්නේ සිලිකන්වලින්. ඒ සිලිකන් අවසන් සැකස්මේ දී කිලෝ 1ක් ඩොලර් ලක්ෂ ගණනක් වෙන්න පුළුවන්. ඒ සිලිකන් මූලික වශයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. අපේ රට සිලිකන් කිලෝ 1ක් විකුණන්නේ ඩොලර් 1කට වගේ මුදලක ට. ඒ සිලිකන් කිලෝ එක අවසන් නිමැවුම දක්වා ගිහින් එනකොට ඩොලර් දහස් ගණනක් වෙලා. ඒ සැකසුම අපේ රටට කරන්න පුළුවන්. ඩොලර් එකට දෙන සිලිකන් කිලෝව අඩුම තරමින් ඩොලර් 25ටවත් දෙන තැනට සකසා ගන්න අපිට පුළුවන් වුණා නම් කොයි තරම් ආදායමක්ද?. ඒවා කරන්න අවශ්‍ය මානව සම්පත අපිට ඉන්නවා. මේවා කරන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ පවතින ආණ්ඩුවලට කියනවා. ඒත් අපිට දැන් තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්.

* ඔබ ලෝකයට හඳුන්වලා දුන්නු ප්‍රතිගුරුත්වය වගේ තවත් බොහෝ දෑ සොයාගත හැකි පිරිසක් මේ රටේ ඉන්නවා ද?

ඇත්තෙන්ම බොහෝ පිරිසක් ඉන්නවා. මම ප්‍රතිගුරුත්ව නිගමනය ඉදිරිපත් කළාට ම කියනවා නෙවෙයි, නමුත් අයින්ස්ටයින් ගුරුත්වය සොයා ගත්තා හා සමානව සොයා ගත් විද්‍යාත්මක කාරණයක් තමයි මම ඉදිරිපත් කළේ. අපේ රටෙන් එවැනි මතවාදයක් ඉදිරිපත්වීම ම රටේ ජයග්‍රහණයක්. මට අවශ්‍යවෙලා තියෙන්නේ මේ පණිවිඩය ලෝකයට යාම විතරයි. නමුත් අපි කතා කළ යුතු වැදගත්ම කාරණය තමයි අපේ රටෙන් මතවාදයක් ඉදිරිපත් වීම යි. අපේ රටේ දේශපාලනයට මේ කිසි දෙයක් අදාළ නැහැ. කවර පාලකයා වුවද කටයුතු කරන්නේ මේ රටේ දී එකම ආකාරයට. ඒ නිසා තමයි රට වටේටම මුහුද තියාගෙනත් පිට රටින් මාළු ගෙන්වන්නේ. අපි අපේ සම්පත්වලින් වැඩක් අරගෙන නැහැ.

* ඔබගේ පර්යේෂණවලට අපේ රටේ විද්‍යා පදනම්වල සහය කොයි වගේ ද?

මගේ මූලික පර්යේෂණවලට ආධාර කළේ ජාතික විද්‍යා පදනම. ඊට පස්සේ කැනඩාවේ ගිහින් ආවාට පස්සේ ආචාර්ය හර්ෂ සුදුසිංහ ආධාර කළා. දැන් මම පර්යේෂණ කරන්නේ සෝලා පවර් ගැන. සූර්යය බලය පරිවර්තනය වැඩි කරගන්න අවශ්‍ය පර්යේෂණ සිදුකරමින් ඉන්නවා. ලෝකය පුරා කෙරෙන පර්යේෂණවලින් 5% විතර ප්‍රමාණයක් තමයි සාර්ථක වෙන්නේ. ඒ නිසා අපි කැපවීමෙන් පර්යේෂණ කරන්න ඕනෑ. ඒ සඳහා මට කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ටී. ආර්. ආරියරත්න, මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා සහ ජාතික විද්‍යා පදනමේ හිටපු සභාපතිනී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු යන අයගේ සහාය ලැබුණා. මගේ පර්යේෂණ සාර්ථක කර ගැනීමට ඔවුන්ගෙන් ලද සහායට ස්තූති කරන්නත් මම මේ සාකච්ඡාව අවස්ථාවක් කර ගන්නවා.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website