Tuesday, 18 June 2019 06:14

පොදු අපේක්‍ෂක සංකල්පය මෙදාපාර නෑ

ලිච්ඡවි පාලනය, ජනපති ඝාතන චෝදනා පරීක්ෂණය, කැබිනට් රැස්වීමේ අවුල, තේරීම් කාරක සභාව, බැඳුම්කර නඩුව, ජනාධිපතිවරණය, එ.ජා.ප ජනපති අපේක්ෂකත්වය හා මුස්ලිම් ඇමැතිවරුන්ගේ අස්වීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ රාජ්‍ය ව්‍යවසාය, කන්දඋඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති හා පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි.

ප්‍රශ්නය:- ලිච්ඡවි රාජ්‍ය සංකල්පයෙන් ආණ්ඩුකරණයට පැමිණි යහපාලන රජය වසර පහක් යද්දි ජනපතිත් අගමැතිත් පිළිමළුන් පිටුදකින තරගයක නායකයන් දෙන්නෙක් වගේ වෙලා. ආණ්ඩුවට මොකද්ද වුණේ?

පිළිතුර:- අගමැතිතුමා මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනපති කරන්න සෑහෙන්න වෙහෙස වුණා. එක්සත් ජාතික පක්ෂය ඔහු ජනාධිපති කරන්න පූර්ණ සහාය දුන්නා. නමුත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගත්තා. ප්‍රශ්නෙ පටන්ගත්තෙ ඔතැනින්. තමන්ට විරුද්ධව වැඩ කළ අය කැබිනට් එකට ගෙනාවා. එහෙම ආපු අයට යහපාලන ආණ්ඩුව ලබාගත් ජයග්‍රහණය ගැන හැඟීමක් තිබුණේ නෑ. ඔය තිලංග සුමතිපාලලා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, මහින්ද සමරසිංහ ඔක්කෝම මෛත්‍රිපාලට විරුද්ධව වැඩ කරපු අය. මේ අය කැබිනට් එකට ගත්ත දවසේ ඉඳලා ආණ්ඩුවෙ කකුලෙන් ඇද්දා. ඒකයි වුණේ. ජනාධිපතිවරයා හරියට වැඩ කළා නම් ඊළඟ අවුරුදු පහටත් යූ.එන්.පී එකේ සහාය ලබාගන්න තිබුණා. 

ප්‍රශ්නය:- ඒත් ජනාධිපතිවරයා කිව්වේ තමාව ඝාතනය කරන තැනට රෝ ඔත්තුකරුවන් කැබිනට්ටුවට රිංගන තත්ත්වයක් ආවා. තමන් තනි වුණා කියලයි? 

පිළිතුර:- කෝ ඉතින් ඔය ඝාතනය කරන්න හැදුවා කියන කතාවලට සාක්ෂි? මුකුත් නෑනෙ. දැන් අවුරුද්දක් විතර පරීක්ෂණ කළා. චෝදනා පත්‍රයක්වත් දීලා නෑනෙ. ශ්‍රී ලංකා එකෙන් ආපු අයගෙ ලණු තමයි මේවා. පැහැදිලිවම මේවා රට හමුවේ හෙළිදරව් විය යුතුයි. මොකද මේවා පෙන්නලා තමයි දින පනස් හයකට අපේ ආණ්ඩුව පෙරලුවෙ. ඒකෙන් තමයි ආණ්ඩුව දුර්වල වුණේ.  

ප්‍රශ්නය:- ආණ්ඩුකරණයේ මූලිකම විධායක ආයතනය වන කැබිනට්ටුව රැස්කරගන්න බැරි තරමට විරසකය ඔඩු දුවා ගිහින් නේද?

පිළිතුර:- ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සාකච්ඡා කර ඒ ප්‍රශ්නය විසඳාගත්තා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්ටුව අද(17) රැස්වෙනවා. 

ප්‍රශ්නය:- 2015 දි ඔබලාට ලැබුණේ සාමකාමී රටක්. ඒත් දැන් තිබෙන්නේ ත්‍රස්තවාදය යළි හිස ඔසවපු රටක්. ආණ්ඩුව ජාතික ආරක්ෂාව සහතික කරන්න අසමත් වුණේ ඇයි? 

පිළිතුර:- ආණ්ඩුවට විතරක් ඇඟිල්ල දිගුකරන්න බෑ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තව්හිද් ජමාත් සංවිධානයට සල්ලිත් දීලා තියෙනවා. ඒක තේරීම් කාරක සභාවෙදිත් ඊට කලිනුත් හෙළිවුණා. ඒ අය මේ කරුණු වැඩි වැඩියෙන් හෙළිදරවු වෙයි කියල තමයි තේරීම් කාරක සභාවට විරුද්ධ වුණෙත්. 

ප්‍රශ්නය:- හැබැයි තොරතුරු ගැනීමට බුද්ධි අංශ ක්‍රියාවලියේදී මුදල් දීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙල කියලා තර්කයකුත් පැමිණියා? 

පිළිතුර:- ඔය කියන විදියට ඔත්තු දුන්නා නම් මේ ප්‍රහාරය නවත්තගන්න තිබුණනෙ. මේක හෙළිදරවු වුණාට පස්සෙනෙ ඔය ඔත්තු දුන්න කතා කියන්නේ. මේ තේරීම් කාරක සභාව දිගටම රැස්වුණොත් පසුගිය ආණ්ඩු කාලයේ වූ දේවල් හෙළිදරවු වෙයි කියලා විපක්ෂය බයයි. 

ප්‍රශ්නය:- අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ හෙළිවන ඇතැම් කරුණුවලින් බාධා එල්ල වන බව කියමින් කතානායකවරයාට ලිපියක් යොමුකර තිබුණේ ජනාධිපති ලේකම්වරයායි. ජනාධිපතිවරයාගේ විරෝධය නොතකන්න පුළුවන් ද? 

පිළිතුර:- මෙතැනදි කතානායකවරයා එම ලිපිය ලද විගස කමිටු සාමාජිකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ජාතික ආරක්ෂාවට අගතියක් වන කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස උපදෙස් දුන්නා. කතානායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ ”ජනාධිපතිවරයා විසින් යොමු කරන සංදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති කරුණුවල අදාළත්වය අනුවය. කාරක සභාවක කටයුත්තක් සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා එවන ලද ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී” කියලයි. කතානායකවරයා නිවැරැදියි. ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට කිසිම දෙයක් කරන්න බෑ. 

ප්‍රශ්නය:- ඇතැමුන් කියන්නේ කාරක සභාව රැස්වීම නිවැරැදි වුණත් ජනමාධ්‍ය හරහා සජීවී විකාශය කිරීම නොගැලපෙන බවයි. මේ තර්කය ගැන ඔබ කියන්නේ මොකද්ද? 

පිළිතුර:- කාරක සභාවේ සභාපතිවරයා පැහැදිලිව කියා තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂාවට හානිකර දෙයක් තිබෙනවා නම් එතැනදි කියන්න එපා කියලයි. සාක්ෂි පටන්ගන්නේ එහෙමයි. ඕකට හොඳම උදාහරණය සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ අච්චර බලවත් ඇමෙරිකාව තමන්ට වැරදුණේ කොතැනද කියලා හොයන්න මේ වගේම කමිටුවක් පත්කළා. ඒවා මුළු ලෝකෙටම සජීවීව විකාශය කළා. අනික ජනතාවට අයිතියක් තියෙනවා වැරදුණේ කොහෙද කියලා දැනගන්න. මොකද මේ සියලු දෙනා නඩත්තු වෙන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. මේ තේරීම් කාරක සභාව අතිශයින් ජනප්‍රියයි. ජනතාව ඇත්ත දැනගන්න කැමැතියි. 

ප්‍රශ්නය:- කාරක සභාව ජනප්‍රියයි කියන්නේ ඒක මැතිවරණ ඉල්ලමක් කරගන්නද හදන්නේ? 

පිළිතුර:- කිසිසේත් නෑ. මේ සාක්ෂි උපයෝගී කරගෙන නඩු පවරන්න පුළුවන්. මේ තේරීම් කාරක සභාවේ වාර්තාව නීතිපතිට යවනවා. ඊටපස්සෙ ඊට අදාළව නීතිමය පියවර ගන්නවා. 

ප්‍රශ්නය:- කැබිනට්ටුව යළි රැස්වීමට කැමැත්ත දීම සමග තේරීම් කාරක සභාව තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා එ.ජා.පය අතර අතරමැද එකඟතාවයක් තිබෙන බවට පළ වන වාර්තා ඇත්තද?

පිළිතුර:- එහෙම එකක් නෑ. තේරීම් කාරක සභා ස්වාධීනයි. ඒකට ජනාධිපතිටවත්, අගමැතිටවත්, කතානායකවරයාටත් මුකුත් කරන්න බෑ. එහෙම බලපෑමක් කිරීමම වරදක්. 

ප්‍රශ්නය:- මෙවැනිම වාර්තාවක් හදපු බැඳුම්කර සිදුවීමේදී දේශපාලන සබැඳියා නොසලකා අධිචෝදනා ගොනුකර ඇති බවට ජ.වි.පෙ චෝදනාවක් එල්ල කළා. චෝදනාව වැරදිද? 

පිළිතුර:- දේශපාලන සබැඳියාවලට නඩු දාන්න බෑනෙ. නඩු දාන්න නම් සෘජුව සිද්ධිමය කරුණු තියෙන්න ඕනෑ. මම දන්න තරමට සෘජු සාක්ෂි තියෙන හැම කෙනාටම නඩු දාලා තියෙනවා. ජේ.වී.පී එක කළේ මාධ්‍ය සංදර්ශනයක්. අගමැතිතුමා බය නැතිව ගිහින් සාක්කි දුන්නා. එතුමගෙන් හරස් ප්‍රශ්න ඇහුවා. මම එන්නේ නෑ ඕක නවත්තන්න කියලා අගමැතිතුමා කිව්වේ නෑනෙ. 

ප්‍රශ්නය:- හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අගමැතිවරයා සහතික වුණත් එය ඉටු නොවුණාය කියන කරුණ ඔවුන් අවධාරණය කරනවා? 

පිළිතුර:- නෑ.නෑ.. මම පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නේ අගමැතිතුමා ගාව. අගමැතිතුමා කවදාවත් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දෙනවා කියලා පොරොන්දුවක් වෙලා නෑ. ඒක විකාරයක්. එහෙම පොරොන්දුවක් වෙලා නෑ. 

ප්‍රශ්නය:- මෙතෙක් කල් මහමැතිවරණ ඉල්ලපු පොදුජන පෙරමුණ ඉක්මන් ජනාධිපතිවරණයක් ආණ්ඩුවෙන් ඉල්ලනවා. ආණ්ඩුවෙ සූදානම මොන මැතිවරණයකට ද? 

පිළිතුර:- අපිට මැතිවරණ දෙන්න බෑ. මැතිවරණ තියන්න ඕන රටේ නීතියේ හැටියට. නීතියට අනුව ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය. ඊටපස්සේ පෙබරවාරි මාසෙන් පස්සේ මහමැතිවරණය එනවා. 

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා වැඩ බලන ඇමැතිවරුන් පත්කළ ආකාරය වැරැදි බවට අගමැතිවරයා චෝදනා කරනවා. මේ පත්වීම් ගත්තෙ එ.ජා.පයේම මන්ත්‍රීවරු. මේ කඹ ඇදිල්ල ආණ්ඩුවේ පැවැත්මට නේද බලපාන්නේ?

පිළිතුර:- නෑ. නෑ. ඒ අය ජනාධිපතිවරයා මුණගැසී යම් යම් වැඩ උපක්‍රමශීලීව කරගත්තාට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව යන්නේ නෑ. 

ප්‍රශ්නය:- ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන අසද්දී කතානායකවරයා අවස්ථාවක් ලැබුණොත් තමා සූදානම් බව කියද්දී භික්ෂූන් වහන්සේලා පිරිසක් ඔබේ නමත් සඳහන් කරනවා. ඔබටත් එවැනි සූදානමක් තිබෙනවද? 

පිළිතුර:- භික්ෂූන් වහන්සේලා කියන්නේ හැමදාම අපි මැතිවරණවලට නුසුදුසු පුද්ගලයන් ගෙනැත් පස්සේ ලතැවෙනවා කියලයි. උඩරට පළාතට පසුගිය කාලයේ මම විශාල වැඩ කොටසක් කරල තියෙනවා. අනෙක එක්සත් ජාතික පක්ෂයට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන්නේ උඩරටින්. මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කය ජනාධිපතිවරණයේදී ඡන්ද 81 000 කින් දිනුවා. මහමැතිවරණය 1 37 000 කින් දිනුවා. යහපාලන ආණ්ඩුව දිනුව එකම සිංහල බෞද්ධ දිස්ත්‍රික්කය. මහනුවර දිනුවෙ බොහොම පොඩි ගානකින්. ඉතින් ජයග්‍රහණ පෙන්වන අපටත් යම්කිසි නියෝජනයක් තියෙන්න ඕනෑ කියන මතයේ තමයි ස්වාමින් වහන්සේලා ඉන්නේ. මහාමාර්ග ඇමැති හැටියට මම මහනුවර දිස්ත්‍රික්කයේ විතරක් පාරවල් 250 ක් හැදුවා. ක්‍රිස්තියානි දේවස්ථානවලටත් මුස්ලිම් පල්ලිවලටත් භේදයක් නැතිව මම උදවු කරලා තිබෙනවා. මොකද සුළු ජාතින් බලාගැනීම කියන්නේ මහනුවර රජවරුන්ගේ සංස්කෘතියයි. ඉතින් ඒ සංස්කෘතිය මම අකුරටම ක්‍රියාත්මක කරලා තිබෙනවා. නමුත් පැහැදිලිව කියන්න ඕනෑ. මම ඉල්ලීම් කරලා නෑ. 

ප්‍රශ්නය:- ජනාධිපති අපේක්ෂකත්වය බාරගන්න කියලා පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීමක් ආවොත් ලෑස්තිද? 

පිළිතුර:- පැහැදිලිවම. පහුගිය ජනාධිපතිවරණයේදී අපට ආණ්ඩුවක් නැතිව කැබිනට්ටුවක් නැතිව අපි මහනුවර දිස්ත්‍රික්කය දිනුවනෙ. අනික මේ මහනුවර අවුරුදු පහළොවක් තිස්සේ ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැතිවරු.   

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම තනි ජනප්‍රිය චරිතය හැටියට විපක්ෂය පැත්තෙන් ඉස්සෙද්දී එක්සත් ජාතික පක්ෂයට සිය අපේක්ෂකයා ගැන තීන්දුවක් ගන්න තරම් අභ්‍යන්තර සමගියක් තිබෙනවද? 

පිළිතුර:- මෙහෙමනෙ. විපක්ෂය පැත්තේ අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල ඇතුලෙ. කාට කාටත් පෞද්ගලික අභිමතාර්ථ තිබුණට අපේ පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි. ඒක තමයි ක්‍රමය. අනික ජනාධිපතිකමට කවුරු හරි තරග කරනවා යැයි කියනවා නම් ඉස්සෙල්ලාම එයා තමන්ගෙ ආසනේ දිනන්න ඕනෑ. ඊළඟට තමන් ඉල්ලන දිස්ත්‍රික්කය දිනන්න ඕනෑ. රට වටා යන්න අපේක්ෂකයකුට පදනම වන්නේ ඒකයි. තමන් ඉල්ලන ආසනේ දිස්ත්‍රික්කය දිනන්නෙ නැතිව මට ජනාධිපති අපේක්ෂක වෙන්න ඕනෑ කියලා කියන්න බෑ. 

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයක් කියන්නේ ජාතික මැතිවරණයක් හැබැයි? 

පිළිතුර:- 1978 ඉදන් බලන්න පොඞ්ඩක්. ජනාධිපතිවරණයක් දිනපු හැම කෙනාම තමන්ගෙ ආසනයත් දිස්ත්‍රික්කයත් දිනුවා. ජේ.ආර් ජයවර්ධන ඒක කළා. ප්‍රේමදාසත් එහෙමයි. ඊටපස්සෙ චන්ද්‍රිකා, මහින්ද හැමෝම එහෙමයි. ගිය පාර මෛත්‍රිපාලත් පොළොන්නරුව දිනුවා. මම කියන්නේ ඒකයි. මම ආඩම්බරයට කියනවා නෙවෙයි. 2015 දි කැබිනට්ටුවක්, පළාත් සභාවක්, ප්‍රාදේශීය සභාවක් නැතිව අපි මහනුවර දිස්ත්‍රික්කය දිනුවා. ඇත්තටම යහපාලන ආණ්ඩුව පිහිටුවන්න හැකිවුණේ අපි උඩරට දිනවපු නිසයි. ඉතින් කන්ද උඩරට ජනතාවට ඕනෑම තනතුරක් ඉල්ලන්න අයිතිය තියෙනවා. 

ප්‍රශ්නය:- අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔය ගන්න තීන්දුවෙන් එන කෙනා පොදු අපේක්ෂකයෙක් නොfවී යූ.එන්.පී කෙනෙක්ම වේවිද? 

පිළිතුර:- පොදු අපේක්ෂක සංකල්පයක් මෙදා පාර නෑ. ඒක රටේ ජනතාවට එපා වෙලා. එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් එපා වෙලා. අපට හැමදාම සිරිසඝබෝ වෙන්න බෑ. ඒ පරිප්පුව දැන් කාලා තියෙන්නේ දෙපාරක්. 

ප්‍රශ්නය:- රටේ උද්ගත වූ තත්ත්ව සමඟ ඇමැති ධුරවලින් ඉවත්වීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කළා. සමහරු කියන්නේ මේක එ.ජා.පය කියල කරපු වැඩක් කියලයි. කතාව ඇත්තද? 

පිළිතුර:- එහෙම වෙන්නෙ කොහොමද? ඔය බොදු බල සේනාවයි අතුරලියේ රතන හාමුදුරුවොයි උද්ඝෝෂණය කළේ මුස්ලිම් ජනතාවට විරුද්ධව. මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර වර්ජනය කරන්න කිව්වා. කඩවලට යන්න එපා කිව්වා. මුස්ලිම් ජනතාව ඉලක්ක කරලා දියත් කළ මේ ව්‍යාපාරය ඔවුන්ට දරාගන්න බැරි වුණා. ඇමැතිවරු ඉවත්වුණේ එම උණුසුම නැතිකරන්නයි. 

ප්‍රශ්නය:- මේ වාර්ගික වශයෙන් වන බෙදීම් එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයකදී සිංහල බෞද්ධ ඡන්ද පදනමට බලනොපානු ඇතැයි ඔබ හිතනවද?  

පිළිතුර:- මම එකක් කියන්නම්. ලංකාවෙ අන්තවාදීන් ඉන්නෙ සුළු පිරිසක්. සීයට අනූ නවයක් ජනතාව අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා. මුස්ලිම් සිංහල ජන සම්බන්ධතාව අද රටේ මිනිස්සු දන්නෙත් නෑ. ජනමාධ්‍යවේදීන් දන්නෙත් නෑ. 16 වැනි සියවසේදී මුස්ලිම්වරු මුලින්ම පැමිණියේ මුහුදුබඩ පෙදෙස්වලට. අලුත්ගම, බේරුවල පෙදෙස්වල ආරම්භ කාලයේදී සිටි ඔවුන්ව පෘතුගීසිකාරයන් විසින් එලවනු ලැබුවා. එතකොට ඔවුන් නුවරට ආවා. අසරණ වෙලා ආපු ඒ මිනිස්සු නැගෙනහිර පළාතේ පදිංචිකෙරුවේ සෙනරත් රජු විසින්. මම වෙනුවෙන් මේ නැගෙනහිර බලාගනින් කියලයි පදිංචි කළේ. ඒ විතරක් නෙවෙයි. ඒ අයගෙ වෙළෙඳාම්වලට හිරිහැර කරන්න එපා කියලා පෘතුගීසින් එක්ක සෙනරත් රජු ගිවිසුමක් පවා අස්සන් කළා. මේක තමයි ඇත්ත. මඩු පල්ලිය හදන්න ඉඩම දුන්නෙත් එහෙමයි. මහනුවර රජවරු කියන්නේ සුළු ජාතින් ගැන ඉතාම සානුකම්පිතව බැලූ පාලක කණ්ඩායමක්. ඔය සිංහල හා සිංහල නොවන සුළු ඡන්ද කියන බෙදීම මහනුවර රජවරුන්ගේ සංස්කෘතියේ නෑ. ඒක මැදමුලන සංස්කෘතිය.

(ලංකාදීප)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website