Thursday, 20 June 2019 09:53

225 ම එපාද

අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් හැම දෙනාටම පාහේ ජනතාවගේ විරෝධතාවක් තිබෙන පරිද්දෙන් මතුවෙමින් තිබෙන ‘225 ම එපා’ යැයි කියවෙන ප්‍රකාශය මේ දවස්වල සමාජ මාධ්‍ය අවකාශයේ සාකච්ජා වෙන එක් ජනප්‍රිය සටන් පාඨයකි. මේ කාරණය මගින් මතුකර තිබෙන්නේ මේ රටේ සමාජය රටේ දේශපාලනය පිළිබඳව මෙතෙක් කාලයක් බැලූ ආකාරයට වඩා යම් විචාරාත්මක හා විරෝධාත්මක බවක් බව බැලූ බැල්මට පෙනී යයි. 

ඇත්තටම අපේ සමාජයේ තිබූ දේශපාලන සාක්ෂරතාවයෙහි බරපතළ වෙනසක් 2015 ජනවාරි ජනාධිපතිවරණයත් සමඟින් සිදූවෙමින් පවතින බව ඉතාමත් පැහැදිලි කාරණයක් වන අතර ඒ වෙනස් තත්ත්වයෙහි එක් කැපී පෙනෙන දෙයක් වන්නේ තමා දෙන ජන්දය සහ රටේ අනාගතය අතර සම්බන්ධයක් තිබෙන බව සමාජයේ එක් තීරුවක් තදින්ම විශ්වාස කිරීමට පටන් ගැනීමයි. මේ කියන 225 ම එපා කථාව එන්නේ මේ අලුත් තත්ත්වයෙහි ප්‍රතිඵලයක් ලෙසින් බව පිළිගැනීමේ වැරැද්දක් නැත. ජනතාවගේ පැත්තෙන් මතුවන විරෝධතාවක් සටහන් කරන්නට 225ම එපා යැයි කීවත් මේ සංවාදය නිවැරැදිව නොගියහොත් පාර්ලිමේන්තුව හා ඒ ආයතනයේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් මතු කර ගත යුතු වැදගත් කරුණු ගණනාවක් මගහැරී යන ආකාරයේ අනතුරක් මේ සටන් පාඨයේ තිබෙන බව මගේ අදහසය. මේ සටහනින් කථා කරන්නේ ඒ සම්බන්ධයෙන් වැදගත් වන කරණු කීපයක්  පිළිබඳවය. 

මුලින්ම කිව යුත්තේ මන්ත්‍රීවරයකුගේ කාර්යභාරය පිළිබඳව සමාජයක් දේශපාලන වශයෙන් යම් මුහුකුරා යාමකට පත්වීම ඉතාමත් හොඳ දෙයක් බවය. 1930 දශකයේ සිටම ජන්ද අයිතිය පිළිබඳ යම් ආකාරයක දැනීමක් මේ රටේ  ගොඩ නැඟෙමින් තිබූ බව සත්‍යයක්ය. ඒ කියන්නේ අපේ රටේ සමාජයට ස්වකීය පාලකයන් තෝරා ගැනීමට ඉඩක් ඒ කාලයේ සිටම තිබූ බවය. එහෙත් ඒ ඉඩ සහ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ශක්තිමත් දේශපාලන තෝරාගැනීමක් බවට පත් වුනේ නැති තරම්ය. 

සර්වජන ජන්ද බලයේ මුල් ඉතිහාසය මගින් කියන්නේම මේ ගොඩ නැඟෙමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඉහළට මතුවුණේ නැති ආකාරයක්ය. ඇත්තටම සිදූවුණේ පැරැණි වැඩවසම් සමාජ ක්‍රමයේ මිය යමින් තිබූ සමාජ ආකෘති වූ කුලය හා පරවේණි උරුමය වැනි විකාර සමඟ මිශ්‍ර වූ අලුත් තත්ත්වයක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළුවීම ය. 1977 දක්වාම සංබ්‍යා ලේඛනවලින් පෙන්වන්නේ මේ තත්ත්වය හරහා පාර්ලිමේන්තුවට ඇතුළු වූවන් බහුතරයක් මේ ගණයට අදාළ බවය.  එහෙත් ඒ කාලයේ දේශපාලනයට ආවේ එවැනි වැඩවසම් ආකෘතියක සිටින සම්පත් වැඩි කාණ්ඩයේ පවුල්වල අය වුවත් ඒ බොහෝ අයගේ බුද්ධිභාවය ඉතාමත් ප්‍රාථමික තත්ත්වයක තිබුණත් ඒ කාලයේ සිටි  නායකයන්  මේ රටට එරෙහිව දේශපාලනයේ යෙදෙන්නන් නොවූ බව අප තේරුම් ගත යුතු කාරණයක්ය. 
මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය පටන් ගත්තේම ඒ ආකාරයේ වැරැදි පාරකට දමමින් වූ නිසාම ඒ පාරෙන් ආ බොහෝ අය ස්වකීය ‘මහන්තත්තකම රැක ගැනීම වැනි හිස් අවකාශයක් නඩත්තු කිරීමට’ තමන්ගේ දේපළ විකුණමින් දේශපාලනයේ රැඳී සිටියා මිස පාර්ලිමේන්තුවාදයෙන් රටට ලබා ගතයුතු ධනාත්මක ජයග්‍රහණ එතරම් සැලකිල්ලකට ගත්තේ නැති තරම්ය. ඒ වගේම දේශපාලනය පාවිච්චි කරමින් හොරකම් කරන්නටත් ඒ කියූ කාණ්ඩයේ අය පෙළඹුණේ නැති තරම්ය. ජේ.ආර් ජයවර්ධන හා ඇන්. ඇම්. පෙරේරා වැනි මේ කාණ්ඩයේ සිටි අවසන් නායකයන් මියගියේ තමන්ගේ වියදමින් හදාගත් කොළඹ පිහිටි ගෙවල් දෙරවල් පවා රජයට හෝ පක්ෂයට පරිත්‍යාග කරමින්ය. 

මේ 1930 දශකයේ සිට 1977 දක්වාම අඩු වැඩි පාර්ලිමේන්තු දේශපාලනයේ තිබුණේ මේ වගේ තත්ත්වයක් වුවත් එය බරපතළ ආකාරයෙන් වෙනස් වන්නට ආරම්භ වූයේ 1977 සිදූවූ දේශපාලන විපර්යාසය හේතුවෙන්ය. 77 දේශපාලනයේ වෙනස පටන් ගන්නේ ජයවර්ධන මහතාට ලැබුණු අසීමිත බලයෙන් මේ රටේ තීරණාත්මක වෙනස්කම් දෙකක් එකවර කරන්නට ඔහු දැරූ උත්සාහයත් සමඟින්ය. ඔහුගේ උත්සාහය වුයේ ආර්ථික ක්‍රමය එක් පැත්තකිනුත් දේශපාලන ක්‍රමය අනිත් පැත්තෙනුත් අල්ලා ඒ දෙකම එකවර වෙනස් කරන්නටය. 77 විවෘත ආර්ථිකය හරහා අර්ථ ක්‍රමය වෙනස් කරන්නට සහ 78 අලුත් ව්‍යවස්ථාවක් හරහා දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට ඔහු වැඩ කළේ මේ උත්සාහය නිසාය. (මේ දෙකම එකක් අනෙකට අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා දෙකම එකවිට කිරීමේ අවශ්‍යතාවක්ද තිබු බව පැහැදිලිය) ඒ වගේම අලුත් වැඩ දෙකේම සමහර ධනාත්මක සහ ගුණාත්මක දේවල් තිබෙන බව මගේ පිළිගැනීම වුවත් ඒ වැඬේ කරන්නට ගොස් කළ වැරැදිවලද  සීමාවක් නැති තරම් බව පැවසීම පාර්ලිමේන්තුවේ අද තත්වය පිළිබඳව සාකච්ජාවට ඉතාමත් අදළය. 

ජයවර්ධන මහතා කළේ ශ්‍රී ලංකාව නැමැති රෝගියාට බරපතළ සැත්කම් දෙකක් එකවර කරන්නට හදන වෛද්‍යවරයකු ආකාරයේ වැඩක් යැයි කීම නිවැරැදිය. මගේ කියවා ගැනීම වන්නේ අපේ රට අද පත්වී තිබෙන්නේ මේ සැත්කම් දෙකම නිමා කරන්නට පෙර සිහිය පැමිණ බාගෙට සිදුකළ සැත්කම් සහිතව පාරේ දූවන රෝගියකු සමාන තත්ත්වයක්ය. ජයවර්ධන මහතා බලය හැර යනවිට ඉතිරිවී තිබුණේ අතර මැද නැවතුණු සැත්කම සහිත රෝගියකු පමණක් නොව මේ සැත්කමේ වැරැද්දට අතුරු ආබාධවලින් ද පිරුණු රෝගියකු බඳු රටක්ය. මේ අතුරු ආබාධවලින් එකක් වූ ජවිපෙ භීෂණය පරාජය කරන්නට 1989 පැමිණි ප්‍රේමදාස මහතාට සිදූවූ අතර, එහිම අනෙක් අතුරු ආබාධය වූ උතුරේ එල්ටීටීඊ භීෂණය පරාජය කරන්නට 2005 පැමිණි මහින්ද රාජපක්ෂ මහතාට සිදූවූ බව සිහිපත් කරන්නේ මුල් වෛද්‍යවරයාගේ වැරැදි සැත්කමේ අතුරු ආබාධ දෙකක් නිමා කරන්නට වසර 30 පමණ දූක් විදින්නට සිදූවූ බව මතක් කරමින්ය. එහෙත් මේ අනතුරු දෙකටම වඩා ජයවර්ධන මහතාගේ හදිසි දේශපාලන ශල්‍යකර්මයෙන් ඉතිරි කර ගිය බරපතළ අර්බුදයක් වන්නේ පැරැණි පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අවුලකට ඇද දමා අද තියෙන ආකාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයකට පාර යෑමය.

ජයවර්ධන රජයේ විවෘත ආර්ථික ක්‍රමය හේතුවෙන් මතුවූ නිර්ප්‍රභූ නව වෙළඳ කණ්ඩායම්වල පැවැත්මට දේශපාලන අධිකාරිය අවශ්‍යවීම එක් පැත්තකිනුත් මනාප ජන්ද ක්‍රමයේ ඇති අධික වියදම හේතුවෙන් අතිවිශාල මුදල් කන්දරාවක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වීමත් ඇතුළු අවිචාරාත්මක කාරණා රාශියක් අනිත් පැත්තෙනුත් මතුවීමේ තාර්කික ප්‍රතිඵලය වූයේ මේ ‘සහචර ධනවාදයේ’ ගොදූරක් වූ අමුතුම අමුතු මන්ත්‍රීවරයා බිහිවීමය. 77 දක්වා පැමිණි අඩු දියුණු වැඩවසම්වාදී පන්නයේ පාර්ලිමේන්තුව විශාල වශයෙන් වෙළඳ කුලයේ ඇත්තන්ගේ තෝතැන්නක් හෝ ඒ අයගේ ඉත්තන් පත් කර ගන්නා තිප්පොළක් බවට පත්වීමට හේතු වී තිබෙන්නේ මේ තත්ත්වය යැයි තාර්කිකව පිළිගැනීමේ වැරැද්දක් නැත.

එහෙත් මෙහිදී අප තේරුම් ගත යුතු අනෙක් කාරණයක් වන්නේ මේ තත්ත්වයට අසු නොවූ සහ මේ රටේ දේශපාලන වර්ධනය වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් සිදුකරන වෙළෙන්දන්ගේ ඉත්තන් නොවූ හා බුද්ධිමය පෞරුෂයකින් යුතු සුළු කණ්ඩායමක්ද මේ 77 පසු පාර්ලිමේන්තු ක්‍රමය තුළත් බිහිවී සිටි බවත් අදටත් එවැනි සමහරුන් සිටින බවත්ය. එහෙත් මේ සුළුතරයේ හඬ නෑසෙන ගානට බහුතර කණ්ඩායමේ අර්බුදය සමාජයේ දෝරේ ගලා යමින් තිබෙන බව ඉතාමත් සත්‍යයක්ය. පාර පුරා ලෙඩුන් ගෙනියන ආකාරයෙන් සයිරන් නලා පිඹිමින් යන මන්ත්‍රී ඇත්තන්ට කිසිම ඉඩක් නොදෙන තරමට සාමාන්‍ය ජනයා ශක්තිමත්වී තිබෙන්නේ මේ තත්ත්වයට ඇති සමාජමය පිළිකුල පෙන්නුම් කරමින්ය. 

දැන් මේ විකෘති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවට පැමිණෙන බොහෝ අය අද කරන්නේ සම්පූර්ණ බොරුවක් යැයි ජනතාව සිතන්නේ මේ අර්බුදයේම මෝරාගිය තත්ත්වයක් ලෙසින්ය. මේ අවුලට අමතරව ජනතාවගේ පැත්තෙන් මතුවන අනෙක් කාරණය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු වැඩ බැරි අහිංසකයකුගේ හෝ බිය ජනක මැරවරයකුගේ තනකුරක් නොව නිශ්චිත විෂය ක්ෂේත්‍රයක් :ඔැරපි දf රුfැරුබජැ* ඇති දක්ෂයකුගේ රැකියාවක් බවයි. ඒ රැකියාවට දුර්වලයකු හෝ සහචර ධනවාදයේ ඉත්තකු පත්වීමෙන් වෙන්නේ රටම කඩා වැටීම බවට ජනතාව තුළ දැනුමක් ඇතිවීම මේ සන්නිවේදන විප්ලවීය යුගයේ සිදුවී ඇති ප්‍රධානතම ජයග්‍රහණයක් බව මගේ අදහසය. අපේ රටේ අද තිබෙන තත්ත්වය සමාන වන්නේ අනෙක් හැම රැකියාවක් සඳහාම කුසලතාව මත මිනිසුන් තෝරද්දි මේ අත්‍යාවශ්‍ය රාජකාරිය සඳහා රටේ සිටින නුපුහුණු කණ්ඩායමක් තෝරා පත්කර යවන නිසා රටම අවුලකට පත්වී තිබෙන බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති වීමය. මගේ උගත් මිතුරකු මේ තත්ත්වය සදය උපහාසයකින් කීවේ ‘ප්ලේන් එක පදවන්න ගුවන් තොටුපොළේ පෝටර මහතුන් යොදාගත්විට ගුවන් අනතුරු හැර වෙන එකක් බලාපොරොත්තු විය නොහැකි’ බවයි. 

දැන් මේ තත්ත්වය හමුවේ කළ යුත්තේ කුමක්දැයි යන තීරණය ගැනීමේ වගකීම පැති කීපයකටම සම්බන්ධ වන බව මගේ අදහසයි. පළමුවෙන්ම මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකත්වයයි. ජනතාවගේ පැත්තෙන් මතුවී තිබෙන ‘මේ 225 එපා’  තර්කයට පිළිතුරු දිය යුත්තේ ඒ අදහසම සම්පූර්ණයෙන් පිළිගැනීමෙන් හෝ සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමෙන් නොවේ. 225 තුළ සිටි දක්ෂයන් හා මේ රාජකාරියට ගැළපෙන කණ්ඩායම් පමණක් ඉදිරියට ගෙන එමින් රටේ කුසලතාව හිමි සමාජ පන්තියට ස්වකීය දේශපාලන ව්‍යාපෘති තුළ අවකාශය නිර්මාණය කිරීම මෙහිදී ගතයුතු එක් වැදගත් තීරණයක්ය. අනෙක් අතට මේ තත්ත්වයට අභිමුඛ නොවීමේ වැරැද්දට ඉඩ දුනහොත් ඒ ඉඩෙන් ප්‍රධාන පක්ෂ කීපයටම පිටින් මතුවිය හැකි ‘නිර්දේශපාලනික/තාක්ෂණික පක්ෂ දේශපාලනයක්’ හෝ බරපතළ ‘ජාතික ආගමික වර්ගයේ දේශපාලනයක්’  මතුවීමේ විශාල ඉඩක්ද තිබෙන බව මගේ නිරීක්ෂණයය. දෙවැනි කාරණය වන්නේ ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්නය නිසි පරිදි තේරුම් ගැනීමය. කුසලතාව පිරි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට නොයැව්වොත් රටම අනතුරේ බව මතුකර ගත් යුත්තේ ඒ සඳහා සුදූසු පිළියමක් සිදු කිරීමට මිස හුදු නාස්තිකවාදී දෘෂ්ටියකින් නොවන බව මෙහිදී තේරුම් ගත යුතු කාරණයය. 
දැනට පාර්ලිමේන්තුවේ සිටින සහචර ධනවාදයේ ඒජන්තයන් නොවූ හා මන්ත්‍රී වෘත්තිය වෙනුවෙන් මැදිහත්වීමේ බුද්ධිය හා කැපකිරීම ඇති කාණ්ඩය නිවැරැදිව තෝරාගැනීම සඳහා නිසි විමසීමකින් තොරව හුදු ගෝත්‍රික ආකාරයෙන් මන්ත්‍රීවරුන් තේරීමෙන් වැළකී සිටීමය. තුන්වැනිව දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් මේ ‘225ම  එපා’ තර්කයට පිළිතුරු දිය යුත්තේ මේ ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීමෙන් මිස වෙනත් ලෙසකින් නොවන බවය. දැන් සමාජය සිතන්නේ මේ මන්ත්‍රීවරුන් සමඟ ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් ඇති ආරවුලක් නිසා නොව ජනතාවගේ පැත්තෙන් තමන්ට හිමි සේවයක් නුසුදුසු අයගෙන් ලබා ගැනීමට ඇති අකැමැත්ත ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. තමන්ගේ ගමේ රෝහලට සුදුසුකම් නැති අයකු වෛද්‍යවරයකු ලෙසින් පැමිණ බෙහෙත් දුන්නොත් ගමේ ඇතිවෙන තත්ත්වයට සමාජය තුළ අද මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඇතිවී තිබේ යැයි කීමේ වැරැද්දක් නැත. මේ තත්ත්වයෙන් ගැලවිය හැක්කේ එක්කෝ ඒ වෘත්තියේ සුදුසුකම් ගොඩ නඟා ගැනීමෙන් ජනතාවගේ බිය දුරු කිරීමෙන්ය. නැතහොත් ජනතා තීරණවලට හිස නැමීම හරහා ස්වකීය ක්ෂේත්‍රවල වෙනත් වෘත්තී වෙත ගමන් කිරීමෙන්ය. 

සරලවම කිවහොත් අප සේන්දු වෙමින් සිටින්නේ සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයේ දෙවැනි ඉනිම ලංකාව තුළ ස්ථාපිත වෙමින් පවතින සංක්‍රාන්ති කාලයකටය. රේන්දකාරයාගේ සිට බෝම්බකාරයා දක්වාත් කටවුට් ගසන්නාගේ සිට කටවුට් කඩන්නා දක්වාත් බෙදී ගිය මෙරට පළමු ඉනිමේ දේශපාලනය සීමා වෙමින් තිබෙන නව තත්ත්වයකටය. මේ තත්ත්වයට ආමන්ත්‍රණය කරන දේශපාලන බලවේගය බවට පත්වීමට උත්සාහ දැරීම මේ මොහොතේ ප්‍රගතිශීලීම තත්ත්වය බව මගේ යෝජනාවය. 

(ලංකාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website