Friday, 21 June 2019 19:45

රෝද තුනයි ප්‍රශ්න ගොඩයි

ප්‍රශ්න විසඳීමට මාර්ගෝපදේශයක්

මෙරට ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සුවිශේෂී සේවාවක් සපයන ත්‍රීරෝද රථ හිමියන් සහ එම සේවාව අත්විඳින මඟියා අතර ඇතිවන ඝට්ටනය නිරන්තර කතාබහට ලක් වේ. ත්‍රීරෝද රථ කර්මාන්තය ශක්තිමත් ප්‍රවාහන සේවාවක් ලෙස නගා සිටුවීමේ අවශ්‍යතාවයක් පැන නැඟී තිබේ. මේ ඒ පිළිබඳ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා දිනමිණ පුවත්පතට දැක්වූ අදහස් කිහිපයකි.

අනාදිමත් කාලයක සිට වර්ධනය වෙමින් පවතින ත්‍රීවීල් රියැදුරන්ගේ ප්‍රශ්නාවලිය, මෙරට වගකිවයුතු නිලධාරීන් පැහැදිලිව දනිති. දිනමිණ පුවත්පත මඟින් සෑම බ්‍රහස්පතින්දාවකම මෙරට ත්‍රීවීල් රියැදුරන්ගේ වතගොත මෙන්ම ඔවුන්ගේ එම මැසිවිලි සම්බන්ධයෙන් පිටුවක වාර්තාවක් ගෙන එයි. එය කොයි කවුරුත් දකින නමුත් පියවරක් ගන්නා බවක් පෙනෙන්ට නැත. අවිධිමත් ත්‍රීවීල් සේවාව හේතුවෙන් රටේ ඇතිවන විවිධාකාර ගැටලු ප්‍රමාණය වැඩි වී ඇත. ප්‍රවාහන ක්ෂෙත්‍රයට මහඟු සේවාවක් සපයන මෙම ත්‍රීරෝද රථ කර්මාන්තයට බලධාරීන්ගෙන් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් පමණකි. ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් සිදුවන වැරැදිවලට සම්පූර්ණයෙන්ම හේතු වී තිබෙන්නේ බස් රථ සේවාවේ මෙන් නීති රීති පද්ධතියක් ත්‍රීරෝද රථ කර්මාන්තය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම ය.

අවිධිමත් භාවය

පිටරටවල පවතින්නේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි. ඒ රටවල ටැක්සි සේවාවට හොඳ සැලකිල්ලක් ලැබේ. මගියා මෙන්ම ටැක්සි රියැදුරාගේ පාර්ශ්වය වෙනුවෙන් එම රටවල නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වේ. එහිදී ටැක්සි රියැදුරා සැබැවින්ම ආරක්ෂිත ය. ඔවුන්ගේ සේවය ද ඉහළ මට්ටමක පවතින්නේ ය. ටැක්සි රියැදුරන් වෙනුවෙන් පොලීසිය පෙනී සිටීම හේතුවෙනි. එබැවින් රියැදුරාටත් මගියාටත් කිසිඳු අසහනයක් නොමැත. නිරතුරුවම දෙපාර්ශ්වයටම සාධාරණය ඉෂ්ට වේ. මෙරට තිබෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාදාමයකි.

මෙරට ත්‍රීවීල් කර්මාන්තයේ විධිමත්භාවයක් නොමැතිකමෙන් රියැදුරු සහ මඟී යන දෙපක්ෂයම කිසියම් අර්බුදයකට මුහුණ පා සිටිති. මේ අර්බුදය නිරාකරණය කිරීමට කිසිවකු කටයුතු නොකිරීමට හේතු පිළිබඳ විමසිලිමත්ව බැලු කල පෙනී යන්නේ‍ මෙය කාගේ හෝ වුවමනාවකට සිදු වනන්නක් බවට පත්ව අති බවයි. වත්මන් දේශපාලඥයන් තුළ අර්බුදකාරී තත්ත්වයක් පැන නැඟී තිබීම නිසා මේ පිළිබඳ දැනුම් දීමට ජනාධිපතිතුමා හැරෙන්නට කිසිවකු නොමැති බව පෙනේ. පසු ගිය දා මෙරට ලී ඉරන ප්‍රශ්නයට පවා එතුමාගේ ඍජු මැදිහත්වීමක් අපි දුටුවෙමු. එබැවින් මෙවැනි දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව එතුමාගේ සුවිශේෂී අවධානය යොමු වීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බව එක හෙළා පැවැසිය යුතුය.

ත්‍රීවීල් කර්මාන්තයේ යෙදෙන රියැදුරන්ට තමන්ගේ රථ ගාල් කරගැනීමට ස්ථිර තැනක් ලබා නොදීම දැවෙන ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. ත්‍රීවීල් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යාම එයට ප්‍රධාන හේතුව ය. ඔවුන් ඉල්ලන තරමට රථගාල් තනා ගැනීමට නගරවල ඉඩක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ එබැවිනි. ඔවුන්ට එල්ල වන ප්‍රධාන චෝදනාව වන්නේ මගියාට ලබා දෙන සේවා විධිමත්භාවයකින් තොර බවයි.

මෙය තුරන් කිරීම සඳහා 2003, 2004 වර්ෂවල බස්නාහිර පළාත් සභාව ත්‍රීරෝද රථ නියාමනය සඳහා ප්‍රඥප්තියක් ගෙන ආවේය. නමුත් ත්‍රීරෝද රථ සංගම් ඇතුළු විවිධ අයගේ බලපෑමෙන් ඒවා නතර විණ. ඒවා ක්‍රියාත්මක වීමට ද ඇතැම් පාර්ශ්ව ඉඩ දුන්නේ නැත. 2013 වර්ෂයේ ගාස්තු සමාලෝචන කමිටුව සහ ගාස්තු මීටරයේ තාක්ෂණික කමිටුව සමඟ නියාමනයක් ඉදිරිපත් විණ. පසුව මෙම විෂය විමධ්‍යගත කිරීම හේතුවෙන් ත්‍රීවීල් කර්මාන්තය වෙනුවෙන් බස් රථවලට මෙන්ම වෙනම ආයතන පිහිටු වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඒ අතර ප්‍රවාහන අමත්‍යාංශය මඟින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නීති මාලාවක්, ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කෙරිණ. ඒ යටතේ,

llගාස්තු මීටරය අනිවාර්ය කිරීම.

l ත්‍රීරෝද රථවල දකුණු පැත්ත වසා දැමීම අනිවාර්ය කිරීම.

l ප්‍රවාහනය කරන මගී සංඛ්‍යාව සීමා කිරීම.

l දුම් පානය තහනම් කිරීම.

l මගියා කෙටිම පාරෙන් ප්‍රවාහනය කිරීම

වැනි විනය නීති රීති හඳුන්වා දී තිබේ.එහෙත් එම නීති ද හරි හැටි ක්‍රියාත්මක නොවේ. සියලුම ගැටලුවලට මුල මේ නීති ක්‍රියාත්මක නොවීමයි. ත්‍රීවීල් රියැදුරන් සම්බන්ධයෙන් සමාජයේ තිබෙන ආකල්පය අප දනිමු. පාරිභෝගිකයා ඔවුන්ගේ සේවාව පිළිබඳ තෘප්තිමත් නැත. ඒ ආකල්පයට හේතුව ඔවුන් සිය වගකීම පැහැර හැරීම ය. එහෙත් මගීන් ඔවුන්ගේ සේවාව ලබා නොගෙන සිටින මට්ටමට ළඟා වීමට අප ප්‍රවාහන ක්ෂෙත්‍රය දියුණු වී නොමැත. රියැදුරන් තමන්ට අවශ්‍ය ප්‍රතිරූපය සාදා ගැනීම අනිවාර්ය ය. රියැදුරු සහ මගී යන දෙපාර්ශ්වය අතර පැන නැඟී තිබෙන අනවබෝධය, ඝට්ටනය නැතිනම් ගැටලුකාරී තත්ත්වය විසඳීමට නිසි නියාමනයක් ඇති විය යුතුය. ඔවුන්ගේ වෘත්තීමය තත්ත්වය ගොඩනැගෙන තුරු සමාජයෙන් මේ ප්‍රශ්නය ඉවත් වී යනු ඇතැයි සිතිය නොහැකිය

ත්‍රීවීල් ගාස්තුව සම්බන්ධයෙන් වැඩිවශයෙන් පැතිරෙන්නේ බොරු ප්‍රචාර ය. නගරාසන්න ජනතාව පුද්ගලික සමාගම්වලින් පවත්වාගෙන යන ටැක්සි සේවාවන්ට යොමු වීමක් දක්නට ලැබේ. අලුත් ප්‍රවාහන ක්‍රමවලට අලුත් ව්‍යාපාරිකයන් එක්වී වෘත්තීය රියැදුරාගේ තත්ත්වය බාල කරන අතර අසරණ වෙන්නේ සාම්ප්‍රදායික ත්‍රීරෝද රථකරුවා ය. කෝටිපතියන්ගේ ලාබ ලබන ව්‍යාපාරවලට මගියා යොමු විමට ප්‍රධාන හේතුව මීටරය අනිවාර්ය කිරීමට ගෙනා ආ නීති පද්ධතිය පල්වෙවී තිබීම යි. මගියාට ත්‍රීවීලරය අවශ්‍ය වේ. නමුත් ත්‍රීවීල් සේවාව පිළිබඳ ඔවුන් තෘප්තිමත් නැත. මුදල් වැය වුණ ද ඔවුහු ධනපති ප්‍රවාහන සේවා ක්‍රමවේද යොමු වන්නේ එහෙයිනි.

සමාගම් පැමිණීම

වර්තමානයේ ක්‍රියාත්මක වන ජනප්‍රිය ත්‍රීවීල් සමාගම් කරළියට ඒමට පෙර අපි බජට් ටැක්සි යනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර පෙන්වූයෙමු. ත්‍රීවීල්වල එය දෙය හොඳින් ක්‍රියාත්මක වූ අතර මෙරට සාර්ථක ත්‍රීරෝද රථ ප්‍රවාහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති බව ඉන් පෙන්නුම් කෙරිණ. බලය අඩු කෙනා ළඟ අපි නැමිය යුතුය. බලයක් නැති කෙනා කොහොමටත් ඉන්නේ නැමිලා ය. බලවන්තයා මදක් නම්‍යශීලී වී බලන්නේ නම් පවතින ගැටලුවලට සාර්ථක පිළිතුරක් ලබාගත හැකි ය. ත්‍රීවීල්කාරයින් වන තමන් ජනතාව ගණන් ගන්නේ නැති බව ත්‍රීරෝද රථ රියැදුරෝ පුන පුනා කියති.

එසේ නම් ඔවුන්ට අවශ්‍ය වෘත්තීමය ගෞරවය ලබා දිය යුතුය. ත්‍රීරෝද රථ රියැදුරා මුහුණපාන ගැටලු බොහොමයක් තිබේ. ත්‍රීවීල් වැහි වැහැලා ඇතත් මෙරට වෘත්තීය ත්‍රීරෝද රථ රියැදුරා හඳුනාගැනීමට ක්‍රමයක් තවමත් නැත. හයර් එකක් යාමට ඇසූ විට එක්කෝ ඒ ත්‍රීවීල් එක ඒ පැත්තට යන්නේ නැත, නැත්නම් එහි මීටරයක් නැත. එක්කෝ මිටරය වැඩ නැත. එහෙමත් නැති නම් ගාස්තුව ගැන ප්‍රශ්නයකි. මේ රටේ සැලකිය යුතු කොට්ඨාසයක් වශයෙන් සැලකෙන ත්‍රීරෝද රථ රියැදුරන්ට වෘත්තීය සාධාරණත්වයක් අත්වී නැත. සේවාව ලබා ගන්නට පැමිණෙන මගියා අපහසුතාවට පත්වෙන්නේ එබැවිනි. වෘත්තීය රියැදුරන්ට අමතරව වෙනත් රැකියාවල නිරතවන අයත් වැඩක් නැති අවස්ථාවල හයර් දුවති. අද පාරට බැස ත්‍රීවීල් එකකට අතදාද්දී ඔවුන්ගේ වෘත්තීමය තත්ත්වය හඳුනාගත හැකි මට්ටමේ තත්ත්වයක් තිබේද? මෙතැනදි අසාධාරණයට හා අපහසුතාවයට ලක්වෙන්නේ මගියා ය. තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරාගැනීමටත්, අනාරක්ෂිත බව නිසා සිත් තැවුලට පත්වීමටත්, මගියාට සිදු වේ. වගකිවයුත්තන් මේ ප්‍රශ්නය නොදන්නවා නොවේ. ඒවාට පිළියම් නැතිවාද නොවේ. ධනපති ව්‍යාපාරික පන්තිය වෘත්තීය ත්‍රීරෝදරථකරුවන් මේ රටේ ස්ථාවර වනවාට කැමැත්තක් නැත. ඔවුන් සිය මල්ල තර කරගැනීමට, සමාගම් සාදාගනිමින් අහිංසක ත්‍රීරෝද රථකරුවන් මෙන්ම මගීන් දැඩි අපහසුතාවයකට පත් කරති. ‍බලධාරීන්ට තිබෙන්නේ බස්නාහිර පළාතෙන් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කර අනෙක් පළාත්වලට එය ප්‍රසාරණය කිරීම පමණකි. එනම් මේ ගැටලුව අවසන් කිරීමට වයරින් එක කර අවසන් ය. දැන් තියෙන්නේ ස්විච් එක දැමීමේ කර්තව්‍යයයි. එම කර්තව්‍යය කිරීමේ වගකීම ඇත්තේ ජනාධිපතිතුමන්ට ය.

කළ යුත්තේ කුමක්ද

මෙරට ත්‍රීරෝද රථ සේවාව එන්න එන්නම දුර්වල වේ. මෙය විධිමත් කිරීමට නම් අප අවම යෝජනාව මෙයයි. මෙය චක්‍රයක් මෙන් ක්‍රියාත්මක වීම නිසා ඇමැතිතුමන්ලාට මෙය විසඳිය නොහැක. අගමැතිතුමාටත් නොහැකි නම් ජනාධිපතිතුමා ප්‍රවාහන ක්ෂෙත්‍රයේ නිලධාරීන් ගෙන්වා මේ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවලට අවශ්‍ය තීන්දු ගත යුතුය. පළාත් සභා යාන්ත්‍රනය මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්න බැරි නම් කරන්නට ඇත්තේ කුමක්ද යන්න පරීක්ෂා කර බැලිය යුතුය. ජනාධිපතිතුමාට මේ ගැටලුව විසඳීමට ත්‍රීවීල් සංගම් ගෙන්වීමට අවශ්‍ය නොවේ. ඔවුහු කෝටියක් ප්‍රශ්න කියති. ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳ අප සියල්ලන්ම හොඳින් දැනුවත් බැවින් මෙයට ඔවුන්ගේ සහභාගිත්වයක් අවශ්‍ය නැත. ලී මෝල් ප්‍රශ්නයේදී ලී මුදලාලිලා ගෙන්නුවේ නැත. එපරිද්දෙන්ම අවශ්‍ය නිලාධාරීන් ගෙන්වා හේතු සොයා බලා සේවයේ විධිමත්කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව තීන්දු ගත යුතුය. මේ කර්මාන්තයේ පවතින අසහනය නැති කිරීමට නම් නියාමනයක් අවශ්‍ය ය. මෙතෙක් හඳුන්වා දී ඇති නීති රීති සමස්ත ත්‍රීවීල් සේවාව තුළ ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ අලුතෙන් හඳුන්වා දිය යුතු වැඩපිළිවෙළක් තිබේ නම් ඒ කුමක්ද යන්නත් කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය යුතුය. මුලින් කී ස්විචය දැමීමට පියවර ගන්නේ නම් මේ ගැටලු යම් තාක් දුරකට නිරාකරණය කළ හැක. ත්‍රීරෝද රථ කර්මාන්තය දියුණු කිරීමට නම් රජයේ පූර්ණ මැදිහත්වීම අත්‍යාවශ්‍ය ය.

(දිනමිණ)

Last modified on Friday, 21 June 2019 19:57

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website